‘අපේ ප්‍රධාන බිස්නස් එක වෙලා තිබුණේ උළුඳු වඬේ. නමුත් දැන් උළුඳු ඇට කිලෝ එකක් රුපියල් 1000 යි. ඒ ගානට අරගෙන වඬේ එකක් රුපියල් පනහකටවත් දෙන්න ඕනේ. දවස් දෙකක් විතර රුපියල් 50 ට දාලා බැලුවා, හරි ගියේ නෑ. ඒ නිසා කොරෝනාවලින් පස්සේ වඬේ හැදුවේම නෑ.’

පිටකොටුව පැත්තට යන හෝ පිටකොටුව පැත්තේ සිට පැමිණෙන බස් රථවල සීට් ගාණටවත් සෙනඟ පෙනෙන්නට නැත. තැනින් තැන ඉන්නේ ‘මාස්ක්’ දමාගත් මගීන් කිහිප දෙනෙකි. කොම්පඥ්ඥ වීදියේ කෙළවර කුඩා කඩයකි. කඬේ ඉදිරියේ ඉඳි ආප්ප රාක්කයකි. මැදිවිය ඉක්ම වූ කාන්තාවක් කඬේ තුළ සිට පාර දෙස බලා සිටියි. ඇගේ මුහුණේ අත්තේ බලාපොරොත්තු සුන් වූ ස්වභාවයකි. මුළු කොළඹම ඇගේ මුහුණින් පිළිබිඹු වෙන්නාක් මෙනි.

ඇඳිරි නීතිය ඉවත් කර මාස කිහිපයක් ගත වී තිබේ. කොළඹ ආයතනවල වැඩට එන්නනේ සුළු පිරිසකි. කොළඹට සෙනඟ අඩුවෙන් පැමිණීම අනෙක් සුළු ව්‍යාපාරවලට මෙන්ම කෑම කඩයක් කරගෙන දවසේ වියදම උපයාගත් අයටත් ඇති කර තිබෙන්නේ දැඩි බලපෑමකි.

කොළඹ මහ ඉස්පිරිතාලය ඉදිරිපිට නෙල්සන් හෝටලයේ මුදලාලි මහතාගේ නමත් නෙල්සන්ය. ‘මුදලාලිගේ නමම කඬේටත් දාලා තියෙන ලංකාවේ එකම කඬේ තමයි අපේ කඬේ.’ එසේ කියන්නේ කැෂියර් එකේ සිටින තාත්තා අසලින් කුඩා බංකුවක වාඩි වී සිටින නෙල්සන් මුදලාලි මහතාගේ පුතාය.
‘කුලිය ගෙවන එක මගහැරිලා තියෙන්නේ. ගොඩනැගිල්ල අයිති මහත්තයා කියලා තියෙන්නේ කඩ කුලිය ගැන හිතන්න එපා කොහොම හරි කඬේ කරගෙන යන්න කියලා. එහෙම වුණත් කරගෙන යන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ.’ ඔහු කියයි.

කොරෝනා පැමිණීමට පෙර සේවකයින් විසි දෙදෙනෙක් සේවය කළ නෙල්සන් මුදලාලිගේ හෝටලයේ දැන් සේවය කරන්නේ සේවකයින් 12 දෙනෙක් පමණි. පාන්දරින් වෙළඳසැල පිරිසිදු කර, තමුන් පිරිසිදු වී කහ වතුර ඉස දෙයියන්ට, බුදුන්ට මල් පහන් පුදා දවස ආරම්භ කළ නෙල්සන් මුදලාලිත්, ඔහුගේ පුතාත් දැන් කියන්නේ උදේ පහට අවදි වී රෑ 12 පමණ වනතුරු තමන් පරණ පවක් ගෙවමින් සිටින බවය. එ තරමට කෑම කඩ කෙරුවාව ඔවුන්ට අරහං වී තිබේ.
මෙය තනි පුද්ගලයෙකුගේ තනි ප්‍රශ්නයක් නොවේ. මේ දිනවල කොළඹ ආශ්‍රිත ආහාර වෙළඳසැල් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයය. කුඩා කඩයක ‘වේටර්වරුන්’ ලෙස සේවය කළ අය ගෙදර යැවීමට සිදුවී ඇත. ඒ කඩයේ සිට ආහාර ලබාදීම නවත්වා ඇති නිසාය. කඩයේ සිට ආහාර ගත හැක්කේ ඉඩ පහසුකම් ඇති තැන් කිහිපයක පමණි. එවැනි තැන්වල පවා මේස ඈත් කර තැබිය යුතු නිසා එකවර ආහාර ගත හැකි පිරිස සීමා වෙයි. ඒ නිසා සේවක අවශ්‍යතාවද සීමා වෙයි. කුඩා කෑම කඩයක් කරන වෙළෙන්දෙකුට සේවකයන් ගෙදර යැවීමට සිදුවෙයි. සේවය නොගෙන, සේවකයන්ට වැටුප් ලබාදීමට තරම් මේ ආයතන ශක්තිමත් ඒවාද නොවේ.
ආයතනවල රැකියාවට පෙර තරම් සේවකයෝ නොපැමිණෙන නිසාත්, එන අය හෝටල්වලින් කෑමට ඉඩ නොතියා ගෙදරින් ආහාර ගෙන පැමිණෙන නිසාත් ව්‍යාපාර අඩු වී ඇතැයි කියන්නේ බොහෝ දෙනා අතර ප්‍රචලිත බොරැල්ල හන්දියේ මිහිරි බත් කඬේ ලීලාරත්න මුදලාලිය.
‘අපි නම් සේවකයන් අස් කළේ නෑ. කොහොමහරි හැමෝම තියාගෙන තවම පඩි ගෙවමින් ඉන්නවා. මාසෙකින් හමාරකින් හරි යයි කියලා හිතනවා.’
ගනුදෙනුකරුවකුගෙන් මුදල් ගෙන ඉතිරි මුදල් ගෙවන අතරේ ලීලාරත්න මුදලාලි කියයි. පවතින තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි ඔහු බලාපොරොත්තුවකින් කතා කරයි.
‘අපි කඬේ වහගෙන හිටිය මාසවල එක්කෙනෙක් කඬේ නවත්තලා හිටියා. කඬේ ව්‍යාපාර කරන දවස්වල ආව ලයිට් බිලම තමයි ඇවිල්ලා තියෙන්නේ. වතුර බිලත් එහෙමයි.’
මාස ගණනක හිඟ විදුලි, ජල බිල්පත් ලාච්චුවෙන් එළියට ගෙන පෙන්වමින් ලීලාරත්න මුදලාලි පවසයි. විදුලි, ජල බිල්පත් සහනය රජය ප්‍රකාශයට පත් කර තිබුණත් බිල ගෙවන්නට ගිය විට ආයතන දෙකම කියන්නේ තවම සහනය පිළිබඳ චක්‍රලේඛ ලැබී නොමැති බවය. ‘ඡන්දෙන් පස්සේ ලයිට්, වතුර සහනය අයින් කරන එකක් නෑ.’ ඔහු විස්වාසයෙන් යුතුව කියයි.
පෙර සඳහන් කර පරිදි කොළඹ කෑම කඩවල්වල සේවය කළ විශාල පිරිසක් තම ගම් බිම්වලට ගොසිනි. බොහෝ කඩවල්වල සේවක ප්‍රමාණය හරි අඩකින් පමණ අඩු කර තිබේ. වෙළඳසැලේ සේවය නතර වී සේවය කළ සේවකයෝ උපයන මුදල් මාස් පතා ගෙදරට යවා ඇත. අනෙක් රස්සාවල් මෙන් නොව හෝටල් රස්සාවේදී කෑම බීම හා ඉඳුම් හිටුම් නොමිලේම ලැබේ. ඒ නිසා ඔවුන්ට මාස් පතා ගෙදරට යවන්නට යම් මුදලක් ඉතිරි කරගත හැකිය. ගම්වල සිටින ඔවුන්ගේ බිරින්දෑවරු ඒ මුදල සකසුරුවමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් සඳහා පමණක් විය පැහැදම් කරන්නට කටයුතු කරති. දැන් මාස හතරකට ආසන්න කාලයක් කොළඹ පැමිණ හෝටල්වල රස්සාව කළ පිරිසෙන් අඩකට වඩා රැකියා අහිමි වී හමාරය. වැසී ගිය ඇතැම් වෙළඳසැල්වල ගොඩනැගිලි ඉදිරිපිට ‘බදු දීමට තිබේ’ පුවරුව එල්ලා ඇත.
‘කොරෝනාවලට කලින් දහ තුන් දෙනෙක් විතර වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නවදෙනයි. හතර දෙනෙක් ගෙදර තිබ්බා. ඒ හතර දෙනාට පොඩි ගණනක් ගෙවනවා. හොඳ නෑනේ.’
එසේ කීවේ රාජගිරියේ ඩයින් වේ ලංකා හෝටලයේ මොහොමඞ් රිල්වාන් මුදලාලි මහතාය. රුපියල් එක් ලක්ෂ විසිදහසක් වන කඩ කුලියත්, රුපියල් තිස් දහසක වතුර බිලත්, රුපියල් පනස් දහසක විදුලිය බිලත් මාස් පතා ඔහු ගෙවිය යුතුය. වෙනදා පැමිණි ගනුදෙනුකරුවන්ගෙන් අඩක්වත් දැන් නොඑන බව රිල්වාන් මහතා පවසයි. බැංකුවලින් ණය ගන්නට ඔහු අකමැතිය.
‘අපි ලෝන් මුකුත් ඉල්ලුවේ නෑ. අපි පොලිය තියෙන ඒවා ගන්නේ නෑනේ කොහොමත්. මේ මාසේ බලල මොකක් හරි තීන්දුවක් ගන්න තමයි ඉන්නේ.’
දුෂ්කරතාවට පත් වී ඇති ව්‍යාපාරිකයින්ට 4% පොලියට ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකය. එහෙත් බැංකු එම ණය සහනය හිතුමතේට දෙන්නේ නැත. ඔවුන්ට ණය ගෙවීම ගැන සහතික අවැසිය. මෙවැනි වෙළඳසැල් කරන ව්‍යාපාරිකයන් ‘බිස්නස් කරන අයට බැංකුවෙන් ලෝන් එකක් දෙනවා කියලා තිබුණානේ. මමත් ගිහින් ඉල්ලුවා. ලංකා බැංකුවේ මගේ ජංගම ගිණුමක් තියෙනවා. මාස හතරක් පහක් ගනුදෙනු කරලා නෑ කියනවා. චෙක් දෙක තුනක් රිටන් වෙලා තියෙනවා කියලා කියනවා. අවුරුදු දහයක් විතර පරණ ගිනුමක් වෙලත් ණයක් දෙන්න බෑ කිව්වා.’ එසේ කීවේ යසෝධරන් ය. නාවල පාරේ පාසල් මාවත කිට්ටුව කුඩා හෝටල් කඩය කරන්නේ යසෝධරන් හා ඔහුගේ බිරියයි.
වටේ පිටේ තියෙන ආයතනවල සේවය කරන්නන්, පාසල් ළමුන් හා මේසන් බාස්වරුන් වැනි අය යසෝධරන්ගේ නිත්‍ය ගනුදෙනුකරුවන්ය. අවුරුදු දාහතරක් තිස්සේ කරගෙන ආ කඬේ මාස හතරක සිට කඩ කුළිය ගෙවා ගත නොහැකි වන තරමට වැටී ඇතැයි ඔහු කියයි.
‘අපේ ප්‍රධාන බිස්නස් එක වෙලා තිබුණේ උළුඳු වඬේ. නමුත් දැන් උළුඳු ඇට කිලෝ එකක් රුපියල් 1000 යි. ඒ ගානට අරගෙන වඬේ එකක් රුපියල් පනහකටවත් දෙන්න ඕනේ. දවස් දෙකක් විතර රුපියල් 50 ට දාලා බැලුවා, හරි ගියේ නෑ. ඒ නිසා කොරෝනාවලින් පස්සේ වඬේ හැදුවේම නෑ.’
මෙවැනි සුළු පරිමාණ ව්‍යාපාර පාඩු ලබමින් තව වැඩි කලක් පවත්වාගෙන යා නොහැක. අමාරුවෙන් ගොඩනගාගත්, අමාරුවෙන් පවත්වාගෙන ගිය ව්‍යාපාරයට පසු කඩා වැටෙන්නේ දරු මල්ලන්ගේ ජීවිතයයි.
අප මෙහි සඳහන් කළේ දැන් කොළඹ රැඳී සිටින ව්‍යාපාර හිමියන්ගේ කතාවය. අප සමඟ දූරකථනයෙන් කතාබහ කළ, එහෙත් නම් සඳහන් කරන්නට අකමැති රැකියා අහිමි වූ සේවකයන්ගේ කතාව ඊටත් වඩා දුක්බරය. දැන් ඔවුන් ගම්මානවලට ගොස් නිනව්වක් නැතිව ඉන්නේ, දරුමල්ලන්ට එදා වේල සපයන අන්දම සිතමින්ය. කුලී වැඩ සොයා රස්තියාදු වීම, කීයක් හෝ ඉල්ලා නිවෙස්වලට යෑම, සොරකම් කිරීම ආදී නොයෙකුත් ‘විසඳුම්’ ඔවුන් සොයමින් සිටී.■

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර