ආතර් මිලර්ගේ ‘ඉන්සිඩන්ට් ඇට් විෂී’ නාට්‍යයේ එන එක් ජවනිකාවක් මෙසේ ය:

ප‍්‍රංශයේ විෂී නගරයේ නාට්සීන් විසින් රඳවා තබාගත් කිහිපදෙනකු අතරට කොටු වූ මැද පංතික වෘත්තිකයකු නගරයේ වාඩිලා ගත් ජර්මානු නිලධාරියකු හමුවට පමුණුවනු ලැබේ. තම ගැළවුමට හේතුවනු ඇතැයි සිතා, තමන්ගේ වෘත්තික වැදගත්භාවය තහවුරු කරන සියලූ සහතික හා ලිපි ලේඛන ඔහු විසින් නාට්සි නිලධාරියා අතට පත් කරනු ලබයි. ‘මේ තමුන් සතුව ඇති සියල්ලදැ’යි ෆැසිස්ට් ජර්මානුවා පෙරළා අසයි. එය එසේ යැයි ඔහු හඟවයි. ඉක්බිති ඒ සියලූ සහතික අසළ ඇති කුණු බක්කියට විසි කරන නාට්සි නිලධාරියා වෘත්තිකයා දෙසට හැරී මෙසේ කියයි:

‘හොඳයි, දැන් තමුසෙට ඒ කිසිම දෙයක් නැහැ!’

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු පිණිස ඉකුත් බදාදා නැගී සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් දෙමළ ජනයා දෙසට හැරී දුන් පණිවුඩයේ නග්න හරය වූයේ ද එයයි.

ඒ අනුව පළමුව, දෙමළ ජනයාගේ දුක් ගැනවිලි එකින් එක අසා දැන විමසනු පිණිස පත්කරන ලද කාර්ය සාධක බලකායන් ද, කොමිෂන් සභා ද, විශේෂ කාර්යාල ද, පාර්ලිමේන්තු කමිටු ද මගින් කල් අදිමින් යුක්තිය පමා කළ අවුරුදු තුන හමාරකි. දෙවනුව, ඒ සියලූ දුක් ගැනවිලි කසළ බඳුනට විසි කරමින් ජාතික අසමානතාව පිළිබඳ සියලූ ප‍්‍රශ්න විසඳා ඇති ‘මගේ මාතෘභූමිය දෙස අලූ‍ත් විදියට බලන්නැයි’ ජාත්‍යන්තරය වෙත සට කපට ඇරයුමකි.

”ප‍‍්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක, නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සියලූ‍ කටයුතු කර ඇති රටක, මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක” සමෘද්ධිමත්භාවයට අත දෙන්නැයි ජනාධිපති සිරිසේන සැප්තැම්බර් 26 වැනිදා නිව්යෝක් නුවර දී ඉල්ලා සිටියේය. ‘ශ‍්‍රී ලංකාව නොබෙදුණු රටක් බවට පත්ව ඇත්තේ විරෝදාර රණවිරුවන් ඉටුකළ යුග මෙහෙවර නිසා’ බව ද හේ කියා තිබිණ.

ඒ 26 වැනිදාම, යාපනයේ ද, නල්ලූර්හි ද, පේදුරු තුඩුවේ ද, කිලිනොච්චියේ ද, මුලතිවුහි ද, අම්පාරේ සහ මඩකළපුවේ ද තැනින් තැන රැුස් කෑ දෙමළ ජනයා 31 වසරකට පෙර දෙමළ ජන ඉල්ලීම් දිනාගනු පිණිස මරණය තෙක් උපවාස කළ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් සමරා මතක පහන් දැල්වූහ. හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදු කෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවන ලෙසත්, අන්තර් කාලීන පරිපාලන සභාවක් පිහිටුවන ලෙසත්, උතුරු – නැගෙනහිර පළාත්වල අභිනව පොලිස් ස්ථාන පිහිටුවීම නවතන ලෙසත්, පාසල් සහ අධ්‍යාපන ආයතන ඇතුළු පොදු ගොඩනැගිලි තුළ රඳවා සිටින ආරක්ෂක සේනා ඉවත් කර ග‍්‍රාමාරක්ෂක භට පිරිස් නිරායුධ කරන ලෙසත් ඉල්ලා තිලීපන් විසින් එකළොස් දිනක් තිස්සේ සිදුකළ මාරාන්තික උපවාසය ඔහුගේ මරණයෙන් නිමා වූයේ 1987 සැප්තැම්බර් 26 වැනිදා ය.

ජනාධිපති සිරිසේනගේ පරිකල්පිත ‘නොබෙදුණු ලංකාව’ ගැන ජාත්‍යන්තර වාගාඩම්බර මගින් සඟවනු නොහැකි වූ ගැඹුරින් බෙදී ගිය ලංකාව පිළිබඳ යථාර්ථය මේ සැප්තැම්බර් 26 වැනිදා යළිත් මතුව ආවේ තිලීපන් පිළිබඳ සාමූහික සැමරුම් වේශයෙනි.

බැලූ බැල්මට ජනාධිපතිවරයා විසින් පෙරට දමන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් වෙත සිදුකළ රාජ්‍ය තාන්ත‍්‍රික ආයාචනයකි. නමුත් එහි ගැබ් වූ නිර්දය පණිවුඩය දෙමළ ජනයාට වෙන්වූවකි. සරල බසට හරවා කිවතොත් ඒ පණිවුඩය මෙසේ ය: ‘වසර තුන හමාරකට කලින් යුක්තිය පිළිබඳ අපේක්ෂා පෙරදැරිව රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දෙමළ ජනයා විසින් භාවිත කළ ඡුන්දය අලූ‍ත් ආණ්ඩුවකට පාර කැපුවා විය හැකි ය. නමුත් පැරණි ආණ්ඩුව හා අලූ‍ත් ආණ්ඩුව යා කරන වර්ග කේන්ද්‍රීය රාජ්‍ය පිළිවෙත් එමගින් අවලංගු නොකෙරේ. ඔබේ යටත්භාවය අපේ ස්වාධීනත්වයේ අංගයක් වන්නේ ඒ නිසා ය. යුද්ධය අපේ ජයකි. ඒ ජය ගෙනදුන් හමුදාවන් අපේ විරුවෝ වෙති. යුද්ධය ඔබේ පරාජයකි. පරාජය වූ ඔබේ දරුවෝ ත‍්‍රස්තවාදීහු වෙති. ජනවාර්ගික යුක්තිය පිළිබඳ යථාර්ථ විරෝධී කටුක ඇත්ත ඒ සමීකරණය ඇසුරෙන් පහදාගත යුතු ය. දැන් ඔබ වෙත ප‍්‍රදානය කර ඇත්තේ ඔබට ලබාගත හැකි උපරිම යුක්තියයි. එයට වැඩිමනත් දෙයක් සඳහා වන ඕනෑම ඉල්ලීමක් සමපාත වන්නේ විනාශ කරන ලද ත‍්‍රස්තවාදයේ අභිලාෂයන් සමග ය.’

අනෙක් අතට තිලීපන් සැමරුම් මගින් ද, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39වැනි සැසිය වෙත වෙන් වෙන්වත්, සාමූහිකවත් සිදුකරන ලද ඉල්ලීම් හා විරෝධතා මගින් ද දෙමළ ජනයා ඊට වෙනස් පණිවුඩයක් දී තිබේ. ව්‍යාජ සංහිඳියා සන්දර්ශනකාමීන් කෝප ගැන්විය හැකි මුත්, වචනවලට හැරවිය හැකි ඒ පණිවුඩය මෙසේ ය: ‘යුද්ධය ඔබේ ජයක් වීමට ඉඩ තිබේ. නමුත් යුක්තිය හා ජාතික සමානත්වය පිළිබඳ අඩ සියවසකට වඩා පැරණි දෙමළ ජනයාගේ සාමූහික ඉල්ලීම පිළිබඳ අපේ ආකල්ප එමගින් පරාජය නොවේ. අපේ දරුවෝ මිය ගියහ. නමුත් ඔවුහු අපේ විරුවෝ වෙති. ඔවුන් පිළිබඳ මතකය කෙරෙහිත්, ඔවුන්ගේ ඉල්ලීම් විසින් නියෝජනය කළ අපගේ සාමූහික අභිලාෂයන් කෙරෙහිත් අපේ පක්ෂපාතීත්වය පෙර පරිදි ය.’

තල් කොළ හා පොල් කොල කළාල මගින් වැසිය නොහැකි, මුහුණට මුහුණ ලා හිටගත් පරස්පර අභිලාෂයන් විසින් අඳිනු ලැබ ඇති බෙදුම් ඉර, ගෙවී ගිය අඩසිය වසක් තිස්සේ නොමැකුණු ‘දෛව රේඛාවක්’ සේ මේ සැප්තැම්බරයේදීත් ඉස්මතුව පවතී. නිව්යෝක් හා යාපනය අතර යථා දුර සලකුණු කරන්නේ ඒ බෙදුම් රේඛාව මගිනි.

තුන් වසරක් තිස්සේ එකතු කරගත් දෙමළ ජනයාගේ යුක්තිය පිළිබඳ සියලූ ඉල්ලීම් නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ කසළ බඳුනට විසි කළ ජනාධිපති සිරිසේන, දෙමළ ජනයා දෙසට ආපසු හැරී ‘දැන් තමුන්ට ඒ කිසිම දෙයක් නැතැයි’ උදම් අනමින් පීඨිකාවෙන් බැස ආ බව ඇත්තකි. නමුත්, සුන් බුන් වූ තිලීපන් ස්මාරකය ශ‍්‍රමදාන මගින් පිරිසිදු කොට පහන් දල්වා නැමූ හිසින් එකත්පස්ව හිඳින දෙමළ ජනයාගේ සමූහ සේයාරූ විසින් ඒ අධිපති උද්දාමයට පටහැනි යථාර්ථය අලූ‍ත් වටයකින් ජීවමාන කර තිබේ.

රෝහිත භාෂණ අබේවර්ධන