පාර්ලිමේන්තු මන්ත‍්‍රී
දයාසිරි ජයසේකර

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් දරුණු හිංසනයක් අපේ‍්‍රල් 12 වැනිදා සිට දියත් වී තිබුණි. ඒ පිළිබඳව සමාජ මාධ්‍යවලින් පළවූ අදහස් අතර කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඒ ප‍්‍රහාරය පසුපස සිටින බවට අදහස් හුවමාරු වී තිබුණි. දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා එම පහරදීම් සිදුවූ ස්ථානවල සිටින අන්දම ඡුායාරූපවලින් හා වීඩියෝවලින්ද හුවමාරු වී තිබුණු අතර අත්අඩංගුවට ලක්වූ සිව්දෙනෙක්ව නිදහස් කරගැනීමට දයාසිරි ජයසේකර මැදිහත් වී ඇතැයි වාර්තා විය. මේ තත්වය පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාගේ පැත්තෙන් කරුණු විමසුවෙමු. ඔහු මෙසේ අදහස් පළ කළේය.


‘12 වැනිදා හවස් වරුවේ සිංහල කොල්ලෝ ටිකක් මුස්ලිම් කඬේකට පහරදීලා තිබුණා. ඉන්පස්සේ ඒ අයව නිදහස් කරන්න කියලා කුලියාපිටියේ පොලීසිය ගාව දහස් ගණනක් උද්ඝෝෂණය කළා. ඊට පස්සේ 12 වැනිදා ? කිණිගම පල්ලියකට පහරදීලා තිබුණා. ආයුධ හම්බවුණා කියලා ආරංචියක් පැතිරුණාම තමයි ඒ පහරදීම කරලා තියෙන්නේ. ඒ පහරදීමට සැක කණ්ඩායමක් බිංගිරිය පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ අයව බිංගිරිය පොලීසියෙන් හෙට්ටිපොල පොලීසිය එවලා තිබුණා. හෙට්ටිපොල පොලීසියට එවපු ගමන්, හෙට්ටිපොල පොලීසිය වටේට සිංහල හිමිකරුවන් ඉන්න කඩ ගොඩක් තියෙනවා. නගරය මැද තමයි පොලීසිය තියෙන්නේ. ලොකු පිරිසක් පොලීසිය වටේට එකතුවෙලා හිටියේ පොලීසිය බේරගන්න. නගරය සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගෙන් පිරිලා තියෙන බව මට ආරංචිවුණා. ඒ නිසා තමයි මම දවල් 12ට පමණ ගියේ. එතකොටත් මිනිස්සු ගොඩක් එනවා.


මම යනකොට දැක්කා නාමල් කුමාර එතැන ඉඳගෙන කණ්ඩායමකට දේශනයක් දෙනවා. මම එතැනට ගිහිල්ලා ඔහුව එළෙව්වා මෙතැනින් යනවා යන්න කියලා. මට තේරුණු විදියට ඔහු මේ තත්වය අවුස්නන්න උත්සාහ කළා. සිංහල ජාතිවාදී සංවිධාන එකතුවෙලා හිටියා. ඒ කණ්ඩායම් තමයි දැන් එකතුවෙලා ඉන්නේ. සමහරු දවාලේ බොනවා. මට තේරුණා තත්වය බරපතල වෙන්න පුලූවන් බව. ඒ වෙද්දීත් අර තරුණයන්ව නිදහස් නොකළොත් පොලීසිය කුඩුකරන තත්වයක් තිබුණේ.


මම පොලීසිය ඇතුලට ගියා. මේ අයව නිදහස් කරන්න බැරි බව මම කිව්වා. ඒ වගේම හෙට්ටිපොල පොලීසියේ තියාගෙන ඉන්නත් බැහැ. කොහොමත් මේ තරුණයන්ට නඩු දාන්නත් ඕනෑ බිංගිරිය පොලීසියෙන්. ඒ නිසා මම කිව්වා මේ තරුණයන්ව බිංගිරියට අරගෙන යන්න කියලා. ඊට පස්සේ මම මේ අයව අපේ වාහනවලින් අරගෙන ගිහින් බිංගිරිය පොලීසියට බාරදුන්නා. මම ඔවුන්ව අරගෙන ගියේ නැත්තම් කට්ටිය පොලීසියට ගහලා නිදහස් කරගන්නවා. ඊට පස්සේ මම මේ කට්ටියව නිදහස් කරන්න මැදිහත් වුණේ නැහැ. මම බිංගිරියට ඒ කණ්ඩායම බාරදීලා එතැනින් ආවා. පස්සේ ඒ අයව ඉදිරි පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය වුණොත් අත්අඩංගුවට ගන්න හිතාගෙන පොලිස් ඇප මත නිදහස් කළාලූ. ඒ තත්වය පොලීසියෙන් තමයි හරියටම දැනගන්න ඕනෑ.


මම ඒකෙන් පස්සේ තැන් තැන්වල එකතුවෙලා හිටපු කට්ටියව ගෙවල්වලට යවන්න උත්සාහ කළා. අර අයට ඇප දුන්නු බව ආරංචිවුණාම මම කට්ටියගෙන් ඉල්ලූවේ අත්අඩංගුවේ අයව නිදහස් කරලා අවසන් නිසා, කරුණාකරලා ගෙවල්වලට යන්න කියලයි. මම ආයේ නගරයට එද්දී නගරයේත් ගහනවා. ඒ අස්සේ මමත් ගිහින් කලහකාරීන්ව එළවන්න උත්සාහ කළේ. ඒත් මම කිව්ව දේවල්වලට කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. මටත් හැමෝම හූ කිව්වා. මම විතරයි නගරයේ දේශපාලඥයෙක් විදියට මේක පාලනය කරන්න උත්සාහ කළේ.‘


ඔහු පවසන්නේ තමන් ජාතිවාදී ප‍්‍රහාරවලට කෝන්දේසි විරහිතව එකඟ නැති බවත්, තමන් වගකිවයුතු දේශපාලඥයෙක් වන නිසා එම ප‍්‍රහාර නැවැත්වීමට උත්සාහ ගත් බවත්ය. කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල පළවී තිබුණේ ඊට ප‍්‍රතිවිරුද්ධ අදහසකි. ඔහු පෙන්වන්නේ නාමල් කුමාර සමඟ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා එකට සිටි ඡුායාරූපයක් පාවිච්චි කරමින් වැරදි තොරතුරු ප‍්‍රචාරය කර ඇති බවය.


පහුගිය කාලසීමාවේදී මුස්ලිම් වීම නිසාම දේශපාලඥයන් ගණනක් ත‍්‍රස්තවාදය සමඟ ඈඳා තිබුණි. මුජිබුර් රහුමාන් වැනි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ත‍්‍රස්තවාදීන් ලෙස නාමකරණය විය. දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා මේ සිදුවීමේදී නිර්දෝෂී නම්, ඔහුට දැන් මුහුණදෙන්නට සිදුව තිබෙන්නේ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට මුස්ලිම් වීම නිසාම මුහුණදෙන්නට සිදුවූ අත්දැකීම්වලට සමාන තත්වයකටය. පුංචි සිදුවීම් මත ගොඩනැඟුණු ව්‍යාජ තොරතුරු ප‍්‍රවාහයකට ඔහු හසුවී තිබෙන්නේය.


‘දැන් ෆෙස්බුක් එකේ දාලා තියෙන්නේ නාමල් කුමාර එක්ක එකතුවෙලා මම මේවා කළ බව. මෙහෙම තොරතුරු හුවමාරු වුණාම අපි සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නිවැරදි තොරතුරු නොදැන මේවා ගැන කතාකරන්න හොඳ නැහැ.‘ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා එසේ පවසයි. මෙම ප‍්‍රහාර සංවිධානය කිරීම පසුපස සිටියේ කවුදැයි විමසද්දී ඔහු කීවේ මෙවැන්නකි. ‘අපේ ප‍්‍රදේශවල තරුණ සංවිධාන තියෙනවා. නාමල් කුමාරලාගේත් සම්බන්ධතා ඒ සංවිධානවලට තියෙනවා. ඒ අය තමයි කෝල් කරලා මෝටර් බයික් වලින් කණ්ඩායම් එකතු කරගත් බව කියන්නේ. ඒ මට ආරංචිවුණ දෙයක්. මමත් දැකපු විදියට කණ්ඩායම් තැනින් තැනට ගියේ මෝටර් බයික්වලින්.‘


මෙම ප‍්‍රහාර මැඬපැවැත්වීමට ගත් උත්සාහයේදී තමන්ටද ජනතාවගේ විරෝධයට ලක්වීමට සිදුවූ බව දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා පවසයි. කෙසේවෙතත් ඔහු පැවසුවේ, තමා දකින අන්දමට පොලීසියේ අසාර්ථකත්වයට ගැටුමට හේතු වී තිබෙන බවයි.


‘දැන් පොලීසිය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිලයි තියෙන්නේ. මුස්ලිම් ගම්මාන පරීක්ෂා කරන්න කියලා ඉල්ලූවත්, ඒක හරිහැටි සිද්ධවුණේත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ බයක් ඇතිවුණා. පොලීසියට මේ සියලූ දේවල් ක‍්‍රමානුකූලව කරන්න තිබුණා. කරන වැටලීම්වලින් මිනිස්සු තවත් කැළෙඹේවිද කියලා සැලකිලිමත් වෙන්න තිබුණා. සිංහල අයත්, මුස්ලිම් අයත් කියන දැන් දෙපාර්ශ්වයම ඉන්නේ බයෙන්. දෙපැත්තටම දැන් නිදි නැහැ. අපව කපලා යාවිද කියලා බයෙන් ගැහෙනවා. ඒ දෙපැත්තෙන් පිරිස් බලය වැඩි කණ්ඩායම වෙච්ච සිංහල අය එකතුවෙලා, තමන්ගේ බයට නිමිති වූ ජනවර්ගයට එරෙහිව හිංසනය දියත් කරන්න පටන් අරන්. මේක පාලනය කිරීම අසීරු තත්වයක්. ඒත් පාලනය කරන්න ඕනෑ.‘ ඔහු එසේ පවසයි. ඒ සඳහා බිය හා සැකය වර්ධනය කරන අන්දමේ හුවමාරු කර නොගත යුතු බව ඔහු පවසයි. එහෙත් මාධ්‍ය ආයතන වලින් කරන්නේ එයට ප‍්‍රතිවිරුද්ධ කටයුත්තක් නේදැයි අපි විමසුවෙමු.


ආණ්ඩුවට මේ තත්වය සම්බන්ධයෙන් ඇති වගකීම පිළිබඳව ඔහු අදහස් පළ කළේ මෙසේය.
‘ඒවාට අවශ්‍ය කරන ක්ෂණික පියවර ගන්න ඕනෑනේ. එයාලාත් කරන්නෙ මොකක්හරි වුණාට පස්සේ මොනවහරි පියවර ගන්නවා. එහෙම නැතිව යම් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කරලා මේ තත්වය ගැන පියවර ගන්න එපැයි. විශාලම ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ රටේ මිනිස්සු කැළඹිලා ඉන්නේ. ළමයෙක්ව ඉස්කෝලේ යවන්නේ නැහැ. ඊළඟට මොනවා වේවිද කියලා විශ්වාසයක් නැහැ. කිසි කෙනෙක්ට මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. මිනිස්සුන්ගෙ කැළඹීම පාලනය කරන එක ආණ්ඩුවේ වගකීමක්.’