තාත්තා ගැන කතාකළොත්..

තාත්තා ගුණතිලක තේනුවර. ඔහු පාවිච්චි කළේ තේනුවර ගුණතිලක කියන නම. අපේ පරම්පරා නාමය තේනුවර ද සිල්වා. ලොකු තාත්තාගේ නම පසුපසින් ද සිල්වා කොටස තියෙනවා. ඒත් තාත්තාට නම දාන්නට පණිවුඩය අරගෙන ගිය කෙනා අතින් ද සිල්වා කෑල්ල වැටිලා. තාත්තා රත්ගම. මගේ සීයා රන්කරුවෙක්. ඔහුට යම් සමාජ මට්ටමක් තියෙන්න ඇති. සීයාගේ ගෙදරට කීවේ මුහන්දිරම් ගෙදර කියලා. මගේ මතකයේ තියෙන්නේ සීයාගේ මරණය විතරයි. සීයාගේ මරණයෙන් පස්සේ තාත්තාට ගෙදර උරුම වුණා.

තාත්තා ඒ කාලයේ සටන් බිමේ හිටපු කොමියුනිස්ට්කාරයෙක්. හේවුඞ් එකේ, නිට්ටඹුව ඇබෑසි විද්‍යාලයේ සහ ශාන්ති නිකේතනයේ ඉගෙනගත් කෙනෙක්. ඇබෑසි විද්‍යාලයේ තාත්තා එක්ක හිටපු අය අතරින් ප්‍රසිද්ධ චරිත තමයි මහගමසේකර, මැන්දිස් රෝහණදීර වගේ අය. පසුව තාත්තා හේවුඞ් එකේ ඉන්නකොටත් සේකර එකට ඉගෙනගත් තාත්තාගේ යාළුවෙක්. පසුව තාත්තා ශාන්ති නිකේතනයේ ඉගෙනගෙන. චිත්‍ර ශිල්පයට අමතරව එස්රාජ් වාදනයත් ඉගෙනගත්තාලු.

මම ඉපදිලා අවුරුදු කිහිපයකට පස්සේ තාත්තා පවුල එක්ක අම්පාරට ගියා. මුහන්දිරම් ගෙදර තාත්තාගේ ලොකු අයියාට දුන්නා. සාමාන්‍යයෙන් දුෂ්කර පළාතකට මාරුවීමක් ලබන්නේ දඬුවමක් විදියට. ඒත් තාත්තා අම්පාර තෝරාගෙන මාරුවෙලා ගියා.

කලින් අපේ පවුලට පැවැත්මක් තිබුණා. අම්මා, තාත්තා දෙන්නාම ගුරුවරු. යහපත් ආදායමක් තිබුණා. මට අවුරුදු පහේදී තාත්තාගේ රැකියාව නැතිවුණා. ඊරියගොල්ල ඇමතිවරයා ඒ කාලයේ 123 දෙනෙකුගේ රැකියා නැතිකළා. දේශපාලන රැස්වීමක් ආමන්ත්‍රණය කළා කියලා තාත්තාගේත් රස්සාව නැතිකළා. අම්මා මට අවුරුදු හතේදී මියගියා. අම්පාරේ උන්හිටි තැන් නැතිවුණා. අපි අනුන්ගේ ඉඩමක පැල්පතක හිටියේ. තාත්තා ඉගැන්වීමෙන් ජීවත්වෙන්න කියලා ශාලාවක් හදාගත්තා. ඒත් එතැනට ඉගෙනගන්න ආපු ළමයින්ට අතේ තිබුණු සල්ලි ටිකත් දෙන එකයි කළේ.
තාත්තා වැඩිපුර කතා නොකළ නිහඬ කෙනෙක්. ඔහුගේ බලපෑම වැඩිපුරම තිබුණේ නිවසේ පොත්පත්වලින්. සෝවියට් පොත්පත් ආදිය ඔහු සතුව තිබුණා. රැ. තෙන්නකෝන්ගේ පොත් ආදි සිංහල පොත් පවා තිබුණා. මට භාෂාව ගැන ආසාව ඇතිවුණේ ඒවා කියවීමෙන්. අදටත් මා සිටින තැනක වෙනත් භාණ්ඩවලට වඩා පොත් පිරිලා. මම පොත් කියවන්න කැමතියි. පොත් සුවඳට කැමතියි. තාත්තාගේ පොත් අතර මා නිතර බලපු පොත තමයි කෙනත් ක්ලාර්ක්ගේ ‘ද නියුඞ්’ කියන පොත. ඔහු ඒක හංගලා තිබුණේ. ඒත් මම දැනගෙන හිටියා හංගලා තිබුණු තැන. එය නග්නත්වය පිළිබඳ තිබුණු දාර්ශනිකම පොත. මම එහි වචන කියෙව්වේ නැහැ. රූප තමා බැලුවේ. ඔහු අපට චිත්‍ර අඳින්න කියලා කීවේ නැහැ. එහෙත් ඔහු චිත්‍ර අඳින්නට කඩදාසි, චිත්‍ර පොත් සහ දියසායම් ගෙනැවිත් දුන්නා. ඒ නිසා මම, ඉන්ද්‍රනාථ ඇඳපු චිත්‍ර අපටත් වඩා උසට ගොඩගැහිලා තිබුණා.

කොළඹ ආවේ කොහොමද?

හතේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගය ලියලා තර්ස්ටන් විද්‍යාලයට ආවා. මල්ලිලාත් කොළඹ ආවා. කාලයක් අපි වැල්ලවත්තේ නැන්දලාගේ ගෙදර හිටියා. අම්පාරේ අනුන්ගේ ඉඩමක තමන්ගේ ගෙයක් හදමින් හිටපු තාත්තාටත් ඒ වැඬේ අතෑරලා කොළඹ එන්න වුණා. ඔහු මෝදර ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයෙක් ලෙස සේවය කළා. මෝදර නතර වුණා. අපව හදාගන්න කියලා තාත්තා විවාහයක් කරගත්තා. පුංචි අම්මා කෙනෙක් ඉඳීම අපට වෙනස් ජීවිත අත්දැකීමක්. නවකතා පොත්වලත් එච්චර නපුරු කුඩම්මා කෙනෙක් හිටියේ නැහැ.

මට අයියා කෙනෙක් හිටියා රෝහණ කියලා. 1964දී ඔහුත් මමත් දෙන්නාම අසනීප වෙලා. මගේ ජීවිතය බේරුණා. ඔහුගේ ජීවිතය නැතිවුණා. මා පවුලේ වැඩිමලා බවට පත්වුණා. අපේ නම් තාත්තා තියපුවා. පිරිමි අයට චන්ද්‍රගුප්ත, ඉන්ද්‍රනාථ, නන්දදේව, විශ්වනාථ වගේ මැද නම් තියෙනවා. මගේ සම්පූර්ණ නම අතුල චන්ද්‍රගුප්ත තේනුවර. මල්ලි උපුල් ඉන්ද්‍රනාථ තේනුවර. ඊළඟට පාලිත නන්දදේව තේනුවර ආදි වශයෙන්. සහෝදරියන්ගේ නම් රේණුකා ප්‍රියානි තේනුවර සහ මේනිකා ශ්‍රියානි තේනුවර. අපි අපි බවට පරිවර්තනය වුණේ, තාත්තාගේ පසුබිම තුළ වෙන්න ඇති. අපි එකිනෙකාගේ අනන්‍යතා වෙනස්.

මම කොළඹ ආවාට පස්සේ අතුල කියන නම මාරු කරගත්තා. අතුලලා ගොඩක් හිටියා. මෝදර අතුල තේනුවර කෙනෙක් හිටියා. කාලයක් හරි ආඩම්බරයෙන් අතුල චන්ද්‍රගුප්ත තේනුවර කියා ලීවා. පසුව එය වෙනස් වුණා. අතුල කී විගස එක්කෝ අම්පාරේ ඉස්කෝලේ කෙනෙක්. නැත්නම් තාත්තා හෝ ඥාති පවුලේ කෙනෙක්. ඒ නිසා බැංකු හෙම ඇමෙරිකන් ක්‍රමයට අතුල කියන නමින් මට කතා කරලා මගෙන් ටිකක් බැණුම් අහනවා.

තර්ස්ටන් විද්‍යාලයේ කාලය කොහොමද?

ශිෂ්‍යත්වයෙන් තර්ස්ටන් විද්‍යාලයට ආවාම කෙළින්ම විද්‍යාව පැත්තට යොමුකළා. චිත්‍ර විෂය කියන්නේ කැමැත්තක් දක්වපු තව එක විෂයක් විතරයි. ඉස්කෝලෙදී මම පන්තියේ සිත්තරා හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියා. සාමාන්‍යපෙළ කාලයේ හිටපු පන්තිභාර ගුරුවරයා වන සොයිසා මහතා කළුලෑල්ලේ හදවතක හරස්කඩක්, ප්‍රභාසංස්ලේෂණය වගේ පාඩම්වලට අයත් රූප අඳින්නට මාව ගෙන්වුවා. ඒ හැරුණාම චිත්‍ර හැකියාව පෙන්වන්න අවස්ථා ඉස්කෝලෙදී ලැබුණේ අඩුවෙන්. එහෙත් වාසනාවට මම සාමාන්‍යපෙළ අසමත් වුණා.

වාසනාවට කිව්වේ..

මම සාමාන්‍යයෙන් පන්තියේ මුල් ස්ථානවල හිටියා. විභාගය ආසන්නයේ මට උණ ගැනුණා. විභාගය හරිහැටි කරන්න බැරි වුණා. ඊට පස්සේ කලාකරුවෙක් වෙන්නට තීන්දු කළා. දෙවැනි වතාවේ සාමාන්‍යපෙළ ලියන්නට හිතාගෙන රස්තියාදු ගසමින් හිටියා. ඒ කාලයේ මම හැමතැනම රස්තියාදු ගැහුවා. රවිබන්දු විද්‍යාපති මා එක්ක හිටපු මිතුරෙක්. තවත් මිත්‍රයෙක් තමයි රොහාන් පියදාස. හර්ෂ ලියනගේ කියලා තවත් යාළුවෙක් හිටියා. මම මෝදර ඉඳලා බයිසිකලයෙන් ඇවිත් රස්තියාදු වුණා. සෝවියට් කල්චරල් සෙන්ටර්, ඇමෙරිකන් සෙන්ටර් වගේ තැන්වලට ගියා. ඒ කාලයේම සෝවියට් සෙන්ටර් එකේ රුසියානු භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ඔය කාලේම හේවුඞ් එකට ගිහින් කිංස්ලි ගුණතිලක හෙම මුණගැහුණා. හේවුඞ් එකට යන්න කලින් ඉඳලා මම ඔහු දන්නවා. ඒ කාලයේත් හිටපු සක්‍රියම චිත්‍රශිල්පියා කිංස්ලි. ඔහු චිත්‍රයක් ඇන්දොත් ශිෂ්‍යයන් හැමෝම ඇවිත් බලනවා. එහෙම චිත්‍ර සංස්කෘතියක් තිබුණු තැනක් ඕක. සහතික දෙන්නට පමණක් තිබුණු තැනක් නෙවෙයි. එච්.ඒ. පෙරේරා, ග්‍රැන්විල් රොද්‍රිගු වගේ මෝදර පදිංචි අය මුණගැහුණේත් ලයනල් වෙන්ඞ්ට් වගේ මෝදරින් පිට තැන්වලදීයි.

හේවුඞ් ගියේ කොහොමද?

ඔය රස්තියාදු කාලයේ මා හේවුඞ් එකට සුදුසු තත්වයට පත්කරන්නට තාත්තා යැව්වා ඔහුගේ ගුරු එස්.පී. චාල්ස් මහතා ගාවට. එතුමා එතකොට විශ්‍රාමිකයි. ඔහුගේ ගෙදර යන්න එන්න පටන්ගත්තා. සෞන්දර්ය අධ්‍යාපන ආයතනය හෙවත්, එදිනෙදා භාෂාවෙන් හේවුඞ් එකේ අභියෝගතා පරීක්ෂණය සමත්වෙලා ඇතුළත් වුණා.

තාත්තාගේ මිත්‍රයා සේකරව මුණගැහුණේ නැද්ද?

සේකර තාත්තාට කියලා, පුතාට අහවල් දවසේ මුණගැහෙන්න එන්න කියලා. මම ගිහින් බලාගෙන හිටියා. දවසේම හිටියත් සේකර ආවේ නැහැ. 1976 ජනවාරි 14 වැනිදා. මා බලාගෙන ඉන්න අතරේ ඔහු රෝහලේදී මියගිහින්. කවදාවත් තාත්තාගේ යාළුවා සහ මගේ වීරයා මුණගැහුණේ නැහැ. සේකර තමයි වීරයා වුණේ. චිත්‍ර ශිල්පය ඉගෙනගත් කවියා, නවකතාකරුවා, සිනමාකරුවා.

හේවුඞ් එකේ කාලය කොහොමද?

හේවුඞ් එකට ගිය කාලයේ මම පුංචි අම්මා එක්ක තරහාවෙලා ගෙදරින් ගියා. ඒ 1978 අප්‍රේල් 04 වැනිදා උපන්දිනය දවසේ. මා පුංචි කාලයේ ඇඳපු චිත්‍ර ගොඩක් පුංචි අම්මා බෝතල් පත්තරකාරයෙක්ට දීම ගෙදරින් යෑමට ප්‍රධාන හේතුවක්. මම චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ඒකට චිත්‍ර අරගෙන ගෙදරින් ගිය පාර නැවත ආවේ නෑ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතය ගතකළේ බෝඩිම්වල. නුගේගොඩ බෝඩිමක සහ සුප්‍රකට කැදැල්ලේ හිටියා. කැදැල්ල කියන්නේ නිශ්ශංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න වැනි අය ස්ථාපනය කරපු බෝඩිම් අවකාශයක්. හැත්තෑ ගණන්වල මනෝ සහ දිගා හිටපු නාට්‍ය උළෙලක් පැවැත්වුවා. ඒකට ලුම්බිණි එක ඉස්සරහ තොරණට මනෝගේ සහ දිගාගේ රූප දෙක ඇන්දේ මම. කැදැල්ල නුගේගොඩ නාලන්දාරාම පාරේ තිබුණු හරිම නිදහස් තැනක්. නිදහස් කීවේ ඇඳුම් නැතිව වුණත් ඉන්න පුළුවන්. එතැන පොල් අතුවලින් වටකරපු ළිඳක් තිබුණා. නාන්න යනකොට ඇඟේ මොකුත් නැහැ. වතුර සහ සිරුර අතර සම්බන්ධය විතරයි.

හේවුඞ් එකෙන් පස්සේ?

මම විවිධ දේවල් කළා. විජය පුවත්පත් ආයතනයේ වැඩකළා. ලෙස්ටර් කළ, ඒත් අවසන් කරන්න බැරිවුණ රොබට් නොක්ස් චිත්‍රපටියේ සැලසුම් ශිල්පියෙකු හැටියට වැඩකළා. ඊට පස්සේ විජිත ගුණරත්නගේ සුබසාධක නාට්‍යයේ ඇඳුම් සහ වේදිකා සැලසුම් කළා.

සෝවියට් දේශයට ගියේ කොහොමද?
විශ්වවිද්‍යාලයේ අවසන් අදියරේදී මම රුසියානු භාෂාව මුවහත් කරගන්න හිතාගෙන රුසියානු භාෂා පාඨමාලාවට නැවත ගියා. එතැනදී රුසියානු භාෂාවේ දක්ෂතා දැක්වීම නිසා 1983 දී දින 10ක රුසියානු සංචාරයක් ලැබුණා. ඒ කාලයේ සෝවියට් රුසියාවේ බ්‍රෙෂ්නෙව් පාලනය තිබුණේ. අපට සංචාරයේදී බලන්න ලැබුණේ, අප සමඟ ගිය මඟ පෙන්වන්නා ඇඟිල්ල දිගුකරන දිහාව පමණයි.

ගිහින් ආවාම දීනා පදුස්තෝවා කියන අපේ රුසියානු ගුරු දැනගෙන හිටියා මට රුසියාවට යන්න ආශාවක් තිබුණු බව. මම රුසියාවේ අත්දැකීම් ඇසුරෙන් ප්‍රදර්ශනයකුත් කළා. පසුව මගේ චිත්‍රවල පින්තූර එකතුවක් මොස්කව් වෙත යැව්වා. සති කිහිපයකට පස්සේ මගේ නම ලියපු ටිකට්පතක් ලංකාවට ආවා. මම 1985දී රුසියාවේ අධ්‍යාපනය ලබන්න ගියා. මම කතාවට කියනවා 1985දී මම සහ ගර්බචොව් කියන දෙන්නාම එකපාර මොස්කව් ගියා කියලා. මොකද ගර්බචොව් බලයට ආවේත් ඒ වර්ෂයේදී. එයින් පසුව උදාවුණේ සෝවියට් දේශයේ තීරණාත්මක අවසන් කාලසීමාව.

රුසියාවට ගිය බහුතරයක් වෛද්‍ය සහ ඉංජිනේරු උපාධි ලබන්නට ගිය අය. වැඩකට නැති ඒවාට ගියේ මා වැනි අය. මා ගිය ආයතනයට මට පෙර දෙදෙනෙක් ගියත්, ඔවුන් වැඩිපුර ප්‍රකට නැහැ. පාඨමාලාව අවුරුදු හතක් වුණා. අපට ඉගැන්වූ ගුරු තාහිර් සලකොව් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සිටි කෙනෙක් නිසා ඔහුට බලයක් තිබුණා. ඒ නිසා අපටත් නිදහසක් ලැබුණා. එහි සිටි සියලු සිසුන් ලෝකයේ විවිධ රටවලින් ආ අය. ‘ඔබලාගේ මුහුණු වෙනස්. ඒ නිසා ඔබලාගේ කලාවත් එකිනෙකට වෙනස් විය යුතුයි.’ ඔහු කීවා. මට ඔහු ජීනී කියලයි කතාකළේ. මම එහේ සිටි ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ඇසුරු කළේ නැහැ. විවිධ රටවල අය ඇසුරු කළා.

ඔබත් ජගත් වීරසිංහත් ලංකාවට පැමිණීම ක්ෂේත්‍රයේ අය උනන්දුවෙන් කතාකළ සිදුවීමක් නේද?
අනූඑකේදී මම ලංකාවට ඇවිත් ප්‍රදර්ශනයක් කළා. මම ළඟදීම එනවා වගේ සංඥාවක් දෙන්න. ඒක බලපු එවකට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු සිසුන් මගේ පැමිණීම ගැන බලාපොරොත්තු දල්වාගෙන හිටියා. අනූදෙකේදී ජගත් වොෂිංටන් ඉඳලා ආවා. ඇවිත් කාංසාව ප්‍රදර්ශනය ලෑස්ති කළා. ඒ ප්‍රදර්ශනය ඉවර වූ විගස මම මොස්කව් ඉඳලා ඇවිත් මොස්කව් පින්තාරු ප්‍රදර්ශනය පටන්ගත්තා. ඒක අප දෙදෙනා කතාවෙලා කළ දෙයක් නෙවෙයි. එහෙත් ඒක සංවාදයට ලක්වෙන මාතෘකාවක් වුණා.

ඊට පස්සේ..
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එකවර ගියේ නැහැ. මම කථිකාචාර්ය තනතුරක් සඳහා යවපු අයදුම්පත් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. ඊට පසුව තමයි මගේ එක් අයදුම්පතක් බාරගෙන තිබුණේ. ලංකාවට ඇවිත් හිටපු කාලයේ ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්තයා අඳින්න ගියා. මම කීවා අඳින්න පුළුවන්, දවස් කිහිපයක් එකම ඉරියව්වෙන් පැය දෙක ගාණේ ඉන්න ඕනෑ බව. එතකොට ෆොටෝ එකකින් අඳින්න බැරිද කියලා ඇහුවා. මම කීවා ෆොටෝවලින් අඳින්න මැරිලා නැහැනේ කියලා. ඔහු තේරුම් ගත්තා. පාන්දරම මම ගියා. කළුවර පුටුවක ගාම්භීර ඉරියව්වෙන් ඉඳගෙනම ඔහු දින කිහිපයක් හිටියා. එක්තරා ප්‍රමාණයකට පස්සේ මම කීවා හරි, දැන් ඔබතුමා නිදහස් කියලා. ඔහුගේ මුහුණු හිනාවෙන් පිරී ගියා, ක්ෂණයෙන් ඔහු සැහැල්ලුව පෙන්නුවා. නිදහස ලැබූ බව ඉරියව්වෙන් පෙන්වූවා. ජනාධිපතිවරයෙක්ව තියාගන්නත්, නිදහස් කරන්නත් පුළුවන් චිත්‍ර ශිල්පියෙකුට තමයි.

විභවි ආයතනය පටන්ගත් හැටි කීවොත්..
සමහරු ඇහුවා ටියුෂන් දෙන්න පුළුවන්ද කියලා. මම ඒක ප්‍රතික්ෂේප කළා. එහෙත් යම් විධිමත් පාඨමාලාවක් හැදුවොත් උගන්වන්න පුළුවන් බව කීවා. ඒ විදියට තමයි සති අන්ත පන්තියක් හැටියට විභවි එකේ පාඨමාලාව පටන්ගත්තේ. පසුකාලීනව එය විධිමත් ආයතනයක් වුණා.

බැරල්වාදය ඔබට ජාත්‍යන්තර කීර්තියක් අත් කරදුන් රූප සංකල්පයක්. බැරල්වාදය ඔබට පෞද්ගලික ජීවිතයේ බලපෑ විදිය කීවොත්..
මම මානව රූප ඇඳපු කෙනෙක්. මට යම් කීර්තියක් ලැබුණේ මානව රූප ඇඳලා. එහෙත් 1997 විතර කාලයේ රටේ සාමය සඳහා අප සහයෝගය දැක්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පැකේජය බිඳවැටුණා. මම රුසියාවට ගියේ අසූතුනේ මතකය අරගෙන. මට මතකයි අසූතුනේ කළු ජූලිය දවසේ කරුණා පෙරේරා, මම සහ ප්‍රියත් ලියනගේ විජය පුවත්පත් ආයතනයේ වැඩකළ බව. අප කතාකරන දවස්වලට හරියටම අවුරුදු 37කට කලින්. අපි වැඩට ගිහින්, එතැනදී දේශපාලන විසඳුමක් ගැන කතාකළා. ඒත් එතැනින් එළියට එනකොට ගිනි තියලා. මම වැල්ලවත්තේ නැන්දාගේ ගෙදර පැත්තට යනකොට ඒ පැත්තේ දෙමළ අයට ගහනවා. ඉස්කෝලේ ගිය කාලේ පොත් ගත්ත සාප්පුව ගිනිගත්තා. අපි පොල්තෙල් ගත්ත කඬේ දවස් ගාණක් ගිනිගත්තා. කඩ කඩපු හැටි, හාමුදුරුවරුන් හමුදා සෙබළුන්ට කඩ කඩන්න උපදෙස් දුන්න හැටි දැක්කා. වයස අවුරුදු 23ක තරුණයෙක් වූ මගේ හිතේ ඇතිවූ තැතිගැන්ම, රුසියාවේදී පැසෙව්වා. රුසියාවේදී රුසියන් භාෂාව ඉගෙනගන්නට රෑ නවයේ ප්‍රවෘත්ති බලන්න ඕනෑ. එහි තිබුණේ ජාත්‍යන්තර පුවත්. එතැනදී නිතර ලංකාව ගැන නරක පුවත් ඇහුණා. ඒ අසූතුනේ සැමරිය නොහැකි සැමරුම් ඇසුරෙන් තමයි මගේ ප්‍රදර්ශන මාලාව ආරම්භ වුණේ. එතැන් පටන් වාර්ෂිකව ජුලි මාසයේදී ප්‍රදර්ශන කළා. ඒ කාලයේ කොළඹ අවට හැමතැනම බැරල්. විජේරාම මාවතේ, ඩාලි පාරේ ආදි ලෙස හැම මර්මස්ථානයකම බැරල් තිබුණා.

ඔබේ ස්ථීර ජීවන සහකාරිය වූ කුමුදුනී සැමුවෙල් මුණගැසුණේ කොහොමද?
බැරල්වාදය පටන්ගත්ත කාලයේ. ඇය ඇමෙරිකාවේ ඉඳලා ඇවිල්ලා ඉන්න අතරේ ඇගේ මිතුරිය සුනිලා අබේසේකර තමයි මා මුණගස්සලා තිබුණේ. මට උදව් කරන්න කියලා පොළඹවලා තිබුණා. බැරල්වාදය වියානාවට ගෙනියන්න මුදල් ප්‍රශ්න තිබුණා. කොහොමහරි බැරල් ආධාරයෙන් ඇය මුණගැහුණා. ඇය ස්ත්‍රී ක්‍රියාකාරිනියක්. ස්වාධීන අනන්‍යතාවක් තියෙනවා. කොළඹ අපි ගමන් බිමන් යනකොට බැරල් අසල අපේ අනන්‍යතාව ප්‍රශ්න කළා. සිංහලද, දෙමළද කියලා ඇහුවා. දෙමළ නම් ඉන්න. සිංහල නම් යන්න පුළුවන්. කුමී (කුමුදුනී සැමුවෙල්) එක්ක ත්‍රීවීලරයේ යනකොට ඇය හැඳුනුම්පත දුන්නාම, ඇගේ තාත්තා දෙමළ. ඉතින්, ඇයව ප්‍රශ්න කෙරුණා. එතකොට මම වාදයට පැටලුණා.

වෙනත් ප්‍රේම කතා තිබුණාද?
ප්‍රේමය නැතිව ජීවත්වෙන්න අමාරුයිනේ. සියට පණහේ ප්‍රේමවන්තයෙක් හැටියට හුඟාක් කල් ගතකරලා තියෙනවා. ඉස්සර නියපොත්තෙන්වත් අල්ලන්න හම්බවෙන්නේ නැහැ. කරට අත දාගෙන ගිය සම්බන්ධතා නෑ. එක කුඩයේ යන එක තමයි ලොකුම සිහිනය. තැපැල් නොකරපු ලියුමක් තාම මගේ ගාව තියෙනවා. හේවුඞ් එකට යනකොට කැමති වූ සකුන්තලා නම් තරුණියක් හිටියා. හේවුඞ් එකේදී රමණි කියලා හොඳ නැටුම් ශිල්පිනියක් හිටියා. ඇයට කැමති වුණත්, ඇයට මිතුරෙක් හිටපු නිසා මා ගැන බලන්න බැරි බව කීවා. රමණිගේ විවාහ මණ්ඩපය ගැහුවේත් මම. රුසියාවේත් සම්බන්ධතා කිහිපයක් තිබුණා. දෙන්නෙක් ලංකාවට ඇවිත් කෙටි කාලයක් හිටියා. ඒ සම්බන්ධතා ලංකාවේදී වගේ නියපොත්තත් අල්ලාගෙන ඉන්න ඒවා නෙවෙයිනේ. ඒවා ප්‍රේමනීය, වගවීමක් සහිත සම්බන්ධකම්. අපි එකට ජීවත්වුණා. එක්කෙනෙක් මා හිටපු ආයතනයේ පුස්තකාලයේ සිටි තරුණ පුස්තකාලාධිපතිනිය. අනෙකා ශිෂ්‍යාවක්. මෑත කාලයේ දෙවැන්නියට පිළිකා රෝගයක් හටගත් බව දැනගන්න ලැබුණා. කුමී කීවා ගිහින් බලලා එන්න කියලා. එහෙත් පිළිකා රෝගය හැදුණ කෙනෙක්ව බලන්න පරණ පෙම්වතා යන එක සුදුසු නැති බව හිතුවා.