අප මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් බවත් ග‍්‍රාමීය දරිද්‍රතාව අඩුවෙමින් යන බවත් සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. එහෙත් රටේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය හා ඇති නැති පරතරය එන්න එන්ම වැඩි වෙමින් පවතින බව නිරීක්ෂණය කල හැකිය. ස්ත‍්‍රින් හා ගැහැණු දරුවන් දැඩි ලෙස නීරක්තියට ගොදුරු වී ඇත. මෙම තත්වයට මූලිකවම බලපා ඇති කාරණාවක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මැදිහත්ව ස්ත‍්‍රින්ව ණය උගුලකට හසු කරගෙන තිබීම දැක්විය හැක. අපගේ දුප්පත්කමද ඉතාම සීග‍්‍රයෙන් ස්ත‍්‍රිකරණය (ෆෙමිනයිසේෂන් ඔෆ් පවර්ට)වෙමින් පවතින බව පෙනේ.

දැනට වසර ශතකයකට පමණ පෙර ගම්දනව්වල මිලදී ගැනීම් බොහෝ විට සිදු වූයේ ගමේ කඩෙන් ණයටය. මගුල් තුලාවකට වැනි දෙයකට මුදල් අවශ්‍ය වූ විටද ඉඩමක් උකසට තියා ගිනිපොලියට මුදලාලිගෙන් ණය ගත්හ.

එවැනි මුදලාලිලා දැන් අඩු වුවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතන (මයික්‍රො ක්‍රෙඩිට් මුදලාලිලා) ගමට පැමිණ එම අඩුව සපුරාලති. ගමට පැමිණ මූල්‍ය සාක්ෂරතාව නැති ගැහැනු පිරිසකට ණයක් ගෙන ස්වයං රැුකියාවක් ආරම්භ කිරීමෙන් සියලූ ප‍්‍රශ්න විසඳාගත හැකි බව නවීන තාක්ෂණයද භාවිත කර ඒත්තු ගන්වන්නට කොමිස් පිට වැඩ කරන ණය ඒජන්ත නෝනලා මහත්තුරු සමත්ය.

බැංකු, මහ බැංකුවේ ලියාපදිංචි හා එසේ නොමැති මූල්‍යායතන, වර්ල්ඞ් විෂන් වැනි රාජ්‍ය නොවන ආයතන මෙන්ම දේශපාලකයන් හා ඔවුන්ගේ අනුග‍්‍රහය ලබන පුද්ගලයන්ද මෙම ක‍්‍රමයට ණය ලබා දෙන බව පෙනේ. පොලිය 30% සිට 100% 200% දක්වාය. රැුවටීම් එමටය. සැඟවුණ ගාස්තු හා පොලී යනාදියද ඇත. එවැනි එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. සමහර ණය දෙන ආයතන 30% පොලියට රු. 50000ක් ණයට දෙන්නේ රු. 5000ක් ඉතිරි කර ඇති විටය. ණය ගෙවා ඉවර වන තෙක් ඇයට රු. 5000 නොලැබේ. එසේත් නැතහොත් අවසන් වාරිකවලට එය කපාගනී. මෙය වෙනත් වචනවලින් කියතොත් ඇය රු. 50000ක ණයකරුවකු කිරීමට ආයතනය ආයෝජනය කර ඇත්තේ රු. 45000ක් පමණි. ඉතිරි රු. 5000 ඇගේමය. සේවා ගාස්තු සඳහාද යම් මුදලක් කපාගනී. ඒ අනුව ඇයට ඇත්තටම ණය දී ඇත්තේ 35%ක පමණ පොලියකටය.

සතියකට වරක් ණය එකතු කරන්නට ගමට එන ඒජන්තයාට හිඟ වාරික ඇතොත් එකී නිවසේ මගුලක් හෝ අවමගුලක් තිබීම පවා නිවසට පැමිණ ණය ඉල්ලා බැණ නොවැදීමට හේතුවක් නොවේ. එසේ ගෙදරටම පැමිණ ගැහැනුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අවස්ථා සෑහෙන ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. වාර්තා නොවූ ප‍්‍රමාණය එමෙන් කීප ගුණයක් වන්නට පුළුවන. සතියේ ණය වාරිකය ගෙවන්නට සමහරු දිවා රාත‍්‍රි නොකඩවා විවිධ කුලීමලී කරති. ණය ගෙවා ගන්නට විධියක් නැතිව දඟලන ඇයට නැවතත් පෙරට වැඩි මුදලක් අලූත් බලාපොරොත්තුද සමඟ වෙනත් එවැනිම ආයතනයකින් ලබාගත හැකිය. එසේ වුවහොත් එම මුදලෙන් පැරණි ණය පියවන අතර තත්වය තව තවත් දරුණු අතට හැරේ. මෙම දුෂ්ට චක‍්‍රයේ අවසානය සියදිවි නසා ගැනීමක් හෝ මිනීමැරුමක් වන්නට ද පුළුවන. ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට තනි පුද්ගල හෝ දේපල වැනි ඇප ක‍්‍රමයක් නොමැති අතර කණ්ඩායම් ඇප ක‍්‍රමය නිසා ඇතිවී ඇති සමාජීය ගැටලූ එමටය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මෙකී කණ්ඩායම් ණය උගුලට ස්ත‍්‍රීන්ව හසුකර ගැනීම විචාරාත්මකව බැලූ‍වහොත් පෙනෙන්නේ මේ හරහා ඔවුන් ඇයගේ හා පවුලේ රීරිමාංශය ද උරා බී ලාභ උපරිම කරගන්නා බවකි. ගෙවල් දොරවල් විකුණා ණය පියවූ සෑහෙන පිරිසක්ද සිටිති.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය මධ්‍යම ණය විමර්ශන කාර්යාංශයේ(ක‍්‍රිබ්) නියාමනයට ලක් නොවේ. එනිසා එක් අයෙකුට ආයතන කීපයකින් තම මාසික ආදායම මෙන් කීප ගුණයක වුව ණය ලබාගත හැකිය. කොපමණ පිරිසක් කොපමණ මුදලක් ණයට ගෙන ඇද්දැයි හෝ ඒ හරහා ආයතන හා පුද්ගලයන් කොපමණ මුදලක් උපයන්නේදැයි යන්න පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැත. සමහර අවස්ථාවල කළු සල්ලි සුදු කිරීමක්ද මේ හරහා සිදුවේ. රජයට ලැබිය යුතු බදු ආදායමද නොලැබේ.

රජය ක්ෂුද්‍ර මූල්‍ය පනතක් සම්මත කර ගෙන ඇති නමුත් ඒ අනුව කටයුතු සිදුවන බවක් නම් නොපෙනේ. දිස්ත‍්‍රික්ක කීපයක ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් ලක්ෂය දක්වා කපා හැරීමට යෝජිතය. අනෙකුත් ප‍්‍රදේශවලද දී ඇති ණය නැවත විශ්ලේෂණය කර රීරියක්ෂ තාලයේ පොලීත් ණය එකතු කිරීමේ ක‍්‍රමවේදත් වෙනස් කළ යුතුය. මූල්‍ය සාක්ෂරතාව නොමැති ගැහැනුන්ගේ මානව ගර්වය රැකීම සඳහා ගෙවිය හැකි ප‍්‍රමාණයට වාරිකද සකස්කර ණය ගෙවීම් සටහන් කරන නව කාඞ්පතක්ද ණයලාභීන්ට ලබාදී ණය එකතු කිරීමට නිවෙස්වලට ඒම නතර කඝයුතු අතර එසේ කිරීමට අත්‍යවශ්‍ය නම් ග‍්‍රාම නිලධාරී වැනි අයෙකුගේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. මෙයට ගොදුරු වී ඇති ස්ත‍්‍රීන්ගේ හා පවුල්වල අයගේ ආකල්පමය වෙනසක්ද ඇතිකර සාම්ප‍්‍රදායික නොවන ලාභදායී ආදායම් මාර්ගවලට ඔවුන් යොමුකළ යුතුය. මයික්‍රො ක්‍රෙඩිට් මුදලාලිලා රටට ජනතාවට කරන හානිය අවම කිරීමට මෙවර අයවැය හරහාවත් යමක් කළ යුතු යයි හැගේ.

ප්‍රියදර්ශනී ආරියරත්න