කොරෝනා  අපේ රටට පමණක් නොව ලෝකයටම අලූත් අර්බුදයකි. එය මර්දනය කිරීමට සදා නිමකළ ක‍්‍රමවේදයක් නොමැත. එය අලූත් අත්දැකීමට මුහුණ දෙන අටියෙන් අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යා යුතු දුෂ්කර ගමනකි.  මෙය ඔබත් මාත් පිළිගන්නා සත්‍යයකි.

එහෙත්, ඒ සඳහා වන කැපවීම හා මාර්ගෝපදේශය අවංක එකක් විය යුතුය. එහි සැගවුණු න්‍යාය පත‍්‍ර හෝ වෙනත් අරමුණු තිබිය නොහැක. පම්පෝරි දෙසනවාට වඩා යථාර්ථවාදී විය යුතුය. එය කතාවට සීමා නොවුණු  ක‍්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු සත්‍යයකි.

දැන් දැන් ඇසෙන හා පෙනෙන දේ අනුව එය එසේ නොවන බැව් පෙනේ. ඒ පිළිබඳව මේ කරුණු කිහිපය ඔබ සමග බෙදාහදා ගනිමින් සාකච්ඡාවක් ඇති කිරීම සුදුසු බැව් සිතමි.

වසංගතය මැඬලීම

කොරෝනා  වසංගතය මර්දනය කිරීම,  වෛද්‍ය විශේෂඥයන්ගේ  මූලිකත්වයෙන් සිදුවිය යුතු කාර්යයකි. රජයක් වශයෙන් ඊට දේශපාලන නායකත්වයක් දිය යුතුය. මෙය වසංගතයක් බැවින් රටේ දක්ෂතම වසංගත පිළිබඳ වෛද්‍ය විශේෂඥයන්ගේ  සහභාගිත්වය සහ නායකත්වය ඊට ලබා ගත යුත්තේය.  එය එසේ නොවන වග වෛද්‍ය අංශ මගින්ම දැන් අනාවරණය වෙමින් තිබිම කනගාටුවට කරුණකි.  මන්ද, විවිධ වෛද්‍ය විශේෂඥයන්, වෛද්‍ය වෘත්තීය සංගම්, වසංගත වෛද්‍ය විශේෂඥයයෝ එකිනෙකා, පවත්නා ක‍්‍රමවේදයන් අභියෝගයට ලක් කරන මත ප‍්‍රකාශ කරමින් සිටිති. වාර්තා එළි දැක්වෙයි. සංවාදය යහපත් ක‍්‍රියාවකි. එය නායකත්වය ගත යුතු, සිදු විය යුතු තැන සිදුවිය යුතුය. සාකච්ඡාවට ගත යුතු පිරිස්  පිටමං කොට සංවාදය පැවැත්වීම නුසුදුසු ය. පිටස්තරයන්ගේ කැරැල්ලක් සේ ඇතිවන සංවාද මේ ව්‍යායාමයේ දී නරක ප‍්‍රතිඵල ගෙන දිය හැක. පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ඉන් තවත් පීඩාවට පත්වෙති. අන්දමන්දවූවන් සේ අසරණ වෙති. එය දැන් සිදු නොවෙනවා යැයි ජනතාවගේ කාට නම් නොහැඟේ ද?

වසංගතය මැ`ඞීමේ ක‍්‍රියාවලියේ අරමුණ විය යුත්තේ, වසංගතය මර්දනය කිරීමය. ඉන් පීඩාවට පත් ජනතාව මර්දනය කිරීම නොවේ.  එනමුත්,  ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ මුලින් ම සිටින සමහර හමුදා -පොලිස්  නායකයන් හැසිරෙන්නේ  වසංගතයක් මඩින බලඇණියක නියමුවන් ලෙස නොව ත‍්‍රස්තවාදයක් මැඬලන්න වලිකන පිරිසක් ලෙසය. අද වන විට නිරෝධායනය යනු ආරක්ෂිත පියවරකට වඩා දඩුවමක් දීමක් සේ අර්ථ ගැන්වෙන තරමටම මේ ප‍්‍රකාශකයන්ගේ කට මැත දුර දිග ගොස් ඇති බැව් කියන්නේ වෙන කිසිවෙක් නොව විශේෂඥ වෛද්‍ය අතුල සුමතිපාලය.  මාධ්‍ය ඉදිරියේ එවැනි ප‍්‍රකාශන නිකුත්වීම, කොරෝනා වසංගතය මර්දනය කිරීමට වඩා වෙනත් අරමුණක් වෙනුවෙන් කෙරෙන රංගනයක් ද යන්න සැක සහිතය. වසංගතය මර්දනයට තිබිය යුත්තේ සෞඛ්‍ය විද්‍යාත්මක ඉලක්ක සහ කාල කඩඉම්ය. ඊට දේශපාලන හෝ හමුදාමය ඉලක්ක හෝ කඩඉම් ලබා දීම අතිශය භයානකය.

වැඩකරන ජනතාව සහ සහන

වසංගතය නිසා රජය සහන රැසක් ප‍්‍රකාශයට පත් කළේය. සමාජයේ විවිධ ජන කොටස්හි සමාජ සහ ආර්ථික ශක්‍යතාවන් සලකා බලා එකී සහන විවිධ ස්වරූපයෙන් ලබා දීමට රජය ගත් වැදගත් පියවරකි. ඉන් සැලකිය යුතු සහන ප‍්‍රමාණයක් මේ වන විටත් රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා ජනතාව අතරට ගොස් තිබේ. එකී යාන්ත‍්‍රණයට අනිසි බලපෑම් කරන දේශපාලන අඳබාලයෝ නැත්තේම නොවෙති. සමහර මැති ඇමතිවරුන් හා නිලධරයන් මෙම ක‍්‍රියාවලිය ඊළඟ මැතිවරණයේ ඡන්ද මෙන්ම මනාප එකතු කරන මැතිවරණ ව්‍යාපාර බවටද පත්කර ගෙන තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිට ඒ පිළිබඳ නිවේදන දැමීමට ද දේශපාලන නායකයන්ගේ විවේචනයට බඳුන් වීමට ද සිදුව තිබේ.

රජයේ සේවකයෝ

රජයේ වැඩකරන සේවකයන්ගේ වැටුපට සහනයක් සලසමින් තම මාසික වැටුපෙන් අඩු කිරීමට නියමිත විවිධ ණය වාරික නොකපා මුළු වැටුපම මාර්තු-අපේ‍්‍රල් මාස සඳහා ලබාදෙන බවට ආණ්ඩුව දුන් ප‍්‍රතිඥාව ඊටම සීමා වී තිබේ. අපේ‍්‍රල් මාසයට නියමිත සිංහල-දෙමළ අලූත් අවුරුදු උත්සවය වසංගත තත්ත්වය  නිසා මෙවර නිවෙස් අභ්‍යන්තරයටම සීමා වුවත් අපේ‍්‍රල් මස වැටුප රජයේ සේවකයන් අතට සුපුරුදු පරිදි ගොස් ඇත්තේ ඒ සියලූ අඩු කිරීම් සහිතව රැවටිල්ලකට ලක් කරමිනි.

සුපුරුදු උත්සව දීමනාව සම්බන්ධයෙන් රාජ්‍ය අංශය වෘත්තීය සමිති කළ ඉල්ලීමට ද ආණ්ඩුව කන් දී නොමැත්තේ එම  උත්සව අත්තිකාරම් ද වැටුපට එක් වී නොමැති නිසාය. රාජ්‍ය සේවකයන්ගෙන් සාතිශය බහුතරයකගේ මාසික වැටුපෙන් 20%-30%  අතර මුදලක් ණය වාරික වශයෙන් අඩු කර ගනී. එක් එක් ණය ගත් බැංකු හෝ අරමුදල් සදහා පෞද්ගලිකව තම වැටුපෙන් එකී වාරික අඩු කරගනී. රජය දුන් ප‍්‍රතිඥාවට අනුව එවැනි අඩු කිරීම් පෞද්ගලික වැටුප් පතින් අඩු කිරීමට තරම් තාක්ෂණිකව දියුණු ක‍්‍රමවේදයක් නොමැති බැව් ද ආණ්ඩුව පාර්ශ්වයෙන් කියවේ. එසේ නම් ඊට විකල්පයක් ලෙස ඒ  ඒ පුද්ගලයාට ආපසු අය කරගැනීමේ පදනම මත තම වැටුපෙන් 30%ක මුදලක් හෝ රුපියල් 20,000 ක්  වැනි  නිශ්චිත මුදලක් වැටුපට එකතු කොට හෝ ගෙවීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට තිබුණි. එය  එසේ  නොවී  මග හැර යාමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ද? නොවුවමනාවද? යන්න දන්නේ ආණ්ඩුවේම බලධාරීන් ය.

පෞද්ගලික  අංශයේ  සේවකයෝ 

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ඉරණම ඊටත් වඩා ඛේදනීය ය. වසංගත තත්ත්වය  නිසා බොහෝ පෞද්ගලික අංශයේ කර්මාන්ත, වානිජ ආයතන හා කාර්යාල වසා දමා තිබේ. ආර්ථික වශයෙන් ගනු-දෙනු ඇණහිට ඇත. සේවක සේවිකාවන් බොහෝමයක් නිවෙස් තුළ, තම නේවාසික ස්ථාන තුළ හෝ ගම් බිම් බලා ගොස් ඇත. අන්තර්ජාලයේ නවීන තොරතුරු තාක්ෂණ උපාංග මත ක‍්‍රියාත්මක බැංකු, සංනිවේදන ආයතන, දත්ත සම්පාදිත හා විශ්ලේෂණ ආයතන පමණක් තම කාර්ය මණ්ඩල නිවෙස් තුළ ම තබා ගනිමින් එකී සේවා කටයුතු කරගෙන යනු ලැබේ. කොරෝනා වසංගතය නිසා සමහර ආයතන මෙම අභියෝගය ජය ගැනීමට විවිධ අත්හදාබැලීම් ද කරයි. අලූත් ව්‍යාපාරික අවස්ථා සොයා ගැනීමටත් සේවාවන්හි ඵලදායිකත්වය වැඩි දියුණු කරගැනීමටත් සමහර ව්‍යවසායකයෝ වෙරදරති.

මෙම වසංගතය නිසා නිෂ්පාදන හා වෙළඳ කටයුතු අන්තර්ජාතික මට්ටමින් ම අර්බුදයට ගොස් තිබේ. මූල්‍ය සංසරණය ඇණහිට තිබේ. තත්ත්වය එසේ වුවත් බොහෝමයක් පෞද්ගලික අංශයේ ආයතන තම සේවකයන් දෙස බලා ඇත්තේ ඉතා අයුක්තිසහගත අයුරිනි. බොහෝ පෞද්ගලික ආයතන මේ අවස්ථාවේ තම සේවකයන්ගේ වැටුප් ඉතා සිත්පිත් නොමැති අන්දමට කප්පාදු කොට තිබේ. සමහරක් ආයතන 60% හෝ 40% මට්ටමින් එකී කප්පාදුව කර තිබේ. නැතහොත්, වැටුප් ලබාදීමකින් තොරවම වසා දමා තිබේ. ලාභ ලබන ආයතන පමණක් නොව, විවිධ සාමූහික ගිවිසුම් මගින් ආවරණය වන පෞද්ගලික අංශයේ ආයතන ද ප‍්‍රමිතියකින් තොරවම වැටුප් කප්පාදු කර තිබේ. ඒ ජාත්‍යන්තර පිළිගත් ප‍්‍රඥප්ති සහ කම්කරු නීති ගැන කිසිදු තැකීමකින් තොරවය. පිළිගත් ක‍්‍රමවේදයක් අනුගමනය නොකොට තමන්ගේ ආයතන තුළ වසර ගණනාවක් සේවය කළ සේවකයන්ට අත්කර දී  ඇති ඉරණම ඉතා ශෝචනීය වේ.

සුළු පරිමාණ ආයතන පමණක් නොවේ මහා පරිමාණ, රටේ ප‍්‍රචලිත ආයතන ද තම සේවකයන් මෙම ශෝචනීය තත්ත්වයට ඇද දමා ඇති බැව් වාර්තා වේ. මෙතෙක්, තම කාර්ය මණ්ඩල සේවකයන්  ”මානව සම්පත” සේ සලකා ක‍්‍රියාකොට අර්බුදයක් හමුවේ ඔවුන් අළුදූවිලි ගණනට පත් කරන්නේ නම්, මානව ශිෂ්ටාචාරයේ මෙතෙක් හුරුපුරුදු කළ වටිනාකම් ගැන කුමන කතා ද?  තම ආයතනයේ කම්කරුවෙකු, සේවකයෙකු  යනු පළමුව මනුෂ්‍යයෙකු  යන්න කල්පනාවට ගැනීමට තරම්වත්  මෙම හාම්පුතුන්ට නොහැකි වී නම්, මෙවන් අර්බුද හමුවේ  සිස්ටම් චේන්ජ් ගැන කතා කිරීම මෙම ක‍්‍රමයේ ම තවත් විහිළුවකි.  ස්ථාවර රැුකියා අංශයේ තත්වය මෙසේ නම් අස්ථාවර හෝ අනියම් අංශවල තත්ත්වය මීට වඩා දරුණුය. අඳුරු ය.

විකල්ප වෙනුවෙන්  මැදිහත්වීම

මෙම අර්බුදය හමුවේ වුවද, සැබවින්ම මෙම සේවකයන්ගේ වැටුප් සියල්ල කප්පාදුවකින් තොරව ගෙවිය යුතුව තිබිණි. නැතහොත්, ඒ ඒ ආයතන විවිධ අයුක්ති සහගත ප‍්‍රමිතීන් අනුගමනය කිරීමට ඉඩ දීම වෙනුවට රජයේ මැදිහත් වීමෙන් යුතුව සාධාරණ පොදු ප‍්‍රමිතියක් හඳුන්වාදීමට කටයුතු කළ හැකිව තිබිණ. එසේ නොවන විශේෂ අවස්ථා සලකා රජය මැදිහත්වී සහණයක් සැලසීමට ද හැකිව තිබිණි. විශේෂයෙන්, නිදහස් වෙළඳ කලාප ඇඟලූම් කම්කරුවන් සඳහා වැටුප් ප‍්‍රතිපාදන ගෙවීමට අවශ්‍ය යාන්ත‍්‍රණයක් සැකසීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය මැදිහත් වූ විට, මෙරට හාම්පුතුන්ගේ සංවිධානය හා කර්මාන්ත හිමියන් ඊට සහයෝගය නොදීම ඉන් මග හැර ගොස් ඇති බැව් කියවේ. 

පොදුවේ මෙම අතුරු අර්බුද හමුවේ, රටේ කම්කරු අමාත්‍යාංශය මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය මේ සඳහා නිසි මැදිහත්වීමක් සිදුකළේ යැයි කිව නොහැක.  එහෙත් තම ව්‍යාපාර රැුක දෙන මෙන්, මෙම හාම්පුතුන් මෙන්ම ඔවුන්ගේ සංවිධාන වන්දි හා සහනාධාර ඉල්ලීමට නම් රජයේ පාමුල දනින් වැටෙනවා නොඅනුමානය. රජය ඔවුන්ගේ හඬට කන් දීමට මග බලා සිටිනවා ද විය හැක. ලංකාවේ ජාවාරම්කාර ව්‍යාපාරික ප‍්‍රජාවේ වෙස් මුහුණ මේ ලෙස ගැලවී යන්නේ ද?

වගකීමෙන් නිදහස් විය නොහැක

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මෙම අර්බුදය දරුණු විපාක ගෙන දෙන්නකි. මෙම සේවකයෝ රැකියාවක් කරන බැවින් වෙනත් කිසිදු රජයේ සහණාධාරයකට ද හිමිකම් නොලබති. ගමේ ග‍්‍රාමසේවක නිලධාරියාත්, දේශපාලන බල අධිකාරියත් රැකියා නියුක්තිකයන්ගේ ගණයට මේ පිරිස් සැලකිල්ලට ගන්නා බැවින්,  කිසිදු සහණාධාරයක් දිය නොහැකි පිරිසක් ලෙස සලකනු ලබයි. දැනට ක‍්‍රියාත්මක කිසිදු සහනාධාර ක‍්‍රමවේදයකට ගොනු නොවන මෙවැන්නන්ගේ මූල්‍යමය තත්ත්වය පිරිහීමට ලක්වීමේ වගකීමෙන් මේ අනුව රජයට ගැලවිය නොහැක.

රැකියාවන් කරන මෙවැනි බොහෝ පිරිස් තමන්ගේ වැටුපට අමතරව වෙනත් ආදායම් මාර්ග සකසා ගෙන තම පවුල් නඩත්තු කරන වග රහසක් නොවේ. නමුත් කොරෝනා වසංගතය එවැනි බොහෝ අනියම් ආදායම් මාර්ගවලට වැටකඩොලූ බැඳ ඇති බැව් අප සිහියට ගත යුතුය. මේ පවුල් තුළ රෝගීව වෙසෙන වයෝවෘද්ධ වැඩහිටියන් ද අත්‍යවශ්‍ය පෝෂණය යදින කිරි සප්පයන්ද සිටින බැව් තවද අමතක නොකළ යුතු කරුණු ය.

අර්බුද සමයක, සමාජයේ ඇති වෙමින් ඇති මෙවන් අසහනකාරී තත්ත්වයන්ට, මෙවැනි පිරිස් පුද්ගලික විසඳුම් සෙවීමට යාම තවත් ඛේදාන්ත සිදුවීම් රැසක ආරම්භයක් විය හැක. ඒ නිසා සමාජ සාධාරණත්වයේ  සහ යුක්තිසහගත විසඳුම් වෙනුවෙන්  මේ පිළිබඳුව කතා කිරීමට දේශපාලන පක්ෂ හා නායකයන්ද පියවර ගත යුතුව ඇත.

බන්දුල චන්ද්‍රසේකර

ඡායාරූපය: ලක්රුවන් වන්නිආරච්චි/ Getty Images