මා මා ගැන සිතන්නේ දේශපාලන අනාවැකි කියන්නෙකු ලෙස නොව, දේශපාලන විග‍්‍රහයේ හා විචාරයේ යෙදෙන්නෙකු ලෙසය. අනාවැකියකට සමාන දෙයක් මගේ ලිපියකින් වක‍්‍රවශයෙන් හෝ ප‍්‍රකාශ වූ විට ‘‘අන්න මම ඕක ඕගොල්ලන්ට කල් තියාම සිදුවේවිය කියලා කිව්වා නේද?’’ කියා ස්වයං වර්ණනයේ යෙදීමද මම නොකරන්නෙමි. එහෙත් පසුගි ය සිකුරාදා ‘‘අනිද්දා’’ පත‍්‍රයේ පළවූ මගේ ලිපිය, පසුගිය අඟහරුවාදා කියවූ මගේ භාර්යාව, ‘‘අයිසේ මෙන්න ඔයා රනිල්ට මෛතී‍්‍ර කරපු දේ ගැන සිකුරාදා උදේම කියලා තියනවානේ. ඔයාට මෛතී‍්‍ර කලින් දවසේ කෝල් එකක්වත් දුන්නද දන්නේ නෑ. යි උපහාසාත්මකව කීවාය.

ගිය සතිය
ඇත්ත වශයෙන්, මෛතී‍්‍ර, රනිල් අගමැති ධූරයෙන් එළවා තම දේශපාලන පසමිතුරු මහින්ද අගමැති කළ 26 වැනි සිකුරාදා අයත් වූ සතිය දෙස ආපසු හැරී බලනවිට, එම සතියේ දේශපාලනයේ ප‍්‍රධාන ලක්ෂණ දෙකක් තිබිණ. පළමුවැන්න, මෛතී‍්‍ර සහ රනිල් අතර ප‍්‍රතිවිරෝධය, සාමකාමීව විසඳිය නොහැකි ලෙස තියුණු වීමේ ලකුණු පහළවීමය. දෙවැන්න, භාරකාර ආණ්ඩුව සැදීමට මහින්ද පාර්ශවය දියත් කළ තිබුණු මෙහෙයුම යටතේ වීමට,නැතහොත් තාවකාලිකව අත්හිටුවීමය. අනිද්දා පත‍්‍රයේ එම සිකුරාදා තිබුණු ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ෆේක් නිව්ස් එකක් නොවූයේ නම් ඒ මඟින්ද කියැවුණේ මේ කාරණයයි. රනිල්ගේ ආණ්ඩුව පෙරළීමේ කෙටිකාලීන අරමුණ මහින්ද අතහරින්නට ඇති බවයි.
එහෙත් ගිය සතිය දෙස නැවත බලන විට පෙනෙන්නේ එම ඇස්තමේන්තුව නිවැරදි නොවන බවයි. සමහර විට, ඒකාබද්ධ විපක්‍ෂය පැත්තෙන් ‘අනිද්දා’ මාධ්‍යවේදීන්ට දී තිබුණු ඉඟිය හිතා මතා කළ එකක් බව දැනේ. එය වනාහී කුණාටුවට පෙර නිහඬතාවක් හිතාමතාම නිර්මාණය කිරීමක් නොවේද?

26 දා
26 වැනිදා සිකුරාදා සැන්දෑවේ සිදුවූ දේශපාලන සිදුවීම ආණ්ඩුව ඇතුළේ එක කණ්ඩායමක් එළවා තවත් කණ්ඩායමක් බලය ඇල්ලීම පිළිබඳව ඉතා අගනා සිද්ධි අධ්‍යයනයකි. එය වනාහී රාජ්‍ය බලය ඇල්ලීම පිළිබඳවූ නීති විද්‍යාලයේ හෝ විශ්ව විද්‍යාලයේ (මා සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලයේ නම් නොවේ) හෝ පවත්වන සෙමෙස්තර පාඨමාලාවක අධ්‍යයන මොඩියුල් එකක් කිරීමට තරම් සාරගර්භ දේවල් තිබෙන සිද්ධි අධ්‍යයනයකි.

බලය ඇල්ලීමට පාඩම්
ආණ්ඩුවක් ඇතුළේ සිට රාජ්‍ය බලය අල්ලන්නට අපේක්‍ෂා කරන දේශපාලනඥයින්ට පහත සඳහන් පාඩම් එම සිද්ධියෙන් ලබාගත හැකිය.
* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සාරය, මූලධර්ම වගන්ති සහ වචන නොසලකා හැර, තමන්ට හිතු පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම පළමු වැන්නයි. රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීමත්, මහින්ද අගමැති ධුරයට පත් කිරීමත්, සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුකළ බව ජනාධිපතිතුමා කියයි. දැනට බල පවත්වන්නේ 19 වැනි සංශෝධනයයි. ජනාධිපතිට තම හිතුමතේ අගමැතිවරයෙකු අස් කිරීමට බලය පවරන කිසිදු වගන්තියක් 19 වැනි සංශෝධනයේ නැත. එහෙත් ඒ ගැන පසුබට විය යුතු නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු පාලකයින් විසින් උල්ලංඝණය නොකළ යුතු ශූද්ධ ලියවිල්ලක් ලෙස සැළකිය යුතු නැත. දේශපාලන බලය රැක ගැනීම පිළිබඳව අභියෝගය තියුණු වී තිබෙන මොහොතක, උල්ලංඝණය නොකරන ව්‍යවස්ථාවකින් ඇති වැඬේ කුමක්ද? කියා සිතන්න.

* තමන් කරන්නට යන දෙයෙහි ව්‍යවස්ථානුකූලභාවය ගැන සැකයක් තිබේ නම් ඒ ගැන උපදෙස් ලබාගත යුත්තේ ව්‍යවස්ථාව හදාරා ඉන්නා අයගෙන් නොව, නීති විද්‍යාලයට ඇතුල්වීමේ විභාගයට උපකාර පන්ති යන හිතවතෙකුගෙනි. ගිය සිකුරාදා ජනාධිපති සිරිසේන මහතා ගත් පියවරේ ව්‍යවස්ථානුකූල භාවය ගැන එතුමා නීති මහාචාර්යවරුන්ගෙන් සහ ජනාධිපති නීතිඥ වරුන්ගෙන් උපදෙස් ලබාගත්තා යැයි මතයක් රටේ පැතිරේ. එය සත්‍ය විය නොහැකිය. එතුමාගේ මෙම නීති උපදේශකයින් තවමත් නීති පීඨයටට හෝ නීති විද්‍යාලයට හෝ ඇතුල්වුවන බවට සාධක නැත.

* තුන්වැනි පාඩම මෙයයි. ‘‘දේශපාලන බලය පිළිබඳ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේදී මාර්ගය නිවැරදි දැයි නොසිතන්න. අරමුණ සහ ප‍්‍රතිඵලය ගැන පමණක් සිතන්න’’ මෙය මහාභාරතයේත්, මධ්‍යකාලීන කි‍්‍රස්තියානි දේවධර්මවාදයේත් එන ආචාරධර්මික මූල ධර්මයකි. එය බෞද්ධ මූලධර්මයක් නම් නොවේ. බෞද්ධ මූලධර්මය වන්නෙ මාර්ගයත්, අරමුණත් දෙකම පිරිසිදු විය යුතුය යන්නයි. රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නයේදී බෞද්ධයෙකු නොවන්න. හින්දු කෞටිල්‍යවාදී සහ මාධ්‍යකාලීන කි‍්‍රස්තියානිවාදී යථාර්ථවාදියෙකු වන්න.
* සිව්වැන්න, දේශපාලන බලය ගැන තීරණාත්මක මොහොතවල්වලදී සාදාකාලින මිතුරන්ද, සදා කාලික සතුරන්ද නැත. ඇත්තේ දේශපාලන ආත්මාර්ථය පමණි. එම දිව්‍යමය මූලධර්මය අපේ මෛතී‍්‍ර නොදන්නේ නම්, රනිල් පන්නනේත්, මහින්ද වැළඳ ගන්නේත් කෙසේද?

මේ විග‍්‍රහය තවත් දිග්ගැස්සිය හැකිය. එහෙත් දේශපාලන බලය ඇල්ලීම පිළිබඳ පාඩම් මීට වඩා නොමිලේ කියා දියයුතු නොවන නිසා, එය නවතා 26 වැනි සිකුරාදා සිදුවීම් වල දේශපාලන ඇඟවීම් කෙටියෙන්වත් කතා කළ යුතුය.

දේශපාලන ඇඟවීම්
26 සිකුරාදා සිදු වූයේ ව්‍යවස්ථානුකූල නොවන දේශපාලන කි‍්‍රයාවකි. අගමැති රනිල් ධූරයෙන් ඉවත් කිරීමේදී ජනාධිපතිතුමා ලියූ ලිපියේ සඳහන් කරන 42 (4) වගන්තියට අනුව, අගමැතිවරයෙකු ව්‍යවස්ථාවට අනුව සිටියදී, අලූත් අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිතුමාට ව්‍යවස්ථානුකූල බලයක් නැත.

* ජනාධිපතිතුමාට අලූත් අගමැතිවරයෙකු පත් කිරීමට ව්‍යවස්ථානුකූල බලය ලැබෙන්නේ අගමැතිධූරයේ පුරප්පාඩුවක් ඇති වූ විට පමණි. මෙය 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපති සහ අගමැති අතර ඇති සම්බන්ධයේ ඇති සුවිශේෂ ලක්ෂණයකි. 1978 මුල් ව්‍යවස්ථාව සහ 18 වැනි සංශෝධනය යටතේ එම හිතුවක්කාර බලය ජනාධිපතිතුමාට තිබුණත්, 19 වැනි සංශෝධනයෙන් එම බලය ඉවත් කෙරිණ.

* 19 වැනි සංශෝධනය යටතේ අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇති වන්නේ සීමිත අවස්ථා කිහිපයකදීය. ධූරයේ සිටියදී අගමැතිවරයා මිය යාම හෝ අස්වීම, අගමැතිවරයා තමන් අත්සන් කර ලිපියකින් තමන් අස්වන බව ජනාධිපතිවරයාට දැනුම් දීම විශ්වාසකාංග යෝජනාවකින් අගමැතිවරයා පරාජය වීම, අගමැතිවරයාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරය නැවතීම, සහ අයවැය වාර්තාව පාර්ලිමේන්තු ඡුන්දයෙන් පරාජය වීම එම අවස්ථාවන්ය. 26 සිකුරාදා වන විට අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහගේ නිල ධූරය, මෙම එක් හේතුවක් නිසා හෝ අහෝසි වී නොතිබුණි.

* 19 වැනි සංශෝධනයේදී, අගමැතිවරයා, ඔහු රනිල් හෝ මහින්ද වුවත්, ව්‍යවස්ථාවට අනුකූල ලෙස හිතුවක්කාරව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට නෛතික බලයක් නැත. එහෙත් සිකුරාදා ජනාධිපතිතුමා කළ දේ ව්‍යවස්ථානුකූල යැයි පිළිගතහොත් මහින්දගේ ධූරකාලයද තාවකාලික විය හැකිය.

* ජනාධිපතිතුමා නීතිමය වශයෙන් නොමග යවා තිබෙන බව පෙනේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ එතුමා සතු මඳ දැනුම, ස්වාර්ථය පමණක් සලකන නීතිවේදීන් හෝ උපදේශකයින් හෝ කිිහිපදෙනෙකුගේ හිතාමාතාම කළ සාවද්‍ය දේශපාලන උපදේශයකට’’ එතුමා හසුවී තිබෙන බව පෙනේ.

* ජනාධිපති මෛතී‍්‍ර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තම උපදේශකයින්ගේ හිතාමතා නොමග යැවීමට පාත‍්‍ර වූ තුන්වැනි අවස්ථාව මෙයයි. ස්වාර්ථයෙන් හෝ පටු අපේක්‍ෂාවන්ගෙන් තොරව අවංකව තමන්ට නීති උපදෙස් දෙන උපදේශකයින් එතුමා සොයා ගන්නා විට ඒ සඳහා දැන් ප‍්‍රමාද වී තිබේ.

* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු පාරිශූද්ධ ලියවිල්ලකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යහ පාලනයත්, පුරවැසි අයිතිවාසිකමුත් ආරක්ෂා කිරීමට ඇති එකම සහ අවසාන වරපත‍්‍රයයි. එය තම සිතැඟිවලට අනුව උල්ලංඝණය කිරීමට සූදානම් පිරිස් අප රටේ ඕනෑ තරම් සිටිති. ජනාධිපති සිරිසේන මහතා දැන් ළං කරගෙන වැළඳගෙන සිටින්නේ එවැනි පිරිස්ය. ඒවායින් පරෙස්සම් වන ලෙස එතුමාට උපදෙස් දීමටද දැන් ප‍්‍රමාද වැඩියි.

* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතාමාතා උල්ලංඝණය කරමින් සිදුවූ මෙම ආණ්ඩුවේ අභ්‍යන්තර යළි සකස් වීම, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතය සඳහා කිසිසේත්ම පෙර සුබ ගමන් නිමිති පළ කරන්නක් නම් නොවේ. ඉදිරි කාලයේ සිදුවීමට බොහෝ විටඉඩ තිබෙන්නේ 2015 ජනවාරි මාසයේදී ආරම්භ වී, ඉතා අමාරුවෙන් සහ අසම්පූර්ණව ඉදිරියට ආ ප‍්‍රජාතන්තී‍්‍රකරණ කි‍්‍රයාවලිය තීරණාත්මක ලෙස ආපස්සට ඇඳ දැමීමයි. එයට සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙපළම වග කිව යුතුය.

* මෙම දේශපාලන පාපය ජනාධිපති මෛතී‍්‍රට පමණක් පටවා නිර්දෝෂ වීමට රනිල්ට නොහැකිය. එම දෙදෙනාම පසුගිය අවුරුදු තුන හමාරේම කි‍්‍රයා කළේ මාදුලූවාවේ සෝභිත හිමිගේ සිට මා පටන්, අනේකවිධ හිතවතුන්, හිතවත්ව දුන් කාරුණික උපදෙස් අවවාද සහ අනතුරු ඇඟවීම්, සරත් විජේසුරිය මහතාගේ වචනවලින් කියන්නේ නම් අලූයම ලූ කෙළපිඩක් සේවත් නොසලකාය.

* මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පිරිස්, රාජ්‍ය / දේශපාලන බලය යනු කුමක්ද යන්න ගැන රනිල් සහ මෛතී‍්‍ර යන දෙපළට වඩා ඉතා හොඳ අවබෝධයක් සහ ග‍්‍රහණයක් ඇති කණ්ඩායමකි. දේශපාලන බලය සඳහා ඔවුන් සතු අධිෂ්ඨානය (will to power) සමාන කළ හැක්කේ රුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් පුටින්ට සහ ඔහුගේ කණ්ඩායමටය. ඔවුන් ඉදිරියේ රනිල් සහ මෛතී‍්‍ර අහිංසක දේශපාලන නොදරුවන් වීමට බොහෝ විට ඉඩ තිබේ.

පා.ලි. මේ සතියේදී සමාජ මාධ්‍යය ඉටුකරන අගනා දේශපාලන කාර්යය ගැන අගය කිරීමක් නොකර මේ ලිපිය මා අවසන් නොකළ යුතුය. ලංකාවේ මා දුටු ඉතාම තියුණු, දියුණු සහ දේශපාලන වශයෙන් පරිණත දේශපාලන හාස්‍යය සහ උපහාසය මා දුටුවේ පසුගිය සතියේ සමාජ මාධ්‍යවලය. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යය ආණ්ඩුව ඉදිරියේ දණින් වැටී, අප‍්‍රබුද්ධ දේශපාලන ප‍්‍රචාරණයේ යෙදෙද්දී, මෙරට පුරවැසියන්ගේ දේශපාලන විඥානය තියුණු කිරීමට සමාජ මාධ්‍යයේ උපහාසය විසින් ඉටුකරන වැඩ කොටස අසම සමය. සමාජය මාධ්‍යයේ එක කාටුනයක් වුවද දේශපාලන වශයෙන් තියුණු විවේචනයක් මෛතී‍්‍ර සහ මහින්ද සම්බන්ධව කරන බව කීම අතිශයෝත්තියක් නොවේ.