No menu items!
22.8 C
Sri Lanka
8 October,2024

මෛත‍්‍රී කියන්නේ බොරු

Must read

තරිඳු උඩුවරගෙදර

දෙදහස් පහළොවේ ජනවාරි ජනාධිපතිවරණයට තමා වෙනුවෙන් ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන තමා විසින් නිර්මාණය නොකළ බවත්, තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් කියමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දින සියයේ වැඩසටහන විවේචනය කරමින් පසුගිය 30 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී කළ ප‍්‍රකාශය අසත්‍ය කරුණු රැසකින් සමන්විත එකක් බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වාදෙති.
දින සියය වැඩසටහන නමින් හැඳින්වූ ප‍්‍රතිපත්ති මාලාව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විසින් නිර්මාණය කළ අවබෝධතා ගිවිසුමක් මත පදනම් වූවක් බවත්, එම අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතට, ජනාධිපතිවරයා ඇතුළු‍ පාර්ශ්ව රැසක සහභාගිත්වයෙන් 2014 නොවැම්බර් මාසයේදී විපක්ෂ නායක කාර්යාලය තුළ පැවති රැස්වීමකදී අවසාන එකඟතාවක් ඇති කරගත් බවත් ඔවුහු පෙන්වාදෙති.
ඔවුන් පෙන්වාදෙන ආකාරයට එම රැුස්වීමට සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් සිවිල් ක‍්‍රියාකාරිකයන් රැුසක් සහභාගි වී ඇත. පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනද සහභාගි වූ එම රැුස්වීමට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික‍්‍රමසිංහ, අතුරලියේ රතන හිමි, සජිත් පේ‍්‍රමදාස, රුවන් විජේවර්ධන, වික‍්‍රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන් ඇතුළු දේශපාලන නායකයන් රැසක්ද සහභාගි වී ඇත. එහිදී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවබෝධතා ගිවිසුමෙහි ඇති කරුණු විස්තර කර ඇත.
දෙසැම්බර් 01 වැනිදා එම අවබෝධතා ගිවිසුමට පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ අත්සන් කළ බව සිවිල් ක‍්‍රියාකාරීහු පවසති.
නීතීඥ ලාල් විජේනායක මහතා අනිද්දා සමඟ වැඩිදුර අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, සෝභිත හිමියන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකු විශ්වාස නොකළ නිසා වැඩපිළිවෙළක් සකස් කරගෙන එය ඉටු කරන බවට ප‍්‍රතිඥාවක් ලබාගැනීමේ අවශ්‍යතාව දැඩිව පෙන්වාදුන් බවයි. දින එකසිය අසූවක් සඳහා වූ වැඩපිළිවෙළක් ඒ අනුව සකස් කොට සාකච්ඡුාවට බඳුන් කළ බවත්, එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව දින 180ක් දක්වා පවත්වාගෙන යෑමට එකඟ නොවූ නිසා දින 100 දක්වා කාලසීමාව අඩු කළ බවත් ඔහු කීය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමෙන් පමණක් මහින්ද රාජපක්ෂ පරාජය කළ නොහැකි නිසා ශ‍්‍රීලනිපයට හිතවත් ඡන්ද පදනමක් ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තෝරාගැනීමේ කටයුත්ත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බාර දුන් බවත්, ඇය විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස යෝජනා කළ බවත් ලාල් විජේනායක මහතා පෙන්වාදුන්නේය.
ඒ අනුව සකස් වූ දින සියයේ වැඩසටහන ඉටු කරන බවට ප‍්‍රතිඥා දෙමින් අවබෝධතා ගිවිසුමකට මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2014 දෙසැම්බර් 01 වැනිදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී අත්සන් කළ බවද ලාල් විජේනායක මහතා කීය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගිවිසුම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. ‘මෙම ගිවිසුම එක පුද්ගලයෙකු විසින් සකස් කළ එකක් නොවන බව ඇත්ත. දින සියයේ වැඩසටහනට එක කර්තෘවරයෙක් හිටියේ නැහැ. මම දින සියයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිර්මාණය කළ මොහොතේ හිටියේ නැහැ. එහෙත් දින සියයකින් කළ යුතු වැඩපිළිවෙළ ඇතුළත් අවබෝධතා ගිවිසුම සකස් කරද්දී මම මැදිහත්කරුවෙක් ලෙස ක‍්‍රියා කළා. මෙම ගිවිසුම කෙටුම්පත් කරන්නට මම මැදිහත් වුණා. මෙම ගිවිසුමේ අවසාන පිටපත මේ කතාකරන මොහොතේ මා සතුව නැතත් දින සියයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වගේ මූලික කරුණු කාරණා ඇති ගිවිසුමේ පිටපතක් මා සතුව තියෙනවා.’
මේ පිළිබඳව කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පැවසුවේ අදාළ ගිවිසුම අත්සන් කිරීමට පෙර පැහැදිලිවම ජනාධිපතිවරයාට ගිවිසුමෙහි ඇති කරුණු පිළිබඳව එකින් එක කරුණු දැක්වීම් කර ඇති බවත් ජනාධිපතිවරයා ඒවාට එකඟ වී පොදු අපේක්ෂකත්වය ලබාගත් බවත්ය.
මැතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික විධායක සභාව නමින් ආයතනයක්ද පත් කළ බවත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එම සභාව සතිපතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ බවත් අප සමඟ අදහස් දැක්වූ ලාල් විජේනායක මහතා කීය. තමාද එහි සාමාජිකයෙකු වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, වික‍්‍රමබාහු කරුණාරත්න ඇතුළු‍ පිරිසක් එම විධායක සභාවේ සාමාජිකයන් වූ බවත් ඔහු කීය. ‘ඔහු දින සියයේ වැඩසටහනට සම්බන්ධයක් නැතිනම් ඔහු මේ රැස්වීම්වලට සතිපතා සහභාගී වුණේ ඇයි?’ ලාල් විජේනායක මහතා විමසයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි