■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ස්වර්ණවාහිනි දේශපාලන වැඩසටහන නැරඹූ මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිවරයා ‘කොහොමද මොකද හිතෙන්නේ…’ කෙළින්ම විමසීය. පුතයාගේ හැටි දන්නා මම ‘හ්ම්’ කියා බෝලයට නිදැල්ලේ පාවී යන්න හැරියෙමි.

“මරු නේද?” ඒ ඔහු එල්ල කළ තවත් දුස්රාවකි. රනිල්ගේ ප්‍රකට මානවම්ම උත්තරය මතක් කර හෙතෙම බක බක ගා සිනාසිණ.

“හෙන ප්‍රතිචාර නේද? මම එතන හිටපු අනික් එවුන් දෙන්නාගෙන් එකෙක් වුණා නම් ලොක්කාගෙන් අහනවා මානවම්ම රජ්ජුරුවෝ ගියෙත් රෝයල්ද කියලා.” මගේ මිත්‍රයා කොහොමටත් එහෙමය. ගුරුවරයා යනු සිසුන් විසි තිස් දෙනෙකුට තනිව මුහුණ දී ජාම බේරාගන්නෙකි.

“එතන නොහිටි එක හොඳයි එහෙනම්….” මම ඔහුට දිනුම දී කතාව අවසන් කළෙමි. මේ විදුහල්පතිවරයා ඈත ගමක දුප්පත් පාසලකින් අමාරුවෙන් දුකෙන් මිදුණ ගොඩයෙකි. මධ්‍ය විද්‍යාලයකවත් ඉගෙනීමේ අවස්ථාව නොලද හෙයින් 43 බලකායට බඳවාගන්නේ නැත. ඒ නිසාම සත්‍යවාදී දේශප්‍රේමී පුරවැසියෙකි. ලංකාවේ දේශප්‍රේමීහු දෙවර්ගයකි. පළමු කොටස, හොරු රැක්කා කියා යහ පාලන ආණ්ඩුව පරාද කළ සත්‍යවාදී දේශප්‍රේමි පුරවැසියෝය. දෙවෙනි කොටස, රනිල්ලා, වජිරලා, සාගලලා බේරා ආරක්‍ෂා කළ පල් හොරුන්ට රට භාර දුන් හැට නව දහසක් දේශප්‍රේමී පොහොට්ටු පුරවැසියෝය. උන් ආ ගමන් නිශ්ශංක සේනාධිපතිලා, ගාමිණි සේදරලා දුමින්ද සිල්වාලා නිදහස් කළහ. දුමින්ද සිල්වා නිදහස් කළාට, වේඬරුවේ උපාලි නාහිමියන් ප්‍රාර්ථනා කළ පරිදි ගෝඨාභය රාජපක්‍ෂට තවමත් හිට්ලර් වෙන්න බැරි විය. හොරුන් රැක්කා කියන රනිල් මේ ඉස්මතු වන්නේ ඒ අව්අස්සේය.

“මානවම්ම රෝයල්ද?” කියා අසන තරමට මගේ වියපත් මිත්‍රයා රැඩිකල්ය. ඒ කියන්නේ රාජපක්‍ෂලා අරහංය. එහෙත්, ඩෙලික් ඉංග්‍රිසි පුහුණුව, විද්‍යා පීඨ පද්ධතිය, ජාතික අධ්‍යාපන ආයතනය ඇති කළ රනිල් නම් අධ්‍යාපන ඇමතිවරයාගේ දැක්ම ගැන ඔහුගේ අවබෝධය නිරවුල්ය. ඒ හැදෑරීම ගැඹුරු ය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම ගැන රනිල් පිළිබඳව ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත පිළිගැනීමකි. හැම මඟුලටම මන්ත්‍රීගේ ලියුමක් ඉල්ලන ලංකාවේ ගුරු සේවයට, රනිල් වික්‍රමසිංහ ඇතිකළ සම්මත ප්‍රවේශය ගැන අවබෝධයක් අපේ ගුරු සංහතියට නැත. ඔහුට අනුව ඩෙලික් වැඩසටහන ඉංග්‍රිසි උගත් ගුරුවරුන් සහ ඉංග්‍රීසි උගත් දරුකැලක් බිහි කළ ක්‍රියාන්විතයකි. මගේ මිත්‍රයා හිතන විදිය මම මෙසේ සටහන් කරමි.

දහසක් අපේක්‍ෂා මැද අපොස උසස් පෙළට පෙනී සිටි දරුදැරියන්ට තිබුණ එකම ගැලවුම විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණකි. විශ්වවිද්‍යාල ඉඩකඩ අනුව, දස දහස් ගණනක් දක්‍ෂ දරුවෝ ගෙදරට සිර වෙති. ඉන්පසුව ඔවුහු කසිප්පු පෙරා හොර හරක් මරා, ප්‍රාදේශීය සභා පාලනය අත්පත් කරගත් දේශපාලන කජ්ජෙකුගේ ගෝලයන් බවට පත් වෙති. පෝස්ටර් ගැසුවේත්, දේශපාලන පිළිමලුන් සමග තම ස්වාමිවරුන් වෙනුවෙන් ගුටි ගහ ගත්තෙත්, පොලිසි ගියේත්, විරැකියාවෙන් පෙළෙන අපේක්‍ෂා භංගත්වයට පත් සරසවි වරම් නොලද මේ තරුණ පිරිසය. අන්තිමේ රටටවත් ගමටවත් ඔවුන් වදා හැදූ දෙමාපියන්ටවත් සිදුවූ යහපතක් නැත. සමහරුන්ට ත්‍රීවීල් රියැදුරන් සමාජයට එරෙහි ගාමක බලවේගයකි. ඒ බලවේගය ආණ්ඩු පෙරළන, රටට අවශ්‍ය විකල්ප නිර්මාණය කරන තරමට පරිණත නැත. කුඩු අදින ගංජා උරන, සමාජ දූෂකයන්ට ඔත්තු බලන, තමන්ගේ ත්‍රීවීලරයට ගොඩවුණ ගැහැනුන් කෙළිබඩු සේ සලකන ආකාරයේ රටේ බරපතළ සමාජ අවදානමකි. තවමත් රට අත්විඳින මේ ව්‍යසනයට ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, මහින්දලා, මෛත්‍රිපාලලා මෙන්ම ගෝඨාභයද අඩුවැඩියෙන් වගකිව යුතුවේ. පසුගිය මැතිවරණ සමයේ ත්‍රීවීලර් සංගම් කැඳවා මහින්ද රාජපක්‍ෂ ඇසුවේ වැරදි සම්බන්ධ දඩ මුදල් වැඩි නේද කියාය. ඔහු දඩ මුදල් ප්‍රමාණය අඩුකරන බවට පොරොන්දු විය. පසුවදාම ත්‍රීවීලර් මිතුරෝ අම්මා බුදුවේවා ස්ටිකරය ගලවා මහින්ද එනවා පෝස්ටරය ඇලවූහ. ඒ ස්ටිකරය ගැසූ ත්‍රීවීලර්වලට ඡන්දය අවසන් වන තෙක් එක් දිනකට රුපියල් පන්සීයක ඉන්ධන දීමනාවක් හිමිවිය.

මෙසේ දේශීය සංස්කෘතියට දේශපාලනයට හානිකර උත්තේජනයක් වූ ත්‍රීවීලර් සමාජයට ඇදී ගිය පිරිස් සංඛ්‍යාත්මකව අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙමින්, සිදුකළ ප්‍රතිසංස්කරණයන්ට රටෙන් ලැබුණ තක්සේරුවක් නැත. තමන් සාඩම්බර වෘත්තිකයන් බවට පත් කළ ප්‍රතිලාභ ගුරුවරුන්ට පවා මෙය දැනී නැත.
“ඔබ අධ්‍යාපන ඇමති ලෙස මේ රටට කළේ කුමක්ද?” 1999 ජනාධිපති මැතිවරණය අතර, මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදී බුද්ධික පතිරණ එජාප අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහගෙන් ඇසීය.

“ඇයි බුද්ධික ඔබ…” රනිල් පෙරළා වහා ප්‍රශ්න කර සිනාසී ඉවත බලා ගත්තේය. රනිල්ට කාගේවත් මුහුණ බලන පුරුද්දක් නැත. එදා බුද්ධික පතිරණ තවත් අධ්‍යාපනය ගැන රනිල්ගෙන් ප්‍රශ්න කළේ නැත. රනිල්ගේ නායකත්වයෙන් දේශපාලනයට පිවිසි ඒ බුද්ධික පතිරණ බොහෝ හේතු නිසා කිසිදිනෙක රනිල් සහ එකට පෑහුණේ නැත. බුද්ධික අදටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එහෙත් රනිල් විනාස කළ සාගල, මංගල දෙදෙනාටම පාර්ලිමේන්තු දොර ඇරුණේ නැත.

රනිල් වික්‍රමසිංහ රටේ අධ්‍යාපනය භාරගන්නා විට තිස් එක් හැවිරිදිව සිටියේය. ඉසෙඩ් ස්කෝර් එක මදි වී විශ්වවිද්‍යාලයට නොතේරුණ ඉහළ ලකුණු ගත් උසස් පෙළ සමතුන්ට රනිල්ගේ විද්‍යා පීඨ සැලැස්ම, අධ්‍යාපනවේදය, ගුරු වෘත්තිය, ගුරු ගෞරවය, දරු පරපුර පිළිබඳ මනා අවබෝධය සහිත අලුත් පරම්පරාවක පටන් ගැන්ම විය. පාසල් කළමනාකරණය පිණිස අධ්‍යාපන පරිපාලන සේවය ඇති කළ රනිල් විදුහල්පතීන්ට විදේශ පුහුණුව ලබා දුන්නේය. ගුරුවරයෙකු නොවන මට මේ ටික කියා දුන්නේ ඉහත කී විශ්‍රාමික විදුහල්පතිවරයා ය.
“මතකද පිපිඤ්ඤා කියලා ලියාගන්ට බැරි ගුරු පරපුරක් ගැන පත්තරවල තිබුණා.” ඔහු තවත් කතාවක් පටන්ගත්තේය. ගුරු සේවයේ බොහෝ මතකයන් සිහි කර, මහත් ආස්වාදයක් ලැබූ මගේ මිතුරා මේ පිපිඤ්ඤා කතාව පටන් ගත් විට, ඔහුට ආවේණික, සුපුරුදු උපහාස සිනාව, ආවේණික ප්‍රහර්ෂය ඔහු තුළ නොවීය. කැළඹිලි සහගත මහා ගැඹුරක් පසුතැවිල්ලක් නිරූපණය විය.

“ඒක බොරු නොවෙයි. එහෙම ගුරුවරුත් හිටියා. මතකද කොම්පඤ්ඤ වීදිය, අප්පු සිඤඤෝ වචන ලියන්න බැරි පොලිස් රාළහාමිලා මේ පිපිඤ්ඤා කතාවට සම්බන්ධ කෑලි.” ඔහුගේ මේ පිපිඤ්ඤා කතාව මගේ ශෛලියෙන් ලියන්නට අවසර පතමි.

පිපිඤ්ඤා වැනි සාටෝප කතාවලින් දුර්වර්ණවූ දුර්වලකම නිසා නිතර හාස්‍යයට උපහාසයට ලක්වූ ගුරුවරියක් අපේ කතානායකයා සිටි පාසලක සේවය කළාය. හොඳ සමාජ සබඳතා සහ ඇවතුම් පැවතුම් නිසා කාගේත් ආදරයට පාත්‍ර මේ ගුරුවරිය, වෘත්තියට හිමි දැනුමෙන් දුප්පත්ය. ඇ පාසල් විෂය දැනීමෙන් දුර්වලය. දරුවන්ට බෙහෙවින් ඇලුම් කළාය. පන්තියක දරුවන් මනා විනයකින් හසුරුවා ගැනීමට සමත් වූවාය. ඒ නිසාම ගුරුවරුන් නොපැමිණි දිනවල පන්ති හසුරුවා ගැනීමෙහිලා ඇය පාසලට සම්පතක් සේ සැලකිණ. එතුමිය ශිෂ්‍ය අවධියේ මැටිමෝලියකි. එහෙත් බෙහෙවින් ළතෙත් එසේම හුරුබුහුටිකම් නිසා කාගේත් ආදරය ලැබුවාය. පන්තියේ අන්තිමයා වී බුද්ධාගම පමණක් සමත් අපොස සහතිකය සමග ඇගේ පාසල් යුගය අවසන් විය. ශක්තිමත් පවුලක දැරියක වූ ඇයට ගුරු සේවයට එක්වීමට අවශ්‍ය සුදුසුකම් උපයාගත් ආකාරය ගැන පුද්ගල ගෞරවයෙන් යමක් සටහන් නොකෙරෙයි.

පිපිඤ්ඤා කියා ලියන්න බැරිවීම අර ගුරුවරියගේ වරද නොවේ. රනිල් අධ්‍යාපන ඇමති නොවුණා නම් අදටත් පිපිඤ්ඤා ගුරුවරු ගුරු සේවයට එකතු වෙනවාය. කාගේ හෝ බඩගෝස්තරයක් සඳහා මොකක් හෝ තැනක රස්සාවකට එබීමට දේසපාලුවන්ට ඇති හයිය අධ්‍යාපනයෙන් ඉවත් කොට මේ විනාසයෙන් ගුරු සේවය මුදවා ගත්තේ රනිල් වික්‍රමසිංහ බව මේ පරිණත අධ්‍යාපනඥයා ඉත්තේරුවටම කියා සිටියි. ගුරු සේවය මෙසේ ගෞරවනීය වෘත්තියක් බවට පත් කළ රනිල් වික්‍රමසිංහට කිසිවෙකු උපහාර පුදා නැත. එසේ වී නම් රනිල් වික්‍රමසිංහ එජාපය සමග 2020දී බිංදුවට බහින්නේ නැත. තමන් කළ කී දේ ගැන කයිවාරු නොගසන තරමට රනිල් නිහතමානි වේ. රටේ දේශපාලන සම්ප්‍රදායට පිටුපා, ගජමිතුරු හවුලක ආතල් ගැනීම විකාර සමයමකි. ඒ ගැන රනිල්ට ජනතාව එක දිගට රනිල්ට දඬුවම් කරති. කළ හොඳ යටපත් ව රනිල් ප්‍රතික්‍ෂේප වීම ජනතාවගේ වරද නොවේ. පාඩම් නූගත් තවමත් රනිල් වජිරලා අතහැර නැත. මෙහි පාඩුව රටටය. මේ නඩුවේ වරදකරු රනිල්ය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි නොමැකෙන සටහන් තැබූ රනිල් නැවත නැවත දේශපාලනිකව ප්‍රතික්‍ෂේප වීම ගැන විමසා සිටියෙමි. දැනුම තියෙන බොහෝ අය විභාග සමත් නොවෙති. සමහර වෛද්‍යවරුන්ට අත්ගුණය නැත. සමහර රියැදුරන්ට වාහන පැදවිය නොහැකිය. ඔහු ලිඛිත භාෂාවෙන් කියාගෙන ගියේය.

“තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇත්තටම ලෙහෙසියි.” මම ඍජුව කියා සිටියෙමි.

“තේරෙන භාෂාවෙන් කීවොත් එහෙම මිනිහෙක් මිනිසුන් හිටියෙත් නැහැ. ඉඳලත් නැහැ. පොළොන්නරුවේ අදත් මිනිස්සු බත් කන්නේ ඉතිහාසගත පරාක්‍රමබාහුලා, ඩී.එස්. සේනානායකලා නිසා බව මිනිස්සු දන්නවා. රනිල් ඉතිහාසයට ගිහිනුත් නෑ. ජීවතුන් අතරත් නෑ. කොටින්ම එයා රටේ මිනිස්සු හඳුනාගෙන කරන දේශපාලනය දන්නෙ නෑ. හරි නම් මේ වෙන කොට පක්‍ෂයේ පරාජයේ භාරගෙන වෙච්ච වැරදි පිළිගෙන අලුත් ගමනක් සැලසුම් කරන්න ඕනෑ නේද? එයා ඉන්නේ උඹලා දුන්නොත් මම දෙන්නම් කියන තැන. රනිල් කළ හොඳ වැඩ නොව, රනිල්ගේ වාසියට බොරුවක් කියන්නවත් මිනිහෙක් එයා ඉතුරු කරගෙන නෑ.”

“2015 ආණ්ඩුව පත්වෙලා දවස් හැට යන්න ඉස්සර බැංකු සෙල්ලම හෙළිවුණා. ඒ වෙලාවේ මහ බැංකු අධිපති ගෙදර යැව්වා නම්….? බලය අතට ලැබුණාම රනිල් වික්‍රමසිංහ හිතන්නේ ඒක ගෙදර බූදලය කියලා. මෙච්චර දෙයක් වෙලත් රනිල් තවමත් පක්‍ෂය ඇතුළේ හැසිරෙන්නේ රට දකින්නත් අකමැති අය සමගයි. ඇවන්ගාර්ඩ් සේනාධිපති මගේ සේවාදායකයා කියලා පාර්ලිමේන්තුවේදි කී තිලක් මාරපන හෙටත් රනිල් කැබිනට් මණ්ඩලයට කැඳවනු ඇති. පත්තර වාර්තා අනුව, සියරට පත්තරේ බාරදීලා තියෙන්නේ ලාංකේය පත්‍ර කලාවට හිමිකම් කියන රුවන් විජයවර්ධනට නොවෙයි. නර්ස් කෙනෙකුටයි. සමන් රත්නප්‍රිය නැති තැනක් නැත. එයාට මන්ත්‍රීකම දුන්නේ අන්තිම සති දෙකේ. පර්මිට් එක විකුණා ගන්න. මන්ත්‍රී කාර් ගැන රට සාප කරන මොහොතක රත්නප්‍රිය දැක්මට යූඇන්පීයවත් කැමතිද? මේවා එජාප මුහුණේ සොහොන් ලකුණු. සමහරු හිතන්නේ රටේ මිනිස්සු හරක් කියලා විය හැකියි.” ඔහු කපා කොටා සංස්කරණය කර මට මගේ භාෂාවෙන් ලියන්න නොදී මේ කතා කරන්නේ රටටම ඇසෙන්නට විය හැකිය.

මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි මා මිත්‍රයාට මග හැරුණ කරුණු කිහිපයක් සටහන් කළ යුතුව ඇත. ජූනි 23 වෙනිදා තනි රනිල් වික්‍රමසිංහ එජාපය සතු එකම මන්ත්‍රී ධුරයට දිවුරුම් දීම රටම අපේක්‍ෂා කළ බවක් දැනිණ. පොහොට්ටුවන් හිතුවේ අගමැති වෙයි කියාය. සජිත්ට තමන් ගැන බය සිතිණ. ඒ කිසිවක් සිදු නොවිණ. මන්ත්‍රී රනිල් එදා පරිපූරක ඇස්තමේන්තු විවාදයේ ආරම්භක කථිකයා විය. ඔහුගේ කතාව නව ජනමතයක ආරම්භය විය. තම පක්‍ෂයට හිමි එකම මන්ත්‍රී ධුරය මාස දහයක් ඇබෑර්තු වීම ගැන බැණුම් ඇසුවේ රනිල්ය. පක්‍ෂය තමන් නම් කළද රනිල් කල් මැරීය. එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කීවේ යන දවස එතුමා තීරණය කරනු ඇත කියාය. රනිල් පාර්ලිමේන්තුව විවෘත කරන දා ගියා නම් තවත් එක් මන්ත්‍රී කෙනෙකුව නැගෙන උසුළුවිසුළු මැද හැකිලී අසුන්ගත යුතුව තිබිණ. රනිල් කල් මැරුවේ දවස උදාවන තෙක්ය. ඒ දවස ජූනි 23 දින උදාවිය. ඔහු යාමෙන් ඇතිවූ ප්‍රබෝධය යටපත් කිරීමට සජබය සභාව තුළ මහා විරෝධයක් සැලසුම් කළද එය අසාර්ථක විය. පරාජයෙන් ඇද නොවැටෙන රනිල් තම ගමන පටන් ගත්තේය. සවස් වරුවේ අභයාරාමය සහතික කළේ රනිල්ට හිසක් මිස කඳක් නැති බවය. රනිල් නිර්මාණය කළ දවසේ ප්‍රබෝධය වජිර අබේවර්ධන නැති කළේ එහෙමය.

රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායක කිරීමෙන් එජාපය ජවාධික වෙමින් සිටියි. ඒ සේනානායකලාගේ හදගැස්ම එක්වූ නිසාය. උපනායක අකිල විරාජ් කාරියවසම් ලක්‍ෂ ගණන් පාක්‍ෂිකයන් කොළඹට කැඳවූ එජාප මහලේකම් ය. රංගේ බණ්ඩාර නව මහලේකම් වී වන්නි හත්පත්තුවට පැවති එජාප හිමිකම යළි අලුත් කළේය. හත්කෝරළේ මිනිස්සු වික්‍රමසිංහලාට ඇති මූනමලේ නෑකම දනිති. පත් කරගත් සභාපති නම් වස බඳුණ කටේ හලා ගැනීමකි. පාඨලීගේ ගාල්ලේ කතාව රටෙන් බාගයක් නැවත නැවත අසා ඇත. 2020 අයවැයෙන් පිරිවෙන්වල පැවිදි සිසුන්ට මාසිකව රුපියල් දහසක් දීමට කළ යෝජනාව පරිවේණාධිපති සංගමයේ විරෝධය නිසා හකුලා ගත් බව දන්නේ කී දෙනාද?

මගේ මිතුරා තවත් මොනවාදෝ කියන්නට සැරසෙන හැඩකි. අද ඔහුගේ දවසය.

“කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකුට ගුරු පත්වීමක් ලැබ පිටිසර පාසලකට ගියේය. ඒ පාසල පන්ති හයකට සීමාවූ පොල් අතු මඩුවක පවත්වා ගෙන ගිය ඈත පිටිසර එකකි. ලංකාවේ මෙවැනි පාසල් ඇතැයි කොළඹ ගොබිලා කිසිවිටෙක සිතුවේවත් නැත. නව පරිසරය ගැන ඔහුගේ නිගමන ගණනාවක් විය. ලෝකයේ නරකම පාසල මෙය වේ. ලංකාවේ සිටින මෝඩම සිසු පිරිස තම පන්තියේ වාඩිවි සිටිති. ඔහු ගුරුකම ආතල් එකක් කර ගත්තේය. මේ කොළඹ ගුරු ගොබිලා හැමදාම කළේ දරුවන් මඩවා සතුටුවීමය. එක් දිනෙක ගණිත පාඩමට ඔහු ඉදිරිපත් කළ ගැටලුව මෙසේය.

“අර ගහ යට නවතා තියෙන කාර් එක මගේ. කාර් වර්ගය පොක්ස්වැගන්. ඒ කාර් එකේ ගැලුමකට හැතැප්ම 12ක් යන්න පුළුවන්. මේ කරුණු අනුව මගේ වයස කීයද? ඔහු මෙවැනි දාර ලණු දරුවන්ට ගිලින්ඩ දුන්නේ මහත් සතුටෙනි. අසරණ දරුවෝ මොනවා හෝ උත්තරයක් දී තම දැනුම උරගා බලන්නට තැත් කළහ. ඒ අහිංසකයන් වැටෙන අමාරුව මොහුට ගෙනදුන්නේ කාලකන්නි සතුටකි. සුළු මොහොතකින් සිරිත් පරිදි කිහිප දෙනෙක් අත් ඉහළට ඔසවා සොලවන්නට වූහ. හැමදාම වඩාත් මැඩවීමෙන් හෙම්බත්වන දරුවාට ගුරුවරයා ඇඟිල්ල දිගු කළේය.
“කියන්න බලන්න..”

“විසි හතරයි….’‘ ලංකාවේ සිටින මෝඩම දරුවෙකු දුන් උත්තරයෙන් තරුණ ගුරුවරයා තිගැස්සිණ. මේ දරුවා සර් උපන්නේ අප්‍රේල් පළවෙනිදා යනුවෙන් කියාවි’යි සිතුණ කොළඹ ගොබිලාට බියක්ද ඇති විය.
“හරියට හරි. බොහෝම හොඳයි. කොහොමද හරියටම කීවේ…..”

“අපේ ලොකු මාමට හතළිස් අටයි.” තරුණ ගුරුවරයාට එන්න එන්නම තමා කොහේදෝ වළක ගිලා බසිමින් සිටින බවක් දැනිණ.

“ඉතින් ලොකු මාමාට හතළිස් අටක් වුණාම කොහොමද මට විසි හතරක් වෙන්නේ….”

“අපේ මාමාට හොඳටම පිස්සු…..” එය ඇසූ අහල පන්තිවල සිසුන්ටද සිනා පහළ විය. තරුණ ගුරුවරයා පසු දිනම සේවයෙන් අස්වීමේ ලිපිය භාරදී කොළඹ ගියේය.

ඒ ගුරුවරයා මේ රනිල් වික්‍රමසිංහද කියා ඔහු මට කීවේ නැත. ඒ කතාව මට දැනෙන ආකාරය මෙසේ ලියා තබමි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය ඒ කතාවේ කියැවෙන පිටිසර ගමේ හෝ පොල්අතු පාසලේ හෝ දිළිඳු අසරණ දරුවෝ නොදියුණු හෝ මෝඩ නොවෙති. වරද අර කොළඹ රෝයල් ගොබිලාගේ අවබෝධයයි. තවත් කියයි නම් රනිල් රටේ මිනිසුන් අධ්‍යයනය කළ යුතුව තිබේ. සිදුවිය යුත්තේ ආකල්ප වෙනසකි. වහා සකසා ගත හැකි අඩුපාඩුවකි. රටේ අධ්‍යාපනය වෙනස් කළ රනිල්ට මෙය කළ හැකිය.

රනිල්ගේ මානවම්ම රාජ උත්තරයත් අර දරුවාගේ ගණිත උත්තරයත් යන දෙකම කන පැලෙන තරම් ප්‍රබලය. එහෙත් ඒ සමීකරණ වැරදි නිසා, ඒ උත්තර දෙකටම ලකුණු ලැබෙන්නේ නැත. අර මාධ්‍යවේදිනිය ඇසුවේ රනිල්ගේ සංස්කෘතික වටපිටාව ගැනය. ඉතිහාසය යනු විෂයයකි. හැම ඉතිහාසඥයාම සංස්කෘතික මිනිසෙකු නොවිය හැකිය. රෝයල් නොගිය මානවම්ම ලෝකය ජයගත් අපේ කෙනෙකි. එහි දෙකක් නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ නිහඬ විප්ලවයක් කළ රනිල් වික්‍රමසිංහ ලාංකික ජනතාවගේ හදගැස්ම තේරුම් ගත යුතුවේ. ■