දඩමස්, ගැමි කෙළි, හොල්මන්, කුඹුරු,

මල් පැල, වින්නඹු අම්මලා, නාඩගම් තිබුණු

අතීත නගරයක්

 

අප සිටියේ වැල්ලවත්තේය. කකුල් දෙකෙන් නොව මනසින් අපි වැල්ලවත්තේ සිටියෙමු. රස්සාවක් නොමැතිව රස්තියාදු ගසමින් සිටි කොල්ලෙකු වැල්ලවත්තෙන්ම අල්ලාගත් මුවෙකුගේ මස් සහ වළි කුකුලෙකුගේ මස් දීසියක සකස් කර තිබුණි. විස්කි බෝතලයක් තිබුණි. පැත්තම නිස්කලංකය. ගස් කොළන් පිස හමා එන සිහිල් සුළඟ, පර්චස් ගණනක දැවැන්ත මිදුල හරහා හමා යයි. කුරුලු නාදය ඇසෙන්නට ඇත. මේ වැල්ලවත්ත අප සිතේ මවාගත් එකකි. කාල යන්ත්‍රයක් හැදුවොත් දිනෙක ඒ වැල්ලවත්තට යා හැකිය.

ඒ ඩබ්ලිව්.ඒ. සිල්වා හැදී වැඩුණු වැල්ලවත්තය. අවුරුදු සීයකට කලින් වැල්ලවත්තය. සිල්වාගේ ජීවිත කතාව ඇසුරෙන් මවාගත් වැල්ලවත්තය.

ඉන්පසු අපි කකුල් දෙකෙන් වැල්ලවත්තේ ඇවිද්දෙමු. දූවිල්ලෙන් පිරුණු වීදි ගොඩක් වැල්ලවත්තේ ඇත. ඒ අතරේ, දැවැන්ත මහල් නිවාස සංකීර්ණ ඇත. සුඛෝපභෝගී සේවා සපයන ආයතන ඇත. එළියෙන් දූවිලි පිරුණත්, වැල්ලවත්තේ ඇති වෙළඳ ආයතනවලට හෝ නිවාස සංකීර්ණවලට රිංගූ කළ වායු සමීකරණය කළ, නිහඬ අවකාශ හමුවේ. එහෙත්, ඒ නිවාස සංකීර්ණවලට පහළින් පාර දෙපස කුඩා ජීවිතත් හමුවේ. වැල්ලවත්ත සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ගෙන් ජනාකීර්ණ වූ පෙදෙසකි. කුඩා වීදි නිවාස පවා අදටත් ඇත. වැල්ලවත්ත හරි සංකීර්ණ ය. ජනාකීර්ණ ය. ඝෝෂාකාරී ය. නාගරික ය. කරදරකාරී ය.

අර වායු සමීකරණය කළ ගොඩනැගිල්ලක් ඇතුළේ සිට හෝ කට්ට අව්ව නැති හැන්දෑවක වෙරළ අද්දර සිට මිස වැල්ලවත්තේ අත්දැකීමක් විඳින්නට අප කැමති නැත.

කොළඹ සිට ගාලු පාරේ දෙහිවල දෙසට සැතපුම් කිහිපයක් ගිය විට වැල්ලවත්ත නගරයේ සිට වම් පසට නැත්නම් ගොඩ බිම දෙසට ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත හමුවෙයි. හැව්ලොක් හන්දියේ සිට පාමංකඩ පැත්තට යනවිට එම මාවතේ අනෙක් අන්තය හමු වෙයි. මාවතක් කීවාට, එය ඉතා පුළුල් පාරකි. හැව්ලොක් පැත්තේ සිට ගාලු පාර දෙසට වාහන ගමන් කරන, වැල්ලවත්තේ කේන්ද්‍රීය තැනකි.

 

සිල්වර්මියර්

මේ මාවතට ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත නම යෙදන්නට පෙර එය හදුන්වා තිබුණේ හයිස්ටී්‍රට් නමිනි. ඒ මාවතේ මීටර හත්සියයක් පමණ හැව්ලොක් පාර දෙසට ගිය විට දකුණු පැත්තේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා උපන් ‘සිල්වමියර්’ නිවස අදටත් ශේෂව පවතියි. එය අද ඩබ්ලිව්.ඒ. සිල්වා සමරු කෞතුකාගාරය ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත.

ඒ පාරේ පැරණි ගොඩනැගිලි නැති තරම්ය. සිල්වර්මියර් හැරුණාම පැරණි නිවාස යැයි සිතිය හැකි, තවත් පැරණි ගොඩනැගිලි දෙකතුනක් පමණක් ඉතිරි වී පවතී. තම කීර්තිමත් අසල්වැසියාගේ ‘සිල්වමියර්’ නිවස අතහැර යන්නට අකමැත්තෙන් මෙන් වියපත්ව පැරණි මතකයන් දරා සිටින එම ගොඩනැගිලි පමණි.

කෞතුකාගාර තිබෙන්නේ හිත් හිරිවට්ටන්නටය. මොළයේ ලේ ගමනාගමනය වැඩි කරවන්නටය. හදවත් වෙවුලවන්නටය. වෙනම ලෝකයකට අප රැගෙන යන්නටය. සිල්වර්මියර් කෞතුකාගාරයට ගොඩවැදුණාට පසු දැනෙන්නේත් එවැනි හැඟීමකි.

ඒ කෞතුකාගාරයට ගොඩවැදුණාම දැනෙන්නේ සැබෑ මායාවකි. අවට මෝටර් රථ තදබදයේ හඬ, නොඉවසිලිමත් රියැදුරන්ගේ නලා හඬ අමතක කර දැමිය හැකිය. ඩබ්ලිව්.ඒ. සිල්වා නම් මිනිසා නිවසේ ඇවිද්ද හඬ මවාගත හැකිය. අදටත් ඇති හාන්සි පුටුවක දිගා වී, ඔහු කෝට්ටේ සහ සීතාවක රාජධානි ගැන කතාන්දර හිසේ මැවූ හැටි, අද අපට හිතේ මවාගත හැකිය.

එහි දකින්නට ඇති ලියන මේසය මත තබාගෙන, ඉස්තෝප්පුවේ කාමරයේ සිට සිරියාලතා, ලක්ෂ්මි, හිඟන කොල්ලා, විජයබා කොල්ලය, සුනේත්‍රා ආදි පොත් ලියමින්, අපේ ප්‍රබන්ධ සාහිත්‍යය ගව් ගණනකින් ඉදිරියට තල්ලු කළ හැටි මවාගත හැකිය. තම පියා මියගිය මොහොතේද, එය නොදැන ඉස්තෝප්පුවේ කාමරය අගුලු දමාගෙන සිරියාලතා විසිඑක්වැනි පරිච්ඡේදය ලියමින් සිටි බව ඔහුගේ ජීවිත කතාවෙහි සඳහන්ය. ඒ නිසා මේ කාමරය අපට ලෝකයක් තැනූ කාමරයකි.

මාටින් වික්‍රමසිංහ හෝ එකල සාහිත්‍යයේ වෙනත් පතාක යෝධයෙකු ගොඩවැදී කතාබහක නිරත වූ අයුරු මවාගත හැකිය. ඔහුගේ මව මෙරෝ නෝනා තේ කෝප්පයක් රැගෙන ආ අයුරු, මල්ලි එඞ්මන්ඞ් හොරෙන්ම සල්ලි මල්ලක් එකතු කර නංගිගේ විවාහයට දුන් අයුරු මවාගත හැකිය.

 

අම්මාගේ හොල්මන

නිවසට පිටින් හා ඇතුළෙන් එය එක්තරා විදියකට හොල්මන් දැකීමකි. ඩබ්ලිව්.ඒ. සිල්වාත් හොල්මන් දුටු අයෙකි.

නවසිය ගණන්වල මුල සිල්වර්මියර් නිවස අද්දරම තිබී ඇති, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ එකල පෙම්වතිය වූ සුසිලාගේ නිවසේ ඉදිරිපස දොරටුවෙන් හොල්මනක් එළියට බැස ඇති බව ඩබ්ලිව්.ඒ. සිල්වා කියයි. ඔහුට අනුව ඒ මියගිය සුසිලාගේ මව බව ඩබ්ලිව්.ඒ. සිල්වාගේ හොල්මනය. අම්මාගේ මරණයෙන් පසු දවසක, සුසිලාගේ නිවසේ කවුරුත් නැති මොහොතක රෑ දොළහ ළං වී සුසිලාගේ නිවසට රිංගන්නට සිතාගෙන ඩබ්ලිව්.ඒ. සිල්වා ඉදිරිපස දොරටුව දෙසට යද්දී ‘මව’ පිටව ගොස් ඇත. ඇය ගොස් ඇත්තේ කනත්ත දෙසටය. ඔහු මොහොතකට පසු සුසිලාගෙන් දැනගත් පරිදි, ඉදිරිපස දොරටුවෙන් අම්මා පිටව යනු ඩබ්ලිව්.ඒ. සිල්වා දැකීමට මොහොතට පෙර සුසිලා හීනෙන් අම්මා දැක ඇත.

එදා පටන් ඔහු ‘ප්‍රේතාත්ම’ විශ්වාස කළ බව සඳහන්ය. අද මෙවැනි තත්වයක් ‘මාස් හිස්ටීරියා’ තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන. සුසිලා සහ සිල්වා වෙන වෙනම තබා හරස් ප්‍රශ්න ඇසීමෙන් සැබෑ තත්වය නිශ්චය කරගැනීමේ හැකියාව තිබුණි. දෙදෙනාම අද නැති නිසා ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්නට බැරිය.

කෙසේවෙතත් අද නම් රෑ දොළහට වුණත් වැල්ලවත්තේ හොල්මන් බලන්න බැරිය. රෑ දොළහටත් ඒ මාවතේ විදුලි එළි දැල්වේ. මහ රෑ වුව, පාන්දර වුව විනාඩියකට දෙකකට වතාවක් පාර හරහා වාහනයක් ගමන් කරයි.

 

කතා රජ කතාව

ඩබ්ලිව්.ඒ. සිල්වා හෙවත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වාගේ ජීවිත කතාව ‘කතා රජ කතාව’ නම් වේ. ඒ පොත ලීවේ කේ.එච්.ඒ. ධර්මසේකරය. ඩබ්ලිව්.ඒ. සිල්වා කතාන්දරවල රජු නම්, ඔහුගේ ජීවිත කතාන්දරය අපූරු නොවන්නේ කෙලෙසද? සැබෑ කතාවක්දැයි සිතන්නට අසීරු තරම් නාට්‍යරූපී අවස්ථාවලින් ඔහුගේ ජීවිත කතාව පිරී තිබේ. ඔහු තනිකඩ වූ හැටි, පරණ ප්‍රේම සම්බන්ධතාවලට වූ අලකලංචි එහි ඇත. පෙම්වතිය වූ සුසිලාගේ අයියාගේ නිවසේ විස්කි බොමින් අජූව නම් සූදු කෙළියේ යෙදුණු හැටි, බීමත්ව සුසිලාට බලහත්කාරකම් කළ හැටි, ගමේ චණ්ඩියාට පහරදුන් හැටි, අම්මාට හොරෙන් ‘කොටු පැන’ හසු වූ හැටි ඒ පොතේ ඇත. ඔහු ‘ගැමි’ තරුණයෙකු ලෙස ජීවත් විය. කරන්නට ඇති සෑම දේම කළේය.

එකල වැල්ලවත්ත ගැන ඒ පොතේ අපූරුවට විස්තර කර ඇත. අප මුලින්ම සඳහන් කළ වැල්ලවත්ත හිතේ මැවුණේ ඒ ඇසුරෙන්ය.

ඒ පොතේ සිල්වර්මියර් ගැන විස්තර කර ඇත්තේ මෙසේය. ‘එකුන් විසිවැනි ශතවර්ෂයාගේ අවසාන භාගයෙහි, කොළඹ නගර සීමාව තුළ ඇති වූ සිද්ධියකි. පාමංකඩ හන්දියට නුදුරින් රෙදි මෝල අතට යන පාරේ, පල්ලමේ වම් පැත්තේ වත්ත ඇතුළේ පිහිටි මධ්‍යම පංක්තියේ කුඩා ගෙයක…’

එහි සඳහන් ආකාරයට අපගේ කතානායකයා ඉපදුණේත්, සිල්වර්මියර් නිවසේදීමය. ඒ එකල වැල්ලවත්තේ සුලබ වූ වින්නඹු මාතාවකගේ උදව්වෙනි. ‘එකල මෙකල මෙන් නොව, සූතිකර්මයට ප්‍රතිෂ්ඨාධාර පිණිස පැවැත්වුණු සූතිකාගාර විරල වුවද, ඈත පිටිසර ගම්බදව මෙන්ම කොළඹ සහ අවට පෙදෙස්වලද සෑහෙන පමණ වින්නඹු මාතාවෝ සිටියාහ.’ පොතේ එසේ තිබුණි.

 

වැල්ලවත්තේ මිනිස්සු

නූතන වැල්ලවත්ත ඉපදුණු හැටි කතා රජ කතාව ඇසුරෙන් තේරුම්ගත හැකිය. එකල ඉහළ මධ්‍යම පන්තිය සිටි නාගරික පෙදෙස වුණේ කොළඹ මෝදර පෙදෙසය. කොල්ලුපිටිය සිට ගල්කිස්ස දෙසට මුහුද අද්දර දැවැන්ත ගෙවතු සහිත නිවාස හිමියන් සිට ඇත. වැල්ලවත්ත කුඹුරු, වන ලැහැබ් ආදිය තිබුණු ග්‍රාමීය පෙදෙසකි. එහෙත් නවසිය ගණන් පටන්ගන්නේ වැල්ලවත්ත වැනි ප්‍රදේශවල තිබුණු ග්‍රාමීය ආර්ථිකය උඩු යටිකුරු වෙමිනි.

කතා රජ කතාවේ මෙසේ සඳහන්ය.

‘මේ කාලේ වැල්ලවත්තේ වුසූ බොහෝ දෙනා කිසි අණක් ගුණක් නැති දළ දඬු පිරිසකි. ඔවුහු වැඩි දෙනා භාෂා ශාස්ත්‍ර විෂයයෙහි කිසි උගත්කමක් නැත්තෝය. රක්ෂාව පිණිස වඩු කර්මාන්තය වැනි බර වැඩ තෝරා ගත්තෝය. ඔවුනතර බඩු පටවන්නෝද, බරකරත්ත කාරයෝද, බැළ මෙහෙ කරන්නෝද, ගස්ගෙඩි කඩන්නෝද වූහ. ඇතැමෙක් හොර අරක්කු විකිණීමෙන්ද, සූදු කෙළීමෙන්ද රැකුණාහ. ගෙවල් බිඳීමෙන් හා හොර ගෙඩි කැඩීමෙන්ද කෙනෙක් ජීවත් වූහ. කෙසේ නමුත් තරමකවත් උගත්කම් ලැබූ කිහිපදෙනෙක් කොළඹ වෙළඳ සමාගම්වල මෙහෙකරුවන් හෙවත් සේවකයන් සැටියෙන් ජීවිකාව කළහ.’

වැල්ලවත්තේ ගස්ගෙඩි කඩන්නෝ? අද වැල්ලවත්තේ සිටින කෙනෙකු රස්සාවක් විදියට කඩන්නේ කුමන ගස්වල ගෙඩිදැයි අද සිතෙනු ඇත.

‘ගොවිතැන් නැවතී කුඹුරු පුරන් වී වල් බිහි වීමෙන්ද, කම්මල් පාලු වීමෙන්ද සියලු ව්‍යාපාර පිරිහීමේ හේතුවෙන් ද ඔවුන් විසින් කළ යුතු ප්‍රයෝජනවත් වැඩක් නැති විය.  සෙසු නොයෙක් ගම්වල මෙන්ම වැල්ලවත්තේ ද මෙබඳු නිසරු තත්වයක් ඇති කෙළේ, එකල පැවති බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ විෂම ක්‍රියා පටිපාටියයි.’

එතැනින් පසු පොතේ විස්තර කරන්නේ විදෙස් රටවල ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ වෙනත් උපකරණ ලංකාවේ අලෙවි කිරීම සඳහා බි්‍රතාන්‍යයන් පහසුකම් සැකසූ බවත්, ඒ තරම් අඩු මිලට අලෙවි කරන්නට නිෂ්පාදන සිදුකිරීමේ හැකියාව නැතිව දේශීය නිෂ්පාදන දුර්වල වූ බවත්ය.

‘පහසු මිලට විකිණීම සඳහා සිය රටේ මේ කිසිවක් උපදවාගත නොහැකි වූ තැන, අපේ වී ගොවිතැන් නැවතී කුඹුරු පුරන් විය. යකඩ නොතැලී කම්මල් නිහඬ විය. ගම්බද ව්‍යාපාර පිරිහී නතර විය. එහෙයින් ගම්වල බොහෝ දෙනා කිසි වැඩක් නැතිකමෙන්, දාමරික ජීවිතයකට වැටුණු වල් පිරිසක් විය. වතු-පිටි හිමිකරුවෝ පමණක් බුලත් සපමින් ගෙපිලේ සැප පුටු මත බලා සිටියහ.’

 

ගම

ඊට අමතරව අප කතානායකයාගේ ජීවිතයට බලපෑවේත්, ගැමි අත්දැකීම්ය.

‘ළමයින් රංචුවක් සමග පාමංකඩ පල්ලමේ පාලු වත්තක සෙල්ලම් කරමින් සිටි මේ හිතුවක්කාර දරුවා, එම වත්තේ උසට වැඩී තිබුණු පුවක් ගස් කිහිපය දැක, තරගයට ගොස් බඩගෑමේ සෙල්ලමක් ආරම්භ කළ සැටිත්…’ යනාදි වශයෙන් විස්තර කර තිබුණේ පුවක් ගස් තිබුණු ගමේ හිස් වත්තක සෙල්ලම් කරන්නට ගොස් ඒබ්‍රහම් කකුල කඩාගත් හැටිය. ගමේ සිටි සිංහල වෙද මහතාගෙන්, දේශීය ප්‍රතිකාර ලබා මාසයකින් දෙකකින් සනීප කරගන්නට ඔහු සමත් වී තිබේ.

එකල ඒ ගමේ වාර්ෂිකව දෙවොල් මඩුවක් තිබී ඇත. අං කෙළි, පොල් කෙළි ආදි ‘ජාතික කෙළි’ සෙල්ලම් ගමේ පවත්වා ඇත. අප කතානායකයාගේ පියා එවැනි කෙළි සෙල්ලම් සංවිධානය කිරීමේදී ඉදිරියෙන් සිට ඇත.

අද ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත වුව, මීට පෙර එය හයිස්ටී්‍රට් විය. ඊටත් පෙර පාමංකඩ-මාපිටිය පාර විය. දැන් සිල්වර්මියර් නිවස තිබෙන තැනට ඉදිරිපිට එකල ‘සැෆයර්’ නමින් සිනමාහලක් තිබුණු බවත් පොතේ සඳහන්ය. එම ඉඩමට එහා පැත්තේ තිබී ඇත්තේ වන ලැහැබකි. කටු කුරුඳු, පතොක්, දෙමට, බිංතඹුරු, කරඳ වැනි වල් පඳුරු ඒ කැලෑවේ තිබී ඇත. එම ඉඩම සුද්ද කොට තණ පිට්ටනියක් බවට හැරවූ බවත්, ගමේ නාඩගම් පිටිය බවට එය හැරුණු බවත් පොතේ සඳහන්ය.

ඒබ්‍රහම්ගේ මුල්ම පෙම්වතියගේ (සුසිලා නොවේ.) නිවස සාම්ප්‍රදායික ගැමි නිවසක් විය. එය දිය පිරුණු පරණ ගල්වලක් අසල තිබුණු ගෙයක් විය. නෑම සඳහා පැළලිවලින් වට කරන ලද ළිඳක්, ගෙවත්තක්, නිවස ඉදිරිපට මල් පැලක් ඇත. මල් පැලක් කියන්නේ මල්, පහන් තැබීමට නිවසෙන් පිටත සකස් කරන ග්‍රාමීය නිවෙසක අංගයකි. එහි තිරයෙන් වැසුණු සෙනසුරු රූපයක් තිබුණු බව පොතේ සඳහන්ය.

අප කීවා වාගේ කෞතුකාගාරවලට, ජීවිත කතාවලට ඒ අතීත කතාන්දර ගෙනහැරපාමින් දැන් අප දකින දේවල්වල ඉතිහාසය ජීවමාන කිරීමේ ශක්තිය ඇත. ඒවා දකිද්දී හිත් වෙවුලයි, ඇඟ නළියයි. අප හැමදාම දකින දේට අලුත් මානයක් එකතු කරයි. අනාගතයේ මේ නගර කෙසේ වනු ඇතිද? අප දකින දේවල් ඉතිහාසය බවට හැරෙන හැටි හිතේ මැවෙයි.■

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර