කුඩා කාඞ්බෝඞ් සුබපැතුම් පතේ සිට රක්ෂණාවරණය දක්වා වාණිජකරණය වූ ප්‍රේමයක් තුළ සැබෑ ප්‍රේමය සොයාගෙන යාම Amour හරහා විශද කෙරෙන්නෙකි. සුප්‍රකට ඔස්ටි්‍රයානු ජාතික මිෂෙල් හනෙකර් අධ්‍යක්ෂණය කළ අමෝර් 2013 කාන්ස් සිනමා උළෙලේ දී පාම් දියෝර් සම්මානයට පාත්‍ර විය.
ආතර් රිම්බෝඞ්ගේ සුප්‍රකට “ප්‍රේමය යළි නිපදවිය යුතු වේ” යන වාක්‍යාංශය යථාර්ථයක් බවට පත්කිරීමට මෙම සිනමාපටය සමත්වෙයි. මෙහිදී පරමාදර්ශ නොමැති ලෝකයක ප්‍රේමය පිළිබඳ පරමාදර්ශයක් චිත්‍රණය කිරීමට අධ්‍යක්ෂවරයා වෙහෙස දරා ඇත.
ප්‍රංශයේ පැරිස් නගරයේ ජීවත්වන ඉහළ මධ්‍යම පන්තික වයෝවෘද්ධ බිරිඳක හා සැමියෙකු අතර කථාව ගෙතෙයි. මෙම දෙපළ වයස අවුරුදු 70 ඉක්මවා ඇති බවක් ඔවුන්ගේ බාහිර රූපකාය නිරූපණය කරයි. ඔවුන්ගේ දරුවෝ විවාහ වී ඔවුන්ගෙන් ඈත්ව සිටිති. ඉහළ මධ්‍යම පන්තික සාමාන්‍ය ජීවිතයක් ගෙවන දෙපළ යම් සංස්කෘතිකවත් ජීවිතයක් ගතකරති. එහිදී ඔවුහු නගරයේ නාට්‍ය ශාලාවලින් නාට්‍ය නරඹති, නිවෙස තුළ පියානෝ වාදනය කරති. පොතපත කියවීමේ පුරුද්දක් ඔවුන් සතුය. මෙලෙස දෛනික දින චර්යාව ක්‍රියාත්මක වෙමින් පැවති යම් මොහොතක මෙම කාන්තාව රෝගාතුර වෙයි. රෝගාතුර වූ ඇය යළි සිය හුදෙකලා මහල් නිවස වෙත පැමිණෙන්නේ රෝද පුටුවකිනි. ඇයට අංශභාග රෝගය වැළඳී ඇත.
එතැන් පටන් ඇය කවාපොවා පිරිසිදු කොට ව්‍යායාම කර ඇගේ ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයකට පත්කරවා ගැනීමට ඔහු වෙහෙස දරයි. එලෙස දෛනික රාජකාරිය එයව පවතින මොහොතක සිය ශරීර වේදනාවන් හා අපහසුතා ඉවසාගත නොහැකි තැන ඇගේ අවසාන ඉල්ලීම වන්නේ තමා ඝාතනය කරන ලෙසයි.
මෙකී ගැටුම් ලක්ෂ්‍යයකින් අනතුරුව, දෛනික වැඩ රාජකාරිය ලෙස තම බිරිඳ රැකබලා ගැනීම කළ වයෝවෘද්ධ ස්වාමියා යථාර්ථය හා සමාජ යථාර්ථය අතර ඝට්ටනයක් ඇති කරගනී. මනෝ විශ්ලේෂණාත්මකව නම් එය සුපිරි අහම සහ යථාර්ථය අතර ඝට්ටනයයි. සමාජ සම්මත ආදරය සේ දකින්නේ කුමක් ද? රාමුගත කරන ලද යුතුකම් හා වගකීම් ගොන්නක් සහ ආචාරධර්ම පද්ධතියකින් සම්බන්ධිත සම්බන්ධතාවකි. ඒ හැර සමාජ සම්මත විවාහ දිවියක් හෝ ආදරයක් හෝ කළ නොහැක.
සාංදෘෂ්ටිකවාදී දාර්ශනික සොරේන් කියකිගාර්ඞ්ට අනුව ලිංගික සම්බන්ධතාවක් යනු හුදු ආත්මාර්ථකාමී ක්‍රියාවක් ය. එය තමා විසින් තෘප්ත කර ගැනීමකට එහා ගියෙකක් නොමැත. අනෙකාගේ සිරුර වෙත තෙරපෙමින් ලබන්නේ ස්වයං තෘප්තියක් මිස ප්‍රේමයක් නොවේ. එම තෘප්තිය කෙරේ ප්‍රවේශ වීම උදෙසා යොදාගන්නා මාර්ගය පමණක් ප්‍රේමය වෙයි.
අමොර් තුළ මෙකී ආත්මාර්ථය නැත. ඇත්තේ ප්‍රේමය පමණයි. එය සමාජ යථාර්ථය හා බැඳි ප්‍රේමයක් නොව යථාර්ථවාදී අභිමුඛවීමකි. එහිදී අනෙකාගේ සතුට ප්‍රේමය ලෙසින් පවතින්නේ ය. පෙර කී එක්තරා ලක්ෂ්‍යකින් අනතුරුව ඔහු ද කල්පනා කරන්නේ ප්‍රේමය ද? සමාජ යථාර්ථය ද? යන්න ඔහු තුළ ප්‍රශ්නයකි.
පශ්චාත් නූතන මානව ලෝකයක පවතින්නේ සාරය අහිමි වූ ජීවිත පමණි. ධනවාදී අර්ථක්‍රමයේ ආර්ථික රැහැනින් එකිනෙකා බැඳීසිටිති. එහිදී සමලිංගික හෝ විෂමලිංගික වශයෙන් වන අවම නග්න ගනුදෙනුවේ පටන් ඉහළට මෙය විහිදී ගොස් ය. ඇත්තේ ගනුදෙනු මිස සම්බන්ධතා නොවේ. සම්බන්ධතා ලෙස ගොඩනැගෙන්නා වූ මෙකී තත්වයන් ද අවසන නීතියේ හෝ ආචාරධර්මයේ රැහැනින් බැඳී පවතී.
මෙලෙස රාමුගත ලෝකයක ඊනියා නිදහස අහිමිය. අමෝර් තුළ වන්නේ එකී ඊනියා සමාජ පැවැත්මට අභියෝග කිරීමකි. ආදරය යනු අනෙකාගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් මිස අන් කුමක් ද යන්න අමෝර් තුළින් ප්‍රශ්න කෙරෙයි. එලෙසම මෙය සොරේන් කියකිගාර්ඞ් විසින් පෙන්වා දෙන සාංදෘෂ්ටිකත්වය තුළ එන සෞන්දර්යාත්මක ආචාරධාර්මික හා ආගමික යන තලයන් ඉක්මවා යාමකි.
මෙලෙස ප්‍රේමය තුළ වන පරාර්ථකාමිත්වය අමෝර් තුළින් මනා කොට ගොඩනංවයි. අවසානයේ දී ඇගේ කැමැත්ත සඳහා සියලු‍ම සමාජ සදාචාරයන් හා සුපිරි අහම සමග කරන ගැටුමෙන් අනතුරුව ඔහු ප්‍රේමය වෙනුවෙන් අවසාන තීරණය ගනී.
මෙහිදී අතිරේක කරුණක් ලෙස අන්ද්‍ර් ගෝර්ස් විසින් රචිත “ලෙටර් ටූ ඩී” කෘතියෙහි අවසානයට අවධානය යොමු කරනු කැමැත්තෙමි. ප්‍රේමයේ අවසානය එහි තම බිරිඳ වන ඩොරින් වෙත මෙසේ ලියන ලදි.
ඔබ නැති ලෝකය පාළුයි, අඳුරුයි..
ඒ සමගම මම සිහිනයෙන් අවදිවෙමි.
මම ඔබේ ආශ්වාස පිරික්සා බලමි…..

කවර හෝ ආශ්චර්යයකින්
අපට නැවත ජීවිතයක්
හිමි වන්නේ නම් එයද අපි
මෙලෙසම එක්ව ගෙවා දමමු.
මෙය බොහෝ වාර ගණනක්
අප අපටම කියාගෙන ඇත….

අවසාන වශයෙන් ප්‍රේමය සැමරීමට ප්‍රථමයෙන්ම අප විසින් කළ යුතු වන්නේ ආතර් රිම්බෝඞ්ගේ වාක්‍යාංශය ප්‍රායෝගිකත්වයට නැගීමයි. එනම්, “ප්‍රේමය යළි නිපදවීම අවැසිව ඇත ” යන්නයි.■

වරුණ සූරියආරච්චි