■ කපිල කුමාර කාලිංග

ඉන්දීය හින්දි කවියෙකු වන කේදර්නාත් සිං ( Kedarnath Singh ) 2013 දී ජනාධිපති සම්මානය ලැබුවේ ඉන් පිදුම් ලබන 10 වෙනි සාහිත්‍යධරයා හා කවියා වෙමිනි. ඊට පෙර ජනාධිපති සම්මාන උළෙල 46 වතාවක් පවත්වා තිබූ අතර, සුවිතානන්දන්ම යන්ට්, මහාදේවි වර්මා, නරේෂ් මේතා රාම්දාරි සිං ඩින්කර්, තන්වර් නාරායන් වැනි කවීන් ඉන් ගෞරවයට පාත්‍රව තිබුණි. ජනාධිපති සම්මානය සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 11ක්ද පිරිනැමෙයි.


ජනපති සම්මාන ප්‍රදානයෙන් පසු, කේදර්නාත් සිං සමඟ පිළිසඳරක යෙදුණු ඉන්දීය මාධ්‍යවේදියෙකු මෙසේ ඇසුවේය.

‘කවිය වඳ වෙයි, සාහිත්‍යය මියැදෙයි, ඔබේ අදහස?’ කේදර්නාත් මෙසේ කීය.
‘මෙය සම්පූර්ණ සත්‍යය ම නොවේ. මාධ්‍ය විසින් පාඨකයා මොට කර දමනවා. ඒ නිසා වර්තමාන සාහිත්‍යකරුවාට ජනප්‍රියත්වය හා බරසාරකම අතර සමබරතාවක් පවත්වාගෙන යාමට සිදුවෙලා. කෙසේ වෙතත් කවිය හා මනුෂ්‍යත්වය පිළිබඳව මට තිබෙන්නේ ශුභවාදී දැක්මක්.’
1934 ජුලි 7දා උත්තර් ප්‍රදේශයේ, චාකියා නම් දිළිඳු හා දුෂ්කර ගම්මානයක උපත ලද කේදර්නාත් බාලවියේ අකුරු කරන්නට ගිය පාසලේ ඔරලෝසුවක් නොවීය. ඔහු වෙලාව බලන්නට යොදා ගත්තේ දිවා කල පිපෙන ‘දූපහාරියා’ (Midday Flower) නමැති මලය.
තම කවිකම සංසාරික උරුමයක් වන්නට ඇතැයි කේදර්නාත් සඳහන් කර ඇත. ඔහුගේ පියා කවියකු නොවුණත් සංගීතයට මහත්සේ ඇලුම් කළේය. ගීතයක් කවියක් වෙන් කිරීම ගැන කේදර්නාත් එතරම් සතුටක් දක්වන්නේද ඇත. ඔහු ගීත රචනයෙහිද යෙදුණේය.


වැඩිදුර අධ්‍යාපනය සඳහා වරණාසියට යන කේදර්නාත්ගේ කවි සිතෙහි, එහි වෙසෙන ප්‍රකට කවියකු වන මාධව් මුක්තිබෝද් හමුවීමට මහත් ආශාවක් තිබුණි. එහෙත් ඒ වන විට මුක්තිබෝද් කවියා වරණැසින් පිටව ගොසිනි. එහෙත් ඒ හිඩැස පුරවමින් ඔහුට ත්‍රිලෝචාන්ජී ( Trilochanji ) නමැති විශිෂ්ට කවියා මුණ ගැසෙන්නට ලැබෙයි. කවි බස සකස් කර ගැනීමේ වැදගත්කම, මුක්තිබෝද්ගෙන් ඔහු උගත්තේය.


හින්දියෙන් කවි ලියුවද, කේදර්නාත්ගේ මුල්බස වූයේ බෝජ්පූර්ය. එය ඉන්දියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම ටිබෙටයේ ටෙරායි පළාතේද භාවිතා වෙයි. කේදර්නාත් උපන් උත්තර් ප්‍රදේශයේ නැඟෙනහිර කොටසේ විශාල වශයෙන් යොදා ගැනේ. ‘ගම සහ රට’ යනුවෙන් ඔහු ලියා ඇති කවක් මෙසේය.

හින්දිය මගේ රටයි
බෝජ්පූර් මගෙ ගමයි
ඒ දෙකටම ආදරෙයි
එහෙත් මගෙ ගැටලුව මෙයයි
ගතවූ සෑම වසර පුරා
ඒ දෙතැනම දකින්නේ
ඒ දෙතැනම හිඳිමින්

මේ කවේ සැඟැවුනු අරුතෙන්, කේදර්නාත්ගේ භාෂා භාවිතය පිළිබඳවද යම් අදහසක් මතුකරගත හැක. ඔහු පසු කලෙක ජීවත් වූයේ – 2018 මාර්තුවේදී මිය යන තුරාම – නවදිල්ලියෙහිය. එහෙත් කේදර්නාත් තුළ සිටි ගැමියා කිසි විටෙකත් ඔහු අතැර ගියේ නැත. ඔහු කවි බස ග්‍රාමීය – නාගරික බස් වහරේ කදිම මුසුවක් විය. ඒ නිසාම එය සරල විය. ව්‍යාංගාර්ථවත් වුවද වටහා ගැනීම දුෂ්කර නොවීය. සියුම් විය.


මුල් කාලයේදී නව-රොමැන්ටික් කාව්‍ය ව්‍යාපාරයට ( Neo-Romantic Movement ) නැඹුරුව සිටි කේදර්නාත්, පසුව ප්‍රගතිශීලි ව්‍යාපාරය හා එක්විය. ඉනිදු ඉක්බිති ‘නායි කවිතා’ ( Nai Kavitha ) නමැති නව කවීන් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ , කේදර්නාත් එක තැන කල්ලි ගැසී නොසිට යාවත් කාලීන වූ කවියෙකු බවය.


වරණාසියේ සිටි කාලයේදී ත්‍රිලෝචන් කවියා හැරුණු විට මහාචාර්ය හරිප්‍රසාද් ද්විවේදි, මහාචාර්ය නාමවාර් සිං වැනි විද්වතුන්ගේ ඇසුර කේදර්නාත්ගේ සාහිත දිවියට යහපත් බලපෑමක් ඇති කළේය. විදෙස් කවීන් අතරින් ප්‍රංශ කිවියර පෝල් එලියුඞ්, ජර්මන් නාට්‍යකරු හා කිවි බර්ටෝල් බ්‍රෙෂ්ට් හා පැබ්ලෝ නෙරූදා නිර්මාණාහාෂය ඔහුට ආලෝකයක් විය.


කාශි විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ. උපාධිය ලද කේදර්නාත්, ආචාර්ය උපාධිය සඳහා කළ නිබන්ධනයට විෂය වූයේ ඡායාවාදී ( chaayawadi ) නමින් හැඳින්වුණු කාව්‍ය ශානරයේ පරිකල්පනය පිළිබඳවය. කලක් හින්දි ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ඔහු පසුව නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියකට (ඉන්දීය භාෂා අංශය) පත්විය.


1980 දී ඔහු ලියූ “කොටියා” ( Tiger ) නමැති අඛ්‍යාන කාව්‍යය, හින්දි සාහිත්‍යය සමාජය තුළ කතිකාවතකට ලක් විය. කොටියෙකු ප්‍රධාන චරිතය වූ එය, ටෙඞ් හියුස් කවියාගේ “ක්‍රදඅ” (කපුටා) හා යම් සමානතා දැක්වුවද, දෙදෙනා දෙයාකාර විය. කාව්‍ය එකතු 7ක් පළ කළ කේදර්නාත්, විචාර ලිපි හා ප්‍රබන්ධ එකතුද ප්‍රකාශයට පත් කළේය. ඉහත සඳහන් කළ මාධ්‍යවේදියාම, එම සංවාදයේදී කේදර්නාත්ගෙන් මෙසේ අසයි.


“ඔබ කවියෙක්, විචාරකයෙක්, ගුරුවරයෙක්, ඒ අතුරින් ඔබ වඩා කැමති කුමකටද?“
කවියා මෙසේ පිළිතුරු දෙයි


“මම විචාර ලියුවේ ටිකයි. ඒ නිසා මම විචාරකයෙක් නෙවෙයි. බොහෝ කවි ලියූ නිසා මා කවියෙකු ලෙස හඳුන්වනු ලබනවා. දැන් මම ගුරුවරයකු ලෙස විශාල වගකීමක් දරනවා. ඇත්තෙන්ම මා කවුදැයි මම තවම විනිශ්චය කර ගෙන නැහැ.” ගම හා බැඳි පොකුණිවැල නොසිඳගත් කවියකු ලෙස ගම ගැන – විමසූ විට ඔහු මෙසේ කීය.


“මා උපන් ගම දැන් මට හඳුනා ගත නොහැකි තරමට වෙනස් වෙලා. දැන් පවතින්නේ ගම හෝ නගර නොව තනිකරම වෙළෙඳපොළක්. ගැමියන් ඒ ගොවිතැන් අතැර දා රැකියා සොයා නගරයට ඇදී යනවා. මෙය හොඳ දෙයක් ලෙස මා දකින්නේ නෑ. චීනය වැනි රටවල් ගම ආරක්ෂා කර ගත්තා. “


ලෝක කාව්‍යය අතර හින්දි කවියට ඇති තැන කේදර්නාත් දකින්නේ මෙසේය.
“ලෝකයේ කොතැනකවත් නැති තරම් විවිධත්වයක් ඉන්දියානු කවියට තිබෙනවා. එහෙත් අවසානයේ තිබෙන්නේ එකම ඉන්දියානු කවියක්. එක්තරා ටිබෙට් කවියෙකු මෙසේ කියා තිබෙනවා.

මම ඉන්දියාවේ සිටියෙමි.
එහෙත් මා ඉන්දියානුවෙකු ලෙස නොසැලකුණි
එසේම මා තිබ්බතයෙකු ද නොවීය.”

මහා භාරතය, තමන්ට මැදිවන ලොකු කුඩා සියලු දේ තමන් නතු කර ගනී. නැතහොත් ඉන්දියානුකරණයට ලක් කරයි. ඉංග්‍රීසියට වුවත් එහිදී සිදුවූයේ ඉන්දියානු ඉංග්‍රීසියක් බවට පත්වීමයි. කේදර්නාත්ගේ විචාර ලිපිවල නූතනවාදයක් ගැන කියැවෙයි. එහෙත් එය බටහිර නූතනවාදය නොව ඉන්දීය නූතනවාදයකි. විශාල වශයෙන් ලියැවෙන ඉන්දීය කවි ලෝක භාෂාවන්ට පරිවර්තනය නොවීම ගැන කේදර්නාත් කනස්සලු වෙයි. ඔහුට අනුව, බල්ගේරියාව කුඩා රටක් වුව, එහි ලියැවෙන බොහෝ දෑ කල් නොයවාම ලෝක භාෂාවන්ට පරිවර්තනය කෙරෙයි.
ඉන්දු – අමෙරිකානු ලේඛිකාවක වන කල්පනා සිං ( Kalpana Singh ), කේදර්නාත්ගේ කවි එකතුවක් —Defending The unirverse˜ ” (විශ්වය රැක ගැනීම) නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කළාය. එහි එම මැයින්ම පළවූ කවකි මේ.

වැනෙන සැළෙන රුක් මුලින් කළ
පටි සපත්තු පැලඳ
මා ඉදිරියේ සිටී එය
දේශ සීමාව රකිමින්
මුක්තිබෝද් කවියා මැවූ
බ්‍රහ්මරාක්ෂයන් මෙන්
තුගු, විසල්, වියැළුණු
මහ රුකෙහි
මුදුනෙහි
පත් කීපයකි, ඉතිරිව
මුදුනට යත්ම
කෙමෙන් සිහින්වන මහ රුකෙහි
ඉතිරි වූ පත් කීපය
සැලෙනයුරු අනගි දසුනෙකි
දරුණු නියඟයකදී පවා
ඒ පත් එතැනය
සුරකමින්
විශ්වය

“හින්දි” මැයින් ලියූ කවෙහි ලා, කේදර්නාත් මෙසේ කියයි.


භාෂාවකට රාජ්‍ය භාෂාවක් විය නොහැකිය. එයට භාෂාව පමණක්ම වීමට ඉඩ දිය යුතුය. අරාබි, තුර්කි, බංග්ලා, තෙළගු ආදී ඕනෑම බසයකට පමණක් නොව , තුරු මුදුනක සැලෙන තනි පතක නදට පවා, ඉඩදිය යුතුය, එයට එයම වන්නට. ■