මහනුවර ගලහ මූලික රෝහල ඉදිරිපිටදී අගෝස්තු 28 වැනිදා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස කඳුලූ‍ ගෑස් එල්ලකිරීමෙන් විසුරුවාහැර තිබේ. වයස අවුරුදු එකහමාරක දැරියක අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පැය දෙකක් ගත වෙන තුරු නිසි ප‍්‍රතිකාර ලබා නොදුන් බව කියමින් විශාල පිරිසක් ගලහ මූලික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ කරමින්, රෝහලේ දේපලවලට අලාභහානි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විවිධ මත විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කර තිබුණි. ගලහදී දරුවා මියගියේ රෝගී න් ලබාදුන් ප‍්‍රතිකාර අවබෝධ කර නොගෙන දරුවා රෝහලෙන් රැුගෙන ගිය වතු කම්කරු ජනතාවගේද, නැතිනම්, නිසි ලෙස ප‍්‍රතිකාර නොකළ රෝහල් කාර්ය මණ්ඩලයේද, යන්න සාකච්ඡුා මාතෘකාව විය. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් පැහැදිලි කිරීමක්ද සිදුකර තිබුණි. වෛද්‍යවරයෙක් මේ සිදුවීම පිළිබඳව කර තිබුණු පැහැදිලි කිරීමක් මෙසේය.

‘ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුළු සේවකයන් කීපදෙනෙකු සිටින ප‍්‍රාදේශීය කුඩා රෝහලකි. හෙදියන්, දරුවා උදේ 9.05ට රෝහලට රැුගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.

උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතළ තුවාල ලබා පැමිණෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප‍්‍රතිකාරවලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්‍ෂණිකව පිටත් කර හැරේ. මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ළමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ. නූගත් පිරිස, කෘත‍්‍රිම ශ්වසනය ලබාදෙන අවස්ථාවේ බලහත්කාරයෙන් දරුවා ත‍්‍රීරෝද රථයක දමාගෙන පලාගෙ ාස් ඇත. මේ අවස්ථාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරණයට පත්වීම ඒකාන්තය.’

ඉහත පැහැදිලි කිරීම අනුව බැලූ බැල්මටම වැරැුද්ද ඇත්තේ හේතුවක් නැතිව කලබල වී රෝහල සුණුවිසුණු කළ ගැමි වතු කම්කරුවන්ගේය. වෛද්‍යවරයාගේ වචනවලින් කිවහොත් නූගත් මිනිසුන්ගේය.

මේ කතාවට උද්ඝෝෂකයන් අතර සිටින පුද්ගලයෙකු කියන කතාවක් එකතු කළ යුතුය. ඔහු කියන්නේ ‘මේ හොස්පිට්ල් එකට ගියොත් පණපිටින් එන්න ලැබෙන්නේ නැහැ. මැරෙන්න තමයි වෙන්නේ.’ යනුවෙනි. අඩු වැඩි වශයෙන් උද්ඝෝෂකයන්ගේ කෑගැසීම්වල තිබුණේ එවැනි විරෝධයකි. ඒ විරෝධය මේ දරුවා සම්බන්ධයෙන් පමණක් නොව, රෝහල් කාර්ය මණ්ඩලයෙන් ගැමියන්ට ලැබෙන සැලකිම්වලට ප‍්‍රතිචාර දැක්වීමකි. ඒ විරෝධය පිටවෙන්නේ එක් සිදුවීමකින් වුව එය දීර්ඝකාලීන පීඩනයක් පිටකිරීමක් බව බැලූ බැල්මට පෙනීයයි.
මේ සිදුවීමේදී වෛද්‍යවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව අප නිවැරදිවම දන්නේ නැත. උද්ඝෝෂකයන් කියන්නේ වෛද්‍යවරුන් පැය දෙකක් ගතවෙන තුරු රෝගී දරුවා දෙස නොබැලූ බවය. ඉන්පසුව ගිලන් රථ රියැදුරා ‘මොන හදිස්සියක්දැයි’ බැණවදිමින් දරුවා රැුගෙන නොගිය බව උද්ඝෝෂකයෝ කියති. අවසානයේදී කරන්නට දෙයක් නැති තැන දරුවා රැුගෙන ගිය බව ඔවුන්ගේ කතාවයි. ඒ කතාවෙන්ද පෙනෙන්නේ රෝහල පිළිබඳ අවිශ්වාසයයි.

මේ නූගත් මිනිසුන් නූගත් වීමත්, වෛද්‍යවරයා විශ්වාස නොකිරීමත් සිදුවුණේ ඇයි? විමසිය යුතු පැනය එයයි. ලියුම්කරු වතු කම්කරු ජනතාව ජීවත්වෙන ප‍්‍රදේශයක ජීවත් වෙන පුද්ගලයෙකි. ඒ අත්දැකීම් සහ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ කතාබහ කිරීමෙන් ලද අත්දැකීම් සමඟ කියන්නට ඇත්තේ ගලහ වැසියන් රෝහල වට කරගනිමින් පිටකළේ එක් සිදුවීමක පීඩනය නොවන බවය. එය වතු කම්කරුවන්ට රෝහල් ඇතුළු රාජ්‍ය ආයතන රැුසකදී මුහුණදෙන්නට සිදුවන පීඩනයක් පිටවීමකි.

මේ සිදුවීම සමස්තයක් ලෙස වතු කම්කරු දෙමළ ජනතාව රජයේ සේවාවන් ලබාගැනීමේදී මුහුණදෙන්නට සිදුවන පීඩනයෙහි දිගුවකි. ගලහ උද්ඝෝෂකයන් කියන කතාවල ඇත්තේ රෝහලේදී තමන්ට දිගින් දිගටම මුහුණදෙන්නට සිදුවූ නොසැලකීම්ය. සෙරෙප්පු ගලවා රෝහලට ඇතුළුවෙන ලෙස අණ කිරීම එක් සිදුවීමකි.

රෝහල් සම්බන්ධ එක් නිශ්චිත උදාහරණයක් කිව හැකිය. ලියුම්කරු ජීවත්වෙන්නේ බණ්ඩාරවෙල ඇටම්පිටිය නම් ප‍්‍රදේශයේය. ලියුම්කරුට සමීප රෝහල ඇටම්පිටිය ග‍්‍රාමීය රෝහලයි. ඇටම්පිටියේ රෝගීන් රෝහල් භූමියට ඇතුළුවිය යුත්තේ පාවහන් ගලවාය. පාවහන් පැළඳ රෝහලට ඇතුළු වුවහොත් රෝගීන්ට අසන්නට වෙන්නේ කුණු බැණුම්ය. එහෙත් රෝහල් කාර්ය මණ්ඩලය පාවහන් පැළඳ වැසිකිළිවලට ඇතුළු වෙති. රෝගීන් පාවහන් නැතිව ඇවිදින වාට්ටුවලත් ඒ පාවහන් සමඟ ගමන් කරති.

පෙර කී පීඩනය ඇටම්පිටිය රෝහලේදීද වතු කම්කරුවන් වන දෙමළ ජනතාවට විඳින්නට සිදුවන අයුරු ලියුම්කරුට දකින්නට ලැබී ඇත. වෙනත් රෝගී න්ට වඩා පහත් භාෂාවකින් බැණ වැදීම, රෝගියා නොසලකා හැරීම, වේදනාවෙන් කෙඳිරි ගාන රෝගී න්ට බැණ වැදීම, පෝලිම්වල වතු කම්කරුවන් පසුපසට යැවීම වැනි එදිනෙදා පීඩනයන්ට මුහුණදෙන්නට වතු කම්කරුවන්ට සිදුවන ආකාරය ඇටම්පිටිය රෝහලේදී ලියුම්කරුට දකින්නට ලැබී ඇත.

හදිසියේ කලහකාරී ලෙස හැසිරීම ගැටලූ‍ විසඳන ක‍්‍රමයක් නොවන බව සැබෑවකි. මේ ජනතාව උගත්, නිවුණු පුද්ගලයන් නොවන බව සැබෑවකි. එහෙත් මේ ජනතාව උගත්කමේ ඉනිමගෙහි ඉහළට නොගොස් පහළ රැුඳෙන්නේ කාගේ වරදින්දැයි යළිත් විමසිය යුතුය. ඒ සියල්ල සිහි තබාගෙන ගලහ සිදුවීම හුදෙකලා සිදුවීමක් නොවන බවත්, මහා ගැටලූ‍වක එක් සිදුවීමක් පමණක් බවත් තේරුම් ගත යුතුය.