‘පුෂ්පානන්ද ඒකනායක’ කියන නම සමහරුන් දන්නේ හඳුනන්නේ නැති විය හැකි නමුත්, ලංකාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ඕනෑම දෙයක් – පාරේ සිටුවා ඇති අඩි සිය ගණනක් දිග පළල කටවුට් එකක සිට, පත්තරයක්, නවකතා පොතක් හරහා ලූණු පැකට් එකක, කුඩා බාම් කුප්පියක ලේබලය දක්වා වූ – අප කියවන්නේ ඔහුගේ අකුරුවලිනි. කොටින්ම මේ පත්තරය පුරා ඇත්තේද එක එක මෝස්තරයේ පුෂ්පානන්දගේ අකුරුය. ලිපියක් ලියා පත්තරයකට ඊමේල් කරන්නට පෙර ලේඛකයෙකු, ‘මොන අකුරෙන්ද එවන්න ඕනෑ, ‘එෆ්එම්’ එකෙන් එව්වා නම් හරිදැ’යි සංස්කාරකගෙන් අසන විට, ඒ කියන්නේ පුෂ්පානන්දගේ ‘ෆොන්ට් මාස්ටර්’ අක්‍ෂර හෙවත් ‘ෆොන්ට්’ ගැනය. ඇත්ත වශයෙන්ම නම්, පුෂ්පානන්ද නමැති මේ සරල, සැහැල්ලූ හා මිත‍්‍රශීලී අන්තිම රසවතා, ලංකාවේ සිංහල ටයිප් අක්‍ෂර භාවිතයේ ‘ෆොන්ට් මාස්ටර්’ය. දැන් මේ ෆොන්ට් මාස්ටර්, ‘ෆොන්ට්’ වෙනුවට අලූත් සිංහල වචනයක්ද හඳුන්වා දී තිබේ. ෆොනුරු


කුරුණෑගල, මාවතගම, විදුහල්පතිවරයකුගේ පුතකු වූ පුෂ්පානන්ද තාත්තා සමග ඔහු මාරුවන තැන්වලට ගොස් අන්තිමේ වැඩි කාලයක් ඉගෙනගන්නේ මහනුවර ධර්මරාජයේය. අවුරුදු දාහත පනින විටම, එවකට කොළඹ කොටුවේ ටයිම්ස් ගොඩනැගිල්ලේ පිහිටි, අර්වින් වීරක්කොඩිගේ ෆීනික්ස් ඇඞ්වර්ටයිසිං ආයතනයේ, වෙළෙඳ දැන්වීම්වල අකුරු අඳින්නකු ලෙස වැඩ පටන්ගන්නා පුෂ්පානන්ද, වැඩි කල් නොයවාම එතැනින් ශ‍්‍රී ලංකා රූපවාහිනියට යන්නේය.


‘මුලින්ම වැඩට ආවේ ෆීනික්ස් ඇඞ්වර්ටයිසින් ආයතනයට. සම්මුඛ පරීක්‍ෂණයට ගිහින් අකුරු ඇඳලා පෙන්නුවාම අර්වින් ලොක්කා එදාම වැඩට එන්න කිව්වා. ඒකේ වැඩ කර කර ඉන්නකොට තමයි ලංකාවට රූපවාහිනිය ලැබුණේ. ෆීනික්ස් එකේ වැඩ වුණත් මට නිකම් උණක් තිබුණා, රූපවාහිනියේ වැඩක් කරන්න. ඒ වෙලාවේ ටෙලිවිෂන් එක දිව්‍ය ලෝකයක් වගේ එකක්නේ. ඒක වටේට ගම්වල අමුතු සංස්කෘතියක් හැදුණා. මුල් කාලේ ගම්වල එහෙමත් ගෙදරක ටෙලිවිෂන් එකක් තිබුණේ. ඉතින් ගමේම අය එතැනට එකතු වෙලා පැදුරු දාගෙන බිම ඉඳගෙනනේ ටෙලිවිෂන් බලන්නේ. ෆීනික්ස් එකේ ඉද්දීම මට රූපවාහිනියේ සම්බන්ධකමක් හැදුණා,

අබේවර්ධන බාලසූරිය එක්ක. අබේවර්ධන රූපවාහිනියේ ‘නන්දන වින්දන’ පටන් ගත්තා. දෙවැනි ප්‍රෝග‍්‍රෑම් එක යනකොටත් ඒක මාර පොපියුලර්. ‘නන්දන වින්දන’ තුන්වෙනි එක යනකොට මම ඒකේ ටයිට්ල් (නාමාවලිය* ඇන්දා. ජීවිතේ මුලින්ම මං කළ ටයිට්ල් එක තමයි නන්දන වින්දන නම් ටික. ඒ කාලේ, කොටුවේ ෆීනික්ස් එකේ හවස වැඩ ඉවර කරලා, එතැනින් 108 ඇළකන්ද බස්එකක නැගලා රූපවාහිනියේ ගේට්ටුව ඉස්සරහින්ම බහිනවා. එතැන ඉඳලා පැය තුනක් විතර වැඩ කරනවා. පැයකට රුපියල් අටද කොහේද ගෙව්වේ.


ඒත්, ඉරිදාට නන්දන වින්දන එකේ මගේ නම ගියාට රූපවාහිනිය බලන්න මට තැනක් නැහැ. මම එතකොට නැවතිලා හිටියේ කොටුවේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ලේ. ? කෑමට යන්නේ කොම්පඤ්ඤ වීදියට. කොම්පඤ්ඤවීදියේ කොල්ලෙක් හිටියා අපි ටිකක් අඳුනන. කොම්පඤ්ඤ වීදියේ කඬේකින් කෑම කාලා, මිනිහාත් එක්ක මැලේ වීදිය දිගේ එන ගමන් මං කිව්වා, අද ටීවී එකේ ප්‍රෝග‍්‍රෑම් එකක් තියෙනවා බලන්න, ඒත් තැනක් නෑනේ කියලා. මම අඳුනන ගෙයක් තියෙනවා කියලා මැලේ වීදියේ පාරෙ අයිනේ පොඩි ගෙදරකට මිනිහා මාව එක්කගෙන ගියා. ගෙදර කට්ටිය ටීවී බලනවා. ටීවී එක නොපෙනෙන තරමට සෙනග පිරිලා. නන්දන වින්දන දැන් යනවා. කොල්ලායි මායි දෙන්නාම බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නේ ඉවර වෙනකංනේ. ඉවරවුණ ගමන් මගේ නම ගියා. මම කොල්ලාට කිව්වා, ‘නම් ඇන්දේ මම. දැන් මගේ නම ටීවී එකේ ගියා’ කියලා. කොල්ලා පුදුමවෙලා, ‘ඈ.. ඔයා ඉස්සෙල්ලා කියන්න එපැයි’ කියලා ඒ ගෙදර අයටත් මාව පෙන්නලා අඳුන්වලා දීලා මාර වැඩක් වුණා. මගේ බිරිඳගේ යාළුවෙක් මාතලේ, එයා නිකං පුටුවෙන් නැගිට්ටුණාලූ මගේ නම යනවා දැකලා. මගේ තව යාළුවෙක් නම දැකලා පෝස්ට් කාඞ් එකකුත් එවලා තිබුණා සතුටට.


පහුවදා උදේ ෆීනික්ස් එකේදී අර්වින් ලොක්කා මං ළඟට ඇවිත් ඇහුවා, පුෂ්පානන්ද රූපවාහිනියේ මොකක් හරි කළාද කියලා. මම ඇත්තම කිව්වා. ‘ඒක තමයි මම දැක්කා, හොඳයි හොඳයි’ කියලා ගියා. මාස දෙකකින් මම රූපවාහිනියේ වැඩට ආවා. කැෂුවල් බේසිස් ගත්තේ ඉස්සෙල්ලාම. ඒත් අවුරුද්දයි මාස තුනකින් විතර රූපවාහිනියෙන් අයින් වුණා. ඊට පස්සේ තැන් කීපයක ආර්ට්වර්ක් කළා. පොඩි පොඩි වැඩ. බැනර් අඳිනවා, බෝඞ් අඳිනවා වගේ වැඩත් කළා. මගේ බෝඩිමේ ආටිස්ට්ලා තව කීප දෙනෙක් හිටියා. අපි බෙදාගෙන වැඩ කළා.’


ඊළඟට ඇරඹෙන්නේ පුෂ්පානන්දගේ කොම්පියුටර් අකුරු නිර්මාණ අවධියයි. ඒ කාලයේ මුද්‍රණ වැඩට අකුරු ගන්නේ, කොම්පියුටරෙන් ටයිප් කර ‘බ්‍රෝමයිඞ්’ නමැති ඡුායාරූපයකට සමාන ක‍්‍රමයකිනි. පසුව, ‘ලේසර් ප‍්‍රින්ට්’ නමින් ඒ4 පිටුවල අකුරු මුද්‍රණය කරන කාලය එළැඹුණේය.
‘93 ජනවාරි විතර තමයි අද මේ ඉන්න තැනට ආවේ. එතකොටත් මට කොම්පියුටර් එකක් නැහැ. බ්‍රෝමයිඞ් ගන්න පුළුවන් ආයතන තිබුණා. ටික දවසක් යනකොට කොල්ලෙක් කොම්පියුටර් එකකුත්් අරගෙන මා ළඟ ටයිප් සෙටිං සර්විස් එකක් කරන්න ආවා. එතකොට බ්‍රෝමයිඞ්වලින් ලේසර් ප‍්‍රින්ට්ස්වලට මාරුවෙන කාලේ. මේ කොම්පියුටරෙන් වැඩ ගන්න අතරේ මට පුළුවන් වුණා, මගේම කොම්පියුටර් ෆොන්ට් එකක් හදාගන්න. එතකොට මම ටෙලිකොම් එකේ ඇඞ්වර්ටයිසිං වැඩ වගයක් කළා. ඒ ඇඞ්ස්වලට පළමු වරට මට පුළුවන් වුණා, මගේම කොම්පියුටර් ෆොන්ට් එකක් දාන්න. 1994 වෙනකොට මම ඇපල් කොම්පියුටර් එකක් අරගෙන තිබුණා.’


මුලින්ම පුෂ්පානන්ද කොම්පියුටරෙන් එළියට දැම්මේ ‘මලිති’ අකුරු මෝස්තරයයි. එදා සිට අද දක්වාම මලිති, මුද්‍රණ අකුරුවලින් අනේක වැඩ ගන්නා ඕනෑම කෙනෙකුගේ ප‍්‍රාණප‍්‍රිය අකුරකි.
ඒ වෙනකොට ලංකාදීප පත්තරේ මුද්‍රණය කරන විජය ග‍්‍රැෆික්ස් ‘ඇපල්’ කොම්පියුටරයට තමන්ගේම ෆොන්ට් හදා තිබුණි. දැනුත් ඉඳහිට පාවිච්චි වන මානෙල්, අනුරාධා, කැලණි වැනි ඒ අකුරු පසුබස්වමින් එෆ්එම් ෆොන්ට් ඉදිරියට ආවේය. අද විජය පුවත්පත්වල පවා තිබෙන්නේ එෆ්එම්ය.


මේ වන විට පුෂ්පානන්ද ෆොන්ට් හෙවත් සිංහල ෆොනුරු හෙවත් අකුරු මෝස්තර 60කට වැඩියෙන් නිර්මාණය කර තිබේ. එහෙත්, පොදු භාවිතයේ තියෙන්නේ ඉන් 37ක් පමණය.
පුෂ්පානන්ද වනාහි අකුරු ලියන්නෙක් නොවේ. අකුරු විඳින්නෙකි. අකුරක අර්ථයට වඩා අකුරක රූපය ඔහුට දැනෙයි. ඔහුගෙන් අලූත් අකුරක් නිර්මාණය වන්නේ ඒ විඳීමේ ප‍්‍රතිඵලයක් හැටියටය. කොටින්ම අකුරු යනු, පුෂ්පානන්දගේ් පරිකල්පනය එළියට එන විදියයි.


‘සන්නිවේදනය වෙන්නේ අකුරුවලින්නේ. ඒක අකුරේ හැඩය ඔස්සේ සන්නිවේදනය කළ හැකි දෙයක්. ඒකට කියන්නේ අකුරේ භාවිත ගුණය. ඒ භාවිත ගුණය පාවිච්චි කිරීමෙන් ක්‍ෂණයෙන් යමක් දනවන්න පුළුවන්, ඒක තීව‍්‍ර කරන්න පුළුවන්. පොදු සම්මත අකුරකින් කිව්වාට රූපමය වශයෙන් දැනෙන්නේ නෑනේ. රූපමය වශයෙන් දනවන්න තමයි විවිධාකාර අකුරු හැඩ ඕනෑ වෙන්නේ. ඒ විවිධාකාර හැඩ කියන ඒවා මගේ ඇෙඟ් හැම තිස්සේම වැඩකරනවා. මොකක් හරි වචනයක් දැක්කාම රූපයක් හැටියට, ඒ රූපයට මේ විදියේ හැඩයක් තිබුණා නම් කියන අදහස මට එනවා. සමහර විට මමම හිතලා විවිධ වැඩවලට යෝජනා කළ අලූත් අකුරු තියෙනවා. ඒවා මම හිතුව වැඬේට පාවිච්චි නොවුණා වෙන්නත් පුළුවන්. ඒ වාගේම හිතන්නේ නැති අවස්ථාවල ඒ අකුරු පාවිච්චි වෙන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් හැටියට, ‘ගැමුණු’ කියන හතරැුස් අකුර නිර්මාණය කළ වෙලාවේ, හුඟ දෙනෙක් ඇහුවා, ‘මොකටද මේ හතරැුස් අකුරක්? සිංහල අකුරු රවුම්නේ’ කියලා. ඒත් මේක එළියට ගියාට පස්සේ, දැන් බලනකොට මේකෙන් තොර දෙයක් නැති තත්ත්වයට පත්වෙලා. අඩු ඉඩක පාවිච්චි කරන්න පුළුවන්, පිරිච්ච අකුරක් හැටියට ඒකෙ භාවිත ගුණයක් තියෙනවා. ඒ ගුණය තමයි ඔය පාවිච්චි වෙන්නේ. ඒ වගේ විවිධ ගුණයන්වලට විවිධ ලක්‍ෂණ තියෙන්න පුළුවන්නේ. අන්න එකෙ මගේ ඔළුවෙ හැම තිස්සෙම වැඩකරනවා. සමහර වෙලාවට හිතෙනවා, ‘මේ කාරණය සන්නිවේදනය කරන්න මේ අකුර උචිත නෑ. එතකොට ඒ වැඬේ කරන්න ගැළපෙන අකුරක් ඇයි මම කරලා නැත්තේ?’ කියලා.


වෙනත් අයගේ යෝජනාවලටත් මම අකුරු කරලා තියෙනවා. ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට අවුරුදු 50ක් පිරිච්ච වෙලාවෙ මම ‘ස්වර්ණා’ කියලා ලියන්න අකුරක් අලූතෙන් ඇන්දා. ඒක ඔවුන් යොදාගත්තේ නෑ. නමුත් මගේ අතින් ඒ අකුරු හතර, පසුව සම්පූර්ණ අකුරු පෙළක් හැටියට නිර්මාණය වුණා. කුමාර සිරිවර්ධනලා ‘ලක්හඬ’ කියලා පත්තරයක් කරන්න යනවා, හෙඞ්පීස් එක කරලා දෙන්න කිව්වා. මම ඒකට අලූත් ෆොන්ට් එකක් කළා. ඒත් පත්තරේ කෙරුණේ නැහැ. ඒත් අලූත් ෆොන්ට් එකක් හැදුණා. ඊයේ පෙරේදා ‘විජයබා කොල්ලය’ චිත‍්‍රපටියට ටයිට්ල්ස් අඳින්න ආවා. ඒ අතරේ මම විජයබා කොල්ලය කියන වචන දෙකට ගැළපෙන ෆොන්ට් එකක් තීම් ටයිට්ල් එකට අලූතෙන් නිර්මාණය කළා.’


පුෂ්පානන්ද වැඬේට බහිනකොට හිතන්නේ අකුර පැත්තෙන්ද? මෝස්තරේ පැත්තෙන්ද?
‘මම එන්නේ කන්සෙප්ට් එක හරහා. මොකක් අරබයාද වැඬේ යෙදන්නේ කියන එක උඩ. ඒකට කියන්නේ අකුරක ප‍්‍රකාශන ශක්තිය කියලා. ඉස්සර පත්තරවල හෙඞ්ලයින් අතින් අඳින කාලේ, මිනීමැරුමක හෙඞ්ලයින් එකකින් ලේ බේරෙන විදියටයි අඳින්නේ. එතකොට නිව්ස් එකෙන් කියන එක හෙඩිමෙන්ම කියලා ඉවරයි.’


වෙනත් ඕනෑම භාෂාවක අකුරක් මෙන් සිංහලයේ අකුරු ද සියවස් ගණනක පරිණාමයේ ප‍්‍රතිඵලයකි. ඒ පරිණාමය නිසා අකුරුවලට ආවේණික ගුණ පිහිටයි. සිංහල අකුරක ප‍්‍රමුඛ ආවේණික ගුණය නම් රවුම් හැඩයයි. ඊට අමතර ලක්‍ෂණ රාශියක්ද සිංහල අකුරක තිබේ. අකුරු නිමවන විට මේ ‘උපන් ගුණ’ සිහිකල්පනාවට ගෙන එය කළ යුතුය.


‘මං කිසිසේත්ම අකුරක තියෙන අනන්‍යතාවට හානිකරලා අලූතෙන් අඳින්න හිතන්නේම නැහැ. අපේ පැරැුන්නන් අතින් අකුරු ඇඳලා නැවතිච්ච තැනක් තියෙනවානේ. ඒ තැන තහවුරු කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ අංග ලක්‍ෂණ බිඳිනවා වෙනුවට ඒවාවලින් අපේ අනන්‍යතාව තහවුරු කරන්නයි මම හිතන්නේ. මම අකුරු නිර්මාණය කළ මුල් කාලේ සියලූ භාෂා ශාස්ත‍්‍රඥයන් ළඟට අකුරු අරගෙන ගියා. ජේබී දිසානායක කිව්වේ, චයන්නයි වයන්නයි වෙන වෙනම අඳුනගන්න බැරි නම් ඔයාගේ අකුරුවලින් වැඩක් නෑ කියලා. චයන්නේ ඉර දික්වෙලා අකුර කැත වෙන්න පුළුවන්, හැබැයි ඒ ඉර ඕනෑ. මම මුලින්ම ඇඳපු ඒවායේ ඒ අඩුපාඩු තිබුණා. අද වෙනකොට එවැනි වැරදි කෙරෙන්න ඉඩක් තියන්නේ නෑ.’


සිංහල අකුරු රවුම් වීම නිර්මාණයට පහසුවක් වෙනවා නේද?


‘ඒක තාක්‍ෂණික වශයෙන් ඉතාම අමාරුයි. සිංහල අකුරු රවුම් වුණාට ජ්‍යාමිතික ලක්‍ෂණ හුඟාක් අඩුයි. රයන්නේදී උඩින් යටින් තිරස් ඉරි දෙකයි. සයන්නට ඉරි හතරයි. පයන්නට තුනයි. මහාප‍්‍රාණ ඨියන්නට ඉරි 8ක් 9ක් විතර එනවා. ඒක තමයි භයානකම අකුර. සෞන්දර්යාත්මකව ගත්තාම අපේ අකුරු හරිම හැඩයි. ඒත් නිර්මාණය කරන්න ගියාම හරිම අමාරුයි.’
එහෙත්, ෆොන්ට් මාස්ටර්ගේ අකුරු නිතර දෙවේලේ භාවිත කරන්නන් බහුතරයකට නම් ඒ අකුරු නිර්මාණය පිටුපස ඇති විඳීම, දැක්ම තේරෙන්නේ නැත. එනිසාම, පත්තරවල සිට මරණ දැන්වීම් දක්වා ඒ අකුරු අපයෝජනයට ලක්වන අවස්ථා විරල නැත.


‘මට නම් තියෙන්නේ අකුරු අවභාවිත කරනවා වගේ හැඟීමක්. අපේ මිනිස්සු සෞන්දර්ය, රවුම් කියන දේවලට ආසයිනේ. ‘අර්ජුන්’ අකුර නිර්මාණය වෙන්නේ ඒ සෞන්දර්යාත්මක ගුණයක් එක්ක. ඒ ගුණය අනුව ඒක පාවිච්චි කළ යුතු තලයකුත් තියෙනවා. මගුල් ඇරියුම් පතකට, සුබපැතුම් පතකට වගේ ලාලිත්‍යයක් දනවන තැනකට තමයි ඒක ගැළපෙන්නේ. ඒත් මළගෙවල්වල බැනර්වලටත් ඒක පාවිච්චි වෙනකොට නම්, මටත් මැරෙන්න හිතෙනවා.’
ටෙක්ස්ට් ෆොන්ට් එකක් හෙවත් පොතක, පත්තරයක අන්තර්ගතය මුද්‍රණය කරන්නට දැන් තියෙන ප‍්‍රශස්තම අකුර ‘අභය’යි. එවැනි වැඩකට කිසිසේත් නොගැළපෙන ‘මලිති’ ෆොනුරුවෙන් ලිපි නිමවන පුවත්පත්ද ලංකාවේ තිබේ. ඒ ඉතින් පත්තරය කරවන්නන්ගේ සිතීමේ පරාසයට අනුවය. එහෙත්, අභයද පුෂ්පානන්ද අතින්ම තවමත් පරිණාමය වෙයි.


‘උදාහරණයකට ක‍්‍රිම්සන් කියන ඉංග‍්‍රීසි ටෙක්ස්ට් ෆොන්ට් එක නැවත නැවත වෙනස් වෙනවා. දියුණු වෙනවා. එකම ෆොන්ට් එකක වුණත්, ලොකු පොඩි වෙනකොට අකුරුවල වෙනස්කම් සිදුවිය යුතුයි. අභය ෆොන්ට් එක තමයි ටෙක්ස්ට් එකකට හොඳම එක. ඒත් එක පවා දියුණු කරලා මම ‘තේජානි’ කියලා හැඩයක් අලූතෙන් කළා. ‘රැස’ පත්තරේ ගහන්නේ ඒ අකුරෙන්. එවැනි දේවල් ලෝකේ පුරා දිගටම සිදුවෙනවා.’


ෆොන්ට්වලටත් පවුල් හෙවත් කුලක තිබේ. උදාහරණයක් හැටියට මලිතියි ගංගානියි එක පවුලකය. සන්ධ්‍යානියි, රශ්මියි තවත් පවුලකය. අකුරු ගැන නොදන්නාවුන් කරන්නේ මේ පවුල් කඩා ඉහිරවා, තමන්ට ඕනෑ අකුරක් එළහරකා සහ මීහරකා ලෙස එකට ඈඳීමය.
‘සමහරු හිතන්නේ විවිධ ෆොන්ට් තිබීම තමයි හොඳ කියලා. ලෝකේ කොහේවත් තියෙන හැම ෆොන්ට් එකක්ම පාවිච්චි කෙරෙන්නේ නැහැ. මම මෙච්චර ෆොන්ට් ඇන්දාට මගේ කිසිම වැඩකට මගේ ඔක්කොම ෆොන්ට් පාවිච්චි වෙන්නේ නැහැ. මම කළ නිර්මාණ පාවිච්චි කරන්න වැඩ නැතුව මමම දුක්වෙනවා. ජාතික පුවත්පතක ප‍්‍රධාන සිරස්තලය ඇරුණාම, අනෙක් පුවත්වල හෙඩිමයි ටෙක්ස්ට් එකයි එකම පවුලක වෙන්න ඕනෑ.’


මුලින් කී ලෙසම, සිංහල පරිගණක අකුරුවල මේ අවධිය ලියැවෙන්නේ ෆොන්ට් මාස්ටර්ගේ හෙවත් පුෂ්පානන්දගේ නමිනි. අකුරුවල මෑත ඉතිහාසය මාරුකළ පුද්ගලයා ඔහුය.
‘මිනිසුන්ට මගේ වැඩ ගැන මතකයක් තියෙනවා. ගායකයෙක් පෙනීහිටින්නේ ගීතයක් යන වෙලාවට විතරයි. නළුවා පෙනෙන්නේ තිරයේ පෙනීහිටින වෙලාවට විතරයි. ඒත් මගේ අකුරු හැම මොහොතම, හැම වෙලාවෙම රට හැම තැනම තියෙනවා. පත්තරවල, පොතක සිට ලූණු පැකට් එකේ ඉඳලා ඉතාම කුඩා ලේබල් එකක් දක්වා මගේ අකුරු තමයි තියෙන්නේ. එනිසා භාවිතය පැත්තෙන් සියයට අනූපහක්ම මමමයි ඉන්නේ. යන යන හැම තැනම මගේ ෆොන්ට්මයි තියෙන්නේ. ඒ කෑලි දෙකේදී මම සියයට සියයක්ම තෘප්තිමත්. ඒත් රටේ සමස්ත අක්‍ෂර භාවිතය සඳහා තවමත් මෝස්තර මදි. එතැනදී මම තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ කොටස ඉටුකරන්න මගේ හිතේ අඩුවක් තියෙනවා. ඒ අඩුව විසින් තමයි මාව වැඩකරන්න මෙහෙයවන්නේ.’x

x අරුණ ජයවර්ධන