■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

ඔබ හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙස හැදින්වූවාට කමක් නැද්ද?
මුල් කාලේ මම රඟපෑ ප්‍රසන්නජිත් අබේසූරියගේ ‘දුක්ගන්නාරාළ’, සෝමරත්න දිසානායකගේ ‘මීපුර වැසියෝ’, සෝමලතා සුබසිංහගේ ‘ඇන්ටිගනී, යමදම්, හිම කුමාරි’ වගේ වේදිකා නාට්‍යවල මම රඟපෑවේ හාස්‍යෝත්පාදක චරිත නෙමේ. මෑතක නිෂ්පාදනය වුණු ධර්මප්‍රිය ඩයස්ගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය්දි මා හාස්‍යෝත්පාද චරිතයක් සඳහා තෝරාගත්තා. කාලයක් තිස්සේ සිනමාවේ, ටෙලිනාට්‍යවල එවැනි චරිත රඟපෑ නිසා වෙන්න ඇති මට ඒ නාට්‍යයේ එහෙම චරිතයක් ලැබුණේ.
පොඩි කාලේ ඉඳන් රට්ටු හිනස්සපු එක තමයි කළේ. පොඩි කාලේ ගෙදර අයව හිනැස්සුවා. ඉස්කෝලෙදීත් ඉගෙන ගත්තාට වැඩිය ළමයි හිනැස්සුවා. මහවැලි අධිකාරියේ රස්සාව කරනකොට මගේ කාර්යාල සගයෝ කෑම පැයේදි මගේ වටේට එකතු වුණේ කෑම කනවාට වඩා මගේ විහිළු කතා අහන්න. එහෙම අනෙකාව හිනස්සන්න දක්ෂතාවක්, ආසාවක් මා තුළ තිබුණා. එඩී ජයමාන්න, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ජෝ අබේවික්‍රම වගේ අයගේ රංගනයන්ට ඉතාම ආසාවෙන් හිටියේ. එඩී ජයමාන්න මහත්තයාගේ ඉඳලා මෙතෙක් ආ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් ප්‍රමාණාත්මකව අඩුයි. චරිතාංග නළුනිළියෝ නම් විශාල සංඛ්‍යාවක් හිටියා, ඉන්නවා. ඒ සීමිත බව නිසාත්, හාස්‍යෝත්පාදක රංගනයට මගේ තිබූ කැමැත්ත නිසාත් අවසානේ මම හාස්‍යෝත්පාදක නළුවෙක් වෙලා තියෙනවා. මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා කියලානේ අපේ සමාජයේ කියන්නේ, ඒත් යමෙක් මාව හාස්‍යෝත්පාදක නළුවෙක් කියලා හඳුන්වනවා නම් ඒක මම ගෞරවයක් හැටියට සලකනවා. මිනිස්සු හිනස්සන එක ලේසි පහසු වැඩක් නෙමේ. අර්ථයක් ඇතුව හිනස්සන එක ඊටත් වඩා අමාරු දෙයක්. එහෙම දක්ෂතාවක් මා තුළ තිබීම ගැන මම සතුටු වෙනවා.

දෙපැත්ත කැපෙන කතා කීම හාස්‍යෝත්පදක රංගනයද?
ගම්මඩු, දෙවොල්මඩු වගේ සාම්ප්‍රදායික අවස්ථාවලදි බොහෝ විට දෙපැත්ත කැපෙන වචන යෙදුවා. ඒවායේ මේ යෙදුම් භාවිත කරන්නේ පාන්දර ජාමේ. නිදිමත එන වෙලාවේ ප්‍රේක්ෂකයාගේ අවධානය රඳවා ගන්න. ඒ වෙනකොට වැඩිහිටියෝ විතරයි ඇහැරලා ඉන්නේ. පොඩි එවුන් නිදි. ඇහැරලා හිටියත් තේරෙන්නේ නෑ. දෙපිට කැපෙනවා කියන්නෙම තේරුම් දෙකක් තියෙනවා එකනේ. යටි අරුත තේරෙන කෙනාට බකස් ගාලා හිනා යනවා. තේරෙන්නේ නැති සමහරු ඔක්කොම හිනා වෙන නිසා හිනා වට පිට බලලා තේරුණ බව අනික් අයට අඟවන්න හිනා වෙනවා. මම ප්‍රියන්ත සෙනෙවිරත්න එක්ක කළ බොහෝ වැඩසටහන්වල මේ වගේ දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ එකක්වත් පොඩි ළමයි ඉන්න, පවුලේ හැමෝම ඉන්න ප්‍රේක්ෂාගාරවලදි කළ ඒවා නෙමෙයි. අපි ශිෂ්‍යත්ව ළමයි ඉන්න ප්‍රේක්ෂාගාරවලත් හාස්‍යෝත්පාදක වැඩසටහන් කරලා තියෙනවා. මව්පියෝ, දරුවෝ එකට ඉන්න ප්‍රේක්ෂාගාරවලත් කරලා තියෙනවා. ඒ තැන්වලට ගැළපෙන ලෙස තමයි අපි ඒ වැඩසටහන් කරලා තියෙන්නේ. බොහෝ ආයතනවල රසවින්දන වැඩසටහන්වලදී කාර්යමණ්ඩලයේ සීයක් විතර ඉන්නේ. ඒ අයගේ කාර්යාල පරිශ්‍රයේ, නැත්නම් වෙන් කරගත්ත හෝටලයක් ඇතුළේ මේවා කරන්නේ. ඒ වගේ තැනක කරන දෙයක් අපේ අනුදැනුමකින් තොරව අන්තර්ජාලයට, සමාජ මාධ්‍යට මුදා හැරියාමයි ප්‍රශ්නය ඇති වෙන්නේ. අපි කාමරයක් ඇතුළේ කරන දේවල් වීඩියෝ කරලා යූටියුබ්, ෆේස්බුක් දාන්නේ නෑනේ. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි චිත්‍රපටත් කෙරෙනවා. අපි පොඩි අයව අරන් ඒවා බලන්න යන්නේ නෑනේ. ඒකයි ඒවා වෙනම තෝරාගත්ත ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නේ. කාර්යාලවල වැඩ කරනකොට දෙපැත්ත කැපෙන කතා කියන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒවායින් වැඩිහිටියෝ සතුටක් ලබනවා. හැබැයි ඒ දෙපැත්ත කැපෙන කතාවල නිර්මාණාත්මක බවක්, අපූරු බවක් තිබිය යුතුයි. මෙවැනි වැඩසටහන් බොහෝමයක් කරන්නේ යම් වෙළඳ නාමයක් හෝ භාණ්ඩයක් ප්‍රවර්ධනය කරන්න. එතකොට ඒ භාණ්ඩයේ හෝ නාමයේ කීර්තියට හානි නොවන ආකාරයෙන් ඒ දේවල් කරන්නත් අපි කටයුතු කරන්න ඕනෑ. සමහර අය ඒ වගේ තැන්වලත් කළ ජුගුප්සාජනක විහිළු අපි දැකලා තියෙනවා. ඒවා බහුඅරුත් විහිළු නෙමෙයි. අරුත්සුන් විහිළු.

කලින් පරපුරේ හාස්‍යෝත්පාද රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන ඔබේ අදහස මොකක්ද?
ජෝ මහත්තයා, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා වගේ රංගන ශිල්පීන් කළ විහිළු පුදුම හිතෙනවා. ඒ අය එක්ක බැලුවාම අපි ඉන්නේ ගොඩාක් පහළින්. බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වගේ අයගේ මුල් කාලේත් ඒ උසස් ගතිය තිබුණා. පසුකාලීනව සමස්ත නිර්මාණවල ගුණාත්මකභාවය පිරිහෙන්න පටන් ගත්තා. ඒ පිරිහීම හාස්‍යෝත්පාදක රංගනයටත් බලපෑවා.
හාස්‍ය රංගන ශිල්පියෙකුට සාර්ථක රංගනයක් ඉදිරිපත් කරන්න නම් හොඳ පිටපතික් ලැබෙන්න ඕනෑ. හාස්‍ය පිටපත් ලිවීම අමාරු වැඩක්. ලේසියෙන් ලියන්න පුළුවන්කම තියෙනවා නම් මටත් අවුරුද්ද පතා ‘සිකුරු හතේ’ වගේ චිත්‍රපට ලියන්න තිබුණා. එහෙම ලියන්න බෑ. පිටපතේ මේ චරිතය හෝ අවස්ථා හොඳින් ගොඩනගලා නැති අවස්ථාවක නළුනිළියෝ කොයිතරම් වැටිලා දඟලලා කෑගැහුවත් හාස්‍යය උත්පාදනය වෙන්නේ නෑ. පිටපතේ එහෙම දෙයක් නැත්නම් මොන තරම් දක්ෂ හාස්‍ය රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණත් අසරණ වෙනවා, අතරමං වෙනවා, ඔහු කරන වැඩේ ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැතුව යනවා. මමත් එහෙම අතරමං වෙලා තියෙනවා. ඉතිහාසයේ සිටිය ඇතැම් හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් ඒ වැඩේ සිද්ධවුණ අවස්ථා අපි දැකලා තියෙනවා.
බී.එස්. පෙරේරා, අන්තනී සී. පෙරේරා හියුගෝ මාස්ටර්, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන, ජෝ අබේවික්‍රම වගේ අයගේ මට්ටමට එන්න අද කවුරුවත් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. ජයලත් මනෝරත්න වේදිකාවේත්, සිනමාවෙත්, ටෙලිනාට්‍යයේත් හොඳින් හාස්‍යය මතු කළ රංගන ශිල්පියෙක්. මගේ අලුත්ම චිත්‍රපටය වන ‘කතුරු මිතුරු’ චිත්‍රපටය ආවොත් හිතාගන්න පුළුවන් ඔහුගේ හාස්‍ය රංගනය කොහොමද කියලා. ඒ වගේ සුන්දරව අනෙක් අයව රස ගන්වලා තියාගන්න පුළුවන් මනුස්සයෙක් මම දැකලා නෑ. ගීත ගායනයෙන්, කතා කීමෙන් එතුමා අනෙක් අයව රසවත් කළා. හාස්‍යෝත්පාදනය කියන්නේ වොලිබෝල් තරගයක ඩෑෂ් ගහනවා වාගේ වැඩක්. ඩෑෂ් එකක් ගහන්න කොච්චර හොඳ ඩෑෂර් කෙනෙක් හිටියත් එයාට හොඳට බෝලේ ඔසවලා දෙන පාසර් කෙනෙක් නැත්නම් වැඩක් නෑ. පාසර්යි, ඩෑෂර්යි දෙන්නාම ඩෑෂ් ගහන්න ගියොත් බෝලේ අහක යනවා. මම දැකපු හොඳම ඩෑෂර් හා පාසර් තමයි රොඩ්නි වර්ණකුලයි, විජය නන්දසිරියි. ‘නෝනාවරුනි මහත්වරුනි, එතුමා’ නාට්‍යවල රොඩ්නි ඩෑෂ්එක ගහනකොට විජය නන්දසිරි හොඳට උස්සලා දෙනවා. විජය නන්දසිරි ඩෑෂ් එක ගහනකොට රොඩ්නි උස්සලා දෙනවා.

හස්‍යෝත්පාදක චිත්‍රපට ශානරයේ විකාශය ගැන ඔබේ අදහස මොකක්ද?
‘සිවම්මා ධනපාල, විදුර, වීදිය බණ්ඩාර’ වගේ නාට්‍යවල අපේ චිත්‍රපටවල ඉන්නවා වගේ හාස්‍යෝත්පාදක චරිතයක් තිබුණා. සමුද්‍රදේවී වේදිකා නාට්‍යයේ රන්මල් කියන චරිතය හාස්‍යෝත්පාදක චරිතයක්. වතාවක් ඒ නාට්‍යය ටවර් හෝල් එකේ දින ගණනක් එක දිගට පෙන්නුවා. දවසින්, දවසට රඟපාන නළුනිළියෝ වෙනස්. ප්‍රේමදාස මහත්තයා තමයි ඒක සංවිධානය කරලා කෙරෙව්වේ. සුනිල් හෙට්ටිආරච්චි, ලින්ටන් සේමගේ රන්මල් චරිතය රඟපෑවා. වෙස්සන්තර නාට්‍යයේ හාස්‍යෝතපාදක චරිත තිබුණා. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්මක විඝටන න්‍යායට අනුව වගේ දුක එනකොට ඒ මැදට පොඩි විහිළුවක්, සිංදුවක් යනවා. ලංකාවේ හැදුණු මුල් කාලේ චිත්‍රපටවලට විහිළු චරිතය ආවා. ‘කොළඹ සන්නිය, අල්ලපු ගෙදර’ වගේ හාස්‍යෝත්පාදක චිත්‍රපට නිර්මාණය වෙන්න පටන් ගත්තා. අපි සිකුරු හතේ වගේ දක්වා විකාශය වෙන්නේ ඒ ගමන තමයි. මුල් කාලීන හාස්‍යෝත්පාදක චිත්‍රපටවල පැහැදිලි කතාවක් තිබුණේ නැති තරම්. සිකුරු හතේ චිත්‍රපටයට ඒ තරම් ජනප්‍රිය වෙලා විශාල ප්‍රතිචාර දිනා ගන්න පුළුවන් වුණේ ඒකේ හොඳ කතාවක්, තේමාවක් තිබුණ නිසා වෙන්න ඇති. චිත්‍රපටයේ කතාවට අනුව තමයි හාස්‍යෝත්පාදක චරිත ගොඩනැගෙන්නේ. සමහර චිත්‍රපටවල හාස්‍යෝත්පාදක චරිත තිබුණේ කතා තේමාවට පිටින්.

හාස්‍යෝත්පාදක නළුවෙකුට හොඳම නළුවා වෙන්න බැරිද?
වාණිජ චිත්‍රපට, සම්භාව්‍ය චිත්‍රපට, හාස්‍යෝත්පාදක චිත්‍රපට කියලා චිත්‍රපට බෙදා වෙන් කරනවානේ. රංගනයට සම්මාන දෙනකොට එහෙම බෙදන්න හොඳ නෑ. හැමෝම රඟපානවා. හාස්‍යෝත්පාද නළුවෙකුට, එවැනි රංගනයකට හොඳම නළුවා සම්මානය දෙනවා අපි කවදාවත් දැකලා නෑ. සිනමාව, කලාව ඇතුළේ හාස්‍ය රංගනය මේ රටේ ගොඩනැගුණු ආකාරය, ඒවාට අර්ථකථන සැපයුණු ආකාරය එක්ක හාස්‍ය රංගනය පහළ මට්ටමකට දාලා තියෙන්නේ. හාස්‍ය රංගනය කුඩා වෙලා, ලාබ වෙලා, බාල වෙලා තියෙන්නේ. හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකුට, ශිල්පිනියකට සම්මානයක් දුන්නොත් විනිශ්චය මණ්ඩලය බාල වෙයි කියලා විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන්ට බයක් තියෙනවා. පෞද්ගලිකව හමු වුණාම නම් ඔයා හරි ෂෝක් හොඳට අර චරිතේ කළානේ කියලා කියලා අපට කියනවා. සම්මාන දෙන්නේ නෑ. සම්මාන උළෙල විනිශ්චය කරන්න ඉන්නේ කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්ය පිරිසක්නේ. අපට හිතෙන්නේ හාස්‍යෝත්පාදක නළුවෙක් හොඳම නළුවා කිරීමේ හැකියාවක් නෑ කියලා ඒ අය පූර්ව කොන්දේසියක ඉන්නවා කියලා. හාස්‍යෝත්පාදක රංගනය ලේසියි කියලා ඒ අය හිතනවා ඇති. ඒ ඒ අවස්ථාවට නළුවා මුහුණ දෙන ආකාරය තමයි රඟපෑම කියන්නේ. ඒ අවස්ථාව තීව්‍ර වෙනවා නම් එතන හොඳ රඟපෑමක් තියෙනවා. චිත්‍රපටයේ සිද්ධියක් ගොඩනගාගෙන යනකොට ඒ සිද්ධිය කොයි ආකාරයට ප්‍රේක්ෂකයාට ගෝචර වෙනවද කියන එක මතයි චරිතය හාස්‍යෝත්පාදද, චරිතාංගද කියලා තීරණය වෙන්නේ. ඒ ඕනෑම චරිතයක් හොඳින් කරනවා නම් ඔහු හොඳම නළුවා තමයි. හාස්‍යෝත්පාදක රංගනයට ඇයි මෙහෙම සලකන්නේ කියන දුක අපි හැමෝගෙම හිතේ තියෙනවා. හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමන් ඇගයීමට පත් නොවීම පිළිබඳව කනගාටුවෙන් ඉඳලා මැරිලා ගිය අවස්ථා කොයි තරම් මේ කලා ක්ෂේත්‍රයේ තියෙනවාද?■