කම්කරු දිනය මැයි 7 වැනි දාට කල් දමා ඇත. කම්කරු දිනය මැයි 1 වැනි දා හෝ 7 වැනි දා සැමරීම බරපතළ අවුලක් නොවේ. එය මැයි මාසයේ නොව, වෙනත් මාසයක සැමරුවත්, අධික අවුරුද්දක් එන්නා සේ අවුරුදු හතරකට වරක් සැමරුවත්, ප‍්‍රශ්නයක් නැත. ඒ තරමට, පූජනීය සංකේතවල අරුත් අද වන විට සුණුවිසුණු වී ඇති බැවිනි. උදාහරණයක් වශයෙන්, කිසි දවසක හීනෙන්වත් පිණ්ඩපාතේ වැඩ නැති උඩුවේ ධම්මාලෝක හිමියන්, අලි හොරකමකට හිරේට (රක්ෂිත බන්ධනාගාරයට) යද්දී ලොකු පාත්තරයක් කරේ එල්ලාගෙන ගියා සේ ය. නිදහස් ජීවිතය තුළ පිණ්ඩපාතේ වඩින්නට නොහැකි වූ ‘පාපය’, හිරගේ ඇතුළේදීවත් සමා කරවා ගන්නට විය හැකිය. සංකේතය (මැයි 1) සහ ඒ පසුපස ඇති ‘ශ‍්‍රමයේ සුජාත අයිතියට’ අදාළ සහසම්බන්ධය, කැඞී ගොස් ඇත්තේ ද එයාකාරයෙනි. ඒ නිසා හුදෙක් මැයි දිනයේ වෙනස මට අවුලක් නොවේ. එහෙත් මේ තීරණයට පාදක වන හේතුව බරපතළ අවුලකි. ඒ කුමක්ද? වෙසක් ‘දවස’, වෙසක් ‘සතියක්’ බවට පරිවර්තනය වීම තුළ කියැවෙන ලංකාවේ වර්තමාන පෙළගැසීමයි.

දැන්, ඒ වෙසක් සංකේතය දෙසට හැරෙමු. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුලම සංගෘහිත වන්නේ (සතියක නොව) තනි දිනයකයි. එහෙත්, ශ‍්‍රී ලංකාව පිරිසුදු බෞද්ධ රටක් සේ පිළිගැනෙන නිසාම, සංකේතය (වෙසක් පෝය* දින හතකට ප‍්‍රසාරණය වීම තාත්වික නැතැයි කෙනෙකුට කිව නොහැක. අනිත් පැත්තෙන්, ඒ ප‍්‍රසාරණය සඳහා, දැනටත් එළිපත්තේ සිටින කම්කරුවා/නිර්ධනයාව, පස්සට පයින් ගසා, මිදුලට වීසි කිරීමත් අතාත්වික නැත. එක සංකේතයක් පිම්බෙන්නේ, තවත් සංකේතයක් ගොදුරට ගනිමිනි.

මෙය, ජාති(ක)වාදියෙකු යැයි කියන මෛත‍්‍රීපාල සිරිසේනටවත්, නව-ලිබරල්වාදියෙකු යැයි කියන රනිල් වික‍්‍රමසිංහටවත් පටලැවිල්ලක් නොවේ. එහෙත්, මාක්ස්වාදී පක්ෂයක් සේ සැලකෙන ජනතා විමුක්ති පෙරමුණට එය, දෙපැත්තෙන්ම පාවිච්චියට ගත හැකි ‘ස්වාභාවික’ දෙයක් වන්නේ කෙසේද? ඔවුන්ගේ මැයි දින දෙකක් තිබේ. පෙම්වතුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ආදි වශයෙන් වන සැමරුම් දින, වසරකට අඩු වශයෙන් දින කිහිපයක් දක්වාවත් වැඩි කර ගත හැක්කේ නම් මම කැමැත්තෙමි. ආදරය යනු, දිනපතා සැමරුවත් අතිරික්තයක් නොවන දෙයක් බැවිනි. ‘ශ‍්‍රමයේ සුජාත අයිතිය’ පිළිබඳ දිනයත් එසේමැයි. එබැවින්, ජනතා විමුක්ති පෙරමුණ, එක දිනයක් වෙනුවට දින දෙකක් ඒ සඳහා යොදාගෙන තිබීම අගේ කළ යුතුය. ඒ, මැයි 1 වැනි දා සහ මැයි 7 වැනි දා ය. එහෙත් දින දෙකක් එසේ යොදා ගැනීම පසුපස ඇති හේතුව කුමක්ද? පටලැවිල්ල ඇත්තේ එතැනයි.

කම්කරුවන්ගේ ඝෝෂාවෙන් වෙසක් පූජනීයත්වය කිළිටි විය හැකි නිසා මැයි දිනය සතියකින් පස්සට දමන්නැයි මහනායක හිමිවරන් ඉල්ලා සිටි බව කියැවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකත්පස්ව ඊට අනුමැතිය පෑහ. වෙසක් පෝය වැටෙන්නේ අපේ‍්‍රල් 29 වැනි දාට ය. කම්කරු දිනය එන්නේ එයින් දවස් දෙකක් ගිය තැන ය.

කම්කරු ඝෝෂාව නිසා, ඊට දින දෙකකට කලින් එන වෙසක් පෝයේ පූජනීයත්වය කිළිටි විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇති බව පැහැදිලි ය. මැයි 1 වැනි දා කම්කරු දිනය ඔවුන් යාපනේ පවත්වන්නේත්, මහනායක හිමිවරුන් නියම කර ඇති දකුණේ කම්කරු දිනය මැයි 7 වැනි දා කොළඹදී පවත්වන්නේත් එබැවිනි. මේ දින දෙක ආපස්සට හරවමින්, මැයි 1 වැනි දා කොළඹදීත්, මැයි 7 වැනි දා යාපනේදීත් කම්කරු දිනය පැවැත්වීමේ හැකියාවක් හෝ හයියක් මේ මාක්ස්වාදී පක්ෂයට නොතිබුණේ ඇයි? දකුණේ සිංහල-බෞද්ධ සංකේතීය මනෝභාවය, කම්කරුවාගේ සුජාත ශ‍්‍රම අයිතියට වඩා, මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂයකට වුව, දේශපාලනික වශයෙන් වැදගත් වන බැවිනි. ඒ නිසා, දෙමළාගේ භූමිය මැයි 1 වැනි දා ‘කුලියට’ ඉල්ලා ගැනීමට, සිංහල-බෞද්ධ මාක්ස්වාදයට සිදුව තිබේ. හරියට, ගෙදර වහල අලූත්වැඩියා කරන දවසට වෙනත් ගෙදරක තාවකාලික පදිංචියට යන්නා සේ ය.

දෙවැනි සිල්ලර දර්ශකය සැපයෙන්නේ දේශපාලනඥයන් හතර පස් දෙනෙකුගෙනි. 2015 දීත් ජනාධිපතිවරණය දිනන්නේ මෛත‍්‍රීපාල සිරිසේන බව දුමින්ද දිසානායක කියා තිබුණි. මායාවෙන් යථාර්ථය වෙනස් වන්නේ, ඒ දෙක අතර ඇති භෞතික දුරක් නිසා නොව, ලෝක දෙකක හෙවත් සත්තාවන් දෙකක පදනම් ගල් අතරේ නොපැහීමක් පවතින බැවිනි. යහපත් මිනිසුන්ට පවා විටෙක ඒ සරල වෙනස නොතේරේ. මේ අතර, තමන්ට බලය දුන්නොත් දිනන හැටි මෛත‍්‍රීපාල සිරිසේනට කියා දිය හැකි බව ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක කියා තිබුණි. මේ දෙන්නා, මහින්ද රාජපක්ෂගේ බලය යටතේත්, මෛත‍්‍රීපාල සිරිසේනගේ බලය යටතේත් තමන්ගේ ආසනවලින්ම ලැබ ඇති පරාජයන් ගැන ඔවුන්ට මතක් කර දීමට කෙනෙකු වෙහෙස විය යුතු නැත. ලැජ්ජාව නැතිකම අසාධ්‍ය රෝගයක් වූ විට කළ හැකි ප‍්‍රතිකාර තවම සොයාගෙන නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ දෙගොල්ලන්ට සරිලන්නට එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායකත් අභියෝගාත්මක ප‍්‍රකාශයක් කර තිබේ. එනම්, තමාට නැවත ඇමතිකම දුන්නොත් දින සීයෙන් රට ගොඩගන්නා බව ය. එවැනි දින සීයේ කෑලි දහයකටත් වැඩි ප‍්‍රමාණයක් තිස්සේ ඇමතිකම දැරූ දේශපාලනඥයෙකු එසේ කියන විට අප සිනාසිය යුතුද නැත්නම් හැඬිය යුතුද යන්න ප‍්‍රශ්නයකි.

මේ සිල්ලර දර්ශක දෙක මගින් අප ඉන්නා නිවසේ වටපිටාව කොතෙක් හැඩි වී ඇත්ද යන්න පෙන්නුම් කරයි. යහපාලන ව්‍යාපෘතිය දියත් කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක බව හිතේ තබා ගැනීම ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් ය. යහපාලනයේ අසාර්ථකත්වය පිළිබඳ කතාවේ ප‍්‍රධාන නළුවන් දෙන්නාගේ භූමිකාව ගැන කතා කිරීමට මා බලාපොරොත්තු වන්නේ එකී පසුබිමත් හිතේ තියාගෙනයි. එහිදී, ප‍්‍රධාන ඉසව් තුනක් ඔස්සේ සාකච්ඡුාව කරගෙන යාමට මා කැමති ය.

ඒවා නම්, එක පැත්තක ඇති අවතක්සේරුවත්. තව පැත්තක ඇති නියාළුවත්. තවත් පැත්තක ඇති උවමනාවේ ස්වභාවයත් ය.

මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ. අවතක්සේරුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? රාජපක්ෂ පාලන තන්ත‍්‍රය යනු, හුදෙක් ආණ්ඩුවක් සහ ආණ්ඩු මාදිලියක් (සුදු වෑන්) වශයෙන් පමණක් නොව, ඊට වඩා අතිශය වැදගත්කමක් ගන්නා, සමාජ සංස්ථිතියක් සහ ආයතනික ඇබ්බැහියක් වශයෙන් වටහා නොගැනීම, අවතක්සේරුවයි. උදාහරණයක් වශයෙන්, රාජපක්ෂ කාලයේ සිටි සොරුන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට තවමත් අප තටමන ආකාරය දැක්විය හැකිය. තනි වචනයකින් කිවහොත්, රාජපක්ෂ යනු සංස්කෘතියකි. ඒ සංස්කෘතිය, හුදෙක් රාජපක්ෂ සහෝදරයන් විසින් පමණක් ඇති කළ දෙයක් යැයි සිතිය යුතු නැත. පුද්ගල සාධක මත ඉතිහාසය නොයෙක් වර වෙනස් වී ඇතත්, ඒ පුද්ගලයන් පසුපස හැම විටකම පාහේ, සංකීර්ණ සමාජ සාධක ක‍්‍රියාත්මක වී තිබේ. මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගතහොත්, බණ්ඩාරනායක විසින් පටන්ගෙන, ප‍්‍රභාකරන් විසින් අවසන් කර දුන් එක් ඓතිහාසික යුගයක හයිය/වාසිය ඔහුට නොමඳව තිබුණි.

මෙය, දකුණේ අප අරුත් ගන්වා ඇත්තේ, ප‍්‍රභාකරන් විසින් නොව, මහින්ද රාජපක්ෂ විසින් අවසානයකට පත්කරන ලද නරක කලදසාවක් වශයෙනි. ඒ කියන්නේ, යුද්ධයේ අවසානය ගැන ය. එය භෞතික කාරණයකි. එහි කර්තෘත්වය හිමි විය යුත්තේ, ප‍්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂට තමයි. ඒ, එක්තරා නිශ්චිත මොහොතකදී යුද්ධයට අවශ්‍ය කළ දේශපාලනික නායකත්වය සැපයූ බැවිනි. එහෙත් අප මේ කතා කරන්නේ, ඒ භෞතික කාරණය ගැන නොව, යුද්ධ කාලය පුරා දකුණේ චින්තනය තුළ ඇති කරන ලද මනෝභාවය පිළිබඳව ය. 1956 ‘විප්ලවයෙන්’ බණ්ඩාරනායකට සාක්ෂාත් කර ගත නොහැකි වූ එක දෙයක් තිබුණි. ඒ, සිවුර පෘථග්ජන සාධකයක් වශයෙන් දේශපාලන කරලියට ගෙනඒමේ ප‍්‍රයත්නයයි. ඔහුගේ පංච මහා බලවේගයේ (සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු* පළමු ස්ථානය ඊට දී තිබුණත්, එම සිවුර විසින්ම ඔහු ඝාතනය කරන ලද නිසා, ‘සිවුරු ව්‍යාපෘතිය’ එදා අසාර්ථක විය. ඔහුගේ ඝාතනයෙන් පසු ඔහුගේ ඒ ව්‍යාපෘතිය වෙනත් රාමුවකින් කරට ගත්තේ, උතුරේ ප‍්‍රභාකරන් ය. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, සිවුරට තවත් සාධකයක් එකතු කොට රට මත පැටවීමට 2009 ප‍්‍රභාකරන්ගේ මරණය සමත් විය. ඒ වනාහි, සිවුර සහ රණවිරුවා ය.

රජ කාලයේ සංඝයා වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බව කියැවේ. එහෙත් ඒ කාලයේ පවා රාජ්‍ය පාලනය තුළ සිවුර අද තරම් ප‍්‍රබල වී ඇත්දැයි සැක සහිත ය. අනිත් අතට, දුටුගැමුණු කාලයේ පවා සිටියේ යැයි මහනාම හිමියන්වත් ලියා නැති රණවිරුවෙකු අද අපට ලැබී ඇත. (එදා සිටියේ දස මහා යෝධයන් පමණි). මේ සියල්ල, යුද්ධයක උරුමයයි. ඉහත කී ‘සංස්කෘතිය’ ව්‍යුත්පන්න වන්නේ එකී සංකීර්ණ උරුමයෙනි. අලියෙකු සොරකම් කරන සුකුමාර භික්ෂුවක් සහ අධිකරණයට අපහාස කළ අසංවර භික්ෂුවක් ලංකාවේ රෝම-ලන්දේසි නීති පද්ධතිය තුළ, දණ්ඩමුක්තියට (නිදැල්ලේ හැසිරීමට) අයිතිය පාන්නේ එබැවිනි. රටේ සම්පත් කොල්ලකෑමට සහාය දුන් බවට සහ රටේ ආරක්ෂාව පරදුවට තැබූ බවට චෝදනා ලබන හිටපු හමුදාපතිවරුන් ‘උසාවියට දක්කාගෙන යාම’ රටේ ජනාධිපතිවරයාගේ උදහසට ලක්වන්නේ එබැවිනි.

ප‍්‍රභාකරන් මැරෙන මොහොතේ, උතුරට එක සාපයකුත්, දකුණට සාප දෙකකුත් කරන්නට ඇතැයි මට සිතේ. උඹලාට තිබුණු දෙය නැවත ලබා ගැනීමට පවා හොඳ පරිප්පුවක් කෑමට සිදු වේවා යැයි ඔහු උතුරට කියන්ට ඇති. පූජනීය විය යුතු සිවුර සහ උදාර විය යුතු රණවිරුවා, ජයග‍්‍රහණයේ උත්කර්ෂය තුළ දූෂ්‍ය වීමෙන්, ඇස්පනාපිට විඳවන්ට වේවා යි ඔහු දකුණට කියන්ට ඇති. (ඉතිරිය ඉදිරියට)