ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්‍ෂ අගමැති හැටියට පත්කිරීමෙන් පසු පරණ රාජපක්‍ෂ පන්නයේ අවපාලනය දැන් ක්‍රමයෙන් රට තුළ ශක්තිමත් වෙමින් තිබේ. රටේ හැම තැනකින්ම ඇසෙන්නේ පෙනෙන්නේ, දූෂිතයන් නැවතත් ඉහළ පුටුවලට පත්කිරීමත්, දක්‍ෂ හා අවංක නිලධාරීන් පලවාහැරීමත්ය. වැදගත්ම දේ, මේ සියලු වැරදි ජනාධිපති සිරිසේනගේ ආශීර්වාදයෙන් යුතුව සිදුවීමයි.

රූකඩ ජනාධිපති
මහින්ද රාජපක්‍ෂගේ වුවමනා එපාකම්වලට නැටවෙන රූකඩයක් බවට දැන් පත්වී ඇති බව පෙනෙන ජනාධිපති සිරිසේන, මේ දූෂිත පත්කිරීම් ගැන කටක් අරින බවක් නොපෙනෙයි. ඊටත් එහා ගොස් දැන් ඔහුගේද මැදිහත්වීමෙන් දක්‍ෂ නිලධාරීන් පුටුවලින් පන්නා දමනු පෙනේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හෙවත් සීඅයිඩීයේ ඉතාම දක්‍ෂ නිලධාරියකු හැටියට කීර්තියට හා ප්‍රශංසාවට ලක්වුණු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා, සීඅයිඩීයෙන් මාරුකර මීගමුව පොලිස් ස්ථානයට යැවීමට පොලිස්පතිවරයා ලියුමක් එවන්නේද මේ විදියට, ජනාධිපතිවරයාගේත් ආශීර්වාදය ඇතිවය. එහෙත්, භයානකම දේ මේ ස්ථාන මාරුව නොවේ. නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊකාරයකු ලෙස හංවඩු ගසා ඔහු සීඅයිඩීයෙන් ඉවත් කිරීමට ගත් ලජ්ජා නැති ව්‍යායාමයයි.

නිශාන්ත සිල්වා එල්ටීටීඊකාරයකු හැටියට හංවඩු ගහන්නේ, ඔහුගේම විමර්ශන කටයුත්තක සැකකරුවකු වන, අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියම කර ඇති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න විසින්ය.

සැකකාර විජේගුණරත්න
රවි විජේගුණරත්න හිටපු නාවික හමුදාපතිවරයාය. කප්පම් ලබාගැනීම සඳහා තරුණ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරෙහි රඳවාගෙන සිට පසුව ඝාතනය කර මුහුදට දැමීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නීතියෙන් සැඟවී සිටීම සඳහා ආධාර හා අනුබල දුන්නේයැයි රවි විජේගුණරත්නට විරුද්ධව චෝදනා එල්ලවී දැන් සෑහෙන කාලයකි. මේ සැකකරුට ලංකාවෙන් පැනයන්නට මුදල් හා පහසුකම් සැලසීම කර ඇත්තේද රවි විජේගුණරත්න බවට නිශ්චිත තොරතුරු සීඅයිඩීයට ලැබී තිබේ.

මේ තත්ත්වය යටතේ සැකකරුවකු හැටියට ඔහු නම් කොට ප්‍රකාශයක් සටහන් කරගෙන අත්අඩංගුවට ගැනීමට සීඅයිඩීයට අවශ්‍ය වී තිබුණි. ඒ, මෙම අපරාධයට අදාළ නඩුව විභාග කරන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරියගේද නියමය අනුවය. එහෙත්, ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමාගේ බලවත් විරෝධය ජනාධිපතිවරයා පොදු රැස්වීම්වලදී, නිලධාරි රැස්වීම්වලදී මෙන්ම පෞද්ගලිකව උසස් පොලිස් නිලධාරීන්ට දූරකථන ඇමතුම් දෙමින්ද ප්‍රකාශ කර ඇත. එහෙත්, නිර්භය හා රාජකාරියට කැපවුණ නිශාන්ත සිල්වා ඇතුළු සීඅයිඩී නිලධාරීහු නීතියට අනුව තමන්ගේ රාජකාරිය ඉදිරියට ගෙනගියෝය. ඒ අනුව, රවි විජේගුණරත්නට ප්‍රකාශයක් ලබාදීමට සීඅයිඩීයට පැමිණෙන ලෙස දින නියම කර තිබුණි. එහෙත්, නියම කර තිබුණු දින අලුයම විජේගුණරත්න, මෙක්සිකෝව බලා පලාගිය අතර, ජනාධිපතිවරයාගේ පූර්ණ අනුදැනුම හා ආශීර්වාදය මත එම පලායෑම සිදුවුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. සේනාධිනායක ජනාධිපතිවරයාට හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නොදන්වා එවැනි සංචාරයක යෙදෙන්නට ඔහුට කිසිම අවසරයක් නැත. මෙක්සිකෝ ගමනින් පසු දිවයිනට පැමිණ සීඅයිඩීයට පැමිණෙන බව විජේගුණරත්න කියා තිබුණත්, තවමත් එවැන්නක් සිදු වී නැත. ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ නියෝගයද මේ වන තෙක් ක්‍රියාත්මක වී නැත්තේ, එක පැත්තකින් ඊට එරෙහිව ජනාධිපතිවරයා දක්වන ප්‍රතිරෝධය නිසාය. මේ පිළිබඳ විස්තරාත්මක තොරතුරු වරින් වර අනිද්දා පුවත්පතේ පළකෙරිණි.

ජනාධිපති සැකකරු රකියි
මේ තරම් බරපතළ චෝදනාවලට ලක්වී සිටිද්දීත් රවි විජේගුණරත්න ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා පියවර නොගත් අතර, දිගින් දිගටම ඔහු ‘රණවිරුවකු’ හැටියට හඳුන්වා ආරක්‍ෂා කරන ප්‍රතිපත්තියක් සිරිසේන මහතා පවත්වාගෙන ගියේය. ඉවත් කරනවා වෙනුවට ඔහුට සේවා දිගු ප්‍රදානය කෙරිණි.
දැන් අලුත්ම සිදුවීම වන්නේ, රවි විජේගුණරත්න නමැති සැකකරු, තමාට එරෙහිව පරීක්‍ෂණ පවත්වන සීඅයිඩී නිලධාරියාට විරුද්ධව එල්ටීටීඊ හංවඩුව ගසා, ඔහුට ස්ථාන මාරුවක් දීමට සමත්වීමයි.

ජාතිවාදී ‘දිවයින’
හමුදාවල තනතුරු දරමින් යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති, පැහැරගෙන යෑම්, අතුරුදන්කිරීම්, ඝාතනය කිරීම්, කප්පම් ගැනීම් ආදියට චෝදනා ලැබ ඇති අපරාධකරුවන්ගේ එක් උපායක්‍රමයක් වන්නේ, තමන්ට විරුද්ධව පරීක්‍ෂණ පවත්වන නිලධාරීන්ට එල්ටීටීඊ හංවඩුව අලවා, එල්ටීටීඊ වුවමනාවට රණවිරුවන්ට හානි කරන්නේයැයි කියන ප්‍රවාදය සමාජගත කිරීමයි. ජාතිවාදී ‘දිවයින’ පුවත්පත මේ ප්‍රචාරයේ මාධ්‍ය පෙරගමන්කරුවාය. එහි සිටින අන්ත ජාතිවාදී ජඩමාධ්‍යකරුවෝ නිරන්තරයෙන් වෛරයෙන් හා ද්වේෂයෙන් දැවෙමින්, මෙලෙස දක්‍ෂ නිලධාරීන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරති. පැහැරගැනීම්, ඝාතන, අතුරුදන්කිරීම්වලට චෝදනා ලත් හමුදා නිලධාරීන්, ‘රණවිරුවන්’ ලෙස හඳුන්වා ඔවුන් මේ සහගහන අපරාධවලින් නිර්දෝෂී කිරීමට ලියති. කියති.

එල්ටීටීඊ සම්බන්ධකම්
රවි විජේගුණරත්නගේ නියමය අනුව, රාජපක්‍ෂගේ රූකඩයක් බවට මේ වන විට පත්ව ඇති පොලිස්පතිවරයා නිශාන්ත සිල්වා එල්ටීටීඊ සම්බන්ධකම් තිබෙන අයකු බවට හඳුන්වා, ඔහු සීඅයිඩීයෙන් ඉවත් කර මීගමුව පොලිස් ස්ථානයට මාරු කිරීමට ලියුමක් යැව්වේ පසුගිය සතියේය.

එහෙත්, ඒ වෑයම සඵල කරගන්නට මේ වන තෙක් ඔවුන්ට හැකිවුණේ නැත. හේතුව, යුක්තිය සාධාරණය අගය කරන, නීතියේ පාලනය වෙනුවෙන් කැපවුණ පොලිස් නිලධාරීන් මෙන්ම, නීතිඥයන්, ජනමාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියන්ද මේ නින්දාසහගත පියවරට එරෙහිව නිශාන්ත සිල්වා සමග එක පෙළට සිටගැනීම ය.

නිශාන්ත සිල්වා ගැන සහතිකය
පොලිස්පතිවරයා නිශාන්ත සිල්වා එල්ටීටීඊකාරයකු ලෙස හංවඩු ගැසීමට එරෙහිව, සීඅයිඩිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න 2018.11.18 දින සහිතව පොලිස්පතිවරයා වෙත යැවූ ලිපිය ඉතා වැදගත්ය. ඔහු නිශාන්ත සිල්වාගේ අවංකභාවය හා කාර්යශූරත්වය ගැන සහතික වන්නේ මේ ආකාරයෙනි.
‘පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.
පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා නිලධාරියා සම්බන්ධව
.. පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා නමැති නිලධාරියා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවට මේ වනවිට කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් මා වෙත වාර්තා වී නොමැත.
මෙම නිලධාරියා අපරාධවලට හෝ වෙනත් කිසිදු නීති විරෝධී ක්‍රියාකාකරකම්වලට සම්බන්ධවී ඇති බවට ද කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් මා වෙත මෙතෙක් වාර්තා වී නොමැත.

නිලධාරියාගේ රාජකාරි ස්වභාවය පිළිබඳව අධ්‍යක්‍ෂ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇමුණුම ‘ඒ’ සහ ‘බී’ යටතේ දක්වා ඇති කරුණු සමග මා සම්පූර්ණයෙන් එකඟ වන අතර, මේ නිලධාරියා වෙත මා විසින් පවරන ලද සියලුම විමර්ශන කටයුතු උනන්දුවෙන් හා කැපවීමෙන් ඉටු කොට ඇති අතර, මේ වන විට එම විමර්ශන බොහෝමයකට අදාළව දිවයිනේ විවිධ අධිකරණ මගින් නඩු කටයුතු පවත්වා, චුදිතයන් වෙත බරපතළ දඬුවම් ලබා දී ඇති අතර, අනෙකුත් නඩු කටයුතු අධිකරණවල විභාග වෙමින් පවතියි. නිලධාරියාගේ කැපවීම, උනන්දුව හා දැනුම මෙම දෙපාර්තමේන්තුවට මෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව වෙත මහජනයාගේ ප්‍රසාදය හිමිකර දීමට අවස්ථා ගණනාවකදී මහෝපකාරී වී ඇති බව මා විශේෂයෙන් මෙහි ලා සඳහන් කරමි.

ඔබගේ වාර්තාවේ සඳහන් පරිදි වර්තමාන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර් සී විජේගුණරත්න මහතා විසින්, 2018.11.13 වන දින පවත්වන ලද ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදී හා 2018.11.16 වන දින දූරකථනයෙන් ඔබ අමතා, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට කර ඇති චෝදනාව, සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනාවක් බවට ඉතා පැහැදිලිව පෙනී යන කරුණකි. මෙම චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් ඉසව්ගත නිලධාරියාට එරෙහිව මේ වන තුරු ඉදිරිපත් නොවී තිබීමෙන්ම මාගේ ස්ථාවරය මනාව තහවුරු වන බවට තවදුරටත් දන්වා සිටිමි.

තවද, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර් සී විජේගුණරත්න, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් සිදුකරනු ලබන, පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලැබූ සැකකරුවකුව සිටි, හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අයට රැකවරණය හා ආරක්‍ෂාව සපයන ලද බවට, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නිලධාරියා විසින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 9527/18 යටතේ කරුණු වාර්තා කොට, දැනට අවස්ථා කිහිපයකදී ගරු අධිකරණය මගින් ඔහු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් කොට ඇති සැකකරුවෙකු බවට දන්වා සිටිමි.

ඉහත නම සඳහන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණ නියෝග නිකුත් කර සිටින අයකු මෙන්ම මෙම නිලධාරියා ඉහත නිලයේ වගකීම් දැරීමට සුදුසු නොවන බවට සඳහන් කරන ලද ලිපියක් මා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කරන ලද අතර, ඒ හා සම්බන්ධයෙන් ඔබතුමා විසින් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වාර්තා කොට ඇති බව මා වෙත දැනගැනීමට ලැබී ඇත. එවන් තත්ත්වයකට අද්මිරාල් විජේගුණරත්න මහතා පත්ව සිටියදී, ඔහුට එරෙහිව පවත්වාගෙන යනු ලබන විමර්ශනයේ ප්‍රධාන පරීක්‍ෂක නිලධාරියා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත, අභූත චෝදනා ඉදිරිපත් කිරීම, සැකකරුවකු විසින් ඔහුට එරෙහිව පවත්වාගන යනු ලබන විමර්ශනයට බලපෑම් එල්ල කිරීමට ගත් උත්සාහයක් බව ඉස්මතුව පෙනෙන කරුණක් බව සඳහන් කරමි.

ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්තමාන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාගේ ක්‍රියාකාරිත්වය, වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඉතා පැහැදිලිව පෙනී යන අතර, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර කඩිනමින් ගැනීම නිර්දේශ කරමින් වාර්තාව කාරුණිකව ඔබතුමා වෙත ඉදිරිපත් කරමි.

ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව.’

නිශාන්තට ප්‍රශංසා
චුදිත රවි විජේගුණරත්න බේරාගැනීම සඳහා එල්ටීටීඊකාරයකු හැටියට නිශාන්ත සිල්වා හංවඩු ගසනවුන් නොකියන දේ නම්, ඔහු එල්ටීටීඊයට එරෙහිව කර ඇති විමර්ශනවල ප්‍රතිඵලය. එල්ටීටීඊ ක්‍රියාකාරකම් 83ක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇති නිශාන්ත සිල්වා සොයාගත් සාක්‍ෂි මත, එම සිදුවීම්වලින් 61ක චුදිතයන් බරපතළ දඬුවම්වලට යටත්කිරීමට රට පුරා ඇති අධිකරණවලට හැකියාව ලැබී ඇත. අනෙක් නඩු තවමත් විභාග වෙමින් පවතියි. ඊට අමතරව යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කොට මරාදැමීම, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාළ අපරාධ, මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහරදීම ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ, රාජගිරියේ රෝයල් පාර්ක් මිනීමැරුම ආදි රටේ වැදගත් අපරාධ හා නඩු කිහිපයකම ප්‍රධාන විමර්ශන නිලධාරියා නිශාන්ත සිල්වාය. සුප්‍රකට යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේදී, එම චුදිතයන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට ඔවුන්ට මරණ දණ්ඩනය දීම සඳහා විශාල මෙහෙයක් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාගෙන් වුණු බව නඩුවේ තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් ප්‍රශංසාත්මක මුඛයෙන් විශේෂයෙන් සඳහන් කළ බවද මතක් කළ යුතුය.

ඔහු එල්ටීටීඊකාරයකු ලෙස ලේබල් කරනවුන්ට පෙන්වා දෙන්නට ඇති තවත් සත්‍යයක් නම්, ඔහුගේ තාත්තා, බාප්පා සහ මුත්තා යන සියල්ලන්ම යුද හමුදාවේ සාජන් මේජර්වරුන් හැටියට කටයුතු කළ අය බවය.

දැඩි විරෝධයක්
නිශාන්ත සිල්වා මාරුකිරීමට ගත් තීරණය රාජපක්‍ෂ ආණ්ඩුවට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද විරුද්ධව පාරාවළල්ලක් හැටියට කැරකෙන බව පෙනුණි. රට තුළ මෙන්ම රටින් පිටද මේ ගැන අවධානය යොමුවිය. විශේෂයෙන් මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම ගැන පරීක්‍ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරියා එම කටයුතුවලින් ඉවත්කිරීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන සිය අප්‍රසාදයත් විරෝධයත් පළකරන්නට වූහ. ඒ අතර, නිශාන්ත සිල්වා තමාගේ ස්ථාන මාරුකිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද වහා ක්‍රියාත්මක වී පොලිස් කොමිසමට නිශාන්ත සිල්වා වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වහාම රැස්වුණු ජාතික පොලිස් කොමිසම, නිශාන්ත සිල්වා මාරු කර යැව්වේ ඇයිදැයි වහාම කරුණු වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියම කළේය.
වැඬේ වරදින බව පොලිස්පතිවරයාට පෙනෙන්නට ඇත. ඔහු තමා විසින්ම යැවූ මාරුකිරීමේ ලිපිය ඉවත්කර ගත්තේය.

ගොඩින් බේරාගැනීමට
ඒ අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් හමුවුණු සීඅයිඩීයේ ප්‍රධානීහු, මේ නින්දාසහගත ස්ථාන මාරුව ගැන සිය විරෝධය පළකළහ. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද මේ අවුල තේරුම් ගත්තේය. එහෙත්, ජනාධිපතිවරයාගේ වුවමනාව අනුව සිදුවන මේ අපරාධය ගැන ඔහුටද කරන්නට දෙයක් නොතිබුණි. එනිසා එය ගොඩින් බේරාගැනීමට ඔහු යෝජනා ඉදිරිපත් කළේය. එනම්, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට උසස්වීමක් දී ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරව පත්කිරීමයි.

සීඅයිඩීයේ නිලධාරීහු මේ ලජ්ජාසහගත යෝජනාව ගැන බලවත් විරෝධය පළකළහ. තමන් රාජකාරි කරන්නේ උසස්වීම් බලාගෙන නොවන බව ඔවුහු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කට වැහෙන තරමට ශක්තිමත්ව පෙන්වා දුන්නෝය.

ජයග්‍රහණයක්
අවසානයේ නිශාන්ත සිල්වාගේ මාරුකිරීම අත්හිටුවා තිබේ. එය මේ රටේ යුක්තිගරුක මහජනතාවගේ ජයග්‍ර හණයකි. ඒ වාගේම, රණවිරුවන් හැටියට අපරාධකරුවන් වෙස්ගන්වා, තමන්ගේ ඡන්ද අඩුවේයැයි බියෙන් ඒ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමේ වෑයමක යෙදී සිටින ජනවරමක් නැති සිරිසේන ජනාධිපතිවරයාට කනේ පහරක් ගසා, නීතිය යුක්තිය වෙනුවෙන් පෙනීසිටින ලෙස කරන ලද යුක්තිසහගත බලපෑමකි.

එහෙත්, මේ අශිෂ්ට වෑයම හෙට වෙනත් මුහුණුවරකින් එළියට ඒමට ඉඩ තිබේ. ඒ නිසා, මේ අවංක, දක්‍ෂ නිලධාරීන් වෙනුවෙන්, ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටීම අත්‍යවශ්‍යය. ජාතික පොලිස් කොමිසම පසුගිය කාලය පුරාම කළාක් මෙන්, නීතියේ පාලනය වෙනුවෙන් හා මේ අවංක නිලධාරීන්ගේ ආරක්‍ෂාව හා වෘත්තීය ගරුත්වය වෙනුවෙන් පෙනීසිටීමද අපි අගය කළ යුත්තෙමු. ඒ කැපවීම දිගින් දිගටම සිදුවනු ඇතැ’යි අපට විශ්වාසයක් තිබේ. ඒ අතර වඩාත් විශාල බලපෑම කළ හැක්කේ රටේ යුක්තිගරුක මහජනතාවටය. ඔවුන් ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටිනු ඇත්තේය.■

අරුණ ජයවර්ධන