පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක

ඔබ පාර්ලිමේන්තුවේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරෙන් මුස්ලිම් ජනතාව අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ කතාව මිත්‍යාවක් බව පෙන්වුවා. ජාතිවාදය ඇවිස්සීම සඳහා තමන් කැමති තැන්වලින් දත්ත උපුටාගෙන ඒවා විකෘති කිරීම දේශපාලඥයන් හා මාධ්‍ය ආයතනවල උපක‍්‍රමයක් වෙලා නේද?
ජාතිවාදය සඳහා සංඛ්‍යාලේඛන, දත්ත හා තොරතුරු පාවිච්චි වුණා. අවුරුදු ගණනාවක් පරන වැඩක් මේක. හැත්තෑගණන්වල දෙමළ ජනතාවට විරුද්ධවත් මේවා පාවිච්චි කළා. අලූත් දෙයක් නෙවෙයි. පිටරටවල්වලත් කරලා තියෙනවා. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ අපේ රටේ එවැනි බලගතු මිත්‍යාවන් එනකොට ඒ පිළිබඳව තිබෙන රාජ්‍ය ආයතනවලින් ඉටුකළ යුතු වගකීමක් තියෙනවා. දේශපාලනය හෝ ජාතිවාදය වැළැක්වීම එයාලාගේ රාජකාරී අතර නොතිබුණත්, තමන්ගේ ආයතනයේ නිවැරදිකම රැුකගැනීම වෙනුවෙන් පෙනීසිටීමවත් ඔවුන් කළයුතුයි. ඒක අපේ රටේ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් නොකිරීම බලගතු ඛේදවාචකයක්. ඒ නිසා තමයි එක එක්කෙනාට මේ දත්තවලින් ගසාකන්න පුලූවන් වෙලා තියෙන්නේ.


ඒ අතින් ගත්තාම මේ වගේ මිත්‍යා ප‍්‍රචාර පැතිරෙද්දී අදාල ආයතන හා ස්වාධීන විද්වතුන් කළයුතු කාර්යභාරය කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය පුරවැසියන්ටම නේද?
ඇත්තටම මම අවුරුදු ගණනාවකට පෙර ඉඳන්ම මේක තියෙනවා. එයාලා ඇත්ත කතාකරන්න ඕනෑ. හොඳම උදාහරණය තමයි වඳපෙති භීෂණය. වඳපෙති චෝදනා නිසා ලංකාවේ ජාතිවාදී ඛේදවාචකයක් පවා ඇතිවුණා. ඒ ඔක්කොම අහවර වුණාම තමයි ප‍්‍රසව හා නාරි විශේෂඥයන් කීවේ ලෝකයෙ වඳපෙති කියලා දෙයක් හොයාගෙන නැහැ කියලා. ඒකෙන් පස්සේ තමයි අන්ත ජාතිවාදීන් පවා වඳපෙති කතාව ගැන කතා කරන්නේ නැත්තේ. විශ්වවිද්‍යාලවල මෙවැනි විෂයන් ගැන විශේෂඥයන්ට, විද්වත් වෘත්තිකයන්ට මේවායේ ශාස්ත‍්‍රීය පැත්ත පැහැදිළි කිරීමේ වගකීමක් තියෙනවා. සිංහල මනුස්සයාව බයකරලා තියෙනවානේ මේ රට මුස්ලිම් වේවි කියලා. මුස්ලිම් අන්තවාදී අදහස් තියෙන අයත් හිතනවා මේ රට මුස්ලිම් කරන්න ඕනෑ කියලා. අපි සංඛ්‍යාලේඛන ඇසුරෙන් කීවේ ඒ දෙපැත්තම වැරදියි කියලා. ඔවුන් මතුකරන දෙවැනි කාරණය තමයි මේ රටේ දරුවන් වැඩියි කියන එක. සිංහල හා දෙමළ අම්මලා දරුවන් බිහිකිරීමේ අනුපාතිකයට වඩා මඳක් මුස්ලිම් අම්මලාගේ දරුවන් බිහිකිරීමේ අනුපාතය වැඩියි. ඒක මේ වෙලාවේ තියෙන ඇත්තක්. ඒත් ඔය අනුපාත පවතිද්දී තමයි සිංහල ජනගහනය ලක්ෂ 160කුත් මුස්ලිම් ජනගහනය ලක්ෂ 21කුත් වශයෙන් තියෙන්නේ. මම මේ කියන්නේ 2012 ජන සංගණනයෙන් පස්සේ, වර්තමානය වෙද්දී නිල වශයෙන් අනුමාන කරන ආසන්න ජන සංඛ්‍යාව ගැන. ඒ අනුව ඔය කියන විදියට මුස්ලිම් කාන්තාවන් දරුවන් බිහිකිරීමේ අනුපාතය ඉහළ මට්ටමක තියෙද්දී වුණත්, සිංහල ප‍්‍රතිශතය තමයි වැඩිවෙලා තියෙන්නේ.


මේ දරුවන් හදන එක ආගමික ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒක ගැහැණියගේ උගත්කම සම්බන්ධ කාරණයක්. හැටේ දශකය දක්වාම අපේ රටේ ජනවර්ග භේදයකින් තොරව ගැහැණුන් දරුවන් හයදෙනෙක් වාගේ හැදුවා. අපේ මාපියන්ගේ පරම්පරාවල එහෙමයි වුණේ. ඒකට ආගමික භේදයක් තිබුණේ නැහැ. ඇත්තටම ලෝකය පුරාම 1945න් පස්සේ තමයි පොදුවේ ගැහැණු ළමයින් ඉස්කෝලේ යන්නත්, රැුකියාවලට යන්නත් පටන්ගත්තේ. ඉස්සර කළේ දරුවන්ව බෝ කරපු එක. මේක මුස්ලිම් ආගමේ ප‍්‍රශ්නයක් නම් සවුදි, ඉන්දුනීසියාව වගේ රටවල්වලත් අම්මලා දරුවන් විශාල ප‍්‍රමාණයක් හදන්න එපැයි. ඒත් සවුදියේ හැට ගණන්වල දරුවන් 6.7ක ප‍්‍රතිශතයක් මවකට තිබුණා. අද සවුදියේ මවක් දරුවන් 2.7යි හදන්නේ. ඉස්සර ඉන්දුනීසියාවේත් දරුවන් හයක් වගේ හදලා තියෙනවා. අද ලංකාවටත් වඩා අඩුයි. 2.2යි. එහෙම ගත්තාම ලෝකයේ ලොකුම මුස්ලිම් රටවල් පවා ඔය ප‍්‍රචාරය කරන තරම් දරුවන්ව හදන්නේ නැහැ.


මේ වෙනකොට ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලමත්, ප‍්‍රදාන දේශපාලන පක්ෂ දෙකත් ජාතිවාදී රැුල්ලකට යටවෙලා ඉන්න බව පෙනෙනවා නේද?
ඒකට හේතුව තමයි ජාතිවාදය දේශපාලන බලයක් වීම. අනෙක් පැත්තෙන් ජාතිවාදය ආර්ථික බලයක් වීම. මේ ජාතිවාදී තත්වයන් දේශපාලන කටයුතු හා ආර්ථික කටයුතු වෙනුවෙන් අද පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට දැන් ප‍්‍රචාරයන් සිද්ධවෙනවා ඉස්ලාම් බැංකුකරණ අංශයක් තියෙන බැංකුවලින් මුදල් ඉවත්කරලා, ඉස්ලාම් බැංකුකරණ අංශයක් නැති බැංකුවල මුදල් තැන්පත් කරන්න කියලා. සිංහල වෙළඳ සංගම් දැන් බිහිවෙලා. සමහර වෙළඳසැල් ව්‍යාපාර කරන්නේ හිමිකරු සිංහල වීම ඉදිරියට දමාගෙන. ඒ දේශපාලන හා ව්‍යාපාරික බලයට අමතරව එය මාධ්‍ය ආයතනවලට ග‍්‍රාහකයන්ව අල්ලාගන්නා මෙහෙයුමක් වෙලා. මේකට විරුද්ධ අදහස් දරණ උදවියත් ඉන්නවා. විද්වතුන්, කලාකරුවන්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඉන්නවා. ඒත් ඒ ජාතික සමගියට දේශපාලන කඳවුරක් නැහැනේ. ඒකට මාධ්‍ය කඳවුරකුත් නැහැ. ජාතිවාදය දේශපාලන කඳවුරක් නම්, ජාතික සමගියටත් දේශපාලන කඳවුරක් තියෙන්න ඕනෑ. ජාතිවාදීන් ශක්තිමත් වළල්ලක්. ඒත් අපි ඉන්නේ තනි තනිව. එහෙම වුණාම මේක පරදවන්න බැහැ. අපි එකතුවෙන්න ඕනෑ.


ඉදිරි ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම වැඩි වැඩියෙන් සිංහල ඡුන්ද ගැනීමේ අපේක්ෂාවෙන් වැඩකරනු ඇතැයි පෙනෙන්නට තියෙනවා. ජවිපෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඒ මතවාදවලට විකල්පයක් වේවිද?

අපි ඒ අරමුණු මත පසුගිය කාලයේ වැඩකරලා තියෙනවා. අපි ජුලි 14 වැනිදා ජනතා මධ්‍යස්ථානයක් පිහිටුවනවා. ජවිපෙ හා ජවිපෙ නොවන පුද්ගලයන්, සංවිධාන එතැනට එකතු කරගන්න අපි උත්සාහ කරනවා. ඒක මැතිවරණ පෙරමුණක් නෙවෙයි. මහජන මධ්‍යස්ථානයක්. එය ජවිපෙ විදියටම සලකන්න බැහැ. ජවිපෙ එතැන නියෝජනය කරන දේශපාලන පක්ෂයක්. එහෙත් එයට දේශපාලන මතවාදයක් තියෙනවා. ඒ වගේම මැතිවරණවලටත් ඒ ජනතා මධ්‍යස්ථානය ඉදිරිපත් වෙන්න ඕනෑ බව අප විශ්වාස කරනවා. ඒ අනුව ඒ මධ්‍යස්ථානයෙන් සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් වේවි. ඒ පුද්ගලයා කවුද වගේ කාරණාවලටත් වඩා ඉදිරිපත්වීමේ කාරණය තමයි වැදගත්. පුද්ගලයාව අනාගතයේදී තීන්දු වේවි.


ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනය රටට සාපයක් බව කීවා. ඔබේ ප‍්‍රතිචාරය මොකක්ද?
දැන් රටට තියෙන සාපය තමයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. 19 වැනි සංශෝධනය නෙවෙයි. ඒ සංශෝධනයට ජනවරමක් තියෙනවා. ඒක ඕපපාතික දෙයක් නෙවෙයි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමයි රටට කොඩිවිනය වෙලා තියෙන්නේ.


කෙසේවෙතත් 19 වැනි සංශෝධනයේ යම් අඩුපාඩු තියෙන බවත් පිළිගන්න සිද්ධවෙනවා. එහි අඩුපාඩු විසඳාගන්නට තියෙන විසඳුම මොකක්ද?
එය අතරමැදි පියවරක්. අපේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් අපේ රටේ මිනිස්සු දහස් ගණන් ජීවිත දීලා තියෙනවා. මේ ජනාධිපති ක‍්‍රමය නිසා රටට ඉදිරියට යන්න බැරිවෙලා තියෙනවා. අපි ඔක්තෝබර් 26 දුටුවා ඒකාධිපතියෙක්. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් දැක්කේ වගකීම් ඉටු නොකරන දඩබ්බරයෙක්. ඒ නිසා රටට ඉදිරියට යන්න බැහැ. දැන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පුළුල් කරන දිහාවට තමයි රටේ ජනමතය තියෙන්නේ. ඒ දිහාට තමයි යන්න ඕනෑ. 19න් පස්සේ යන්න තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට. ජනාධිපතිවරයා කියන විදියට 18 හා 19 කියන සංශෝධන දෙකම අහෝසි කළොත් යන්නේ ජේආර් ජයවර්ධන හදපු ව්‍යවස්ථාවට. අපි එතැනට ආපහු යන්න ඕනෑ නැහැ. අපි කරන්න ඕනෑ 19 වැනි සංශෝධනයෙන් කරපු ප‍්‍රතිසංස්කරණ පුළුල් කරන එකයි. මොකද රට ජේආර්ගෙන් ඉදිරියට යන්න ඕනෑ.


ජනාධිපතිවරයා මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා. ඒ ගැන ඔබේ ප‍්‍රතිපත්තිය මොකක්ද?
අපි ප‍්‍රතිපත්තිමය වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මරණ දඬුවම ක‍්‍රියාත්මක වීමෙන් අපරාධ නතර වෙන බව ලෝකයේ කොහේවත් කියලා නැහැ. අනෙක් අතර අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක වීම ගැන දැවැන්ත ප‍්‍රශ්න තියෙනවා. ඒ නිසා වැරදිකරුවන්ට දඬුවම් දීමේදී වැරැුද්දක් නොකරපු අයට මරණ දඬුවම දුන්නොත් ඒ වැරැුද්ද නිවැරදි කරන්න බැහැ. ඒකත් එක හේතුවක්. මත්ද්‍රව්‍ය ජාවාරම, ළමයින්ට එරෙහි අපරාධ නැවැත්වීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙන බව අපි පැහැදිළිව පිළිගන්නවා. මේ ප‍්‍රශ්නවලින් රට මුදවාගන්න ඕනෑ බව අපි දැඩිව හිතනවා. ඒවා විසඳාගන්නට තියෙන පළවැනිම ක‍්‍රමය තමයි ඒ අපරාධවලට අදාලව ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කිරීම. ළමයින්ට එරෙහි අපරාධ හා මත්ද්‍රව්‍ය අපරාධවලට අදාලව වේගයෙන් නඩු අහන විශේෂ අධිකරණ පිහිටුවිය හැකියි. මේ වැරදි කරන අයගෙන් ගොඩක් අයට දඬුවම් ලැබෙන්නේ නැහැ.

දඬුවම් ලැබීමේ ප‍්‍රතිශතය වැඩි කරන්නයි ඕනෑ. ඇත්තටම ලෝකයේ මරණ දඬුවම් ලබාදෙන රටවල්වල දැන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ප‍්‍රමාණය අඩුකරගෙනයි යන්නේ. ලෝකය හෙමින් හෙමින් මරණ දඬුවම නවත්වමින් යන්නේ. එවැනි පසුබිමක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ලෝකය යන පැත්තට නැතිව, රට ආපස්සට ඇදගෙන යෑමයි කරන්න හදන්නේ. මේ වෙලාවේ අපි රටක් විදියට ජාත්‍යන්තර සමාජය ඉදිරියේ පරෙස්සමෙන් වැඩ කරන්න ඕනෑ. අපි බෝම්බ ප‍්‍රහාරවලට ලක්වෙලා. අනාරක්ෂිත රටක් බවට පත්වෙලා. ජාතිවාදය ගැන අපකීර්තියක් ලබලා. දැන් අපේ රටට කලූ ලපයක් තියෙනවා. එහෙම පසුබිමක ලෝකයේ රටවල්වලින් අපේ රටවල හොඳ ප‍්‍රතිචාර ලබන එකයි කරන්න ඕනෑ. ඒ අතින් ගත්තාම මරණ දඬුවම හොඳ දෙයක් යැයි විශ්වාස කරන කෙනෙක් හිටියත්, ඒක ක‍්‍රියාත්මක කරන්න මේක නොගැලපෙන වෙලාවක් නොවන බව තේරුම්ගන්න ඕනෑ. ජනාධිපතිවරයා කරපු වැඩෙන් අපි ආයෙමත් ලෝකය ඉදිරියේ බැණුම් අහන තත්වයට පත්වෙලා තියෙනවා.


රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ගෝත‍්‍රික අදහස්වල ප‍්‍රචාරය කරන, ඒ අදහස්වලට විරුද්ධව ප‍්‍රමාණවත් විරෝධයක් එල්ල නොකරන පසුබිමක, ජවිපෙ නවීන සමාජයක් වෙනුවෙන් අවංකව පෙනී ඉන්නේ නැතැයි චෝදනාවක් එල්ලවෙනවා. ඇතැම් අය පවසන්නේ ජවිපෙත් ගෝත‍්‍රික රැුල්ලට යන ප‍්‍රධාන ධාරාවේම කොටසක් බවයි. ඒ අදහස ගැන ඔබේ ප‍්‍රතිචාරය මොකක්ද?
අපි ඒක ප‍්‍රතික්ෂේප කරනවා. පක්ෂයක් විදියට මේ රටේ මෑත කාලයේ හැම ප‍්‍රධාන ප‍්‍රශ්නයකදීම පැහැදිළි ස්ථාවරයක් සමඟ අපි වැඩකරලා තියෙනවා. ඔය බොහෝ පුද්ගලයන් සමහර සිදුවීම්වලදී හැංගෙනවා. ඒත් අපි හැම තැනකදීම පාහේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නවා. මරණ දඬුවම ගැන වුණත් පාර්ලිමේන්තුවේදී මුලින්ම අදහස් ඉදිරිපත් කළේ ජවිපෙ. සාෆිගේ සිදුවීමේදීත් පාර්ලිමේන්තුවේදී මුලින්ම ප‍්‍රශ්න කළේ ජවිපෙ. ඒත් මෙහෙම දෙයකුත් තියෙනවා. අපි ගිනිනිවන හමුදාව වගේ එන එන ප‍්‍රශ්නය පිටිපස්සේ දුවගෙන ගිහින්, තොරතුරු හොයාබලන්නේ නැතිව ප‍්‍රශ්නවලට පනින්නේ නැහැ. අපි බොහෝවිට කතාබහ කරලා බොහොම වගකීමෙන් තමයි වැඩ කරන්නේ. සමහර ප‍්‍රශ්නවලදී පමණක් ගින්නක් ඇතිවෙන බව තේරුම්ගතතොත් ඉක්මනින් ගින්න නිවන්න යනවා. අපි දේශපාලන පක්ෂයක්. ඒ නිසා අප උත්සාහ කරන්නේ ජනතාවත් හවුල් කරගෙන මේ ප‍්‍රශ්න විසඳන්නයි. රටේ බහුතර ජනතාවගේ මතය අදාල නැති බව හිතමින් වැඩ කරන්න ගියොත් අපේ ස්ථාවරය තියේවි. ඒත් ප‍්‍රශ්නය විසඳන්න බැරිවේවි. අපට ජනතාව හවුල් කරගන්න බැරිවුණොත් මේ මූලධර්මවාදීන්ට, මෛත‍්‍රීපාල සිරිසේන වගේ ප‍්‍රතිපත්ති විරහිත අයට ඒවා අවභාවිත කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා අපි ප‍්‍රතිචාර දක්වන්නේ ජනතාව හවුල් කරගනිමිනුයි. ඒත් අපි සමහර ප‍්‍රශ්නවලදී ජනතාවගේ අදහස මොකක් වුණත් නිවැරදි දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක තමයි අපේ ප‍්‍රතිපත්තිය.

දඬුවම් ලැබීමේ ප‍්‍රතිශතය වැඩි කරන්නයි ඕනෑ. ඇත්තටම ලෝකයේ මරණ දඬුවම් ලබාදෙන රටවල්වල දැන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ප‍්‍රමාණය අඩුකරගෙනයි යන්නේ. ලෝකය හෙමින් හෙමින් මරණ දඬුවම නවත්වමින් යන්නේ. එවැනි පසුබිමක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ලෝකය යන පැත්තට නැතිව, රට ආපස්සට ඇදගෙන යෑමයි කරන්න හදන්නේ. මේ වෙලාවේ අපි රටක් විදියට ජාත්‍යන්තර සමාජය ඉදිරියේ පරෙස්සමෙන් වැඩ කරන්න ඕනෑ. අපි බෝම්බ ප‍්‍රහාරවලට ලක්වෙලා. අනාරක්ෂිත රටක් බවට පත්වෙලා. ජාතිවාදය ගැන අපකීර්තියක් ලබලා. දැන් අපේ රටට කලූ ලපයක් තියෙනවා. එහෙම පසුබිමක ලෝකයේ රටවල්වලින් අපේ රටවල හොඳ ප‍්‍රතිචාර ලබන එකයි කරන්න ඕනෑ. ඒ අතින් ගත්තාම මරණ දඬුවම හොඳ දෙයක් යැයි විශ්වාස කරන කෙනෙක් හිටියත්, ඒක ක‍්‍රියාත්මක කරන්න මේක නොගැලපෙන වෙලාවක් නොවන බව තේරුම්ගන්න ඕනෑ. ජනාධිපතිවරයා කරපු වැඩෙන් අපි ආයෙමත් ලෝකය ඉදිරියේ බැණුම් අහන තත්වයට පත්වෙලා තියෙනවා.