ජනවාරි මාසයේ 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගතය ප්‍රකාශයට පත් කළාට පස්සේ අද දක්වා කිසි කෙනෙකුට අතට අත දුන්නේ නැහැ. සමහර අවස්ථාවල මැති ඇමතිවරුන් පවා මුණගැහිලා අතට අත දෙන්න උත්සාහ කළත්, ආයුබෝවන් කියලා අතට අත නොදී හිටියා.

 

 

 

දැන් ඇතිව තිබෙන කොවිඞ්-19 පැතිරයෑම පෙර නොසිතූ තත්වයක්ද?

නොහිතපු දෙයක් කියලා කියන්න අමාරුයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. ලෝකයේ අනෙක් රටවල්වල තිබුණු බවත් අපි දන්නවා. ඉන්දියාව වගේ ආසන්න රටවල්වල තිබුණා. අපි දැනගෙන හිටියා, එන්නතක් සොයාගෙන පාලනය කරනතුරු මේ අවදානම තිබෙන බව. අවදානම තිබුණා. එය වැඩි වූ අවස්ථා දෙකක් ආවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැතිර ගිය අවස්ථා දෙක තමයි ඒ. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් බවට තොරතුරු තිබුණා. බෝවෙන රෝගයක් වෙනත් රටවල පැතිරෙද්දී, පැතිරෙන්න ඉඩ තියෙද්දී එන්නේ නැතිව තියෙන්න විදියක් නැහැ. එහෙත් අපෙන් ගිලිහුණ තැන තමයි ලොක්ඩවුන් ඉවර  වෙනතුරු වැඬේ හරියට කළත් පොදුවේ සියළුදෙනා අත්හැරීම.

 

පහුගිය කාලසීමාවේ වසංගතය ගණනට නොගෙන කටයුතු කළ නිසා මේ තත්වය ඇති වූ බව හැමෝම කියනවා…

මුලින්ම ලොක්ඩවුන් කළ කාලසීමාවේ අපි රටක් හැටියට මේ පිළිබඳ අවධානය යෙදුවා. එහෙත්, ලොක්ඩවුන් ලිහිල් කිරීමත්, මැතිවරණ කාලසීමාව ආරම්භ කිරීමත් තුළින් ඒ අවධානය ක්‍රමයෙන් ලිහිල් වුණා. ඒ එක්ක මැතිවරණ කාලසීමාවේ ක්‍රියාකාරීත්වයෙන් පස්සේ ලොකු ගැටලුවක් මතු වුණේ නැති නිසා හැමෝම හිතුවේ අපට අලුත් රටවල්වලට නැති අලුත් හැකියාවක් ලැබිලා තියෙන බව. මා වුණත් කල්පනා කළේ ඇයි මෙහෙම කියලා. මාත් කිහිපදෙනෙකුගෙන් ඇහුවා මේ ගැන මොකද හිතන්නේ කියලා. පොදු කරුණු විතරයි එළියේ කතාකළේ. නිශ්චිත කරුණක් ආවේ නැහැ.

 

ජනමාධ්‍ය ආයතන ආරක්ෂාව ගැන හිතන්නේ නැතිව කටයුතු කළා, දේශපාලන නායකයන් අවදානම නැතිව හැසිරෙන ආකාරය රූපවාහිනියෙන් දැක්කා, රියැලිටි තරග ආදිය තිබුණා…

පොදුවේ ඒවා බලපෑවා. හැමකෙනාම අධ්‍යාපන මට්ටම අනුව ඒක තේරුම්ගත් බව අපි දැක්කා. තොණ්ඩමාන් මහතාගේ අවමංගල්‍යයේදී ඒ අය හැසිරුණු විදිය අපි දැක්කා. අපිත් අවමගුල් ගෙවල්වලට ගියා. අපි අපේ සීමාවන් දැනගෙන හිටියා. මාක්ස් එකක් පාවිච්චි කළා. අනවශ්‍ය විදියට අතට අත දීම්, සිපගැනීම් කළේ නැහැ. මට මතක හැටියට මම ජනවාරි මාසයේ 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගතය ප්‍රකාශයට පත් කළාට පස්සේ අද දක්වා කිසි කෙනෙකුට අතට අත දුන්නේ නැහැ. සමහර අවස්ථාවල මැති ඇමතිවරුන් පවා මුණගැහිලා අතට අත දෙන්න උත්සාහ කළත්, ආයුබෝවන් කියලා අතට අත නොදී හිටියා. මාත් පහුගිය කාලසීමාවේදී සාමාන්‍ය වැඩ කටයුතු කළා. ඒත් අවදානමක් තියෙන බව දැනගෙන හිටියා. අවදානම එක්ක තමයි යම් ක්‍රියාමාර්ග ගත්තේ. අපි ආශ්‍රය කළේ, ගනුදෙනු කළේ දන්නා කියන අය එක්ක. අපි දන්න කියන අය ගැන විශ්වාසයක් තියෙනවානේ. ගෙදර ආවාට පස්සේ සාමාන්‍ය විදියට හිටියා. ඒක වෙනස් කළේ නැහැ. පවුල්වල අයට යම්කිසි දැනුමක් හා අවබෝධයක් තිබුණා. ඒ ප්‍රමාණයට අපි ඒ ගැටලුවලින් යම් ප්‍රමාණයකට මිදුණා.

 

එහෙත් බොහෝ අයගේ පරීක්ෂාකාරී බව ගිලිහුණා…

අපේ සංස්කෘතියේ යම් ලක්ෂණවලින් මිදෙන්න බැහැ. දෙදෙනෙක් කතා කරද්දී අත් අල්ලාගෙන කතා කරනවා. ගොඩක් අයට පුරුදු ගති තියෙනවානේ. ඒවා වසංගතය වෙනුවෙන්ම මඟහැරගත්තේ නැති නම්, ඒවා බලපාන්න ඇති. මේ අභියෝගය ජයගැනීමේ වගකීම අප සියලුදෙනාට තියෙනවා. ඒ වගකීම පැහැරහරින්න බෑ.

 

මැතිවරණය පැවැත්වීමේ සිට, පුද්ගලයන් එක් වූ අවස්ථා බොහොමයක් තිබුණා…

ඔව්, ඒ සඳහා පියවර ගත යුතු ආයතනත් ලොකු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. වසංගත රෝග විද්‍යා අංශය නම් දිගින් දිගටම අවදානම පිළිබඳ වරින් වර මතු කළා. ඒත් සමාජයට ලොකු බලපෑමක් එල්ලවුණේ නැහැ. රටක් හැටියට, මහජනතාව හැටියට, රටක් හැටියට ඒ බර ගත්තේ නැහැ. මේ කාලසීමාව තුළම නොයෙකුත් දේවල් සිද්ධවුණා. විවාහ මංගල්‍ය, අවමඟුල් උත්සව, ඡන්ද රැස්වීම්, පොත් ප්‍රදර්ශන ආදී බොහෝ දේ. සමාජයේ ස්ථර ගණනාවක් තියෙනවා. ඒ ඒ ස්ථරවලට අවදානම බලපෑවේ ඒ අය ගන්න ක්‍රියාමාර්ග අනුව. දැනුම ඇති, අධ්‍යාපනයක් තියෙන ස්ථරය ප්‍රවේශම් වීම සම්පූර්ණයෙන් අත්හැරියේ නැහැ. යම් ප්‍රමාණයකට පවත්වාගෙන ගියා. එහෙත් ඒක බාහිරට පෙනුනේ නැහැ. ඒ නිසා දැනුමෙන් අඩු අය හිතන්නේ, ඒ අයත් එතරම් ගණන් ගන්නේ නැති නිසා දැන් ප්‍රශ්නයක් නැතිව ඇති කියලා. නගරයේ මේක යම්කිසි තරමක් පාලනය වූ බව දකින්න ඇති. නාගරික වශයෙන් සුපර්මාකට්වලට ගියේ අත් සෝදලා, මාක්ස් එක දාගෙන, උෂ්ණත්වය බලලා. එවැනි ආයතනවල ආරක්ෂාකාරී පියවර ගත් අවස්ථා තිබුණා.

 

එහෙත් සමහර අයට අවදානම වැඩියි…

පොදුවේ පොකුරු හැදෙන්න පුළුවන් විදියේ පිරිස් ඉන්නවා. කඳවුරු, කර්මාන්තශාලා, වෙළඳ කලාප, පාසල්, විශ්වවිද්‍යාල, සිරකඳවුරු වගේ තැන්වල අවදානම වැඩියි. එහෙත් ඒ තැන්වල තත්වය ලිහිල් වුණා. මෙතෙක් ගත්ත ක්‍රියාමාර්ග අත්හැරලා සාමාන්‍යකරණය වුණා. මේක බ්‍රැන්ඩික්ස් එකට විතරක් වෙච්ච දෙයක් වෙන්න බැහැ. මේ හා සමාන අනෙකුත් තැන්වලත් කිසියම් ප්‍රමාණයකට වෙලා ඇති.

 

ඒ කියන්නේ, මේ වෙලාවේ බ්‍රැන්ඩික්ස් ආයතනය දෙස බැලුවාට, ඊටත් වඩා එළියේ සමහරවිට ඇති…

බ්‍රැන්ඩික්ස් එක වගේ පරිසර තියෙනවානේ. වෙන ආයතන තියෙනවා. බ්‍රැන්ඩික්ස් එකේ පුද්ගලයා අහම්බයක් වෙලා ගම්පහ රෝහලේ අහඹු පරීක්ෂණයකට යොමු වුණා. එහෙම අහු වුණේ නැති තැන් ඕනෑ තරම් ඇති. මේ පළමු පුද්ගලයාත් නෙවෙයි. ඊට කලින් රෝගීන් ඉන්න ඇති. යම්කිසි විදියකින් අපි මීට කලින් මේ ආයතනය පරීක්ෂා කළා නම්, කලින්ම හඳුනාගන්න තිබුණා. ඒ පොදු සාධකය හැම තැනකම තියෙනවා. මේක අපට හොඳ අත්දැකීමක්. මේක පළවැනි රෝගියා නෙවෙයි. මීට කලින් ආසාදනය වූ අය ඉන්න ඇති. ඒත් බරපතල විදියට සමාජයට දැනුණේ නැහැ. එයාලා තේරුම් ගත්තේ නැහැ. එළියෙන් තේරුම් ගත්තේත් නැහැ.

 

දැන් පවතින තත්වය විසඳාගැනීමට නම්, විද්වතුන් සාකච්ඡා කළ යුතුයි නේද?

අපි වෘත්තිමය ආයතන විදියට මේ ගැන සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකුත් ඉල්ලුවා. මේ රෝගියා සොයාගැනීම අහඹු වුණාට මේ සිදුවීම අහඹු නැහැ. මේ රෝගියා සොයැගීමට මාසයකට, දෙකකට ඉස්සෙල්ලා මෙතැන රෝගීන් ඉන්න ඇති. නිතර ආපු නැති ඒවා ඇති. නිතර රෝගීන් වාර්තා වූ අවස්ථා ඇති. මේ කර්මාන්තශාලාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවාදැයි දන්නේ නැහැ. එහෙත්, ඒ මධ්‍යස්ථානයට වාර්තා වූ රෝගීන් ඇති. සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ලක්ෂණ තිබුණාට පහුගිය කාලයේ ගණන් ගන්නේ නැතිව. දැන් සිදුවීම වෙලා ඉවරයි. ඒ ආයතනයෙන් පැතිරුණ ප්‍රමාණය තමයි අපි හොයමින් යන්නේ. ඒ අය පරීක්ෂා කළාම රෝගීන් හමුවෙනවා. එහෙත්, මේ ආයතනය එක්ක ගනුදෙනු කරන වෙනත් තැනක් පරීක්ෂා කළොත් එතැනිනුත් අහඹු ලෙස හමුවෙන්න පුළුවන්. (මෙම සංවාදය කරනු ලැබුවේ වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාදිතයන් හමුවීමට පෙරය.) දැන් සිදුවීම වෙලා ඉවරයි.

 

දැන් ගත යුතු පියවර මොනවාද?

මුල ඉඳලා කරපු සරල දේ තමයි. රෝගීන් හඳුනාගැනීම, පරීක්ෂා කිරීම, වෙන් කිරීම, සැක සිතෙන අය නිරෝධායනයට යොමුකිරීම. දැන් ඒ කාර්යය කරන බව පේනවා. ඒකට පුරුද්දක් අපට තියෙනවා. යම්කිසි කාලසීමාවක් ගනීවි සම්පූර්ණයෙන් මේක යටපත්  වෙන්නට. මොකද අපි රෝගීන්ගේ පැතිරීම, ආසාදනය වූ අය ඉන්නේ කොහේද කියලා සොයාගැනීම මත තමයි ඒවා තීරණය වෙන්නේ. මාස දෙකක් වැනි කාලසීමාවක් ඇතුළත රෝගීන් සොයාගෙන හරිහැටි  නිරෝධායනය කළොත් අපට මාස දෙකකින් විතර සාමාන්‍ය තත්වයට එන්න පුළුවන්. වෙනත් පොකුරු හමු වුණේ නැති නම්.

 

ඉදිරියේදී වගකිවයුතු ආයතන කරන්න ඕනෑ මොකක්ද?

මේ වගේ අවදානම් සහිත පිරිස් සමාජයේ ඉන්න බව අපි දැනගන්න ඕනෑ. අපි කොයිතරම් කරුණු දැනගෙන හිටියත් වැඩක් නෑ. දන්නා කරුණු පිළිපදින්න නිශ්චිත වැඩපිළිවෙලක් ඕනෑ. ඒකට අපි හැමදෙනාම අනුගත වෙන්න ඕනෑ. විශේෂයෙන් සමූහයක් ඉන්න තැන්වල වගකීමක් තියෙන්න ඕනෑ. ආයතනයක ප්‍රධානියෙක් ඉන්නවා, වෙනත් වගකිවයුතු අය ඉන්නවා. ඒ අය හරියාකාරව මේ පිළිබඳ නීතිරීති පිළිපදින්න ඕනෑ. තමන් යටතේ ඉන්න අය ඒ කාර්යය කරනවා කියලා සහතික වෙන්න ඕනෑ. ඒ වගකීම පැහැරහැරියොත් මෙවැනි සිදුවීම් ඉදිරියටත් වේවි. ඒක තමයි ඉගෙනගන්න තියෙන්නේ. වගකීම හරියට ඉෂ්ඨ කරන එක ඉබේ වෙන්නේ නැහැ. හරි නායකත්වයක් ඕනෑ. හරියට නියාමනය වෙන්න ඕනෑ. ක්‍රියාමාර්ග හරියට අලුත් වෙන්න ඕනෑ. වගකීම් ඉෂ්ඨ කරන්න ඕනෑ. වගකීම් බාරගත්ත කණ්ඩායමක් ඉන්නවා. රජය, දේශපාලන නායකයන්, ආයතන ප්‍රධානීන්. ඔවුන් මහජන මුදලින් යැපෙන අය. එයාලාට විශේෂ වගකීමක් තියෙනවා. අපි යම් උත්සවයක් සංවිධානය කළොත් ආරක්ෂාව පිළිබඳ වගකීම අපටත් පැවරෙනවා. විශේෂයෙන් ආයතන ප්‍රධානීන්, සමාජයේ වැදගත් තත්වයක් තියෙන අය හරිහැටි වගකීම ඉටු කරමින් මීටරයේ දුර තියාගෙන, මාස්ක් පැළඳගෙන ඉන්නවානම්ගැටලුවක් වෙන්නේ නැහැ.

සමාජය ඒ තුළින් මුදවාගන්නට. ඒකට මැදිහත් වෙන ප්‍රමාණයට තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේක නවත්වාගන්නේ කොහොමද කියලා අපි දන්නවා. මා හිතන විදයට අපි ජාතියක් හැටියට ක්ෂණික ප්‍රතික්‍රියා කරන බව ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා. හදිසි අනතුරු අංශයක් වුණත්, අපේ කලාපයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව දියුණුයි. එහෙත් අපි දීර්ඝකාලීන සැලසුම් ඇතිව වැඩ කරන්නේ නැහැ. නිදන්ගත අසනීපවලට, මහලු වියට අපි ප්‍රතිචාර දැක්වීම එතරම් සාර්ථක නැහැ. සෞඛ්‍ය පද්ධතියේත්, අනෙකුත් තැන්වලත් ඔය ලක්ෂණය තියෙනවා. ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවාට, ඉක්මනින් සැහැල්ලු වෙලා පරණ තත්වයට යනවා. කලින් වූ දේ සම්පූර්ණයෙන් අමතක වෙනවා. ඒ ස්වභාවය නිවැරදි කරගන්න ඕනෑ.

 

මේ අයගේ සමාජ සම්බන්ධතා පවත්වන ස්වභාවය කලින් කී නාවික හමුදාවේ හෝ රාජාංගණය ආදී ප්‍රදේශවලට වඩා වෙනස්. ගම්පහ සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක මෙය පැතිරීම වඩාත් භයානක වේවිද?

අනිවාර්යයෙන්. අපි හොයාගත්තේ ගමක, පවුලක, දෙකක පිරිසක් නම් ඒ වගේ සිදුවීම් ඉක්මනින් සමනය කරගන්න පුලුවන්. ඒත් මෙතැන ඊට වඩා බරපතලයි. මෙතැන ඉන්නේ කාලයක් තිස්සේ එකට ගැවසුණු පිරිසක්. මේ වගේ අය තවත් ඕනෑ තරම් ඉන්නවා. කන්දකාඩු සිදුවීමත් එය ව්‍යාප්ත වූ හැටිත් අපි හරිහැටි දැනගෙන හිටියේ නැහැ. මෙතැන ප්‍රශ්නය තමයි, මේක අධික ජන ගණත්වයකින් යුත් ප්‍රදේශයක් වීම. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය. මේකේ අවදානම වැඩියි. රජය මේ අවදානම තේරුම්ගත්තා. ක්ෂණිකව පාසල් වැසීම හොඳ ක්‍රියාමාර්ගයක්.

 

ඇමෙරිකාවේ ධවල මන්දිරය ඇතුළට වසංගතය ගියා නම්, ලොව කිසිම තැනකට එයින් බේරෙන්න බැහැ නේද?

අනිවාර්යයෙන්. නොසැලකිලිමත්කම තමයි ප්‍රධානම සාධකය. එයා රාජ්‍ය නායකයාද, යාචකයෙක්ද කියන එක වැදගත් නැහැ. වෛරසය එය දන්නේ නැහැ. එය කාගේ හෝ ඇඟේ තමයි තියෙන්නේ. එය පාවෙලා බොවෙන්නේ නැහැ. ස්පර්ශයෙන් බෝවෙන්නේ. ඒ අනුව අපි ස්පර්ශය අඩු කරගන්නට සැලකිලිමත් වෙන්න ඕනෑ. බ්‍රැන්ඩික්ස් එක ඇතුළේ පවා ආරක්ෂිත ක්‍රියාමාර්ග ඉන්න ඇති. ඒ අයට ආසාදනය නොවෙන්න ඇති. එවැනි පුද්ගලයන්ගේ හැසිරීම අනෙක් අයට නොතිබීම තමයි ප්‍රශ්නය වුණේ. අපි හොයන්නේ එක් එක් පුද්ගලයන්ගේ හැසිරීම. එහෙත්, ඊට වඩා වැදගත් සමූහයේ හැසිරීම අධ්‍යන කිරීම. ඒ අර්ථයෙන් ගත්තාම මේ සිදුවීමෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකෙන් හරියට ඉගෙනගත්තානම්, එන්නතක් සොයනතුරු ආරක්ෂා වෙන්න පුළුවන්.■