රාඩා නඩුව නීතිපතිවරයා තවදුරටත් පවත්වාගෙන යන්නට සූදානම් නැති බව මහාධිකරණ විනිසුරුවරයා ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකු නිදහස් කෙළේය.

දැන් නඩුවක් නැත. නඩුව නැති වුණේ, එහි එක් සාක්‍ෂිකාරියක වන චන්ද්‍රාකාන්ති ප්‍රනාන්දු මහත්මිය, නඩුවට අදාළ ලියකියවිලිවල මුල් පිටපත් තමා ළඟ නැති බවත් තමා දුටුවේද නැති බවත් අධිකරණය ඉදිරියේදි සාක්‍ෂි දෙමින් පැවසීම නිසාය. ඒ මුල් පිටපත් නැතිව නඩුව ගෙනයාම කළ නොහැකියැයි කියමින් නීතිපතිවරයා නඩුව අවසන් කළේය.

එහෙත්, රාඩා ආයතනයේ මුවාවෙන්, එල්ටීටීඊ මූල්‍ය ලේකම් එමිල් කාන්තන්ගේද මැදිහත්වීමෙන් මුදල් ගනුදෙනු සිදුවීම පිළිබඳ බරපතළ චෝදනා විසි වන්නේ නැත. ඒවා ස්ථිරවම පවතියි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රාඩා ආයතනය අලුතෙන්ම පිහිටුවා එහි ප්‍රධානියා හැටියට ටිරාන් අලස් පත්කර, රුපියල් මිලියන 800ක් රාඩා වෙත ලබාදී උතුරු නැගෙනහිර සුනාමියෙන් අවතැන්වූවන්ට නිවාස හදාදෙන්නට ‘ජය ලංකා’ ව්‍යාපෘතිය ඇරඹීය. ඉල්ලා සිටි මිලියන 800 වෙනුවට, මිලියන 200ක් භාණ්ඩාගාරයෙන් රාඩා වෙත මුදාහැරිණ.

නඩුව දිගටම පැවතියේ නම්, රාඩා වෙත මුදාහරින ලද මේ මුදලින් එකුදු නිවාසයක්වත් අවතැන්වූවන් වෙනුවෙන් නොසාදා, ඒ මුළු මුදලම කවුරුන් විසින් කාට ගෙවා, බෙදාගන්නා ලද්දේදැයි දැනගන්නට ඉඩ තිබිණි.

එහි මුදල් බෙදාගත් ගජන් කුමාර් ශාන්ති කුමාර්, විමර්ශනවලදී දුන් දිවුරුම් ප්‍රකාශයක කියන්නේ, විදේශගතව සිට 2004දී ලංකාවට පැමිණි තමාට එමිල්කාන්තන් හැඳිනගැනීමට අවස්ථාව ලැබුණු බවය. 2005 ජනාධිපතිවරණයෙන් පසුව නිවාස ව්‍යාපෘතියක් තමාට ලැබෙන බව එමිල්කාන්තන් ප්‍රකාශ කළ බවත්, ඒ සඳහා අලුත් සමාගමක් හදන බවත්, එහි අධ්‍යක්‍ෂවරයකු හැටියට තමා යොදාගන්නේයැයි ඔහු කී බවත් ගජන් කියයි. ඉන් සතියකට පසු ගජන්ගේ නමින් බීඇන්ඞ්කේ නම් සමාගමක් ලියාපදිංචි කර ඇත. අධ්‍යක්‍ෂවරුන් ලෙස පත්කර ඇත්තේ ඔහුගේ සහෝදරයන්ය. 2006දී අවස්ථා දෙකකදී ඔවුන් රාඩා සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කර ඇත. එමිල් කාන්තන්ගේ යහළුවන් දෙදෙනකුට අයිති එවරස්ට් සිවිල් ඉංජිනියරිං සර්විසස් නමැති  සමාගමේ ගිණුම්වල කටයුතුද ඇටෝර්නි බලපත්‍රයක් මගින් තමාට දුන් බවත් ඔහු කියයි. 

එමිල් කාන්තන් ඔහු සමග ගොස් වැල්ලවත්ත හැටන් නැෂනල් බැංකු ශාඛාවේ බීඇන්ඞ්කේ හෝල්ඩිංග්ස් නමින් ගිණුමක් අරඹා තිබේ. ඉන්පසු බීඇන්ඞ් කේ සහ එවරස්ට් සිවිල් ඉංජිනියරිං සර්විසස් සමාගම් දෙක නමින් රාඩා වෙතින් චෙක්පත් ලැබෙන්නට පටන් ගත්තේය. 2006.05.10 දින බීඇන්ඞ්කේ ගිණුමෙන් රුපියල් 5,75,000ක් ගෙන එමිල් කාන්තන් දූරකථනයෙන් දැනුම් දුන් ලෙස රාඩා නඩුවේ වෙනත් විත්තිකාරයකුගේ නියෝජිතයකුට ගජන් භාර දී තිබේ. 2006.06.22 දින එම ගිණුමෙන් රුපියල් 10,000,000ක් ලබාගෙන ඉහත විත්තිකරුටම භාරදෙන ලදි. 2006.05.30 දින එවරස්ට් සිවිල් ඉංජිනියරිං සර්විසස්හි කොමර්ෂල් බැංකු ගිණුමෙන් රු. 10,000,000ක් ලබාගෙන එමිල් කාන්තන් සමග ගොස් විත්තකරුවකුට භාරදෙන ලදි. 31 වැනිදාද එවරස්ට් සිවිල් ඉංජිනියරිං සර්විසස් ගිණුමෙන් රු. 10,000,000ක් හා 2,500,000ක් ලබාගෙන එමිල් කාන්තන් සමග ගොස් විත්තිකරුවකුට භාර දී තිබේ. ඔහු සිය දිවුරුම් ප්‍රකාශයෙන් කියා ඇත්තේ තම සමාගම් කිසිවිටෙක නිවාස හැදීමේ ව්‍යාපෘතියකට සහභාගි නොවූ බවයි.

රාඩා ගනුදෙනු පිළිබඳ විමර්ශනවලදී හෙළිවුණු කරුණු අනුව, වැල්ලවත්ත එච්එන්බී බැංකුවෙන් 2006 පෙබරවාරි 14 දින රුපියල් මිලියන 1.25ක්ද, එදිනම තවත් මිලියන 7.5ක්ද, මාර්තු 24 දින මිලියන 15.0ක්ද අප්‍රේල් 21 වැනි දින මිලියන 10ක්ද, ජුනි 6 වැනි දින මිලියන 18ක්ද, ජුනි 21 දින මිලියන 12ක්ද වශයෙන් මිලියන 64ක් බීඇන්ඞ්කේ හෝල්ඩිංග්ස් වෙත චෙක්පත් හරහා ගෙවා ඇත. කොමර්ෂල් බැංකුවේ රීඞ් ඇවනිව් ශාඛාවෙන් එවරස්ට් සිවිල් ඉංජිනියරිං සර්විසස් ආයතනයට 2006 අප්‍රේල් 25 දින මිලියන 1.5ක්ද, මැයි 25 දින මිලියන 30ක්ද, මැයි 31 දින මිලියන 30ක් ද ලෙස මිලියන 61.5ක් වරින්වර ගෙවා ඇත.

එම සමාගමටම, වැල්ලවත්ත එච්එන්බී බැංකුවෙන් 2006 ජුනි 12 වැනිදින මිලියන 10ක්ද, 21වැනි දින මිලියන 17.5ක්ද වශයෙන් මිලියන 27.5ක් ගෙවා ඇත.

මේ තොරතුරු විමර්ශනවලදී එළිදරව් වූ ඒවාය. ඒවා නිසැකවම ඇත්තදැයි දැන ගැනීමට තිබුණේ නඩුව ඉස්සරහට ගියා නම්ය. එහෙත්, නඩුව අවසන් විය. මහජන මුදල් වංචාව එහෙමම ඉතිරි විය. ඊට වගඋත්තරකරුවන් කවුදැයි දැනගැනීමට මහජනතාවට තිබුණු අවස්ථාවද අහිමි විය.■