මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයන්ව එකම වේදිකාවක් මතට කැඳවීමේ වැඩසටහනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වනවාදැයි ඔක්තෝබර් 03 වැනිදා වනවිටත් දැනුම්දී නැති බව වාර්තා වේ.

ඔක්තෝබර් 05 වැනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී එම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ,එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස ,ජාතික ජනතා ව්‍යාපාරයේ මහේෂ් සේනානායක , ශ‍්‍රි ලංකාවේ සමාජවාදි පක්ෂයේ අජන්තා පෙරේරා, ජාතික සංවර්ධන පෙරමුණේ රොහාන් පල්ලේවත්ත , ප‍්‍රජාතත්වාදී එක්සත් ජාතික පක්ෂයේ ආරියවංශ  දිසානායක , එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය යන මහත්ම මහත්මීන් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

අනිද්දා කළ විමසීමකදී එම සංවාදය සංවිධානය කරන නිලධාරියෙකු පැවසුවේ  පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස  ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන වේදිකාවට ඉදිරිපත් වනවාදැයි තවමත් දැනුම් දී නොමැති බවත් අදාල කාරණාව සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟද සාකාච්ජාවක් ඔක්තෝබර් 02 වන දින පැවැත්වු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව එම වේදිකාවට සම්බන්ධ කරවීමට තමන් උත්සාහ ගන්නේයැයි බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවත් ඒ මහතා පැවසීය.