තවත් වටයකින් ව්‍යාප්ත වී තිබෙන බව පෙනෙන කෝවිඞ් 19 වසංගතයට මුහුණ දීමේ ක්‍රියාවලිය, ආණ්ඩුවත්, ආණ්ඩුවේ හා පෞද්ගලික ජනමාධ්‍යත් දෙස බලන විට නම්, සතුරු ආක්‍රමණයක් ම යැයි සිතෙන තරමට හමුදා මෙහෙයුම්, බුද්ධි අංශ, අත්අඩංගුවට ගැනීම්, හමුදාපතිගේ නිවේදන ආදියෙන් පිරිලා ය.

 

ඒ දෙස බලාගෙන සිටින විට පෙනෙන්නේ, කිසිවකුට කෝවිඞ් 19 වැළඳීම වූකලි, දේහද්‍රෝහී, රාජද්‍රෝහී, සතුරු ක්‍රියාවක් ලෙස රජයත්, ජනමාධ්‍යත් සලකන බව ය.

 

කිසිවකුට රෝග වැළඳෙන්නේ කැමැත්තෙන් නොවේ. එක්කෝ නොසැලකිල්ලෙන්, අහම්බයෙන් හෝ ඒ කිසිදු හේතුවක් වුව ද නොමැති ව විය හැකි ය. එහෙත්, එවැනි රෝගියකු ගැන දැනගන්නට ලැබුණු විට, ආරක්‍ෂක අංශ මෙහෙයුම් දියත් කරන්නේත්, බුද්ධි අංශ ක්‍රියාන්විතයන් කරන්නේත්, ජනමාධ්‍ය ඒවා වාර්තා කරන්නේත්, රට එක ම යුද පිටියක් බවට රූපාන්තරණය කරවමිනි. රෝගියකුට, ඔවුන්ගේ පවුලේ අයට, අසල්වැසියනට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු පෞද්ගලිකත්වයේ අයිතියවත් මේ කිසිවකු විසින් රකින බව පෙනෙන්නේ නැත.

 

එහි ඛේදය මෙයයි. පසුගිය මාර්තු අප්‍රේල් මාසවලදී, කෝවිඞ් 19 වසංගතය මුල් වරට රට වෙලා ගත් විට, වගකිවයුතු අංශ මෙන් ම ජනමාධ්‍ය ද කටයුතු කළ ආකාරය ගැන විවිධ විචාර, විවේචන හා මඟ පෙන්වීම් සිදුවිය. එවැනි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණේ පළමුවැනි වරට නිසා ඒ මොහොතේ තිබුණු අසංවිධානාත්මක තත්වය මත යම් යම් වැරදි සියලු පාර්ශ්වයන්ගෙන් සිදුවීම ද බලාපොරොත්තු විය හැකි දෙයකි.

 

එහෙත්, ඒ අත්දැකීමෙන් මාස තුනකටත් පසු කාලයක දී නැවතත් ඒ තත්වය ම උදා වන විට, අප හැසිරෙන්නේ, පරණ පුරුදු වැරදි විදියට ම නම්, එයින් කියන්නේ අනෙක් හැම අවස්ථාවක දී ම මෙන්, මෙවැනි වසංගතයක් දී වුව ද අප අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා සමාජයක් නොවන බව ය.

 

එසේ ඉගෙන ගෙන තිබුණා නම්, වසංගතයට මුහුණ දීම, හුදෙක් හමුදා ක්‍රියාන්විතයක් බවට අද ද පත්වන්නේ නැත. එය හමුදා ක්‍රියාන්විතයක් ලෙස ගෙන, හමුදාව උත්කර්ෂයට නංවමින් ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීම ද අද සිදු වන්නේ නැත. ජනමාධ්‍ය ආචාර ධර්ම සියල්ල තූ තූ කොට, රෝගීන්ගේ සකලවිධ පෞද්ගලික සීමා, බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින්, කැමරා හා මයික්‍රපෝන උස්සාගෙන නිවෙස් තුළට කඩා වදින, රෝහලෙන් හෝ වැඩපළෙන් රෝගියා එළියට එන තුරු කැමරා අටවාගෙන මයික්‍රපෝන අටවාගෙන සිටින ජඩ මාධ්‍ය සමාජයක් අද ද පවතින්නේ නැත. 

 

එහි තේරුම කුමක් ද? රාජ්‍ය පාලකයන්ට, සමාජය තුළ පැතිරීමේ අවදානම ඇති වසංගතයක් පවා, තම මිලිටරි බලය ව්‍යාප්ත කිරීමේත්, තහවුරු කිරීමේත් මාර්ගයක් වන බව ය. පළමු රෝග ව්‍යාප්ති සමයෙන් අප පාඩම් ඉගෙන ගෙන තිබුණා නම්, මේ අවස්ථාව වන විට, සකලවිධ රෝග මර්දන ක්‍රියාවලිය භාර වීමට නියමිත ව තිබුණේ සොඛ්‍ය අංශවලට ය. එහෙත් එසේ විය හැක්කේ රාජ්‍ය සේවය, සෞඛ්‍ය සේවය ගැන විශ්වාසය තබන නායකයන් සිටින රටක ය. හමුදාව ගැන විශ්වාසය තබන නායකයන් සිටින රටක දී තවත් අවුරුදු කිහිපයකින් තවත් කෝවිඞ් රැල්ලක් ආවත්, මෙහෙයුම හමුදා මෙහෙයුමක් මිස අනෙකක් නොවනු  ඇත.

 

සියල්ලටමත් වඩා, ජනමාධ්‍ය හැසිරෙන නින්දා සහගත ආකාරය, සැලකිල්ලට ගත යුතු ය. පළමු අභියෝගය අවස්ථාවේ ජනමාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නැගුණු විවේචන ගැන ලේශමාත්‍රයක හෝ අවධානයක්, පහළ මට්ටමේ ප්‍රාදේශීය හෝ මාණ්ඩලික නොවන ජනමාධ්‍යවේදීන් අතින් නොව, සංස්කාරක මට්ටම්වල අයගේ අතින් යොමු වුණා නම්, මෙවැනි තත්වයක් ඇති වන්නේ නැත. කිසිවකුට ආචාර ධර්මීය මාධ්‍ය හැසිරීමක වැදගත්කමක් පෙනෙන්නේ නැත. ඒ වෙනුවට, සිය රේටිංග්ස් වැඩි කර ගැනීමට, මහජනතාවගේ රෝග තත්වයක් වුව ද, ඔවුන්ගේ පෞද්ගලිකත්වය වුව ද, භයානක වසංගතයක් වුව ද, රිසි සේ ආයෝජනය කරන්නට අපේ මාධ්‍ය සූදානම් ය.

 

ඒ සඳහා ඔවුන් ‘අවශ්‍යතාව’ සකසා ගන්නේ ‘මහජන සුබසිද්ධිය’ යන්න ඔළුවෙන් සිටුවා ගැනීමෙනි.■