කැත්ලීන් ජයවර්ධන


සාහිත්‍යකරණයට පිවිසෙන්න ඔබට බලපෑ හේතුකාරණා මොනවාද?


අපි හැදුණේ මාතර. තාත්තා පෝස්ට්මාස්ටර් කෙනෙක්. ඒ කාලේ පෝස්ට්මාස්ටර් කෙනෙක් කියන්නේ හැමෝම සලකනවා. තාත්තා ඉංගීසියෙන්මයි වැඩ කළේ. සුද්දා වගේ හොදට කනවා බොනවා. අපි චිත‍්‍රපටි, නාට්‍ය බැලූවා. කලා, සාහිත්‍ය සගරා, පොත පත අපේ ගෙදරට ගේනවා. ඬේලි නිව්ස් හා දිණමිණ පත්තර දිනපතා ගත්තා.


අම්ම සිංහල විතරයි දන්නේ. කුඩාම කාලේ අම්මා මට කෑම කවනකොට කතාන්දර කියනවා. මද්දුම බණ්ඩාරගේ කතාව, වෙස්සන්තර ජාතකේ, උම්මග්ග ජාතක කතාව අම්මා වැඩියෙනුත් එක්ක දාලා කියනවා. ඒ කතන්දර අහපු නිසා මට පොත් කියවන්න පුදුම ආසාවක් ඇති වුණා.


අවුරුදු අටේ නමයේ කාලේ මම කවි ලියලා අම්මාට තාත්තාට බලන්න දුන්නා. ඒ අය ඒවා අගේ කළා. ගුවන් විදුලි නාට්‍යවලට සවන් දුන්නා. උත්තර භාරතීය සාස්ත‍්‍රීය සංගීතයට මම ගොඩාක් කැමතියි.


මම තාත්තාගේ දෙවන විවාහයේ එකම දරුවා. කලින් සහෝදරයන්ගේ අම්මා මැරණාම තමයි තාත්තා අපේ අම්මා බැන්දේ. අම්මායි තාත්තායි ඉන්නකොට මට සැප සම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ. අම්මායි තාත්තායි දෙන්නාම නැති වෙනකොට මට අවුරුදු 20ක් විතර ඇති. නෑදෑයන්ගේ ගෙවල්වල තමයි හැදුණේ.


පළමු පොත පළවෙන්නේ කොයි වගේ කාලෙකද? ඒ අත්දැකීම කොහොමද?


සාමාන්‍යපෙළ කරලා ටිකක් කල් ගෙදර හිටියා. ඒ අතරතුරදි තමයි ”බලන් කඩතුරා හැර දෑසේ” කියන නවකතාව ලීවේ. නමුත් 77 තමයි ඒ පොත මුද්‍රණය කළේ.


පොත මුද්‍රණය කරන්න ගිහින් තමයි මගේ සැමියා මුණගැහුණේ. ග්ලෝබ් කියන මුද්‍රණාලයේ කළමනාකරු විදිහට හිටියේ එයා. එතැනින් පසුසේ ජීවිතේ වෙනස් වුනා. හිතේ තිබුණු බය අඩු වුණා.


පළමු පොත මාස හයක් තුළ විකුණුණා. පොතක් පළකරලා පත්තරවලට දෙන්න ඕනෑ කියලා මම දැනගෙන හිටියේ නෑ. එතකොට මගේ වීරයා කරුණාසේන ජයලත්, මම එයාට පොතක් ගිහින් දුන්නා. එයා කිව්වා සුමාන දෙකකින් එන්න කියලා. එයා ලියලා දුන්නා ”මෙම කෘතිය ලියූ කතුවරියට ජීවිතය විනිවිද දැකිය හැකි ඇසක් ඇත. ඇගේ අනාගතය සාර්ථක බව සහතිකවම කිව හැකිය” කියලා. කරුණාසේන ”ජයලත්ගේ කතාවට විරුද්ද වන්නට බැරිය” කියලා ඇල්බට් වැලිවිට ‘ජනතා’ පත්තරේට ලියලා තිබුණා.
බොහෝ අය කියනවා පත්තරවලට නිර්මාණ දැම්මාට ලේසියකට පළ වෙන්නේ නෑ කියලා. නමුත් මම ‘සිළුමිණ’ට ලියූ පළමු කෙටිකතාව සිළුමිණේ පළවුණා. එතකොට දයාසේන ගුණසිංහ හිටියේ. ඒවායෙන් පොඩි ආත්ම විස්වාසයක් ඇති වුණා.


පාඨකයෝ මට නොලියා ඉන්න ඉඩ දුන්නේ නෑ. මම අවුරුදු දෙකෙන් දෙකට වගේ නවකතා ලියුවා. දනට මම නවකතා දාහතක් විතර ලියලා තියෙනවා.

පොත් සියල්ල හොදින් අලෙවි වුණා. පොත් දාහතක් පමණ ලියා පළකළ ඔබට අපේ රටේ සම්මාන උළෙල හා සම්මාන පිළිබද තිබෙන්නේ කොයි වගේ අත්දැකීමක්ද?
සම්මාන ගැන කතා කරන්න මම කැමති නෑ. අවුරුදු දහයක සිට මම සමීක්ෂණ මණ්ඩලවලට කියලා තියෙන්නේ මගේ පොත් සමීක්ෂණය කරන්න එපා කියලා. මගේ පොත්වල මුද්‍රණය කරලාම තියෙනවා එහෙම. ඒකට හේතුව 2009 වෙච්ච සිද්ධියක්. ඒ නිසා අවුරුදු දහයකින් මගේ පොත් සමීක්ෂණයට භාජනය වෙලා නෑ.


මගේ ‘සත්‍යකාම’ පොත රාජ්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට තේරුණා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට තේරුණා. එතැනදී විනිශ්චය මණ්ඩලයේ ඇතිවූ කතාබහක් නොනිල විදිහට මට දැනගන්න ලැබුණා. එතැනින් පස්සේ මට තේරුණා සම්මාන කියන්නේ සම්පූර්ණ බොරුවක් කියලා.


සත්‍යකාම පොතේ ශංකර් කියලා චරිතයක් තියෙනවා. ඒ පොත පසුබිම් වෙන්නේ බුද්ධ කාලයට. රාජ්‍ය සම්මානවලට පොත් තෝරන්න හිටිය මහාචාර්යවරයෙක් කියනවා ශංකරාචාර්ය වුණේ බුද්ධ වර්ෂයෙන් අවුරුදු 700කට පස්සේ කියලා. මේකේ කාල විරෝධයක් තියෙනවා කියලා පොත පැත්තකට දානවා. එතැන මණ්ඩලේ ඉන්න කවුරුවත්, ශංකර් දන්නෙත් නෑ, ශංකරාචාර්ය දන්නෙත් නෑ. ඇයි අපි අපේ නිර්මාණ එහෙම බාල්දු වෙන්න ඉඩ හරින්නේ.


සත්‍යකාම කියන්නේ මගේ දහවෙනි පොත. ඒ පොතට මට දෙස්විදෙස් පාඨකයන්ගෙන් විශාල ප‍්‍රතිචාර ලැබුණා. ඒ ඇති මට.
හැබෑ නිර්මාණකරුවෙක් ලොකු අවාසනාවකට තමයි ලංකාවේ උපදින්නේ. ලංකාව තරම් සම්පත් අපතේ යවපු රටක් මම හිතන්නේ නෑ මේ ලෝකේ ඇති කියලා. ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, හරුකි මුරකාමි වගේ අය ලංකාවේ ඉපදුණා නම්. ඒ අයගේ නිර්මාණ සම්මාන උත්සව සදහා නිර්දේශ වෙන්නේවත් නෑ. මොනවද මේ ලියලා තියෙන්නේ කියලා අහයි.

නවගත්තේගමත් අගයන්න ඔහු මැරෙනකම්ම හිටියා. විෂය නිර්දේශයට ගන්න ලේඛකයෝ මැරෙන්න ඕනෑ. මේ මර්මස්ථානවල ඉන්න පුද්ගලයෝ තමයි මේවාට වග කියන්න ඕනෑ. කේ ජයතිලක කියන්නේ ලංකාව සම්පූර්ණයෙන් අපතේ හැරි චිනතකයෙක්. ‘අත්පසුර’ වගේ ඔහු ලියපු රචනා අඩංගු පොත් දහයක් විතර තියෙනවා. ඒවා කියෙව්වාම අපි ඇයි මේ ෂෝපන්හවර් ගැන කතා කරන්නේ කියලා හිතෙනවා. ඒ තරම් ප‍්‍රබල චින්තනයක් තිබුණු කෙනෙක් ඔහු. ජීවිතේ අවසාන කාලේ ජයතිලක මහත්තයා මට දවසක් කිව්වා, ”ඒ දවස්වල අපි ලියන ඒවා සමහර අය දැක්කේ නෑ වගේ හිටියා” කියලා. බුද්ධ වග්ගයේ ගාථාවක් තියෙනවා, ඒකෙන් කියන්නේ ”සුනිල් දිය පිරි විලක් දැක දැක කිලිටි ශරීරයක් ඇත්තෙක් විල දිහා නොබලා යනවා නම් එය විලේ වරදක් නොවෙයි” කියලා. 2003 රාජ්‍ය සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයේ මම හිටියා. අවුරුදු තුනකට ඔය පත්වීම දෙන්නේ. නමුත් 2003 හිටිය අය තාමත් ඉන්නවා. විසි එක් වෙනි සියවසේ විසි වන අවුරුද්ද වෙලත් තාමත් අපි ‘විරාගය’ තියන තැන ඉදලා හරි යන්නේ නෑනේ.


සිංහල භාෂාවෙන් ලියැවුණු විශිෂ්ට සාහිත්‍ය කෘතීන් විශ්ව සාහිත්‍ය තලයට එක් නොවන්නේ ඒවා වෙනත් භාෂාවන්ට පරිවර්තනය නොවන නිසා. ඒ අතින් බැලූවාම දැනටමත් අපි ප‍්‍රමාදයි නේද?


ජී.බී. සේනානායකගේ වරදත්ත, මේධා වගේ කෘතීන්වල තියෙන මනෝවිශ්ලේෂණය කොයි තරම් වැදගත් ද බලන්න. ලෝකයේ කොහේ වුණත් එදා හිටිය මිනිසාගෙයි දැන් සිටින මිනිසාගෙයි ඊර්ෂ්‍යාව ක්‍රෝධය, වෛරය, ආදරය එකයි. මානව ස්වභාවයන් වෙනස් වෙන්නේ නෑ. සිංහල සාහිත්‍යයේ තෝරාගත් හොද පොත් ලෝකයට ගෙනියන්න පරිවර්තක මඬුල්ලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඉන්න අවශ්‍යයි. ඔබ ලියන නවකතා අතර බොහෝමයක් ඓතිහාසික කතා හමුවෙනවා? මහසෙන් රජතුමා කරවපු වැව් ටික දැක්කාම ඉතිහාසයේ විශාල පරිච්ඡේද ගණනක් එතුමා වෙනුවෙන් ලියවෙන්න ඕනෑ කියලා හිතෙනවා. ඒ වගේ ඇත්තටම පොළොවේ වැඩ කළ මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් වැඩ කළ කෙනෙක් වෙනුවෙන් සාධාරණයක් කළ යුතුයි කියලා මම හිතුවා. ඒකයි මම ”මහසෙන්” පොත ලිව්වේ. දැන් තියෙන දේශපාලනය වගේම සුදු ඇදගෙන පන්සල් ලොකු කළොත් තමයි එදත් ඉතිහාසයේ ලියැවෙන්නේ.

දුටුගැමුණු රජතුමා ගැන කොයි තරම් ලියැවිලා තියෙනවාද?


අවුරුදු තිස්පහක් වගේ කාලයක් තිස්සේ දුක් විදිමින් තමන් පේ‍්‍රම කළ තරුණියක් හොයමින් අද කාලේ තරුණයෙක් යන්නේ නෑ. උපරිම වුණොත් මාස කිහිපයක් හොයයි. එයා වෙන කෙනෙක් පස්සේ යනවා. ඒ නිසා කතාවේ තර්කානුකූල බව රැුකගන්නයි මම ”සත්‍යකාම” බුද්ධකාලයට ගෙනිච්චේ. ඒ හැරෙන්න අනෙක් පොත්වලට පාදක වෙන්නේ ඓතිහාසික තේමාවන් නෙමෙයි. ඔබ දක්ෂ ගුවන්විදුලි නාට්‍ය රචකාවක්.. අවුරුදු විස්සක ඉදන් ස්වදේශීය සේවයේ පෝය නාට්‍ය ලියන්නේ මම. හොදම ගුවන්විදුලි නාට්‍යයට මට ඕ.සී.අයි.සී. සම්මානය පවා හම්බවුණා.

සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගුවන් විදුලි නාට්‍ය සම්මාන උළෙලක් පවත්වනවා. පිළිගත් ක‍්‍රමවේදය අනුව නාට්‍ය නිෂ්පාදක තමයි ඒකට ඇප්ලයි කරන්න ඕනෑ. නමුත් මේ නාට්‍ය උළෙලේ නාට්‍යයට අදාළ අය වෙන වෙනම ඇප්ලිකේෂන් දාන්න ඕනෑ. මම දාන්නේ නෑ. මුල්ම උත්සවේ හොදම ගුවන් විදුලි නාට්‍යය, හොදම නිෂ්පාදක සම්මානයත් ගත්තේ මම ලියපු ‘අමර වරම’ නාට්‍යය. හැබැයි පිටපතට සම්මාන ලැබුණේ නෑ. ලැජ්ජ නැද්ද මෙයා තමන් කරපු නිර්මාණයක් වෙනුවෙන් ඇප්ලිකේෂන් දාන්න. නවකතාවක් ලියන්න ඔබ වස්තු බීජ සපයාගන්නේ කොහොමද? පත්තර වාර්තාවකින් වුණත් සමහර විට ඒ උත්තේජනය එන්න පුළුවන්. ළමයෙක් ගගට විසි කරපු ගෑනු කෙනාට හැමෝම බනිනවා. ඒ ගෑනු කෙනා අවුරුදු අටේදී ¥ෂණය වෙලා. කාත් කවුරුවත් නැතිව ගෙවී ගිය ජීවිතේ දරුවෙක් ලැබුණාම, කොහොමද මාතෘ සෙනෙහසක් ඇතිවෙන්නේ? ඇයි අපි අපේ අත්දැකීමෙන් අනික් අය දිහා බලන්නේ. අපි ඒ ගෑනුකෙනා වෙලා හිටියා නම් අපි කරන්නෙත් ඒ වැඬේම තමයි.


කේ. ජයතිලක මහත්තයා කිව්වා ලංකාවේ සමාජ විද්‍යාඥයන්ගේ කාර්යභාරය කරන්න වෙලා තියෙන්නේ සාහිත්‍යකාරයන්ට කියලා. සමාජයේ බිදවැටීම ගැන පර්යේෂණ කරන්න කෙනෙක්, විෂයානුකූලව අදහසක් කියන්න කෙනෙක් නෑ. මගේ දෙවෙනි පොතේ මම කුඩම්මා කෙනෙක් ගැන ලියනවා. අපි දන්න කුඩම්මලා නපුරු අය. නමුත් විවාහ වෙලා තවත් කාන්තාවකගෙන් දරුවෝ සිටින පිරිමියෙක් එක්ක දීග කන ගැහැනියක් කුඩම්මා කියන්නේ. ඒ ගැහැනියගේ පැත්තෙන් ඒක සංකීර්ණ මානසික තත්ත්වයක්. ඒ වගේ අනික් අයට මගහැරුණු විෂයක් තමයි මම ගන්නේ.


එදා මෙදාතුර දේශීය සාහිත්‍ය කෘතීන් දෙස බැලූ විට විශ්ව සාහිත්‍ය කෘතීන් පමණට උසස් ඒවා අපේ සාහිත්‍ය තුළ ඔබට මුණගැසී තියෙනවාද?


මම අවුරුදු එකොළහ තරම් කාලේ ‘මනුතාපය’ කියෙව්වේ. ඒක මගේ ජීවිතේ වෙනස් කළ පොතක්. වික්ටර් හියුගෝ, ටොල්ස්ටෝයි කියන්නේ මහා ලේඛකයෝ.


විශ්ව සාහිත්‍යයට අපට කිට්ටු වෙන්නවත් බෑ. අපි ලියන්නේ එකම දෙයක් ගැන. එකම ලේඛකයෙක්ගේ පොත් දහයක් අරන් බැලූවොත් ඒ පොත් දහයෙම තේමාවේ ලොකු වෙනසක් නෑ. 2018 හොදම පරිවර්තනයට රාජ්‍ය සම්මාන ලැබුණු ”මුහුද යට දිවයින” කියන පොත කියෙව්වාම මට හිතුණා අපි ඉතිහාසය කියලා මොනවාද දන්නේ කියලා. සාහිත්‍යයෙන් හැර අපි කියවන ඉතිහාසයෙන් ඒ වහල්බව ගැන ඉගෙන ගන්න බෑ. එදා හා අද සංසන්දනාත්මකව ගත්තාම අපේ සාහිත්‍යයේ සාධනීය තත්ත්වයක් ඔබ දකිනවාද? කලාතුරකින් තමයි අද හොද පොතක් දකින්න ලැබෙන්නේ. අද ලියන්න බැරි අයත් ලියන්න පෙළඹිලා තියෙනවා. ලියන බොහෝ දෙනෙක් ලේඛකයෝ නෙමෙයි. ලේඛකයෙක් වෙන්න ලියන අයයි. ලේඛකයොයි වෙනස්. නිකන් ගලක් කොහොම මැද්දත් වැඩක් නෑ. කළු මදින්නත් මැණික් ගලක් වෙන්න එපැයි නේද? ලිවීම සදහා දැඩි උනන්දුව කැපවීම ඇතිවන්නේ සැබෑ ලේඛකයාටයි. ඒක බොරුවට කරන්න බෑ. බොරුවට ලියන එක අහුවෙනවා. ඔබේ අලූත් නවකතාව ”ඉවුරු ගග සිදී ගිය දා” ඒ තුළත් ස්තී‍්‍රවාදී බවක් පෙනෙන්න තියෙනවා.. මගේ පොත්වල බොහෝමයක් ස්ත‍්‍රිය පිළිබදව කතා කරනවා තමයි. නමුත් මම ස්ත‍්‍රීවාදීවම ලිව්වා නෙමෙයි. ගැහැනියට වෙන පොදු අසාධාරණය මම ලියලා තියෙනවා.


කොළඹ කාක්කෙකුගේ පර්යේෂණ වාර්තාවක් මේක. මෙහෙණියක් හා කන්‍යා සහොදරියක් ඉන්නවා මේ කතාවේ. කතෝලික පල්ලියේ කන්‍යා සහෝදරියට පූජකවරය නෑ. ථෙරවාද බුදුදහමේ මෙහෙණියට උපසම්පදාව නෑ. අධ්‍යාත්ම ගවේෂණයට ස්ත‍්‍රී පුරුෂභාවයේ ප‍්‍රශ්නයක් තියෙන්න බෑ. ඒකට බලපාන්නේ බුද්ධිය.


මේ ලෝකේ ජීවත් වෙන්න ඕනෑ මිනිසා විතරක් නෙමෙයිනේ. අපිට කලින් අපේ මුතුන්මිත්තෝ සත්තුනේ. ඒ නිසා අවම වශයෙන් අපි මුතුන්මිත්තන්ට සලකන අදහසින්වත් සත්තුන්ට සලකන්න අවශ්‍යයි. දඩයම් යුගයේ සිට ඇවිත් දියුණු වුණාට අපිට අත්හරින්න බැරි වූ කොටසක් තමයි මාංශ භක්ෂණය. ඇත්තටම සතෙක් මරන්න හැකි කෙනෙකුට මිනිහෙක් මරන්න බැරි වෙන්න බෑ. ත‍්‍රස්තවාදී සංවිධානවල මුලින්ම මරන්න දෙන්නේ කුකුලෙකුව.


ඇත්තටම බුදුන් වහන්සේ අලූත් දෙයක් කීවා නෙමෙයි. අපි හිතමු උදේට මලක් පිපෙනවා හවසට පර වෙනවා. උදේට ඉර නැගෙනවා හවසට ඉර බහිනවා කියලා. මේ අනවරත වෙනස් වීම ගැන පැහැදිලි කිරීමක් තමයි බුදුදහම කියන්නේ. බුදුදහම අමතක කරලා ස්වභාවධර්මය හා වෙසෙන කෙනෙක් දන්නෙම නැතුව බුදුන් වහන්සේ කියන තැනට එනවා.


අනිත්‍යය නරක එකක් නම්, කළලයක් ඇති වුණාම ඒ කළලය විදිහටම නතර වෙන්නේ නෑ. එක මනුස්සයෙක් විදිහට වර්ධනය වෙලා ලෝකයට බිහිවෙනවා. අනිත්‍ය අසුභවාදී ලෙස අපි දකින්නේ. අපි හැම තිස්සේම හිතන්නේ අනිත්‍යය කරුමේ කියන පැත්තට දාලා. ලෝකයට එදත් අදත් අවශ්‍ය වන්නේ කරුණාව, මෛත‍්‍රිය කියන එකයි මේකේ අවසාන හරය වෙන්නේ.


ප‍්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර