‘ඇවිලෙනසුලූයි ෆිල්ම් එකට වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල ලේබල් එකක් වැදුණා. ඒ සෙක්ස් තියෙන හින්ද නෙමෙයි. ප‍්‍රචණ්ඩයි කියල. කොහොම වුණත් මං ආඩම්බර වුණා මගේ ෆිල්ම් එක පොඩි ළමයින්ට නෙමෙයි කියල සලකුණු කරනවට.

ඔහොම ඉන්න අතරෙදි මාර්තු 13 වෙනිදා රිලීස් එක වැටුණ. මං ගියා ටීවී චැනල්වලින් උදව් ගන්න. එතකොට ඒ චැනල්වලින් කියනවා වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් ඒ ගොල්ලොන්ට ටීවී එකේ පෙන්නන්න තහනම්ලූ. ඒක හින්ද ටීවී රයිට්ස්වලින් චැනල් එකකට දීලා ඒ වෙනුවෙන් ඇඞ් කීපයක් ටීවී එකේ දාගන්න වැඬේ එතනම බංකොලොත්. ඒ කියන්නෙ ළමයින්ට නොවන චිත‍්‍රපටි කළොත් එක පැත්තකින් හෝල්වලට සෙනග ගෙන්නගන්න අමාරු වෙනවා. මොකද ෆිල්ම් එක හැදුවටත් වඩා සල්ලි තිබුණොත් මිස ටීවී එකෙන් පණිවුඩය ගෙනියන්න බැරි වෙනවා. දෙවෙනියට චැනල් එකක ස්ක‍්‍රීන් කරලා ආදායමක් පියවගන්න බැරි වෙනවා. මේක හින්දම වෙළඳපොල අනිවාර්යයක් විදිහට ලංකාවෙ හැදෙන්නෙම ළමා චිත‍්‍රපටි වෙනවා. මොන නිෂ්පාදකයද කැමති වෙන්නෙ දැන දැන අවදානමක් ගන්න.

අනියමින් සංස්කෘතික වාරණයක් ලස්සනට ක‍්‍රියාත්මක වෙනවා. වැඩිහිටියන් වෙනුවෙන් චිත‍්‍රපටි හදන කෙනෙකුට ඩිජිටල් මාධ්‍ය හැකියාව කොයිතරම් ප‍්‍රබලද කියන අභියෝගය කොහොමටත් බාරගන්න සිද්ද වෙනවා. හැබැයි ඒ චැනල්වල ඊට වඩා බෙලිකපන දෙමළ ඉංග‍්‍රීසි ෆිල්ම්  ඕන තරම් පෙන්නනවා. ඒ මදිවට වාහනවලට තැලෙන මැරෙන ප‍්‍රචණ්ඩ දර්ශන නිව්ස්වලම ගහනවා.”

ඉහත උපුටා දැක්වූයේ චින්තන ධර්මදාස තමන්ගේ ෆෙස් බූක් වෝල් එකේ තැබූ සටහනක්. මාර්තු 13 දා සිට ප‍්‍රදර්ශනය සඳහා පෙළගස්වා ඇති ඔහුගේ අලූත් ම චිත‍්‍රපටය සඳහා ප‍්‍රචාරණ කටයුතු සැලසුම් කරන විට ලැබුණු අත්දැකීමක්.

චින්තා ගේ චිත‍්‍රපටය, ‘රෝඞ් මූවී’ කියන ජනප‍්‍රිය චිත‍්‍රපට ශානරයක නිපදවුණු වෙනස් අත්දැකීමක් සහිත චිත‍්‍රපටයක්. ඒ චිත‍්‍රපටය ළමයින් හෝ ළමයින් ඇතුළත් පවුලේ සැම වෙනුවෙන් සැදූ චිත‍්‍රපටයක් නෙවෙයි. ඒ නිසා කවුරුත් පොදුවේ රූපවාහිනිය නරඹන වෙලාවක එය රූපවාහිනියේ විකාශය නොවුණට කමක් නැහැ.  ඒත් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එකෙන් කියවෙන්නේ නැහැ, ‘වැඩිහිටියන්ට පමණයි‘ වගේ  ළමයින්ට තහනමක්. දෙමවුපියන්ගේ මගපෙන්වීම යටතේ  ඕන නම් ළමයින්ට බලන්න පුළුවන්. වැඬේ තියෙන්නේ ලංකාව කියන්නේ ළමයින්ගේ වුවමනා එපාකම් අනුව ම තමන්ගේ ජීවිතය සකසා ගන්නා වැඩිහිටියන් ඉන්න සමාජයක් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියුවම වැඩිහිටියොත් ඒ ෆිල්ම් එක බලන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ටත් සුදුසු නැහැ කියලා.

මේ වගේම තමයි එහි අනිත් පැත්ත.

ආන්දෝලනයකට තුටු දී තහනම් කෙරුණු අක්ෂරය චිත‍්‍රපටය වැඩිහිටියන්ට පමණයි කියලා රැුඟුම් පාලක මණ්ඩලය ප‍්‍රදර්ශනය සඳහා අනුමත කළ එකක්. ඒත් ඒක තහනම් කරන්න කියලා කැම්පේන් කළ අයගේ ප‍්‍රධාන තර්කයක් වුණේ ‘අක්ෂරය බැලූවම ළමයින් නරක් වෙනවා’ කියන එක. වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටයක් වැඩිහිටියන් බලපුවාම ළමයින් නරක වෙන්නේ කොහොමද ? ඒ තමයි, වැඩිහිටියන් හැටියට තමන්ට ළමයින්ගෙන් ස්වායත්තව හිතන්න බැරිකම. අද වැඩිහිටි ලෝකය අර්ථ දැක්වෙන්නේ ළමයින්ද ඇතුළත් අවකාශයක වීම.     

ලංකාවේ දෙමවුපියන් ළමා ලෝකය කියලා පරිකල්පනය කරගන්නා ලෝකයයි, ඇත්තටම අවට පරිසරය සහ පරිහරණය කරන්න තියෙන භාණ්ඩ සහ සේවා තුළින් ළමයින් පරිකල්පනය කරගන්නා ලෝකයයි කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් ලෝක දෙකක්. දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ මනස් තුළ ගොඩනගන්න හදන්නේ තමන්ගේ ‘සිහිනය’. ඇත්ත නම්, ඒ සිහිනය ගොඩනගන්න පුළුවන් වාස්තවික තත්වයන් යටතේ නෙවෙයි අද ලෝකය තියෙන්නේ. ළමයින් තමන් අවටින් තමන්ගේ නිරීක්ෂණයට හසුවෙන දේ ඇසුරින් තමන්ගේ පරිකල්පනය මෙහෙයවලා තමන්ගේ සිහිනය ගොඩ නගා ගන්නවා. දෙමවුපියන් කළ යුතු වන්නේ ඔවුන්ගේ සිහිනයට වැට බැඳ ඔවුන්ගේ සිහිනය තහංචි මාලාවකින් හිරකර මර්දනය කරන එක නෙවෙයි. එහෙම වුණාම තමයි ළමා සිහිනය විකෘතියක් වෙන්නේ.         

අපි පොඩිකාලේ අපේ තාත්තා හැම සති අන්තයකම මල්ලිත් මාත් අම්මත් එක්කගන ෆිල්ම් එකක් බලන්න යනවා. ෆිල්ම් එක බලලා ගෙදර ඇවිත් මල්ලිත් මාත්, එහි එන කොටස් රඟ පානවා. ඒ සමහරක් ජවනිකා මට තාම මතකයි. ‘හොඳට හොඳයි‘ චිත‍්‍රපටයේ දර්ශනයක ගාමිණි ෆොන්සේකා ඉන්නවා ක්ලින්ට් ඊස්ට්වූඞ් වගේ ඇඳගන.   කවුබෝයි හැට් එකක් දාලා සුරුට්ටුවක් බිබී. බෙල්ල වටේ ඔතලා ගැට ගහපු ස්කාෆ් එකක්. ඉන වටේට පතරොම් පටියක්. එහි දවටපු පිස්තෝලයක්. එහෙන් මෙහෙන් හොයාගත්ත මෙවලම්, ඇඳුම්වලින් මමත් එහෙම අඳිනවා. (දැන් කඩවල රෙඩිමේඞ් සුපර්මෑන්, ස්පයිඩර් මෑන් ඇඳුම් විකුණන්න තියෙනවා වගේ, ෆිල්ම්වල ඇඳුම් කඩවල ගන්න තිබුණේ නැහැ.* ඒත් අපි ඒ ෆැන්ටසිය අපට තියෙන ඒවාවලින් හදා ගන්නවා. තාත්තා අපි දෙන්නට කිරල ඇබයක් උණ්ඩය හැටියට තියෙන තුවක්කු දෙකක් ගෙනත් දුන්නා. අපි වෙඩි තියාගත්තා. මැරිලා වැටුණා.

විනෝදෙට වෙඩි තියාගන්න අපට අවසර දුන්නු තාත්තා පත්තෑයෙක්වත් මරන්නේ නැහැ. ඇහිඳලා විසි කරනවා මිසක්. ඒ නිසා කවදාවත් ඇත්ත ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවකට ආශාවක් වත් හුරුවක් වත් අපට ලැබෙන්න අවකාශයක් ලැබුණේ නැහැ. සෙල්ලම් තුවක්කු ඇරෙන්න ඇත්ත උණ්ඩ දාපු ඇත්ත තුවක්කුවකින් වෙඩි තියන්න ආශා හිතුණේ නැහැ. මට හිතෙන්නේ ඇත්තට කෙනෙකුට ගහන්න මරන්න ආශාවක් ඇතිවෙන්න අවකාශයක් තිබුණා නම් ඒක ෆැන්ටසි රංගන අවකාශයක් ඇතුළේ තෘප්තිමත් වුණා කියලයි. 

චින්තා කියන විදියට වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන චිත‍්‍රපට විකාශය නොකරන චැනල්, ඊට වඩා ප‍්‍රචණ්ඩ දරුණු රූප රාමු සහ තොරතුරු විකාශය කරනවා. ඒවා චිත‍්‍රපට දර්ශන නෙවෙයි. ඇත්ත දර්ශන. ළමයින් දෙමවුපියන් ළඟම වාඩිවෙලා ඒ දර්ශන නරඹනවා. ෆිල්ම් එකක් බලනකොට ප‍්‍රචණ්ඩ දර්ශනයක් දැක්කොත් ළමයට කියලා දෙන්න පුළුවන්  ‘මේ ඇත්ත නෙවෙයි. ෆිල්ම් එකට හදපු එකක්. ඒ වෙඩි තියන හෝ පිහියෙන් අනින මනුස්සයා කරන්නේ රඟපෑමක්. වෙඩි කන හෝ පිහි ඇනුම් කන කෙනා මැරෙන්නේ බොරුවට‘ කියලා. ඒත් ටීවී එකේ නිවුස්වල පෙන්නන ඇත්ත දර්ශන දැකලා ළමයින් ප‍්‍රශ්න අහනකොට ළමයින්ගේ හිත හදන්න මේවා ඇත්ත නෙවෙයි, ෆිල්ම් එකක ඒවා කියලා කියන්න බැහැ. කියනවා නම් ඒ බොරු. ළමයින් ඒවා ෆිල්ම් නෙවෙයි ඇත්ත කියලා වටහා ගත්ත මොහොතේ ම තමන්ගේ අම්මා හෝ තාත්තා කිවුවේ බොරු කියලා තේරුම් ගන්නවා.  අම්මා තාත්තා දෙන්නාම තමන්ට බොරු කරනවා කියලා වටහාගත්ත මොහොතේම, ළමයින්ගේ ලෝකයේ දෙමවුපියන් ගැන හැදිලා තියෙන ප‍්‍රතිරූපය බිඳෙනවා. තමන්ව රවටනවා කියලා දැනගත්තාම, ඒ දෙන්නාට තව දුරටත් ඒ ළමයින්ගේ ලෝකයේ වීරයන් ලෙස පවතින්න විදියක් නැහැ. ළමයින් වෙනත් වීරයන් හොයන්න පටන් ගන්නවා.

ළමයින් තරුණ වයසට ළං වෙනකොට දෙමවුපියන්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නවා. ඒක ස්වාභාවිකයි. ගොඩක් වෙලාවට ඒ කැරැුල්ල තාත්තාට විරුද්ධව ගහන කැරැුල්ලක්. බැලූ බැල්මට තාත්තයි පුතයි අතර ගැටුමක් තියෙනවා කියලා මතුපිටට කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. හැබැයි දරුවා තමන්ගේ අභ්‍යන්තරයෙන් ඒ කැරැුල්ල ගසමින් ඉන්නවා. එහෙම ගහන සමහරක් කැරලි ප‍්‍රගතිශීලීයි. සිංහබාහු  නාට්‍යයේ සිංහයාට විරුද්ධව සිංහබාහු ගහන්නේ කැරැුල්ලක්. සිංහබාහු අතින් තාත්තා (සිංහයා* මැරෙනවා. දරු සෙනෙහසින් වැළපෙන තාත්තා එක්ක අපිත් අඬනවා. ඒත් ඒක ශිෂ්ටාචාරය වෙතට පනින පිම්මක්.

සමහර කැරලි, මානසික ව්‍යාධියක් නිසා ගසන කැරලි. එරික් හැරිස්, 13 දෙනෙකුට මරු කැඳවමින්, තවත් ගණනාවකට තුවාල සිදුකරමින් ඇමෙරිකාවේ කොලොම්බයින් උසස් පාසලේ වෙඩි තැබීම සිදුකළ දෙදෙනාගෙන් කෙනෙක්. හැරිස්ට වුවමනා වෙලා තිබුණේ මහාපරිමාණයෙන් මරා දමන්න. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් බිහිසුණුම මාරාන්තික ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සිදුකළ කෙනා තමා ලෙස වාර්තා පොත්වලට යන්න. ‘මට ලෝකය මත සදා නොමැකෙන මතකයක් ඉතුරු කරන්න  ඕන වුණා’ කියලා ඔහු ලියලා තිබුණා.

සත්‍යයේ ක්ෂතිමය සවභාවය තේරුම් ගන්න අපට ප‍්‍රබන්ධයක් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ක්ෂතිය භාෂාවකින් විස්තර කරන්න බැරි නිසා. සිනමාව ඇතුළු කලා නිර්මාණ විසින් කරන්නේ ඒ ප‍්‍රබන්ධය නිර්මාණය කරලා දෙන එක. අපේ කට්ටිය ප‍්‍රබන්ධය ඇත්ත ලෙස වටහා ගන ප‍්‍රබන්ධයට තහංචි පනවනවා. සංස්කෘතික පොලීසි විසින් කලා කෘති තහනම් කිරීම ඇතුළේ සිදුවෙන්නේ ඒක. ප‍්‍රබන්ධය බිඳෙන එක. ඊට පස්සේ අපි (සමාජය* අනාවරණය වන්නේ ක්ෂතියකට. අක්ෂරය තහනම් කරන කටයුත්තේ විශාල කාර්යයක් කළ ළමාරක්ෂක කාර්යාංශය චිත‍්‍රපටය ගත්තේ ඇත්තක් හැටියට. ඒගොල්ලෝ හඹා ගියේ ප‍්‍රබන්ධයක් පස්සේ. ඒත් අවුරුදු 6ක පුංචි දැරියක් අපහරණය වන ඇත්ත සිද්ධිය ඒ ගොල්ලන්ට ඇත්තක් නෙවෙයි. ප‍්‍රබන්ධයක්.!  දස අතින් එන විරෝධතා නෑසුණා වගේ ඉන්නේ ඒකයි.  x

x අශෝක හඳගම