මෙහෙට්ට වැහිමාරිය, ඉන්ටම බැරිකොට යන්ටෙයි කියලා හිතුණා කුමන කැලේ ඉසව්වට. හොටබරියන් මස් කුයිලයට, කුරහං මල් සූඳට, මුවන්ගෙ කොව් කොව්ගානා හඬට, ගෝනාගේ ටංගානා හඬට, වඳුරෝ තුරු මතම සිටැ බුකු බුකු ගානා හඬට විවෘත වන්නට ඇත්නම් කියලා සිතුණු වාර අපමණ කොට, යමු යන්ඩ වෙල්ලස්සට කියා ඕන් ආවා, මාතර වැල්ලවාය මොනරාගල පැන කොටියාගලට. එතැනින් තැනි සාගර කූමන කෑලෑ සංසාරය. සංසාරය වගේ පාරක සංසාර මිතුරන් පාසනයක, නිවන වගේ හිනැහෙන හේන් බිම් පසුකොට කැලය තුළට ද ඉන්නානතුරුව මහා කැලේට ද ආවා ඔන්න. කියාපන් කොයි….

ඇටි කුකුලෙක් බුක් බුක් කීනකොට අලි රල්ලූ‍ද පසුකර අපි ඇවිත් හිටියා මහා ගන කැලයට. ඉරගල වැටෙන්නටත් ඔන්න මෙන්න ගොම්මනක පියදාස මාමාගේ ආදරය දරාගත්ත සිනා සීසීකඩ. ජයේ නම් කෝ කොයි? කොහේද ගියා ද කොයි කියලා හිතෙන කොට කැලය තුළින් මතුවෙන්නෙ එයා මහා කැලේටම අයිති කෙනෙක් කියන්නැහේ නේ.. අපි අල්ලාප සල්ලාප සංසාරයක කිමිදෙන කොට කංසා දුමාරයක් අපිව වටකරලා තව්තිසාවට මෙන්න පාර යාළු‍වනේ කියනකොට… පුතා උබ බුන්නා ආ ආ කියලා පියදාස මාමා අදිනකොට මේන් මෙන්න කියලා තේ කහට මූණ ඉස්සරහා… ඉතිං බොනවා ඇරෙන්න වෙන මොනා කේන්න?…
උබ කොහා ගියා?

මම මෙහෙකොන ගියා මාමා..
හේනේ පැලට එන කොයි කවුරුත් පියදාස මාමාගේ බහට උත්තර සපයලා තමයි යන්නෙ. මේ වෙල්ලස්ස. හරිම ලස්සන කවිකරපු බසක් තමයි තියෙන්නෙ. හැබැයි කොටියාගල වගේ කැලේ කොනක. මොනරාගල උනත් දැන් මේ කවිබස නෑ. තිබුණත් අතරින් පතර. මාමා කියමු කවියක්.. මම කියනකොට
අප්පු නං හොඳයි දැළි රැවුල එන කුට
එතනා නං හොඳයි තන කරඬු එන කුට
රටේ නං හොඳයි අපි දෙන්නා එක ගෙට
මොකද කරන්නේ මව්පියො හිටින් නට..

කොහොමින් කොහොම නින්ද ගියා. අලි‍ රල්ලූ‍ව ඇවිත් ගියාලූ‍. මාමා කියනවා.
මොකෝ මලයා උබ ඊයේ රාත්තිරියේ කුනුහබ්බ කීනෝවා ඇහුණේ, මාමා ආනවා… ලොකු මහත්තුරු ආවානේ අයියා.. අලි එලවන මන්තරය. කුනුහරුපවලට අලි බයයිලූ‍..

ඉතිං මාමා තලප උයන්න හදන්නෙ. ඇත්තටම මෙහෙට්ට අනුව තලප හැඳිග ාන්නයි හදන්නෙ. කුරහන් වනේ දලා පෑහුවාට පස්සෙන්පහු ඒ කුරහන් කුල්ලක දමාලා පොලනවා. එතකොට එළියට විසිවෙන අබලි කුරහන් රොටි. ඊට පස්සෙ මතුවුණ කුරහන් බීජවල ගෑවිලා තියෙන වල් සුද්ද බුද්ද කොරනවා. එතකොට අයින්වෙලා යන කුඩුමවලට කියන්නෙ කුරහන් පයියන් කියලා. ඊට පස්සෙ ඉතිං ආයි කුල්ලක දාලා කූ කරනවා. ඊට පස්සෙ තමයි මේ කුරහන් අඹරන්නෙ.

දැන් මාමා තලප හැඳිගාන්න ගන්න හට්ටිය ළිප උඩ තියලා. ගිනිදැල් හට්ටියේ පස්ස පැත්ත වටකරන් හිනැහෙනවා. වියළි සුළං අළු ගසලා විසික්ක කරනවා. මේ හට්ටියේ ජලය උණුවෙන ඇසිල්ලෙ තමයි අර මුලින් කියපු විදිහට පිටි කරගත්ත කුරහන් පිටි මේකට එකතුකරන්නෙ. ඊළඟට ඉතිං තලපෙ ගන වෙනකම් දොදොල් හැඳිගාන්නැහේ හැඳිගාන්න ඕනි. මේ හැඳිගෑවිල්ලට ගන්නෙ වෙලන් ලීයෙන් හදාගත්ත පත්තක්. ඔන්න ඔහොම බුක් බොක් ගාලා ගන තලප කුට්ටියෙන් වායු බුබුළු එළියට පනින කොට පදම. ඊට පස්සෙ ඉතිං තලපෙ ගොඩකට අඩුක් කරලා වටේට වතුර ඉසිනවා. ඒ වතුර නටනකම් ඉන්න එකට කියන්නෙ තලප ඉදවනවා කියලා. ඔන්න ඊටපස්සෙ ඉදුණ තලපෙ බිම තබනවා. නැත්තං කොළඹ බසින් බිමට බා ගන්නවා. ඊට පස්සෙ මාමා තලප උණ්ඩි කරනවා.

පුතා උබ දන්නවා මේකට කියන්නේ තලප වැඞීම කීලා. මාමා වැඬේ අහවර වෙන්න ඔන්න මෙන්න කියනවා. අපි ප්ලාස්ටික් පිඟාන් මාමට ඔහොක් කරනවා…. තලප කන්නනම් කායමක් ඕනි. ඒක තමයි ක‍්‍රමය. ඉතිං වාඩියෙ අනික් ළිපේ කායම නැත්තං උකු හොද්ද ඉදෙනවා. ඒක අමු දඩමස් කායමක්.

කොහොමද මාමා මේ කායම හදන්නෙ, දුම් පිඹින ඇතිලිය දිහාට ඇස් විසිකරලා මම අහනවා. කස්ටිය සිනා විසිකරනවා. කායමක් හදාගන්න දන්නේ නැද්ද මායමක් ද කී ලා. මේක ඒහැටි කාරියක් නොවැ පුතා.. අමු මස කපලා පදමට මිරිස් ලූ‍ණු ඉහලා ඇතිලියේ දාලා ඉදවලා ඉදුණට පස්සෙ පදමට කුරහන් පිටි පෙතක් දාලා හැඳිගාලා ගන්නවා. වේලපු දඩමස් කායමත් මේ විදිහටම තමයි හදාගන්නෙ. කුඩුකායම, මිරිස්කායම වගේ හොදි වර්ග එක්ක මේ තලපය අඹරන්න පුළුවන් ගුඩුස් ගුඩුස් ගාලා. මුං කබලෙ බැදගෙන පෙති කරලා ඊට පස්සෙන්පහු ලූ‍ණුමිරිස් පදමට ඉහලා ළිප තියාන තමයි කුඩුකායම හදාගන්නෙ. මේකට මිටිකිරි ස්වල්පයක් එක්කාසු කරාම පන්කාදුයි කියලයි කියන්නේ. මේකටත් ඉතිං මාමලා ගෝන කරවල සුඟක් එක්කරන්න අමතක කරන්නෙ නෑ.. ඒකෙන් කායම තවත් රසවත් වෙලා තලපෙ ගිලින්න ආස වෙනවා. මිරිස් කායම නම් ඉතිං හදන්නෙ කරවලවලින්. ඒක හරියට අපේ අම්මා හදන කරවල හොද්ද වගේ. වෙනසකට තියෙන්නෙ මිරිස් කායම ඉදෙනකොට කුරහං පෙතක් එක්කරන එක.

දැන් ඉතිං තියෙන්නෙ තලප ගුලි බඩට විසිකර ගන්න. ඇත්තටම මේක හපලා කන්න බෑ. ගුලිය සම්පූර්ණයෙන්ම ගුඩුස් ගාලා ගිල දාන්න ඕනි. ඒකයි ක‍්‍රමය…

දැන් ඉතිං ඉර මුදුන් කරලා. ගිනි කාස්ටකේ ඉන්න බෑ.. එක්කො වාඩිය ඇතුළෙ ඉන්නෝනි. නැත්තං කැලේ අස්සට රිංගන්න ඕනි. මහා කැලය හතරවටින් උනත් මේ ඉර උෂ්ණේ අනේ අම්මෝ කියවෙනවා. මාමා දවල්ට මැල්ලූ‍මක් හදන්න පුහුල් කොළ කඩන්න ගියා. හැමතැනම පුහුල් යාය. මෙහෙ පුහුල් කියන්නෙ වට්ටක්කාවලට. අපේ පුහුල් මෙහෙ අළු පුහුල්. මාමා නම් කියන්නෙ මේ කොළවලින් තලප කන්න රසට මාළුවක් උයන්න පුළුවන් කියලා. මෙහෙ ඒකට කියන්නෙ කොළමාළුව කියලා. රත්නපුරේ අපි හැම වෑංජනයකටම කිව්වෙ මාළුව කියලා. අපේ අම්මා සපරගමුවට විශේෂ වුණ හත්මාළුවට වට්ටක්කා කොළ දානවා. ඒ හතෙන් එකක් විදිහට. ඉතිං වට්ටක්කා කොළේ රහ අපි දන්නවා. ඉතිං අපේ පියදාස මාමලාත් මේ වට්ටක්කා දලූ ලප්පට්ටේ කඩලා පදමට ලූ‍ණු මිරිස් තුනපහ (මෙහෙ කියන්නෙ නම් සරක්කු) දාලා කිරිටිකක් මුහු කරලා අන්තිමට අබ යහමින් දාලා වේලිච්ච මිරිස් කරලක් දෙකක් ලූණු බිකක් එක්ක තෙම්පරාදු කරලා නැතිනම් මෙහෙ කියන්නැහේ දුවාබෑමෙන් (නැත්තං අබ පුළුස්සනවා කියලත් කියනවා)එන්නෙහෙම කොරලා ගන්නවා ළිපෙන්. හැබැයි රජෝ සරක්කු මිරිස් සුදුලූ‍ණු එනසාල් උළුහාල් පදමට නැත්තං අපිට බනින්න එපා.

ඉතිං අපි මුගුණ දලූ වගේ පලාවර්ග කෑමට ගන්නවා වගේ මෙහෙත් බොහෝ පලා ජාති තියෙනවා. තම්පලා, තෙල්ටිය, කෙම්බේරිය, අස්මෝදගම්, පොල්පලා වගේ. ඒවත් ඉතිං අපේ ඒවා වගේම මාරාන්තික රහයි. ආ කියන්න අමතක වුණා නේ ඉරිඟු‍ කරල් ඔරවලා ගන්න ඉරිඟු‍ ඇට පොඩිකරලා පිටිකරලා ගන්න පිටෙනුත් මේ විදිහටම වෙල්ලස්සෙ මිනිස්සු තලප හදනවා. ඇත්තටම වෙල්ලස්සෙ මිනිස්සුන්ගෙ ජාතික ආහාරය වුණේ කුරහන් බඩඉරිඟු‍ තමයි. මේ වෙල්ලස්සේ කෑම ගැන මෙහෙම කතා දමන කොට මම පියදාස මාමාගෙන් ඇහුවා ඒ කාලේ මේ ගංගොඬේ වැඩිපුර කොටාබෑවේ මොනාද කියලා.

‘වැඩිපුරම තලප. ඊළඟට රොටි, කුරහන්, ඉඟුරු (ඉරිඟු) රොටි කෑවා. පිට්ටු කෑවා.’ මාමාගේ පිට්ටු කතාව නම් මට අමුත්තක් වුණේ නැහැ. රත්නපුරේ අපිත් ඉස්සර පිට්ටු හැදුවේ එහෙමයි. පස්සෙන් පහුනම් උණ බංබුවකින් හදපු පිට්ටු බංබුවක් ගෙනාවා. වළන් කටක රෙදි කඩමාල්ලක් බැඳලා, පිට්ටු අනලා මේ රෙදි කඩමාල්ලේ අතුරනවා කැලණිය විහාරේ තියෙන දාගැබ වගේ. ඊට පස්සේ ළිපේ තබනවා. පිට්ටු තැම්බෙන්නේ නටන වතුරේ වාෂ්පයෙන්. ඉතින් වෙල්ලස්සේ බාසාවෙන් කියනවා නම් පිට්ටු තැම්බෙන්නේ පලින් පල හැඳිමිටෙන් රුකුල් කරන්න ඕනි. ඒ කියන්නේ හැඳිමිටෙන් සිදුරු කරන්න ඕනි කියන එක. වෙල්ලස්සේ මිනිස්සු මේ ‘රුකුලේ’ කියන වචනය ගොඩාක් තැන්වල පාවිච්චි කරනවා. අන්ධකාරය, ඇස, තේරුම් මේ රුකුල කියන වචනයට තියෙනවා.

වැව් අමුණු විනාශ කළාට පස්සේ වෙල්ලස්සේ ඉතුරු බිතුරු දියකඩිතිවල ඔයවල්වල මාළු ඇල්ලීමත් මෙහේ මිනිස්සු දඩයමට දෙවැනි නැතුවම කළා. කුඩාමස්සෝ කියලා තමයි පොදුවේ මාළුන් හැඳින්නුවේ. වෙල්ලස්සේ ආහාර සංස්කෘතිය ගැන මේ ජනකවිය ඒ කතන්දරය හොඳටම කියනවා.

‘‘කුඩමස්සන් අල්ලති කිව් කොතෙක් වත්
හැන්ද අගට බේරෙන්නේ වරල් පත්
ඒ වරලට කැඳ නැද්දෝ ටිකක් වත්
ඔළුව තියා දියකොයි හොඳි ටිකක් වත්’’

මෙහෙම වෙල්ලස්සේ අඩුක්කුව නැත්තන් ඔවුන්ගේ ආහාර ගැන කතා ඇහිඳිනකොට දවස් ගෙවෙනවා තේරෙන්නේ නැහැ. පියදාස මාමාත්, ජයෙත්්, එක එක ජාති තම්බනවා තම්බනවා ඉවරයක් නැහැ. කංසා සුවඳ වුණත් මේ මහ කැලයට දැන් ඔරොත්තු නොදෙන තරම්. තුරුහිස් වුණත් මතින් මත්වෙලා මාමා ? අඩුක්කුවට හෙල්ලි ගෙඩියක් සුද්දබුද්ද කරනවා. අපි කියන්නේ කොස් කියලා. නැත්නම් හෙරලි කියලා. වෙල්ලස්සට හෙල්ලි, මමත් හෙල්ලි හෙල්ලි ඉන්නේ නැතුව හෙල්ලි මදුළු ඔරවන්න තියා ගත්තා. කංසා සුවඳත් එක්කම. ඉතින් මේ කවත් එක්කම වෙල්ලස්සේ අඩුක්කුව ඉවර කරන්න හිතුවා. ආයෙත් දවසක ලියන්න තව රස කෑම ජාති ගොඩක් අඩුක්කු කරගෙනම.
‘‘හෙල්ලි හෙල්ලි උඩ ඇත්තේ ඉන්න කුට
හෙල්ලි ගෙඩිය වාගේ නුඹ පෙනුණි මට
හෙල්ලිවලට ආරපු ඇඟ තැලෙන වට
හෙල්ලි ගහෙන් බැහැපන් ළඳ සීරු වට’’

ආශ‍්‍රිත ග‍්‍රන්ථ/ වෙල්ලස්සෙන් වහං වූ ජනවහර