මනුෂ්‍ය වර්ගයා තම වර්ගයාට අමතරව ජීවිතය බෙදාගන්නට මුලින්ම තීරණය කළේ ඔවුන් සමඟය. ඔවුහු අළුපැහැ වෘකයෝය. එහෙත් කාලයක් ගෙවෙද්දී අළු වෘකයන් නැතිව ගොස් බල්ලෝ බිහිවූහ. බල්ලන්ගේ ස්වභාවය අනුව එක් එක් වර්ගවලට වෙන්කරන්නට පටන්ගත්තෝ මිනිස්සුය. ඒ අනුව ඩාවින් ඉගැන්වූ ස්වාභාවික වරණය පිළිබඳ සොබාදහමේ නීතිය වෙනුවට මිනිසුන්ගේ කෘත‍්‍රිම වරණයෙන් බල්ලන් වර්ග බිහිවිය.

මිනිස් ශිෂ්ටාචාරයක ගමනේ දීර්ඝ ගලායෑමකින් පසුව අද පවා, බල්ලන් හා මිනිසුන් අතර තිබෙන්නේ සමීප බැඳීමකි. තම ස්වාමියාගේ හෝමෝන ඉව කොට ස්වාමියා ඉන්නේ සතුටින්ද දුකින්ද කියා හඳුනාගැනීමේ හැකියාවක් බල්ලන්ට ඇත. මිනිසුන් කතාකරන ස්වරයෙන්ම දුක සතුට තේරුම් ගන්නට බල්ලන්ට හැකියාව ඇත. එහෙත් බල්ලන් මිනිසුන් හඳුනාගන්නා තරම් සියුම් ලෙස මිනිසුන් බල්ලන් හඳුනාගන්නවාදැයි ඇත්තේ සැකයෙකි. මේ බලූ මිනිස් කතාව ගැන කතාබහ කරන්නට අප ගියේ සුනඛපේ‍්‍රමියෙකු වන නීතිඥ උපුල් කුමරප්පෙරුම මුණගැසෙන්නටය. කුඩා කල සිටම බල්ලන් ඇසුරු කොට අත්දැකීම් ඔහුට තිබේ.

ඇත්තය, අප මෙතැන යෙදුවේ බල්ලන් ඇති කිරීම වෙනුවට බල්ලන්ව ඇසුරු කිරීම යන වචනයයි. බල්ලන් ඇති කිරීම යනු එකකි. ඇසුරු කිරීම යනු තවත් එකකි. ඇතැමුන් කරන්නේ බල්ලන් ඇති කිරීමය. නිවෙසක රෙදි සෝදන මැෂිමක්, ගෑස් ළිපක්, ශීතකරණයක් මෙන් ඔවුහු බල්ලෙකු ඇතිකිරීමෙන්ද කටයුතු කිහිපයක් බලාපොරොත්තු වෙති. මිදුලේ බැඳ තබා ගෙදර ආරක්ෂාව බල්ලන්ගෙන් බලාපොරොත්තුවන ඔවුහු බල්ලා වියපත් වෙද්දී කොහේ හෝ ගෙනගොස් අතහරිති. බල්ලාට පුංචි ලෙඩක් දුකක් ඇතිවුණත්, බල්ලා අත්හරිති. නිවෙසේ දොරටු සීමාවෙන් ඇතුළට එන්නට බල්ලාට ඉඩ නොදෙති.
බල්ලා ඇසුරු කිරීම යනු ඊට වඩා වෙනස් දෙයකි. කුමරප්පෙරුම බල්ලන් ඇසුරු කළ කෙනෙකි. බල්ලන්ට ආදරය කළ කෙනෙකි. ඔහු සිය අත්දැකීම් ගැන කතාව පටන්ගත්තේය.

‘කාලෙකට කලින්, අපි මාතර ගුරු නිවාසයක ඉන්නකොට කොච්චි බල්ලෝ කියලා කුරු බලූ වර්ගයක් ලංකාවේ ඉන්නවානේ, ඒ ජාතියේ බැල්ලියක් අපේ ගෙදර හිටියා. මේ බැල්ලිගේ පැටවුන්ගෙන් එක පැටියෙකුත් ගෙදර ඉතිරිවුණා. අවුරුදු දොළහක් විතර මේ දෙන්නා හිටියා. දෙන්නා කුරු නිසා මිනිස්සු කිව්වේ පොල්හේන්ගොඩ චැලිදෙක කියලා.


අම්මා ඉස්කෝලෙට උගන්වන්න ගියාට පස්සේ බල්ලෝ දෙන්නා අම්මා එක්ක පංතියෙන් පන්තියට ගිහින් අම්මා එනකන් ඉන්නවා. අම්මාව මඟහැරුණොත් අම්මා ඉන්න පන්තිය හොයාගෙන එන්නත් එයාලා දන්නවා. සතියේ දවස් පහට කාලසටහන් වෙනස් වෙනවා. පීරියඞ් එකෙන් පීරියඞ් එක ඉන්න පන්තියත් වෙනස් වෙනවා. ඒත් එයාලා අම්මාගේ සතියේම කාලසටහන අනුව ඉන්න පන්තිය හරියටම දැනගෙන හිටියා.


අනෙක ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකම් කිසිම වෙලාවක එක ළමයෙකුටවත් හිරිහැරයක් කරලා නැහැ. ඉස්කෝලෙ ඉවරවුණාට පස්සේ ගේට්ටුවෙන් ඇතුළට කවුරු හරි ආවොත් එළවාගෙන යනවා. එතකොට ඉස්කෝලේ ඇරෙන එක ගැනත් ඒ දෙන්නා දැනගෙන හිටියා. ඒ කතාවෙන් පටන්ගත්තේ බල්ලන්ගේ බුද්ධිය ගැන පැහැදිලි කරන්නයි.

බල්ලෝ හරිම භක්තිවන්තයි. එයාලා වැරුද්දක් කරලා ඒක අපිට අහුවුනොත් දණ ගහගෙනෙ, බිම දිගාවෙලා සෑහෙන වෙලාවක් අපෙන් සමාව ගන්නවා. අපේ භාෂාවත් බල්ලන්ට තේරෙනවා. අමුතුවෙන් පුරුදු කරන්න ඕනෑ නැහැ. අපේ ගෙදර බල්ලෝ තුන්දෙනා තම තමන්ගේ නම් දන්නවා.‘

ස්වාමියා


බල්ලෙකු බොහෝවිට තමන්ගේ නිශ්චිත එක් ස්වාමියෙකු සිතේ සනිටුහන් කරගනියි. නිවෙසක කිහිපදෙනෙකු සිටියත්, හැමවිටම තමන්ගේ පළමු ස්වාමියාට වැඩිපුර ළෙංගතු වෙයි.


‘මම මුලින්ම කීව බලූ අම්මා ගෙදරට ගෙනාවේ මම වුණාට එයාත්, එයාගේ දුවත් කියන දෙන්නාම මගේ අම්මාට තමයි එකතුවෙලා හිටියේ.
මෑත කාලයේ අපේ ගෙදර ඩැෂන්ඞ් බල්ලෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වයිෆ්ව තමයි තමන්ගේ ස්වාමියා විදියට සලකුණු කරගෙන හිටියේ. දවසක් මම වයිෆ්ගේ පිටට (විහිළුවට* ගැහුවා. ඒත් එක්කම බල්ලා මාව හැපුවා. ඒ ස්වාමියාට රිදවපු හින්දා.

දැන් ඉන්නවා තවත් ඩැෂන්ඞ් බල්ලෙක්. එයාගේ ඇස් පෙනෙන්නේ නැහැ. එයා හැන්දෑවේ වයිෆ් එන වෙලාවට එළියට ඇවිත් බලාගෙන ඉන්නවා. වයිෆ් සමහර වෙලාවට පිටරට ගිහින් දවස් ගාණක් ඉන්නවා. එහෙම දවසට එයා හරිම අවුලෙන් තමයි ඉන්නේ. කන්නේ නැහැ. වයිෆ් වෙනදා එන වෙලාවට ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා. වයිෆ්ගේ වර්ගයේ කාර් එකක සද්දය ඇහුණොත් පාරට දුවගෙන යනවා.’

බලූ කණ්ඩායම්

මිනිසුන් රංචු ලෙස ජීවත්වෙන්නට පටන්ගත් කාලයේම බල්ලන්ගේ ආදීතමයන්ද සිටියේ රංචු පිටින්ය. එක් කලෙක මේ සත්ව දෙවර්ගය ලොව රජකළේ ඒ නිසාය. මිනිසුන් තරම් දියුණු ලෙස භාෂාව පාවිච්චි කොට සන්නිවේදනය නොකළත්, බල්ලන් සිතන්නේ කණ්ඩායම් ලෙසය. සන්නිවේදනය කරන්නේත් කණ්ඩායම් ලෙසය.

‘දැවැන්ත ඇල්සේෂන් බල්ලෙකුයි කුරු ඩැෂන්ඞ් බල්ලෙකුයි අපට හිටියේ. අපි බැද්දෙගානේ හිටපු කාලේ ගෙදර ඉස්සරහ බෝක්කුවක් තිබුණා. බෝක්කුවට රිංගන තලගොයාව අල්ලන්න ඩැෂන්ඞ් බල්ලා එක පැත්තකින් රිංගලා බෝක්කුව දිගේ තලගොයාව පන්නද්දී, ඇල්සේෂන් එකා අනෙක් පැත්තේ රැුකලා ඉඳලා තලගොයාව අල්ලනවා. අපට නොතේරුණාට ඔවුන් කණ්ඩායම් විදියට වැඩ කරනවා.

දැන් ගෙදර ඉන්න බල්ලෝ තුන්දෙනාම සාමාන්‍යයෙන් නිදාගන්නේ අපේ කාමරේ බිම. ඒත් වයිෆ් රට යන වෙලාවට එයාලා ගෙදර මුර කරන්න ඕනෑ කියලා හිතනවා. එතකොට එක්කෙනෙක් දුවගේ කාමරයේ, තවත් කෙනෙක් පුතාගේ කාමරයේ, අනෙකා සාලයේ මැද නිදාගන්නේ බෙදිලා ගෙදර මුර කරන්නා වගේ.’

බලූ රෝග


බල්ලන් කෘත‍්‍රිම වරණයට ලක් කළ බව අපි කලින් කීවෙමු. ඒ නිසාම බල්ලන් වර්ගවල ජාන පැවතෙන්නේ ඔවුන් ස්වාභාවික තත්වයන්ට මුහුණදෙන නිසාම නොවේ. මිනිසුන්ගේ ඉහළම ආදරයට ලක්වූ බලූ වර්ගවල ජාන අනුව මිනිසුන්ගේ දැඩි සොයාබැලීම් නැතිව පැවතිය නොහැකිය.


‘ගොඩක් ඉහළ කුලවලට අයිතියි කියලා සැලකෙන බල්ලන්ට ඉක්මනින් ලෙඩරෝග හැදෙනවා. විවිධ බලූ වර්ගවලට ආවේණික ලෙඩරෝග වගේම එක් එක් ප‍්‍රදේශවලට ආවේණික ලෙඩරෝගත් තියෙනවා. අපේ ගෙදර හිටපු බල්ලන් කිහිපදෙනෙකුගේම ඇස් ඉක්මනින් නොපෙනී ගියා. මට තේරුණු විදියට එයාලාට අපි දුන්න කෑම ගැළපුණේ නැහැ. අපි කාපු කෑමමනේ බල්ලන්ට දෙන්න හුරුවෙලා හිටියේ. ඒත් සමහර බල්ලන්ගේ ශරීරයට ඒ කෑම ගැළපෙන්නේ නැහැ.

බල්ලොන්ට හැදෙන දරුණුම රෝගයක් තමයි බරවා රෝගය. ඒක හැදුණාම බල්ලාගේ බඩ යට රතු වෙනවා. බරවාවලින් බල්ලා මැරෙන්න පුළුවන්. පණු අමාරුව තවත් නිතර හැදෙන ලෙඩක්. පාවෝ කියලා ලෙඩක් තියෙනවා. ඒ හැරුණාම ප්‍රෙෂර්, වකුගඩු අමාරුව, දියවැඩියාව වගේ මිනිස්සුන්ට හැදෙන ගොඩක් ලෙඩරෝග බල්ලන්ට හැදෙනවා. ඒ විතරක් නෙවෙයි බල්ලන්ට මානසික ආතතියත් හැදෙනවා. ආතතිය හැදෙන්නේ බොහෝවිට ස්වාමියා සම්බන්ධ ප‍්‍රශ්න හින්දා.

එක පාරක් මගේ යාළුවෙක් එයාගේ බල්ලාව හදන්න බැහැ කියලා මට අරන් යන්න කිව්වා. මම අරගෙන ඇවිත් හැදුවා මාස හයක් විතර. බල්ලා හොඳට හිටියා. මම බල්ලාගේ පොටෝ එකක් දවසක් ෆෙස්බුක් එකේ දැම්මා. ඒක දැකලා මට කතා කරලා බල්ලාව ආපහු ඉල්ලූවා.

මම බල්ලාව ගෙනිහින් බාරදුන්නා. මම එයාව දීලා, කාර් එකට නැගලා පාරේ එනකොට බල්ලා ඒ ගෙදර වැට අයින දිගේ දුවගෙන ඇවිත් මම යනතුරු බලාගෙන හිටියා. ආවාට පස්සේ එයා මම කාර් එකට නගිනකොට දුවගෙන ඇවිල්ලා වැට ගාව ඉඳලා මම යනකම් බලාගෙන හිටියා. ඊට මාසෙකට පස්සේ ඒ බල්ලා මැරුණා.’

බල්ලාගේ ගරුත්වය


බල්ලෝ සිය රංචුවේ සාමාජිකයන්ට දිවිහිමියෙන් ආදරය කරති. ඒ ආදරයට අපද ගරු කළ යුතුය. අඩු තරමේ බල්ලා අපට දක්වන ආදරයෙන් අඩක්වත් අනෙක් පැත්තට අප දිය යුතුය.


‘බල්ලෝ හදන්න මිනිස්සු හරි ආසයි. බල්ලෙක්ව දැකලා ආස හිතුණාම හරි ළමයෙක් ඉල්ලූවාම හරි මිනිස්සු බල්ලන්ව හදන්න කියලා අරගෙන යනවා. මාස හතරක් පහක් ගියාට පස්සේ බල්ලාව ගෙයින් එළියට දානවා. ඊට පස්සේ ඒ බල්ලාට තියෙන අවධානය අතහැරලා දානවා. බල්ලාට අවුරුදු අටක් නවයක් වුණාම පාරට දාලා යනවා.

බල්ලෙක්ට ස්වාමියාගෙන් වෙන්වීම කියන්නේ ලොකු පීඩනයක්. මම කලින් කීවා වගේ බල්ලෙක් තමන්ගේ ස්වාමියාව රෙජිස්ටර් කරගන්නවා. එයා ලේසියෙන් ස්වාමියාව මාරු කරන්නේ නැහැ. ස්වාමියා එයාව ඈත්කරද්දී, එයා ලොකු පීඩාවකට පත්වෙනවා. ස්වාමියා තමන්ව වෙන කොහේ හරි ගෙදරකට ගිහින් දුන්නත් ඉක්මනින්ම පැනලා යනවා.


බල්ලන් අපට හරිම භක්තිවන්තයි. අපට ආදරය කරනවා. ඒ ආදරය අපි ආයෙත් එයාට දෙන්න ඕනෑ. එයාගේ ආදරයට ගරු කරන්න ඕනෑ. අපේ ගෙදර බලූ කූඩුවක් තියෙනවා. මෙයාලා කූඩුවේ ගිහිල්ලා හිටියාත් අපි දොරවල් වහන්නේ නැහැ. බොහෝම කලාතුරකින් තමයි දොර වහන්නේ. බල්ලොත් එක්ක ඉන්නවා කියන එකත් ඇත්තටම එක සාස්තරයක්. ඒක හැම කෙනෙකුටම කරන්නත් බැහැ.


ගෙදර මොනතරම් බලූපැටව් ඉඳලා තිබුණත්, මම එක බලූ පැටියෙක්වත් විකුණලා නැහැ. ඇත්තටම ආදරය කරනවා නම් බල්ලන්ව විකුණන්නත් බැහැ. බල්ලොත් එක්ක ජීවත් වෙලා එවුන්ගේ පැටව් විකුණනවා කියන්නේ තමන්ගේ ළමයි විකුණනවා වගේ වැඩක් කියලයි මට දැනෙන්නේ.


මම පැටව් දෙනවා. ඒත් ඒ බල්ලෙක්ව හදාගන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට විතරයි. සමහර යාළුමිත‍්‍රයෝ බල්ලෙක්ව අරගෙන ඇවිත්, බල්ලාව අල්ලලා බලලා අත හෝදන්න සබන් ඉල්ලනවා. එහෙම අයට මම බලූ පැටව් දෙන්නේ නැහැ. බල්ලෙක්ව අල්ලනකොටම තේරෙනවා මේ මනුස්සයා එක්ක බල්ලෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද කියලා.‘

තනිකම
අපේ වැඩි අවධානයක් යොමුවුණේ සුරතල් බල්ලන් ගැන බල්ලන්ගේ පැත්තේ කතාවටය. මේ කතාවට මිනිසුන්ගේ පැත්තක්ද ඇත. මනුෂ්‍යයන්ටද බල්ලන් නැතිව බැරිය. ඔහු කතාවේ ඒ පැත්තටද අවධානය යොමු කළේය.
‘අපිට නම් බල්ලෝ නැතිවම බැහැ. මිනිස්සු ආරක්ෂාව කියලා බල්ලෝ හැදුවාට. බල්ලෝ හදන්නේ ආරක්ෂාවට නෙවෙයි බල්ලන්ට තියෙන ආදරේට. බල්ලන් නැතිව බැරිකමට. ගොඩක් යාළුමිත‍්‍රයෝ තනිකම මකාගන්න බල්ලන්ව ළඟ තියාගන්න බව මම දැකලා තියෙනවා. මමත් සමහර වෙලාවට බල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට එයාලා මම කියන දේ පුළුවන් විදියට අඳුනාගෙන ඒවාට ප‍්‍රතිචාර දක්වනවා. දුක හිතෙන දෙයක් නම් එයා ඒක දන්නවා. සතුටු හිතෙන දෙයක් කිව්වොත් ඒක දන්නවා. ඒ නිසා මිනිස්සුන්ගෙන්වත් ලබන්න බැරි සමීප යාළුකමක් බල්ලෙකුගෙන් ලබන්න පුළුවන්. මගේ යාළුවෝ ඇහුවාම මොකද මෙච්චර බල්ලෝ හදන්නේ කියලා, මම උත්තරයක් විදියට කියන්නේ වටේපිටේ කුඩුකාරයෝ ඉන්න නිසා බල්ලෝ හදනවා කියලා. ඒත් ඇත්තම හේතුව අපට බල්ලෝ නැතිව බැරිවීම. අපේ පවුල සම්පූර්ණ වෙන්නේ බල්ලෝ හින්දයි.’


අපේ වැඩි අවධානයක් යොමුවුණේ සුරතල් බල්ලන් ගැන බල්ලන්ගේ පැත්තේ කතාවටය. මේ කතාවට මිනිසුන්ගේ පැත්තක්ද ඇත. මනුෂ්‍යයන්ටද බල්ලන් නැතිව බැරිය. ඔහු කතාවේ ඒ පැත්තටද අවධානය යොමු කළේය.
‘අපිට නම් බල්ලෝ නැතිවම බැහැ. මිනිස්සු ආරක්ෂාව කියලා බල්ලෝ හැදුවාට. බල්ලෝ හදන්නේ ආරක්ෂාවට නෙවෙයි බල්ලන්ට තියෙන ආදරේට. බල්ලන් නැතිව බැරිකමට. ගොඩක් යාළුමිත‍්‍රයෝ තනිකම මකාගන්න බල්ලන්ව ළඟ තියාගන්න බව මම දැකලා තියෙනවා. මමත් සමහර වෙලාවට බල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට එයාලා මම කියන දේ පුළුවන් විදියට අඳුනාගෙන ඒවාට ප‍්‍රතිචාර දක්වනවා. දුක හිතෙන දෙයක් නම් එයා ඒක දන්නවා. සතුටු හිතෙන දෙයක් කිව්වොත් ඒක දන්නවා. ඒ නිසා මිනිස්සුන්ගෙන්වත් ලබන්න බැරි සමීප යාළුකමක් බල්ලෙකුගෙන් ලබන්න පුළුවන්. මගේ යාළුවෝ ඇහුවාම මොකද මෙච්චර බල්ලෝ හදන්නේ කියලා, මම උත්තරයක් විදියට කියන්නේ වටේපිටේ කුඩුකාරයෝ ඉන්න නිසා බල්ලෝ හදනවා කියලා. ඒත් ඇත්තම හේතුව අපට බල්ලෝ නැතිව බැරිවීම. අපේ පවුල සම්පූර්ණ වෙන්නේ බල්ලෝ හින්දයි.’