ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනෙක මාධ්‍යවලට අදහස් දක්වමින් කියා සිටියේ, ජනාධිපතිවරයා සිල්ලර කඩ ගානේ නොගොස්, මහා පරිමාණ වීමෝල් හිමියන්ගෙන් පාරිභෝගිකයන් මුදවා ගන්නට කටයුතු කළ යුතු බව ය. (එසේ මුදවා ගන්නා තෙක් තමන් බත් පැකට් එකක මිල රුපියයල් දහයකින් ඉහළ දමන බවයෟ*

මේ සභාපතිවරයාට පෙනෙන අන්දමට රාජපක්‍ෂ ජනාධිපතිතුමා, කළ යුතු වැඩ පසෙක තිබියදී වෙනත් වැඩක යෙදෙන්නේ ය. ඒවා මාධ්‍ය සංදර්ශන බවට පත්වෙයි. හුදී ජනතාව ජනාධිපතිතුමා රාජ්‍ය ආයතනවලට කඩා පනින, ආර්ථික මධ්‍යස්ථානවලට කඩා පනින, මහමඟ යන’තර රෝහල්වලට ගොඩවදින ආකාරය ගැන සතුටු සිතින් බලා සිටිති.

එහෙත්, මේ මොහොතේ තිබෙන ජාතික ප‍්‍ර‍්‍රශ්න මොනවා ද?

රාජිත සේනාරත්න, රජය අපහසුවට පත් කරන්නට මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීම? චම්පික රණවකගේ නිල වාහනයේ පසුපස මෝටර් බයිසිකල්කරුවකු ගැටී ඔහු ආබාධිත වීම? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යෑම? කළුබෝවිල රෝහලේ රෝගීන් බලන්නට ආ අයට හිඳගන්නට ආසන නැතිවීම? මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගන්නට පැමිණෙන අයට අපහසුතාවලට මුහුණ දීමට සිදු වීම? පෞද්ගලික බස්වල වාදනය වන සංගීතයේ කරච්චලය? කොළඹ කොටුවේ බැස්ටියන් මාවතේ අනවසර වෙළෙඳහල් ඉදිකොට තිබීම? ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවක් දිනපතා නැතිව වරින් වර  ධාවනයේ යෙදවීම? වරායේ කන්ටේනර් ස්කෑනින් යන්ත‍්‍රයෙන් ප‍්‍රමාද ඇති වීම? මද්‍යසාර සඳහා ඊතයිල් ඇල්කොහොල් පිටරටින් ගෙන්වීම?

ජනමාධ්‍යවල මුල් තැන දෙන සිදුවීම් හැටියට නම්, මේ මොහොතේ රටේ ජාතික ප‍්‍රශ්න බවට පත්ව ඇත්තේ එවැනි දේ ය.

එහෙත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය නොවැම්බරයේ මහජනතාවගෙන් ලක්‍ෂ 69ක පිරිසක් විසින් පත් කරගන්නා ලද්දේ එවැනි සරල ප‍්‍රශ්න විසඳීමට ම නොවන බව පැහැදිලි ය.

ඒ මහජනතාවට අනුව, 2015-2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව අනතුරේ දැම්මේ ය. රට ණය බරෙන් ආතුර කළේ ය. ආර්ථිකය විනාශ කෙළේ ය. රාජ්‍ය පාලනය සීසීකඩ විසුරුවා දැමී ය. ජාත්‍යන්තර වශයෙන් රට බාල්දු කෙළේ ය.  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරගන්නා ලද්දේ ඒ සියල්ල ආ පිට හැරවීමට ය.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් නම් බලවත් විධිවිධාන දැනටමත් ක‍්‍රියාවේ යෙදවෙමින් පැවැතෙයි. ඒවා ගැන මහජනතාව යහමින් දනිති.

එහෙත්, රටේ වැදගත් ම ප‍්‍රශ්න කිහිපය ආමන්ත‍්‍රණය කෙරෙන්නේ ද?

මහින්ද අමරවීර ඇමතිවරයා ම කියන පරිදි මේ අවුරුද්දේ ණය වාරික හා පොලි ගෙවීමට රජයේ සම්පූර්ණ ආදායම වුව ද මදි ය. එවැනි අවදානමක සිටිය දී, ආණ්ඩුව මහා පරිමාණ බදු අඩු කිරීමක් කෙළේ ය. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය කපා හරින ලෙස බැංකුවලට නියෝග කළේ ය.

ණය පියවීම සම්බන්ධයෙන් තමන්ගේ ප‍්‍රතිපත්තිය ආණ්ඩුව තමන්ට කිව යුතු යැයි මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ම කීවේ පසුගිය දා ය. පසුගිය ආණ්ඩුවට ඒ ගැන සැලැස්මක් තිබුණ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අතර, රුපියල් 18,000ක වැටුපකට අඩු ම ආදායම්ලාභී පවුල්වලින් ලක්‍ෂයක් දෙනා රාජ්‍ය සේවයට එකතු කර ගන්නට සැලසුම් කෙරෙයි. ඒ රාජ්‍ය සේවයේ දැනටමත් ඉන්නා දාහතර ලක්‍ෂයකට ආසන්න පිරිසට අමතරව ය. ඒ ලක්‍ෂ දාහතරෙන් බහුතරයක අකාර්යක්‍ෂමභාවය ගැන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ම සිය අසතුට විවිධ අවස්ථාවල පළ කර තිබිය දී ය.

ඒ අතර, රාජ්‍ය ආයතනවල විශාල අරාජිකභාවයක් තිබේ. සමහර ආයතනවලට පත් කරන ලද පුද්ගලයන්, පත්වීමේ ලියුම් ලබා ගත්තා මිස ආයතනය පැත්තේ ගොස් නැත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වැනි ස්වාධීන ආයතනවලට තවමත් සභාපතිවරුන් හා පාලක මණ්ඩල පත් කර නැත. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සෑම උසස් පෙළ විභාගය කළ සිසුවකුට ම සහතික කරනවා කියූ ආණ්ඩුවකින්, උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වී ඇති මේ අවස්ථාවේ දී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට වුවමනා ඉහළ නිලධාරීන් කොමිසමට පත් කොට නැත.

මේ යථාර්ථය, පරස්පර වන්නේ පරාජය කරන ලද යහපාලන ආණ්ඩුවේ පිළිවෙත  සමග නොවේ. මේ ආණ්ඩුවේ අය ම ජනාධිපතිවරණයට පෙර ජනතාව ඉදිරියේ කී අද්විතීය ප‍්‍රතිපත්ති සමග ය. x