අද ඔබ සමවැහි රේඛාවෙහි දකින්නේ කිසිසේත් ම හැඳින්වීම් ඉල්ලා නොසිටින ඡායාරූපයකි. ඇත්තෙන් ම එය ඡායාරූපයක් නොව කතාන්දරයකැයි මට සිතේ. එය දකින පමණින් ඔබ සිතෙහි ද ඇඳී යනු ඇත්තේ වීර්යය, අභිමානය, සටන්කාමීත්වය වැනි වචනයකින් හැඳින්විය හැකි යම් හැඟුම් කැටියක යා වුණු විප්ලවීය ඉතිහාස පදාසයකැයි මම සිතමි. පසුගිය වසර හැට හැත්තෑවක කාලය තුළ ලොව පුරා විවිධ අරගල පසුබිම් අරා නැගී සිටියා වූ ද, යම් ප්‍රතිරූපයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මේ සා අයිකනික ස්වරූපයකින් බලපාන ලද්දා වූ ද වෙනත් ඡායාරූපයක් ඇත්දැයි නොදනිමි. මෙය 20 වැනි සියවසේ ලොව ජනප්‍රියත ම ඡායාරූපය බව MICA නොහොත් මේරිලන්ඩ් කලා අධ්‍යයන ආයතනය ප්‍රකාශයට පත් කළේ ය. මේ සේයාරුව තරම් ප්‍රති නිර්මාණය වූ, සිතුවමට නැගුණු, මුද්‍රණය වුණු, මූර්ති, ග්‍රැෆික්, ආදී වෙනත් කලාවන්ට ආරෝපණය කෙරුණු, මතක් කර ගත හැකි ඕනෑම යමක් මත සටහන් වුණු වෙනත් රුවක් නොමැති බව වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය වරක් නිවේදනය කර තිබිණි. කැලිෆෝනියා ඡායාරූප කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජොනතන් ග්‍රීන් වරෙක පවසා තිබුණේ මේ සේයාරුව නවත ම රූපාක්ෂර භාෂාවක විශ්වයට ම වැටහී යන ප්‍රධාන අක්ෂරය බවට පත්ව ඇති බවයි.

මෙය කියවන කිසිදු කෙනෙකුට ප්‍රයෝජනයක් නොවෙතත් නිකමට මෙන් ලියූ මීළඟ වාක්‍ය දෙක ද   නොකපා ඉතිරි කරමි. “වීර ගරිල්ලා සටන්කරු” (Guerrillero Heroico) යන නමින් මුලදී හඳුන්වනු ලැබූ මේ ඡායාරූපය කියුබා විප්ලවයේදී ෆිදෙල් කැස්ත්‍රෝ සමග අරගලයට පණ දුන් මාක්ස්වාදී ආර්ජන්ටීනියානුවා වන අර්නස්ටෝ “චේ” ගුවේරා පෙනී සිටින ජනප්‍රිය ම ඡායාරූපයයි. එය විප්ලවය හා සම්බන්ධ ජාත්‍යන්තර සංකේතය වන තරමට ම ලොව පුරා ප්‍රචලිත වූවකි. කියුබානු විප්ලවයට සම්බන්ධ වූ ඡායාරූප ශීල්පී ඇල්බර්ටෝ කෝඩා විසින් මෙය සිය කැමරාවේ සටහන් කර ගෙන ඇත්තේ 1960 මාර්තු 5 වැනිදා ය. එවක චේ පසු වූයේ 31 වැනි වියේ ය. 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලීවියානු ජනාධිපති රෙනේ බැරයන්ටොස්ගේ නියෝගය අනුව අත් අඩංගුවේදී සිටියදී ම චේ ගුවේරාව ඝාතනය කෙරුණු අතර ඔහු ගත කළ ජීවිතය පිළිබඳ පුවත්, ඔහුගේ ලියූ කියූ දෑ සහ ඡායාරූප ආදිය පමණක් එතැන් සිට ලොව පුරා පියඹා ගොස් විප්ලවයේ සිහිවටන ලෙස ජීවත් වෙයි.

ඔහු කඩවසම් තරුණයෙකි. එහෙත් සුන්දරත්වය ඉක්මවා ඇතුළු හිතකින් විදෙන ධෛර්යයක්, අධිෂ්ඨානයක් සහ සමාජ අසාධාරණත්වය නොඉවසන සුළු සටන්කාමීත්වයක් ඔහු තුළ වූ බව සපථ කරන යමක් මේ ඡායාරූපයේ තිබේ; ඔහුගේ තියුණු බැල්මේ සහ තියුණු මුහුණේ තිබේ. ඔහුගේ ජීවන වෘත්තාන්තයත් ඔහුගේ මතවාද සහ අදහස් ආදියත්, වෙන ම තලයක, වෙන ම පිටු මත තබා විමසිය යුතු ඒවා ය. එහෙත් ඔහුගේ ප්‍රකට ප්‍රකාශයන් කිහිපයක් ගෙන මේ ඡායාරූපය අසළින් තැබුවහොත් චේ පිළිබඳ සමීප අරුතක් එතැනින් පැන නැගීමට ඉඩ තිබේ. “විප්ලවය යනු ඉදී බෙරි වූ ඉබේ වැටෙන ඇපල් ගෙඩියක් නොවන බවත්, අප එය වැටෙන්නට සැලැස්විය යුතු බව”ත් ඔහු වරෙක කීවේ ය. “මහ පොළොව මත සිටින ධනවත් ම මිනිසා සතු සියලුම වස්තු සම්භාරයන්ට වඩා තනි මනුෂ්‍ය ජීවිතයක් අගනා බව” කීවේ ද ඔහු ය. “තමා පරාජය වූ පමණින් ජයග්‍රහණය යනු කිසිදා නොලැබෙන දෙයකැයි නොඇඟවෙන බව” කී ඔහු සිය අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ මෙසේ ය.

“ඔබ ජීවත් විය යුත්තේ ජයග්‍රහණයන් සැමරීමට නොව පරාජයන් මැඩ පැවැත්වීමට ය.”

ඡායාරූප ශිල්පී කෝබා චේගේ මුහුණ කැමරාවේ සටහන් කර ගෙන ඇත්තේ ඔහු දැඩි කෝපයෙන් පසු වූ අවස්ථාවක බව සඳහන් වේ. එවක කොබේ පවසා ඇත්තේ ඔහුගේ මුහුණෙන්  විහිදුණු වෛරය කේන්තිය සහ වේදනාව තමන් විසින් කැමරාවේ සටහන් කර ගත් බවයි. නමුත් එම ඡායාරූපය තුළ ඇති විස්මය නම් චේ ගේ චරිතය තුළ වූ ස්ථිරසාර කැපවීම සහ ප්‍රතිපත්ති ගරුක ස්වභාවය එතුළින් ලෝකයට සන්නිවේදනය කිරීමයි. වීරයාගේ හදිසි මරණයෙන් සහ ඒ ඇසුරේ ලොව පුරා ගොඩ නැගුණු සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ දේශපාලනික සංවාද-විසංවාදයන්හිදී චේ ගේ භාවිතාව කතා බහට ලක් වීමත් සමග ඔහු දේශපාලන-සංස්කෘතික අයිකනයක් බවට පත් විය. කෝබා විසින් ම පසුව පවසා තිබුණේ තමාගේ කැමරාවට හසු වී ඇත්තේ කෝපී චේ තරුණයාගේ නොව ඉඳුරන් දමනය කළ චේ ගුවේරා නම් නායකයාගේ රුව බවයි.

මෙම කළු සුදු මුල් ඡායාරූපය විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධාකාරයෙන් රූපාන්තරණය වනු අපි දැක ඇත්තෙමු. 1967 දී මුල් වරට එය රතුවර්ණිත ග්‍රැෆික් පින්තූරයක් බවට පත් කරන ලද්දේ අයිරිෂ් ජාතික ශිල්පියෙකු වූ ජිම් ෆිට්ස්පැට්‍රික් විසිනි. එම නිර්මාණය ද චේගේ මුහුණ ඇතුළත් වඩාත් විප්ලවීය පෙනුමකින් යුතු සංකේතීය රුවක් බිහි කර ඇත. විප්ලවයට ආදරය කළ කලාකරුවෙකු වූ කෝඩා මෙම ඡායාරූපයට ලොව පුරා නිදහසේ පියඹා යාමට ඉඩ හැරියේ  ඒ සඳහා කිසිදු කර්තෘ භාගයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමිනි. එහෙත් 2000 වසරේදී “ඇබ්සලුට්” වොඩ්කා සමාගම එය සිය ප්‍රචාරක දැන්වීමකට පාවිච්චි කළ අවස්ථාවේ ඔහු එම සමාගමට එරෙහිව නඩු පවරා ඉන් ජය ලැබුවේ ය.

නැවතත් මොහොතකට ඔහුගේ මුහුණ බලමු. ඔහු මිය ගොස් වසර පණහක් පිරෙන්නට තවත් ඇත්තේ මාස කිහිපයකි. ඔහු පිළිබඳ පුරා වෘත්ත, ප්‍රශස්ති සහ ජාත්‍යන්තර ආලවට්ටම් පසෙක තිබියේවා. ඔහු තමන් වෙනුවෙන් නොව අනෙක් මිනිසුන් වෙනුවෙන් සටන් කළ පරිත්‍යාගශීලී මිනිසෙකිය යන්න ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. ඒ හෘදය සාක්ෂිය ගැන ඔහු කියා ඇත්තේ මෙවැන්නකි.

“සත්‍යය සෑම මිනිසෙකුගේ ම හදවතේ ඇත. ඔහු සිටින තත්ත්වය කොතරම් සංකීර්ණ වුව ද, අනෙක් අය පිටතුනි ඔහු දෙස බලන්නේ කවරාකාරයකින් වුව ද, සත්‍යය සැඟවී ඇත්තේ ඔහු ගේ හදෙහි  කොතරම් ගැඹුරක වුව ද, යම් පළිඟු ඉඳිකටුවකින් ඔහුගේ හද විවර කල වහා ම උණු දිය දහරාවක් සේ සත්‍යය ගලා හැලෙනු ඇත.”

ලක්ශාන්ත අතුකෝරල