ඒ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අප තුළ ඇති කළ කම්පනය තවමත් එසේමය. පිපිරුම්වලින් ජනිත කළ කාලවර්ණ දුම් ගුලි පහව ගොස් නැති බැවින්, පියවි සිහියෙන් දෑස් හැර බලා සිදු වූයේ කුමක්ද, කළ යුත්තේ කුමක්දැයි අවබෝධ කරගත හැකි මානසික තත්වයක් තවමත් අප බොහෝ දෙනෙකුට නැත. අතීතය පුරාම නන් විධ ඛේදවාචක සමූහයකට මුහුණ දී, ලේ කඳුළු ගංගා මතින් අනේක විධ පිරිපත උසුලා ඇති අප සමාජය, මෑත ඉතිහාසය තුළ බරපතළම ප්‍රකම්පනයට, වියවුලට සහ වික්ෂෝභයට පත් කළ සිදුවීම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය යැයි මට සිතේ.


අයිඑස් සංවිධානයේ නායකත්වය මත ඉස්ලාමීය මූලධර්මවාදීන් කණ්ඩායමක් දියත් කළා යැයි මේ වන විට සනාථ වී ඇති ඒ ත්‍රස්ත ප්‍රහාරය නොදරුවන්ද ඇතුළු අහිසංක නිරායුධ මනුෂ්‍ය ජිවිත සිය ගණනක් විනාශ කරමින්, සහානුකම්පාව මත පදනම් වූ මනුෂ්‍යත්වයේ සහ සහෝදරත්වයේ මූලික ධර්මතාවන් සහ සහජීවනය, සාමූහික පැවැත්ම පිළිබඳ අප තුළ මෙතෙක් පැවති විශ්වාසයන්ද දෙදරවා දැමීය. වෙනස් ජාතීන් සහ ආගම්වලට අයත් පුරවැසියන් එනිනෙකා අතර පැවති සහ සම්බන්ධතාව ඉරිතැලී ගොස්, සතියකට පෙර මිත්‍රශීලී හිතවතුන් වූ අසල්වැසි මුසල්මානුවා දෙස සැකයකින් සහ භීතියකින් බලන තත්ත්වයට මිනිසුන් පත් වී ඇත. මේ වනාහි බහුවාර්ගික බහුආගමික රටක් හැටියට, අපට මුහුණු දෙන්නට සිදූ වූ දුෂ්කරම, සංකීර්ණතම අභියෝගාත්මකම කාලය විය යුතුය. ත්‍රස්තවාදීන්ගේ දීර්ඝකාලීන කුරිරු අරමුණු සාක්ෂාත් කරගැනීමට රටක් හැටියට අප ඉඩ දෙනවාද නැද්ද යන්න රඳා පවතිනු ඇත්තේ, මේ සංකීර්ණ, අභියෝගාත්මක කාලයට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න මතයි. ප්‍රහාරයකට පසු නිසඟයෙන්ම මිනිසුන් වෙතින් උපදින, අනෙකා මත මුදා හැරෙන ශාරීරික සහ මානසික ප්‍රතිප්‍රචණ්ඩත්වය වැනි පහසුවෙන්ම එළඹිය හැකි ප්‍රතිචාර වෙනුවට, සංයමයෙන්ද, ඉවසීමෙන්ද යුතුව, ප්‍රඥාව පෙරදැරිකරගෙන කටයුතු කිරීමට අප සමත් වුවොත්, එය සාපරාධී ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේදී ලබන පරාජයක් වනු ඇත. අද අප හමුවේ ඇත්තේ, ප්‍රඥාව විසින් මෙහෙයවන ඒ දුෂ්කර මාවතට ඇතුළු වීමට සමාජයට ධෛර්යය ලබා දීමේ අභියෝගයයි.


ලංකාව, සාමාන්‍ය සිවිල් ජනයා ඉලක්ක කරගෙන එල්ල කළ ත්‍රස්ත ක්‍රියා, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබද අවාසනාවන්ත අත්දැකීම් විඳ ඇති රටකි. ත්‍රස්තවාදය උපක්‍රමයක් හැටියට භාවිත කරමින් එල්ටීටීඊය ඉල්ලා සිටියේ මොනවාද, සටන් වැදුණේ මොනවා වෙනුවෙන්ද යන්නත්, එවැනි ත්‍රස්තවාදයක් යළි බිහි නොවන සේ සාධනීය සාමයක් උදාකර ගැනීමට රටක් හැටියට අප ගත යුතු මාර්යන් මොනවාද යන්න ගැනත් වැටහීමක් එදාත් අදත් අපට තිබුණි. එහෙත් ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් පසුගියදා ඒ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළේ ඇයි, කුමක් අරභයාද, ඔවුන්ගේ සතුරන් කවුද, ඉල්ලීම් මොනවාද යන කිසිදු ප්‍රශ්නයකට අප කිසිවෙකුත් දන්නා දේශපාලන න්‍යායකින්, මනෝවිද්‍යාත්මක සංකල්පයකින්, මිනිස් හැසිරීම් පිළිබඳ පෙර අත්දැකීම්වලින් ලබාගත් ඥානයකින් හෝ වෙන කිසියම්ම විද්‍යාවකින් පිළිතුරු සොයාගත නොහැකි වී තිබේ. තමන්ගේ ඇදහිල්ලට වෙනස් ඇදහිල්ලක් අදහන අනෙක් සියලු මිනිසුන් විනාශ කළ යුතු යැයිද, එසේ කිරීමෙන් තමන්ගේ දෙවියන් කරා යා හැකියැයිද යන අතිශයින් විකෘති, මානව විරෝධී, සාපරාධී මිථ්‍යා භක්තියක් වෙනුවෙන්, තමන්ට කිසිදු වරදක් නොකළ අහඹු මිනිස් සමූහයක් ඝාතනය කරමින්, තමන්ගේ අඹුවන්ද අතදරුවන්ද මරාගෙන මැරෙන මිනිසුන්ගේ හදවත් සහ මනස් ක්‍රියා කරන්නේ කවරාකාරයකටද යන්න අප දන්නා මිනිස් ධර්මතාවන්ගෙන් අපට තේරුම් ගත නොහැක. නොපෙනෙන දේව භක්තියක් වෙනුවෙන් මේ සා කුරිරු ක්‍රියාවන්ට යොමු වී ඇත්තේ, ආර්ථික වශයෙන් සමෘද්ධිමත්, දියුණු බටහිර රටවල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරූ, වෘත්තීය සාර්ථකත්වය අත්පත් කරගත්, අතිශයින් වරප්‍රසාදිත, තම අඹුදරුවන් සමග ගැහැටක් නැතිව ජිවත් වීමට හොඳින්ම අවකාශය තිබූ තරුණ පිරිමින් සහ ගැහැනුන් වීම ‘ඇයි, කොහොමද’ කියා අසන අප තව තවත් උභතෝකෝටිකයක් තුළටම ඇදදමයි. අවසානයේ අපට සිතිය හැකි වන්නේ, අදෘශ්‍යමාන බලවේග පිළිබද ආන්තික භක්තියකින් අන්ධ කළ විට, මනුෂ්‍යයා ඕනෑම කුරිරු ක්‍රියාවකට යොමු කළ හැකි බවයි.

ඒ මිථ්‍යා භක්තියෙන් සිහි විකල් වී අන්ධවූ විට, ආදරය, දයාව, සානුකම්පාව වැනි හැඟීම් අන්‍ය මනුෂ්‍යයන් කෙරෙහි තබා තමන්ගේ ලෙයින් උපන් දරුවන් වෙනුවෙන්වත් නූපදින බවයි. අදෘශ්‍යමාන දෙවියෙකු වෙනුවෙන් හෝ නේකප්‍රකාර කල්පිත බහිරවයන් රාක්ෂයන් වෙනුවෙන් මනුෂ්‍යයන්ද ඇතුළු ප්‍රාණීන් මරා බිලි දීම්, ආදී වතාවත්වල සිට දහස් ගණනින් මිනිසුන් ඝාතනය කිරීම දක්වා මනුෂ්‍යයා මෙහෙයවීමට අන්ධ භක්තියට සහ මිථ්‍යා විශ්වාසයන්ට හැකි බව දැන් අපි දනිමු. එපමණක් නොව, තමන්ගේ ගෝත්‍රය, වර්ගය හෝ ආගම අනෙකාට වඩා උසස්ය යන මනෝභ්‍රාන්තියෙන් ආවේස වූ විටද, සිදුවන්නේ මෙවැනිම විකෘතියකි. හිට්ලර් විසින් මිලියන හයක් යුදෙව් ජනයා ගෑස් කාමරවල දමා ඝාතනය කිරීමේ සිට, මෙවැනි උදාහරණ ලෝකයේ නොයෙක් තැන්වලින් අපට හමුවේ. අපේ රටේද ආගම ජාතිය ආරක්ෂා කර ගන්නට යයි කියමින් නොයෙක් නම්වලින් පෙනී සිටින සංවිධානවලින් කරන්නේ මනස් විකෘති කර අන්තවාදයකට මිනිසුන් උසිගැන්වීමයි. කොයි ආගම ජාතිය පදනම් කරගත් අන්තවාදයකට වුව හිස එසවීමට නොදී, පරාජය කළ යුතු වන්නේ, අවසානයේ එය මනුෂ්‍ය වර්ගයා වෙත මහා විනාශයක් මිස වෙන කිසිවක් ගෙන දෙන්නේ නැති බැවිනි. අද වන විට ලෝකයම ත්‍රස්ත භීතියෙන් අවුලුවා ඇති අමානුෂික ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ වනවා සේම, අනෙක් ආගම් සහ ජාතීන් පදනම් කරගත් සියලුම ආකාරයේ අන්තවාදයන් ද එක හෙළා ප්‍රතික්ෂේප කළ යුත්තේ එනිසායි.


එසේම මිථ්‍යාව මත පදනම් වූ අන්ධ විශ්වාසයන් තුළින් නොව, තර්ක බුද්ධිය සහ ඥානය මගින් ජිවිතය සහ ලෝකය අවබෝධ කර ගැනීමට හැකි දියුණු මනස් සහිත මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීම ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය. ඒ පුළුල් අරමුණ සාක්ෂාත් කර ගත හැක්කේ, දේශපාලනය, අධ්‍යාපනය, මාධ්‍ය, කලාව සහ ආගමික සංස්ථා යන සෑම ක්ෂේත්‍රයකම ඇති කරන ගැඹුරු වෙනස්කම් තුළිනි.


පසුගිය සතියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය විසින් අපේ සමාජය පතුළටම ගිලෙමින් තිබූ දේශපාලන ඉච්ඡා භංගත්වය ද දෙගුණ තෙගුණ කරවන ලදි. ඒ සා මිනිස් ජිවිත රැසක් විනාශ කළ ප්‍රහාරයෙන් පසු, ඒ බිහිසුණු ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලිය කෙරෙහි උපන් කෝපය හා පිළිකුලට නොදෙවෙනි පිළිකුලක් සහ උදහසක් ජනාධිපති, අගමැති ඇතුළු රට කරවන සියලුම තක්කඩි මැති ඇමතිවරුන් කෙරෙහිත්, සිය නිහීන දේශපාලන අවශ්‍යතා ඉටුකරගන්නට මේ ජාතික ව්‍යසනය අධම ලෙස පාවිච්චි කරන විපක්ෂ නායක ඇතුළු සියලු තකතිරු දේශපාලකයන් කෙරෙහිත් අපට ඇති වී ඇත. දැන් හෙළිදරවු වී ඇති තොරතුරුවලින් සක්සුදක් සේ පෙනෙන්නේ, මේ මහා ජාතික ව්‍යසනය වළක්වාගත හැකිව තිබූවක් බවයි. බුද්ධි අංශ වෙත මේ සා පැහැදිලි අනතුරු හැඟවීම් ලැබී තිබියදිත්, දුර්වල අඥාන රාජ්‍ය පාලකයන්ගේ පෞද්ගලික බල ගැටුම් සහ අවස්ථාවාදීකම් නිසා වළක්වා ගත නොහැකි වූ ජන සංහාරයක් හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරය ලෝක ඉතිහාස ගත වෙනු ඇත. අපේ රටේ ඉහළම විධායක තැනේ සිට, කවුරු කවුරුත් අහිංසක ජනතාව කෙරෙහි දැක්වූ සැලකිල්ලේ තරම ඉන් පැහැදිලි වෙයි.

ජනතාව ජනතාව ජනතාව කිය කියා උගුරු ලේ රහ වෙනතුරු කෑ මොර දෙන අවස්ථාවාදී වංචනික දේශපාලකයන්ට සැබවින්ම රටේ ජනතාව ගැන තඹ දොයිතුවක කැක්කුමක් නැති බව මේ ප්‍රහාරය ජනතාවට ඕනෑවටත් වඩා හොඳින් උගන්වා ඇත. එකිනෙකා වෙත චෝදනා එල්ල කරගනිමින් තමන් නිවැරදි වීමට දඟලනවා මිස, මේ රාජ්‍ය නායකයන්ගේත්, විපක්ෂ නායක ඇතුළු නඩයේත් කිසිවෙකුගේ මුහුණක මේ මහා ව්‍යසනය පිළිබඳ කිසිදු පශ්චාත්තාපයක්, හෘදය සාක්ෂිය පිළිබඳ වේදනාවක් ගෑවීවත් තිබුණේ නැත. අපේ දරුවන්ට ජිවත් වෙන්නට ඇති රට බාරගෙන සිටින්නේ, ඉදිරියට බාර ගන්නට එන්නට වළිකන්නේ මේ වැනි පිරිසක් නේද කියා සිතෙන විට දැනෙන්නේ අසරණභාවය හා කැළතුණු මහා ඉච්ඡා භංගත්වයක් බව නොකියා බැරිය. එහෙත්, ඒ ඉච්ඡා භංගත්වයෙන් මිදී, මේ අවස්ථාවාදී දේශපාලකයන්ට අභියෝග කිරීමට, බලපෑම් කිරීමට, ජනතාව කෙසේ හෝ ශක්තිය කැඳවා ගත යුතුය. එදා ඒ කුරිරු ප්‍රහාරයෙන් මිය ගිය අපේ සහෝදර ජනතාව වෙනුවෙන් අපට පළ කළ හැකි ප්‍රණාමය එපමණය.


මේ සා දරුණු ත්‍රස්ත ක්‍රියාවක් මේ තරම් හොඳින් සූදානම් වී ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකි වූයේ, රටේ නීතියේ ආධිපත්‍යය කියා දෙයක් නැත්තටම නැති නිසා බව පැහැදිලිය. විධායක ජනාධිපතිගේ සිට ඉතාම සුළු තැන දක්වාම එවැන්නක් අදාළ නැත. බල පුළුවන්කාරකම් සහිත කාගේ හෝ හිතවතුන්ට පමණක් නොව, රූපවාහිනියේ නිතර පෙනෙන ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙකුට පවා බීමතින් රිය පැදවීම ආකාරයේ ‘වැරදි’ කර පොලිස් රාළහාමිලාගෙන් සැලියුට් ද ලබා ගැලවී යා හැක්කේ, නීතිය එක් එක්කෙනාට එක එක ආකාරයක ක්‍රියාත්මක වෙන නිසාය. මෙහිම විශාලනය කළ පින්තූරයකදී, ත්‍රස්තවාදි ක්‍රියාවලට වැරදිකරුවන් හැටියට අත්අඩංගුවට ගන්නා මහා අපරාධකාරයන්ද ඉහළින් එන නියෝග මත නිදහස ලබා පිටව යන්නේ නීතියේ ආධිපත්‍යය දේශපාලන ලොකුලොක්කන්ගේ ආධිපත්‍යයට යටත් නිසාය. රටේ ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළ රටක, ඒ තීන්දුවලින් පසුවත් ඔහුට තවදුරටත් ජනාධිපතිකමේම ඉන්නට හැකි වූ රටක, නීතියේ ආධිපත්‍යයක් ගැන කතා කිරීම මහා විහිළුවක් බව අපි දනිමු. නීතියේ ආධිපත්‍යයක් නැති රටක ජනතාව අනතුරේය. එවැනි රටක සාමාන්‍ය පොදු ජනතාවට ආරක්ෂාවක් නැත. එවැනි රටක් අපරාධකාරයන්ටද, ත්‍රස්තවාදීන්ටද, හොරු මංකොල්කාරයන්ටද, පාතාල නායකයන්ටද සරු තෝතැන්නකි. පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙළිදරවු වෙන තොරතුරුවලින් පැහැදිලිව පෙනෙන සත්‍යය මෙයයි.


නීතිය කාටත් සර්ව සාධාරණව ක්‍රියාත්මක නොවන බවත්, නීතිය බලයට යටත් බවත් හොඳින්ම දන්නා මෙවැනි රටක පුරවැසි සමාජය සාමූහික විශාදයකට ගොදුරු වීම වැළැක්විය හැක්කේ කෙසේද? නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නැයි පාලකයන්ට දිගින් දිගටම බල කර සිටීම, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප වෙත පැවරී ඇති ප්‍රබලතම වගකීමකි.
පසුගිය සතියේ ත්‍රස්ත ප්‍රහාරයත් සමගම අප සමාජයක් හැටියට මුහුණ පාන තව එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමානාත්මතාව, අන්තර් ආගමික සහජීවනය, සාමය හෝ මානව හිමිකම් පිළිබඳ හඬ නැගූ පාර්ශ්වයන් වක්‍රාකාරව ‘ත්‍රස්ත ක්‍රියාවලට’ අනුබල දෙන්නන් ලෙස අන්තවාදී පිරිස් විසින් හංවඩු ගැහීමේ ප්‍රවණතාවයි. අනිත් අතට රාජ්‍යය විසින් මේ අවස්ථාවට මුවා වී ගෙන එන්නට තතනන මර්දනකාරී අණපනත්වලට විරෝධය පෑමේදී, එය අන්තවාදී ත්‍රස්ත කල්ලි පාලනය කිරීමට ගන්නා පියවරවලට විරුද්ධ වීමක් හැටියට අවස්ථාවාදී දේශපාලකයන් විසින් උසි ගන්වනු ලබන කණ්ඩායම් විසින් වැරදි ලෙස අර්ථකථනය දැක්වීමයි. මේ වැරදි අර්ථකථන ගැන්වීම ඔවුන් විසින් මීට පෙරත් කරගෙන ආ නමුත්, දැන් ඇති වී ඇති මහත් සංකීර්ණ තත්ත්වය හමුවේ ඒවාට පෙරදීට වඩා යම්කිසි වලංගුභාවයක් ලැබෙයි. මට පෙනෙන හැටියට මෙය අප සමාජයක් හැටියට මේ මොහොතේ ජය ගත යුතු වැදගත්ම අභියෝගයකි. ජාතික ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව පිළිබඳ විශාල කතිකාවක් ඇති වී ඇති පසුබිමක, ඒ නමින් ප්‍රජාතන්තවාදී මූලධර්ම හෝ මානව අයිතිවාසිකම්වල වටිනාකම කිසිසේත්ම නිශේධනය වී යන්නට ඉඩ නොදෙන බවට, විද්වතුන්ද, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ද, වගකීම් සහගත පුරවැසියන්ද වග බලා ගැනීම අත්‍යවශ්‍යය.


ආගමික අන්තවාදීන් විසින් දියත් තළ ඒ ප්‍රහාරයත් සමගම ජාතීන් සහ ආගම් අතර සාමය සහජීවනය පිළිබඳ ආකල්ප තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අභියෝගයද අප හමුවේ ඇත. මේ සිදුවීමත් සමගම සාමාන්‍ය මිනිසුන් අතර නිසගයෙන්ම අපේ සහෝදර මුස්ලිම් ප්‍රජාව පිළිබඳ සැකසංකා අවිශ්වාසයන් ගොඩ නැංවීමට අවකාශයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම අපේ නිවෙස්වල සිටින කුඩා දරුවන් මේ සිදුවීම් ගැන අසා බලා තේරුම් ගන්නේ මොනවාද යන්න ගැන අප මහත් සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. ඔවුන් තුළ මුස්ලිම් ප්‍රජාව පිළිබඳව අගතිගාමී අදහස් පැළ නොකිරීමටත්, පැළ වීමට ඉඩ නොතැබීමටත් විශාල වගකීමක් වැඩිහිටියන් හැටියට මේ අවස්ථාවේ අප සතු වෙයි. මේ සංකීර්ණ අවස්ථාව ඔවුන්ට සංයමයෙන් තෝරාබේරා දිය යුතු වෙයි. කිසිදු ජාතියක් ආගමක් පිළිබඳ නරක ආකල්පයක් ඇති නොවන ආකාරයට රටේ ඇති වී ඇති තත්ත්වයත්, ඒ හරහා මතුවන ආරක්ෂාව පිළිබඳ අලුත් තත්ත්වයනුත් ගැන ඔවුන්ට කියා දිය යුතුයි. බහුවාර්ගික සමාජයක පුරවැසියන් හැටියට, අපේ බාල පරපුරේ මානසිකත්වය පිළිබඳ විශාල වගකීමක් අප බාර ගත යුතුයි. ඔවුන් තුළ භීතියක් හෝ අපේක්ෂා විරහිත බවක් ඇති නොකොට, පාසල්වලදී සහෝදර මුස්ලිම් මිතුරන්ට මිත්‍රශීලීව ප්‍රතිචාර දැක්වීමේ අගය කියා දිය යුතුයි. දෙමාපියන්ද ගුරුවරුන්ද හැටියට මේ අවස්ථාවේ අප මේ දුෂ්කර අභියෝගය ජය ගැනීමේ නිර්මාණාත්මක මාර්ග සොයාගත යුතුයි.


ත්‍රස්ත ප්‍රහාරයට සිය පවුලේ සාමාජිකයන් ගොදුරු වූ පවුල්වල දරුවන්ට කාලාන්තරයක් යන තුරුම මානසික උපදේශන සේවා අවශ්‍ය වෙනු ඇත. ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ගොඩ නැංවීමත්, අහිමි වීමේ වේදනාව තුළින් ක්‍රෝධය ඉපදීම වළක්වා සාමකාමී සිතුවිලි ධෛර්යමත් කිරීමේ මහා වෑයමක් වැඩිහිටි ගුරුවර පාර්ශවයන් විසින් ගත යුතු වෙනු ඇත. මේ හා සමානවම, පාසල් යන මුස්ලිම් දරුවන් තුළ ඇති භීතිය ආතතිය සමනය කර, ඔවුන් තුළ සහෝදරත්වය තහවුරු කිරීමේ අතිශයින් භාරධුර කාර්යයත්, පාසල් සහ ගුරුවරුන් වෙත පැවරෙන ජාතික වගකීමකි.


ආරම්භයේත්, මා කියූ පරිදි, බහුවාර්ගික බහුආගමික රටක් හැටියට, අපට මුහුණු දෙන්නට සිදු වී ඇති දුෂ්කරම, සංකීර්ණතම අභියෝගාත්මකම කාලය මෙය විය යුතුය. මනුෂ්‍යත්වයද ප්‍රඥාවද පෙරදැරිකරගෙන ඒ අභියෝගයට මුහුණ දීමෙන්, අමානුෂික ත්‍රස්තවාදීන්ගේ දීර්ඝ කාලීන අරමුණු පරාජය කිරීමට අපට හැකි වනු ඇත. ■

නදී කම්මැල්ලවීර