ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය සැමරුවේ පසුගිය 4 වැනිදා ය. ලැබූ ‘නිදහස’ පිළිබඳ අර්ථ ගැන්වීම් කවරාකාර වුව ඉංග්‍රීසි ජාතිකයන් අප රට පූර්ණ වශයෙන් පාලනය කිරීම හැර ගොස් වසර 71ක් බව සැබෑවකි. වසර 71ක් යනු දීර්ඝ කාලයකි. 1948 දී සිදුවූ එම ‘නිදහස’ ලැබීමේ අවස්ථාව පිළිබඳ නිවැරදි මතකයක් සහිතව ජීවත්වන්නන් ඇත්තේ ද කිහිප දෙනෙකු විය යුතු ය. මෙය ලියන මාත්, කියවන ඔබ අතුරින් අතිබහුතරයකුත් 1948න් පසු එළඹුණු දශකවල උපත ලද අයයි. නව සහස්‍රකයේ සිය උපන් දිනය ලියැවූ කෙනෙකු ද මේ පිරිස අතර සිටින්නට බැරිකමක් නැත.
සෑම නිදහස් දිනයක්ම කොළඹ නගරය තුළ කෙරෙන, දින හෝ සති කිහිපයක මාර්ග අවහිරකිරීම්, ගුවන් හා මුහුදු සංදර්ශන, රථ හා මිනිස් පෙළපාලි, රූපවාහිනී සජීව විකාශයන්, විවිධ රටවල නායකයන්ගෙන් හා තානාපතිවරුන්නේ ලැබෙන සුබපැතුම් පණිවුඩ ආදියෙන් පිරී පවතියි. ගාලු‍ මුවදොර පිටිය අබියස ඇති පීඨිකාවක් මත සිට හමුදා උත්තමාචාර පිළිගැනීම සඳහා රාජ්‍ය නායකයා සීරුවෙන් සිටගැනීම ද, ඒ මොහොතේ අව්රශ්මිය හේතුවෙන් විදේශ තානාපතිවරුන්, මැති ඇමති හා බිරින්දෑවරුන් අව්කණ්නාඩි පැළඳ ගැනීම ද දැන් නිදහස් දවසේ නිශ්චිත රූපවාහිනී දර්ශන අතර වන බව නොදන්නා කුඩා ළමයෙක් හෝ නැත. එහෙත්, මා මේ ඔබට ආරාධනා කරන්නේ මෙවර 71 වැනි නිදහස් සමරුව මොහොතේත්, ඒ තදාසන්න දිනවලත් අප ආශ්‍රය කළ එකිනෙකට සෘජු සබඳතාවක් නැති සිද්ධීන් හෝ අවස්ථා, ක්‍රියාකාරකම් කිහිපයක් විමසමින් මේ ගෙවීගොස් ඇති වසර 71 ක කාලයේ අප අතහරින්නට සිතාවත් නැති ප්‍රබලතම දුර්වලතාවක් වෙත හැරී බලන්නට ය.
30 වසරක සිවිල් යුද්ධයත්, දකුණේ සිදු වූ පරාජිත තරුණ කැරලි ද්විත්වයත් ඇතුළු බොහෝ ඛේදනීය අතීත වෘත්තීන් මෙන්ම ගෙවුණු දශක සියල්ලෙහිම පාහේ රට මුහුණ දී ඇති සමාජ හා ආර්ථික බිඳවැටීම් සියල්ලම අපට විවිධාකාර පාඩම් උදාහරණ සහිතව අප අබියස දක්වමින් එක් එක් අංශයන්හි අප වෙත ඇති අභියෝග හා විසඳුම් සෙවිය යුතු ගැටලු ආදිය පෙන්වා දී ඇත. ඇතැම් අවස්ථාවල දී මුහුණ දුන් ඛේදවාචකවල බිහිසුණු බව කොතරම් වී ද යත් ඒ ඒ අවස්ථා පිළිබඳ යළි විමසන්නට විවිධ කොමිෂන් සභාදිය පත් කළ බව ද අප නොදන්නා කරුණක් නොවේ. යුද්ධයෙන් පසු මුණගැසුණු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම උදාහරණයකි. මේ සියල්ලෙහි සෙවීම් වාර්තාදියත්, දිනෙන් දින යළි යළිත් මුණගැසෙන අසාර්ථක දේශපාලනික හා ආර්ථික පියවරයන් ආදියත් සමගින් රාජ්‍ය නායකයා සිය රාජ්‍ය විමසීම අරඹා කරන සිව්වැනි නිදහස් සමරුවේ දී ද යළි යෝජනා කරන්නේ දැන් අප පරිසර සංරක්ෂණය ප්‍රමුඛ තිරසාර සංවර්ධනය, දූෂණය පරාජය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු අත්‍යවශ්‍ය කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් යහපත් රටක් බිහිකර ගැනීම සඳහා අදිටන් කරගත යුතු බවයි!
අතීතය නිරතුරුව විවිධ පාඩම් අප වෙත තබයි. අප කටයුතු කළ යුත්තේ එම පාඩම් මත අනාගතය සඳහා ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් කැඳවමින් පවතින තත්වයේ සිට ඉදිරියට යාමට මිස එකම තැන කරකැවෙමින් සිටීමට නොවේ. සිය ධුර කාලයේ එළැඹෙන සිවුවැනි නිදහස් සමරුවේදී ද යළි මූලික පිළිවෙත් වෙනුවෙන් ‘අධිෂ්ඨාන ගොඩනගන්නට’ පුරවැසියාට ආරාධනා කරන්නට සිදුවීම ම කෙතරම් ප්‍රබල ලෙස නායකයාගේත් සමස්ත පුරවැසි ප්‍රජාවගේත් අසමත්කම පිළිබිඹු කරන්නක් නොවේද? කිසිවක් නොකොට කාලයට ගලන්නට ඉඩ හැර ඇති බව හැර අන් කවරක් ද?
ප්‍රමුඛ අසුනේ සිට මුණගැසෙන, අතීතය වෙතින් ලද පාඩම් අනුසාරයෙන් කටයුතු කරමින් පවතින තත්වයේ සිට ඉදිරියට යෑම නොකිරීම, මෙරට බොහෝ අංශ වෙතින් යළි යළිත් මුණගැසෙන විටෙක සිනහව කැඳවන, තවත් විටෙක ශෝකය ඇති කරන දුර්වලතාවකි. රාජ්‍ය නායකයාගේ නිදහස් දින කතාවට පෙර දින, පෙරදී රාජ්‍ය නායකයා තරම්ම හෝ ඊටත් වැඩි පිළිගැනීමක් පුරවැසියා වෙත වූ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් ද, එබඳුම කතාවක් ඕස්ටේ්‍රලියාවේ දී කියනු ලැබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ. ඒ ‘තරුණ කණ්ඩායමක් ලෙස අසීරු කණ්ඩායම්වලට මුහුණ දීම සඳහා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් එකතු කරගනිමින් ඉන්නා බව’ ය. තරග ප්‍රවර්ග දෙකක් යටතේ ලෝක ශූරතා ද්විත්වයක් දිනූ ආසන්න ඉතිහාසයක් සහිත කණ්ඩායමක නායකයෙකුට මෙවැනි ප්‍රකාශ කළ හැකි ද?
මේ අන් කිසිවක් නොව, අතීතයේ පාඩම් පිළිබඳවත්, අනාගත අවශ්‍යතාවන් පිළිබඳවත් වග නොකියන පොදු දේශජ දුර්වලතාවකි. මූලිකව, මෙම සතිපතා පළ කෙරෙන මගේ ලිපියෙහි යොමුව සාහිත කලා කෙත වුවත් ඉහත සාකච්ඡාව ඉන් පොළාපැන ඇති බැව් යමෙකුට යෝජනා කළ හැකි වෙතත්, මා මෙම කරුණ යෝජනා කළේ ම මෙම පොදු දුර්වලතා කලාපය කලාව හමුවේ ද යෙදෙන බැව් නිදහස් සැමරුම ආසන්නයේම එළිදුටු චිත්‍රපට දෙකක් ද මවෙත සාක්ෂි සපයා දුන් බැවිණි. ඒ අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ සහ පාලිත පෙරේරාගේ ‘තාල’ සිනමා කෘති ද්විත්වයයි. රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් හා සමානව මේ නිර්මාණකරුවන් අතහැර දමන ‘උගෙන සිටිය යුතු’ පාඩම් මොනවා ද?
නිදහස ලබන්නටත් අවුරුද්දකට පෙර ඇරඹෙන මෙරට කතානාද සිනමාව සිය 72 වසර සැමරුවේ ගෙවුණු මාසයේ ය. බටහිර උපත ලබන කලාවක් ලෙස අප හඳුනාගන්නා සිනමාව වඩාත් තිරසාර ලෙස මෙරට පොළව මත මුල් අද්දන ලද්දේ 1956 දී තිරගත කෙරුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ සමගින් බව කියවෙතත් රේඛාවෙහි සිට මෑත අවධිය දක්වා මෙරට ප්‍රේක්ෂා ගාර හමුවේ එළිදුටු කෘති වැඩි ප්‍රමාණයකදී ජයගත් හෝ වරද්දාගත් දුර්වලතා පිළිබඳ මේ නිර්මාණකරුවන් දෙදෙන සවිඥානික වී නැති බැව් කෘති ද්විත්වය සීරුවෙන් විමසන විට පෙනෙයි. ප්‍රබන්ධ සිනමා කෘතියක විකාශනයේ මූලික හුය ගෙතෙන විශ්වසනීය චරිත ගොඩනැගීම හා ඒ චරිත සාර්ථක ලෙස වර්ධනය කිරීම ඒ කාරණා අතර ප්‍රමුඛ ය. ‘ගින්නෙන් උපන් සීතලෙහි’ ගමනායකගේ පටන් බොහෝ උපප්‍රධාන චරිත කෘතිය තුළ පැතලිව වැතිර හිඳිනු මිස තිරය මත දිග හැරෙන පැය දෙක හමාරක කාලය තුළ ලබාගන්නා වර්ධනයක් නැත. එක්සත් රාජධානියේ නොදන්නා තැනකින් එන මහාචාර්ය ඇමතුමක් නිසා මිස අසේල වැනි නාගරික තරුණයකු දුෂ්කර පාසලකට එන්නටත්, එහි අනේක පෙරළි කරන්නටත්, ඔහුට පාලනය කළ හැකි බව පෙනෙන දේශපාලනය හමුවේ ඔහුට අවැසි අරුන්දතී පාසලට එවා අතුරුදහන් වන්නටත් හේතුවන චරිතයේ අභ්‍යන්තර වර්ධනයන් විසින් නගන අවශ්‍යතා ‘තාල’ චිත්‍රපටය තුළ අපට මුණගැසෙන්නේ නැත.
රොබට් මැකී සහ සිඞ් ෆීල්ඞ් වැනි සිනමා ගුරුන් සිය සිනමා තිරරචනා න්‍යායික ග්‍රන්ථ තුළ අවධාරණය කළේ චරිතයක අතීත වෘත්තය එහි අනාගතය ගොඩනැගීම සඳහා කෙතරම් අත්‍යවශ්‍ය ද යන්නයි. චිත්‍රපටයේ තිරරචනය තුළ සෘජුව නොගෙනාව ද සිය කෘතියේ සෑම චරිතයක් සඳහාම අතීත වෘත්තයක් ලියන්නැයි සිඞ් ෆීල්ඞ් සිනමා තිරරචකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. අපේ සිනමා නිර්මාණකරුවන් සැබෑවටම මුණගැසෙන අතීත චරිතයක් වන ගමනායකගේ හෝ සිය මනෝලොව තුළ උපදින අසේලගේ අතීත වෘත්තය විමසන්නේ නැත. එය දේශජ ගැටලුවක් බව මට නිදහස ආසන්න කතාබහ පෙන්නුම් කළේ රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් අතීතය නොවිමසමින් කතා කරන බැව් පෙනී ගිය නිසාවෙනි.■

■ ප්‍රියන්ත ෆොන්සේකා