‘මී ටූ ව්‍යාපාරය’ යනු මේ වෙද්දී අමෙරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා පැතිර ගිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය. එය මුලින්ම 2006 දී පමණ ඇතිවූ අයිතිවාසිකම් ව්‍යාපාරයක් වුවද සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවයක් ලෙස එය ලොවපුරා පැතිර ගියේ 2017 ඔක්තෝම්බර් මාසයේය. මීට හරියටම වසරකට පෙරය. තමන්ව අහවල් පුද්ගලයා විසින් ලිංගික බලහත්කාරයට ලක් කළ බව කාන්තාවන් විසින් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම‘මී ටූ ව්‍යාපාරය’ හරහා සිදුවෙයි. මෙහිදී ලිංගික බලහත්කාරය යන යෙදුම පාවිච්චි කරන්නේ ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, අතවරයට ලක් කිරීම, ලිංගික වශයෙන් පීඩාවට ලක්වෙන අන්දමේ ප‍්‍රකාශ සිදුකිරීම මෙන්ම දූෂණයට ලක්කිරීම දක්වා සිදුවීම් නියෝජනය කරනු පිණිසය.

විශේෂයෙන්ම වෘත්තිය ස්ථානයේදි සිදුවන අත්දැකීම් පිළිබඳව මී ටූ ව්‍යාපාරය හරහා හෙළිදරව් කෙරුණි. එහි මූලික අරමුණ වී තිබුණේ ලිංගික බලහත්කාරයට මුහුණදුන් කාන්තාවන්ට ඉදිරියට පැමිණ එය ප‍්‍රකාශ කිරීම සඳහා නිදහස් පසුබිමක් සකස් කිරීමය. ‘ඔබේ අත්දැකීම ඉදිරියට පැමිණ ප‍්‍රකාශ කරන්නට බිය නොවන්න. මේ අත්දැකීමට මමත් මුහුණ දී ඇත්තෙමි.’ යන හැඟීම කාන්තාවන් අතර ගලායෑමට ඉඩ හැරීම එහි ප‍්‍රධාන අරමුණ විය. මීට මාසයකට පමණ පෙර සිට ඉන්දියාවේ මී ටූ ව්‍යාපාරය වේගයෙන් පැතිර යන්නට විය. පසුගි ය මාසයේ ඉන්දියාවේ ප‍්‍රධානම සාකච්ඡා මාතෘකාව වී තිබුණේ එයයි, ඉන්දියාවේ මෙය විශාල කැළඹීමක් ඇති කළේය.

මේ සමග ප‍්‍රශ්නයක් නැෙඟයි. ඉදිරියේදී හෝ ලංකාවේ කාන්තාවන් ඉදිරියට පැමිණ කතාකරනු ඇතිද? යන්නයි. ලංකාවේ මී ටූ ව්‍යාපාරය ආරම්භ විය යුතු බව අපගේ අදහසය. ලංකාවේ කාන්තාවන් කතා නොකරන්නේ තමන් අත්දැකීම්වලට මුහුණදී නැති නිසා නොවේ. එවැනි අත්දැකීම් ගැන කොතෙකුත් කතා අපට අසන්නට ලැබී ඇත. මේ සටහන ලංකාවේ පුවත්පත් ක්ෂේත‍්‍රයේදී මාධ්‍යවේදිනියන්ට මුහුණදෙන්නට සිදුව ඇති අත්දැකීම් පිළිබඳ කතාවකි.

මෙහි එන සිදුවීම් අතරින් කිහිපයක්ම බැලූ බැල්මට සුළු සිදුවීම් ලෙස සලකා අත්හැර දැමිය හැකි සිදුවීම් යැයි කෙනෙකුට කිව හැකිය. ලෝකයේ ඕනෑම තැනක මානසික හිංසනය සැහැල්ලූ‍වට ගනු ලබයි. එහෙත් කාන්තාවකට මුහුණදෙන්නට ඉඩ ඇති අමිහිරිම අත්දැකීම ශාරීරික වශයෙන් දූෂණයට පත්වීම පමණක් නොවේ. සිය දහස් වතාවක් තමන්ව මනසින් දූෂණය කරන පිරිමින් සිටීමත්, එවැනි පිරිමින් ඒ බව හැඟවීමත් කාන්තාවකට මහත් පීඩා ගෙනදෙන කරුණකි. මී ටූ ව්‍යාපාරය ආරම්භ විය යුත්තේ එවැනි සිදුවීම් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින්ය. වඩා භයානක, වඩා අමිහිරි ශාරීරික හිංසනය පිළිබඳ අත්දැකීම් ඉදිරියට එනු ඇත්තේ ඉන් පසුවය.
සිදුවීම්වලට මුහුණදුන් මාධ්‍යවේදිනියන්ගේ නම්, සිදුවීම වූ කාලසීමාව ආදී තොරතුරු සඳහන් නොකරන්නේ ඒ මාධ්‍යවේදිනියන්ව අපහසුතාවයට පත් නොකරනු පිණිසය. එහෙත් මේ සිදුවීම් සටහන් කරද්දී ඒ ඒ ආයතනවල සිටින අය සිදුවීම කුමක්දැයි හොඳින් සිහිපත් කරගනු ඇත. ඒ ඒ ආයතනවල ප‍්‍රධානීන්ට මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි කර ඇතත් නිසි විභාගයක් සිදුව නැති බවද වින්දිත මාධ්‍යවේදිනියන් කියන්නීය.

ස්පර්ශ කිරීම්
මාධ්‍යවේදිනියන්ව අපහසුතාවයට පත්වෙන අන්දමේ ස්පර්ශ කිරීම් සහ මාධ්‍යවේදිනියන්ව අපහසුතාවයට පත්කෙරෙන අන්දමේ අදහස් ප‍්‍රකාශ කිරීම් මාධ්‍ය ආයතනවල කොතෙකුත් සිදුවෙයි. අප සමඟ අදහස් දැක්වූ කාන්තා මාධ්‍යවේදිනියන් සියලූ‍දෙනාම පාහේ එවැනි අත්දැකීම්වලට මුහුණදී ඇත. එක්තරා පුවත්පතක පිටු සැකසීම් අංශයේ සේවය කරන පුද්ගලයන් විසින් ආයතනයට පැමිණෙන නවක මාධ්‍යවේදිනියන්ට එවැනි වාචික බලහත්කාරය පැටවීම පිළිබඳව නම් දරා ඇත. නවක මාධ්‍යවේදිනියන් කිහිපදෙනෙක් ඒ හේතුව නිසාම මාධ්‍ය වෘත්තිය අත්හැර දමා ඇත. ස්පර්ශ කිරීම ගැන එක් මාධ්‍යවේදිනියක් මෙසේ කීවාය.

‘ගොඩක් වෙලාවට අපි විවෘතව කතාබහ කරලා විවෘතව වැඩ කරද්දී තමයි ඔය තත්ත්වය එන්නෙ. ඒ කියන්නෙ අපි අපේ මිතුරු මාධ්‍යවේදියෝ එක්ක හිනාවෙලා කතාකරනවා. අවශ්‍ය වෙලාවක වැළඳගන්න වුණත් ඉඩ තියෙනවා. ඒක මිත‍්‍රත්වය මත සිද්ධවෙන දෙයක්. ඒත් අපි එක්ක ලොකු මිත‍්‍රත්වයක් නැති කෙනෙක් ඇවිල්ලා එකවරම වැළදගන්නවා. සමහර වෙලාවට එහෙම වැළඳගෙන රහස් අංග ස්පර්ශ කරනවා. ඒකෙන් අපි ලොකු අපහසුතාවයකට පත්වෙනවා. අපි ඒකට විරුද්ධ වුණොත් අහනවා ඇයි අහවලාව බදාගත්තෙ කියලා. වැරදිලා අත ගෑවුණ බව කියනවා. ඒ වගේ වෙලාවක වැරදිකාරයා වෙන්නෙ යාළුවන් එක්ක විවෘතව ආශ‍්‍රය කරපු අපි.’

කැමරාවක්
එක් ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකි. එම මාධ්‍ය ආයතනයේ කාන්තා වැසිකිළියක වැසිකිළි බඳුනේ සවිකර තිබුණු කැමරාවක් හසුවිය. ඒ 2016 දීය. කැමරාව හසුවී තිබුණේ මාධ්‍යවේදිනියකටය. එහෙත් ඒ පිළිබඳව පැමිණිලි කළ විගස ආයතනයේ පිරිමි ප‍්‍රධානීන් දෙදෙනෙකු කැමරාව තම භාරයට ගෙන තිබුණි. එම ප‍්‍රධානීන් සැලකිය යුතු කාලසීමාවක් තම කාර්යාලයේ එම කැමරාව තබාගෙන සිට ඇත. ආයතනයේ සේවය කළ මාධ්‍යවේදිනියන් සැක කරන්නේ එම ප‍්‍රධානීන් විසින් කැමරාවේ පටිගත වී තිබුණු වීඩියෝ නරඹන්නට ඇති බවයි. ප‍්‍රධානීන්ගේ මේ ක‍්‍රියාව පිළිබඳව ආයතනයේ පිරිමි මාධ්‍යවේදීන් පවා කතාබහ කළේ නැත. බරපතළ වරදක් වන මේ ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගත් අතර නවක ලිපිකරුවෙකු සිදුවීමට වැරදිකරුවායැයි ආයතනය විසින් නම් කොට ඔහුව සේවයෙන් ඉවත් කර තිබුණි. එසේ වුව කැමරාවේ තිබුණු දත්තවලට සිදුවූයේ කුමක්දැයි එම ආයතනයේ එකල සේවය කළ මාධ්‍යවේදිනියන් මේ මොහොතේදී පවා හරිහැටි දන්නේ නැත. ‘මම බයෙන් ඉන්නෙ මොන වෙලාවෙ මගේ නිරුවත් වීඩියෝවක් ඉන්ටර්නෙට් එකට යයිද කියලා.’ එක් මාධ්‍යවේදිනියක් එසේ කියමින් හඬා වැටෙන්නීය.

ලිංගික යෝජනා
‘මම මුලින්ම සේවය කළේ පුවත්පතක වෙබ් අඩවියක. මම එතැන හිටපු හැමෝම එක්ක ඉතාම සමීපව වැඩ කළා. ඒ අය ඉතාම සමීපම මා එක්ක ගණුදෙනු කළා. මමත් එයාලා එක්ක එක්ක සමීප මිත‍්‍රත්වයක් තියාගත්තා. මේ වෙද්දී ලංකාවෙ මාධ්‍ය ආයතනයක ප‍්‍රධාන තනතුරක ඉන්න කෙනෙක්. ඉතාම හොඳ නමක් ගොඩනගාගෙන ඉන්න කෙනෙක්. ඒ කාලේ මම වැඩකරපු වෙබ් සයිට් එකට අදාළ පත්තරයේ හිටියා. ඒ මාධ්‍යවේදියා මාත් එක්ක වැඩිපුර කතාබහ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් දවසක් මගේ ළඟට ඇවිත් කතාකරපු ඒ මාධ්‍යවේදියා එකපාම මගෙන් ඇහුවා රූම් එකකට යමුද කියලා. එහෙම අහපු නිසා මම සෑහෙන බය වුණා. මම මුලින්ම එතැන හිටපු මාධ්‍යවේදිනියන් එක්ක ඒ සිද්ධිය කිව්වා. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණ අංශයට කිව්වා. ඒත් ඒකෙන් පස්සේ ප‍්‍රශ්නය ආවේ මට මිසක් ඒ මාධ්‍යවේදියාට නෙවෙයි.’ මෙසේ පවසන්නේ මේ වෙද්දී පිටු සංස්කාරකවරියක් ලෙස කටයුතු කරන වසර කිහිපයක අත්දැකීම් ඇති මාධ්‍යවේදිනියකි.
ඒ මාධ්‍යවේදිනියම ඒ සිදුවීම්වලින් පසුව තවත් පුවත්පත් ආයතනයක සේවයට ගියාය. නැවත ඇයට මුණගැසුණේ හිංසනයයි. ‘මම පත්තරයේ අතිරේකයකට කොටස් දහයකින් කතාවක් ලීවා. ඒ කතා දහයටම අදාළව ලියුම් දහයක් පත්තරයේ ලිපිනයට මට ආවා. සති දහයක් තිස්සේ ඒ ලියුම් ආවා. ඒ ලියුම්වලින් එවලා තිබුණේ චිත‍්‍ර. මම ලියපු හැම කතාවටම අදාළ සිදුවීම් චිත‍්‍රකතා විදියට ඇඳලා එව්වා. ඒ චිත‍්‍ර කතාවල ඇඳලා තිබුණෙ කතාවේ චරිතයක් විසින් මාව දූෂණයට ලක් කරන සිදුවීම්. මගේ මුහුණ ඒ විදියටම ඇඳලා තිබුණා. ඇඳපු කෙනා අතිදක්ෂ චිත‍්‍ර ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි, මගේ මුහුණේ හැඩය බලාගෙන අඳින්න පුලූ‍වන් තරම් මට සමීපව ඉන්න කෙනෙක්. බොහෝවිට කාර්යාලයේ. ‍ඒ නිසාම මම වචනයෙන් කියන්න බැරි තරම් බියට පත්වුණා.’

ෆේස්බුක්
තෙවැනි කතාව කියන්නේ ලංකාවේ සිටින දීප්තිමත්ම අනාගතයක් ඇති මාධ්‍යවේදිනියකි. එහෙත් ඇයට මාධ්‍ය වෘත්තිය අත්හැර යන්නට තරම් තම අත්දැකීම් පීඩාකාරී වී ඇත. ‘මම අපේ ආයතනයේ ඉන්න ලාබාලම මාධ්‍යවේදිනිය. ආයතනයෙ ඉන්න ගොඩක් අය මට වඩා ගොඩක්ම වයසෙන් වැඩි අය. එයාලා මට ෆෙස්බුක් මැසෙන්ජර් හරහා අසභ්‍ය ෆොටෝස් එවනවා. මේ ගැන මම ආයතනයේ ප‍්‍රධානියාට පැමිණිලි කළා. ප‍්‍රධානියා මට බැන්නා බොරු කියන්න එපා කියලා. ඒකෙන් පස්සේ මම ඔෆිස් එකේ මානව සම්පත් කළමණාකරණ අංශයට මේ ගැන කිව්වා. මම මේ ෆෙස්බුක් මැසේජ්වල ස්ක‍්‍රීන් ෂොට් සමග තමයි පැමිණිලි කළේ. ඒත් එතැන හිටපු පිරිමි නිලධාරින් හිනාවෙවී මම දුන්න ඒවා රසවින්දා විතරයි. පරීක්ෂණයක් සිද්ධවුණේ නැහැ. මම ඒ ගැන පැමිණිල්ලක් කළාට පස්සේ තමයි මම දැනගත්තේ ආයතනයේ තවත් මාධ්‍යවේදිනියන්ට ඒ වගේම මැසේජ් එවලා තියෙන බව. ඒ අයත් මට අත්දැකීම් කීවේ ඉන් පස්සේ.’

ඒ සිදුවීමෙන් පසුව ඇයට තවත් වේදනාකාරී අත්දැකීමකට මුහුණදෙන්නට සිදුව තිබුණි. ‘අලූ‍ත් අවුරුද්දට අපේ පුවත්පත දවස් දෙකක් මුද්‍රණය කළේ නැහැ. ආයතනයට නිවාඩු දුන්නා. නිවාඩු දුන්න දවසේ මම ඔෆිස් එකේ තිබුණු වැඩ නිසා ඔෆිස් එකෙන් යන්න ? වුණා. එදා ? මම ටොයිලට් එකට යද්දී මගෙත් තවත් ගෑණු ළමයෙකුගේත් නම් ලියලා නිරුවත් චිත‍්‍ර ඇඳලා තිබුණා. ඒ ගැන පැමිණිලි කළාම මානව සම්පත් කළමනාකරණ අංශයෙන් කළේ ඇවිල්ලා බිත්ති හෝදලා ඒ චිත‍්‍ර මකපු එක විතරයි. ඒත් ඒ චිත‍්‍ර මැකෙන්නේ නැහැ. අන්තිමට අමාරුවෙන් ඒවා මැකුවා. ඊට පස්සේ වොෂ් රූම් එකේ දොර වැහුවාමයි මම දැක්කේ කෙනෙක් දොරේ මගේ නම ලියලා තිබුණු බව. මගේ නම විතරක් නෙවෙයි, මා එක්ක සේක්ස් කරන්න කැමති බව ඉංග‍්‍රීසියෙන් ලියලා තිබුණා. ඒ වෙලාවේ මට ඇඬුණා. අඬ අඬා මම ඒක මැකුවා.’ ඇය ඒ සිදුවීම සිහිපත් කරමින් හඬා වැටුණාය. ‘මම මේ ඔක්කෝම දරාගෙන ඉන්නේ මේ වෘත්තියට කැමති නිසා. ඒත් මට හිතාගන්න බැහැ මේවා කොතැනින් නැවතේවිද කියලා. මම පෙම්වතා එක්ක මේ කතාව කිව්වාම ඔහු සැහැල්ලූ‍වට ගන්නවා. ඔහු දෙන්නෙ තවම ඔයාව රේප් වුණේ නැහැනේ. වගේ උත්තර.’ ඇය එසේ කියන්නීය.

වින්දිතභාවය
ලංකාවේ කාන්තාවන් තමන්ට මුහුණදෙන්නට සිදුවූ අත්දැකීම් ප‍්‍රසිද්ධීයේ කියන්නට පටන්ගතහොත් අනිවාර්යයෙන්ම එයට ඇතිවිය හැකි ප‍්‍රතිචාරයක් ඇත. ඒ මෙය පිරිමින්ට එරෙහි ව්‍යාපාරයක්ය යන්නයි. මී ටූ ව්‍යාපාරය පිරිමින්ව බිලිගන්නා ව්‍යාපාරයක්ය යන්නයි. කාන්තාවක් ඉදිරියට පැමිණ පිරිමි අයව බිලිගැනීමට ඉඩ ඇති බවයි.

මී ටූ ව්‍යාපාරය සමග ඇමෙරිකානු ජනාධීපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කී කතාවකි. ඔහු කීවේ මේ යුගය පිරිමින්ට ජීවත්වෙන්නට සිදුව ඇති භයානකම යුගයක් බවයි. ‘පිරිමියෙක් වෙන්න භයානකම කාලයක් මේක. නරකම කාලය. කොයි මොහොතේ හෝ කාන්තාවක් ඇවිත් කියන්න ඉඩ තියෙනවා’

සමාජ මාධ්‍යවලින් ‘මී ටූ ව්‍යාපාරය’ පැතිරෙන්නට පටන්ගනිද්දී බොහෝ පිරිමින් අතර මෙවැනි හැඟීම් ඇතිව තිබුණි. ඇතැම් අය ඒ බව කියන්නට අකැමති විය. තවත් අය වක‍්‍රව තමන්ගේ බිය ප‍්‍රකාශ කළේය. ‘මේ ප‍්‍රවණතාවය දැන් පාලනය කරන්න බැරි තැනට පත්වෙලා. දැන් එන්නෙ බොරු චෝදනා.’ වැනි කතා ඇසෙන්නට විය. මේ සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍යවේදිනියක් මෙසේ කියන්නීය.

‘පිරිමි විතරක් නෙවෙයි, බොහෝ අවස්ථාවල බලය ඇති අයට තියෙන ලොකුම ශක්තිය තමයි වින්දිතභාවය ඔවුන්ට කැමති තැනකට ආරෝපණය කරන්න පුලූ‍වන් වීම. වින්දිතයෙක් වෙන්න අඩුම අයිතියක් තියෙන අයව වින්දිතයන් විදියට නම් කරන්න පුලූ‍වන්. ඒ නිසා තමයි මී ටූ ව්‍යාපාරය එකේදී පිරිමි අයව පීඩිතයා වන බව සමහරු කියන්නේ. කවුරුහරි ඉදිරියට ඇවිත් ඔබට එරෙහිව බොරු චෝදනාවක් කරන්න ඉඩ තියෙනවා. ඉන්පස්සෙ ඔයාගෙ මුලූ‍ ජීවිතයම ඉවරයි. පිරිමි තමයි වින්දිතයෝ කියලා ඔවුන් කියනවා.

ඒත් ඇත්තටම මී ටූ ව්‍යාපාරය හරහා බොරු චෝදනාවකට ලක්වූ පිරිමි සංඛ්‍යාව කොපමණද? බොරු හෝ ඇත්ත චෝදනාවට ලක්වූ සංඛ්‍යාව සලකා බැලූ‍වොත්? දාහක් විය හැකියි. දහදාහක් කියලා හිතමු. ඒත් ලෝකයේ පිරිමි සංඛ්‍යාව එක්ක ගත්තාම සීයට 99.9999 ක් ම චෝදනාවට ලක්වෙලා නැහැ. ඒත් ලිංගික වශයෙන් එකවරක් හෝ හිංසනයට පත්ව ඇති කාන්තාවන් කොපමණද? කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා කාන්තාවන්ගෙන් බහුතරයට ලිංගික හිංසනයට ලක්වෙලා තියෙනවා. මං හිතන්නෙ කාන්තාවන් අතරට ගියොත් වැඩිපුර අහන්න ලැබෙන්නෙ කාර්යාලයේදී, පොදු ස්ථාවලදී, පවුලෙදී එහෙම හිංසනයට ලක්වුණ කාන්තාවන් ගැන. ඒක තමයි තත්ත්වය. මී ටූ ව්‍යාපාරය එන්නෙ ඒ තත්ත්වයට උත්තර හොයන්නට. වින්දිතයන් වූ කාන්තාවන්ට ඉදිරියට පැමිණ කතාකරන්නට ශක්තිය දෙන්න. අනිවාර්යයෙන්ම ඒ වගේ වෙලාවක බොරු චෝදනා අරගත්ත කාන්තාවෝ එන්න ඉඩ තියෙනවා. ඒත් ඒ සංඛ්‍යාව කොපමණද? හැම පිරිමියෙක්ම ඒවාට ගොදුරු වේවිද කියන එකයි ප‍්‍රශ්නය.

කාන්තාවකට ඉදිරියට ඇවිත් තමන් ලිංගික හිංසනයට ලක්වූ බව කියන්න කොච්චර ශක්තියක් අවශ්‍ය වේවිද. ඉන්පස්සෙ ඔවුන්ට ලැබෙන්නෙ මොකක්ද. මුදල් ලැබෙන්නේ නැහැ. ජයග‍්‍රහණයක් ලැබෙන්නේ නැහැ. මේක අයිතිවාසිකම් ව්‍යාපාරයක්. ඉදිරියට ඇවිත් කාන්තාවන් කතා කළ යුත්තේ තවත් මෙවැනි සිදුවීම් නවත්වන්නට. ඒත් කාන්තාවක් ඉදිරියට එන එක විශාල අභියෝගයක්.
වින්දිතභාවය මේ විදියට වෙනත් පුද්ගලයන් වෙත ආරෝපණය කිරීම අලූ‍ත් දෙයක් නෙවෙයි. ලංකාවෙ තිස් අවුරුදු යුද්ධය ගමු. එතැනදී සිංහල ජනතාව මත වින්දිතභාවය ආරෝපණය කළා. සැබෑ වින්දිතයන් උතුරේ යුද්ධයට මුහුණදෙන මිනිස්සු නෙවෙයි. සිංහල ජනතාව තමයි යුද්ධයෙන් පීඩා වින්දෙ. සිංහල ජනතාව තමයි බෝම්බවලට අහුවුණේ කියලා හිතන්න ගත්තා. මේ වින්දිතභාවය කියන්නෙ ඉතාම භයානක විදියට පාවිච්චි කරන්න පුලූ‍වන් ආයුධයක්.’

ඇගේ අදහස සමග අපි මෙසේ ලියා තැබිය යුතුය. ඉහතින් කී කාන්තාවන් මෙන්ම පොදුවේ ලිංගික බලහත්කාරයෙහි වින්දිතයන් වූ කාන්තාවන් ඉදිරියට පැමිණ තම අදහස් ප‍්‍රකාශ කළ යුතුය.