ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහමැතිවරණයක් හදිසියේ පැවැත්වීමට ඇති ඉඩකඩක් ගැන පවසා තිබුණි. ඒ ප්‍රකාශ මහමැතිවරණයක් පැවැත්වීමේ නිශ්චිත සැලසුමක් නැතිව කළ ඒවා බව පෙනී ගියද මාධ්‍ය ඒ ප්‍රකාශවලට ඉහළ වැදගත්කමක් ලබාදී තිබුණි. මේ මහමැතිවරණයක් පිළිබඳ සාකච්ඡාවත්, මීළඟට සැබැවින්ම අවශ්‍ය වෙන්නේ කුමන මැතිවරණයද යන පිළිබඳවත් ප්‍රධාන පක්ෂ තුනක නියෝජිතයන් දැක්වූ අදහස් ය.

ජනමතවිචාරණයක් ඕන

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස


මේ වන විට පවතින ආණ්ඩුව සම්පූර්ණයෙන්ම 2015 ජනවරම නියෝජනය කරන්නක් නොවෙයි. මේ තත්ත්වයට මූලිකම හේතුව තමයි ජනාධිපතිවරයා කළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව. මෙවන් තත්වයක් තුළ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි ආණ්ඩුවක් පවතිනවා යැයි සිතීම විහිළුවක්. ඒ නිසාවෙන් අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ අතින් මහමැතිවරණයකට යාම වඩාත් සුදුසුයි. එහෙත් මැතිවරණයක් පැවැත්වුවත් ඉදිරිය ඇති වන්නේත් කෙබඳු තත්වයක් දැයි අපට පෙර තියා ප්‍රකාශ කරන්න බැහැ.


මේ වෙද්දී තියෙන්නේ දූෂිත පාර්ලිමේන්තුවක්. ඔවුන් ජනවරමට පිටුපෑවා. කලහකාරී විදියට හැසිරුණා. අර්ජුන් ඇලෝසියස් වැනි අයගෙන් මුදල් ලබා ගත් බවටත් චෝදනා පවතිනවා. ඒ නිසා මෙවන් පාර්ලිමේන්තුවකට ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැහැ.


අනෙක් කාරණය තමයි, පළාත් සභා මැතිවරණය කල් පසු වී මාස 14කට වැඩියි. මුලින් පළාත් සභා ශක්තිමක් කළ යුතුයි. ඒ නිසා මහ මැතිවරණය අත්‍යවශ්‍ය කාරණාවක්.
මහමැතිවරණයට කලින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකොට ජනමත විචාරණයකට යෑම අත්‍යවශ්‍ය කාරණාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ මතයයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන්න දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ නිසා තවත් ජනාධිපතිවරණයක් එපා කියලා අපි පැහැදිලිවම කියනවා. මේ පවතින තත්වය මත ජනාධිපතිවරයා විසින් කුමන ලෙසකින් ජනාධිපතිවරණයක් කැඳවාවිද යන්න පිළිබඳ අපට බලාපොරොත්තුවක් නෑ. ඒ කෙසේ නමුත් රටට අත්‍යවශ්‍ය වන්නේ ස්ථාවර මධ්‍යම ආණ්ඩුවක්. ඒ සඳහා ජනවරමක් ලබා ගැනීමට මෙය උචිතම කාලය බව ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරනවා.

ඒක ජනවරමට කරන නිගාවක්


එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල


අයවැය යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන මොහොතක අපට කොයි ලෙසකින් හෝ මහ මැතිවරණයක් පිළිබඳව කතා කරන්න බැහැනේ. මේ ආණ්ඩුව තවමත් වසර 4 හමාරක් සම්පූර්ණ කරලාත් නැහැ. ව්‍යවස්ථානුකූලව වසර ඊට කලින් මහ මැතිවරණයක් පැවැත්වීම කළ නොහැක්කක්. ජනතාව ජනවරමක් දෙන්නේ යම් කාලසීමාවකට. ඊට කලින් පාර්ලිමේන්තුව විසුරුවීම ජනවරමට කරන නිගාවක්. අප කළ යුත්තේ ඉදිරි කාලය තුළදී රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර කර ගැනීමයි.
ඒ සඳහා තමයි අයවැය ඉදිරිපත් කළේ. අයවැය ආණ්ඩුව අනිවාර්යයයෙන්ම ජයග්‍රහණය කරනවා.
කොහොම වුණත් අපේ පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේත් ඇතැම් අය කියනවා ඔක්තෝබර් 26 ජනපතිවරයා කළ පාවාදීමට ශක්තිමත් ලෙස මුහුණදීම සමග ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට මහ මැතිවරණයකට යා යුතු බව. නමුත් ඒ යෝජනාව සැලකිල්ලට අරගත්තේ නැහැ.
අනෙක් කාරණය තමයි පළාත් සභා ඡන්දයක් පැවත්වීමේ වුවමනාව. පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව ගැන නිතර කියූ ඒකාබද්ධ විපක්ෂයේ අයම කොට්ඨාස සහ සමානුපතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා වන යෝජනාවලියට විපක්ෂව ඡන්දය දුන්නා. එවන් තත්ත්වයක් තුළ තවදුරටත් ඔවුන් පළාත් සභා මැතිවරණයක් ඉල්ලාවි කියා අපට කියන්න අමාරුයි. කෙසේ නමුත් නියමිත කාලයේදී ජනාධිපතිවරණයක් නම් පැවැත්වේවි. ඒ හැර, මෙවර අයවැය යෝජනාවලිය පරාජය කොට මහ මැතිවරණයක් සදහා ප්‍රවේශ වීමට කිසිදු කෙනෙක් බලාපොරොත්තු වේයැයි හිතන්න බැහැ.

දැන් ජනවරමක් නැහැ


ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා


මේ වන විට රට තුළ ඉතාම දරුණු ආකාරයේ දේශපාලන සහ ආර්ථික කඩා වැටීමක් ඇතිවෙලා. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සතු බලය ඉතා අල්පයි. ජනපති සහ අගමැති අතර පවතින විරසකය දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. මෙවන් තත්ත්වයක් තුළ රට යළි ස්ථාවර කිරීමට හා සමෘද්ධිමත් කිරීමට දේශපාලනික විසඳුමක් කඩිනමින් අත්‍යවශ්‍යයි. ඒ සඳහා වන මූලික පියවර ලෙස අයවැය පරාජයට පත් කිරීමට අප කටයුතු කරනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබාගෙන මහ මැතිවරණයක් පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරනවා.
ආණ්ඩුව මේ වන විට මහජන මතයට පිටුපා අවසන්. මහජනයා ලබා දුන් ජනවරමට සාධාරණය ඉටු කරන්න මේ ආණ්ඩුව දිගින් දිගටම අසමත්. ජනාධිපතිතුමා ගත් නිවැරදි තීන්දු තීරණ සම්බන්ධයෙන් මේ අයට තියෙන්නේ විවේචනයක්. අයථා ලෙස බලය පාවිච්චි කළ අයට විරුද්ධව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වීම නිසාවෙන් ඔවුන් ජනාධිපතිවරයාට සතුරුකම් කරනවා. මෙහෙම ගියොත් අවුරුදු හතරහමාරක් ගත වෙන්න කලින් රට යළි විනාශ මුඛයට ගමන් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ විසින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ වැහැරී ගිය දේශපාලනය යළි ශක්තිමත් කරන්න ගෙනෙන 20 වන සංශෝධනයට ද අප විරුද්ධයි. ඒ නිසා රට යළි ගොඩනැගීමට ඇති එකම මග මහ මැතිවරණයක් තුළින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ලෙස අපට කළ හැකි සෑම මැදිහත්වීමක්ම කරන්න සූදානම්.

වරුණ සූරියආරච්චි