දුහුවිලි බඳුන යනු 1930 දශකයේ ඇමරිකාවේ ප්රාන්ත 10කට පමණ විනාශය හා මරණය ගෙන ආ දරුණු නියඟය හඳුන්වන නමයි. 19 වන ශතවර්ෂය පමණ වන තෙක් මේ දැවැන්ත තැනිතලාව පැවතුණේ තෘණභූමි ලෙසය. නමුත් 18 වන සියවසේ මැද භාගයේ සිට මෙහි මහා පරිමාණයෙන් මිනිස් ජනාවාස බිහිවීමත් ගොවිබිම් ස්ථාපනය කිරීමත් ඇරඹුණි. පළවන ලෝක යුද්ධ සමයේ මෙම දැවැන්ත තැනිතලාව කෘෂිකර්මාන්තයට යට කිරීම වඩාත් උත්සන්න විය.
මෙම ප්රදේශයට කවදත් වැඩි වර්ෂාපතනයක් නොලැබුණි. නමුත් මෙහි පදිංචි ජනතාව මෙන්ම මෙය ජනාවාසකරණයට මග පෑදූ දේශපාලනඥයන් හා එය සාධාරණය කළ පූජකවරුන්ද විශ්වාස කළේ ගොවිතැන නිසා වැස්ස හටගන්නා බවය නමුත් වූයේ අනෙකකි; වැසි ජලය රඳවා ගැනීමට හැකි ලෙස පරිණාමය වූ විශාල තණ පඳුරු විනාශ කොට ඒවායේ කෘෂිබෝග වගා කළ පසු භූමියේ වැසි ජලය රඳවා ගැනීමක් සිදු නොවුණි. භූගත හෝ වැසි ජලය නොමැති වීමෙන් කෘෂි බෝග මියගොස් පස සුළඟට නිරාවරණය වී 1931 සිට අති විශාල දුහුවිලි කුණාටු හටගන්නට විය. මෙම දුහුවිලි කුණාටු හැඳින්වූයේ කළු හිම කුණාටු යනුවෙනි. මෙම කුණාටු කොතරම් දරුණු වීද යත් දින ගණන් ඉන් අහස කළු විය. මෙයින් දුහුවිලි නිව්මෝනියාව නම් රෝගයක් බිහිවූ අතර, ඉන් දහස් ගණනක් ජනතාව මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ. 1934 මැයි 11 වෙනිදා හටගත් දූවිලි කුණාටුව සැතපුම් දෙකක් උස් වූ අතර, එය සැතපුම් 2000ක් ඈතින් පිහිටි නිව්යෝක් හා වොෂින්ටන් නගරවලටද පැතිරී නිදහසේ ප්රතිමාව හා කැපිටෝල් ගොඩනැගිලි සංකීර්ණය වසා ගත් බව වාර්තා වේ. මෙම විනාශය නිසා මිලියන් 2.5ක් පමණ වූ ජනතාවක් තම ගම්බිම් අතහැර වෙනත් ප්රදේශවලට සංක්රමණය වූහ.
ධනවාදයේ මුදුන් මල්කඩ වූ ඇමරිකා එක්සත් ජනපදයේ වූ මෙම පරිසර විනාශය ධනේශ්වර ක්රමය විසින් මිනිසා හා පරිසරය අතරැති පරිවෘත්තීය සබඳතාව කඩා දැමීම පිළිබඳව කාල් මාක්ස් (හා ෆ්රෙඩ්රික් එංගල්ස්) ලියු දෑ සනාථ කරන්නක් විය. ධනේශ්වර කෘෂි කර්මාන්තය කම්කරුවාගේ ශ්රමය පමණක් නොව පසේ ශක්යතාවන්ද සූරාගන්නා බව මාක්ස් ප්රාග්ධනය කෘතියේ පළමුවන වෙළුමේ සඳහන් කළේය. පසේ කෙටිකාලීන සාරවත් බව වැඩි කිරීම සඳහා යොදාගන්නා උපක්රම නිසා පසේ දීර්ඝකාලීන ජනක ශක්තිය වැනසෙන බවත් මාක්ස් සඳහන් කළේය. පෘථිවිය අපේ එකම නිවහන බවත් අපේ පැවැත්මේ පළමු කොන්දේසිය බවත් ධනේශ්වර නිෂ්පාදන ක්රමය තුළින් මෙම මහා පොළවත් එහි වසන මිනිසාත් අනතුරට ලක්කරවන බවත් එංගල්ස් Outline to a critique of Political Economy ග්රන්ථයේ සඳහන් කළේය.
ධනේශ්වර නිෂ්පාදන ක්රමය තුළින් සිදුවන පරිසර හානියට විසඳුම සමාජවාදය යැයි බොහෝ සමාජවාදීහු අවංකවම විශ්වාස කළහ. නමුත් සැබැවින්ම පැවති සමාජවාදය යටතේ වූයේ මෙහි විලෝමයයි. සෝවියට් හා චීන සමාජවාදය තුළින් වූ පරිසර විනාශය ධනේශ්වර රටවල සිදුවූ පරිසර විනාශයට කිසිසේත්ම නොදෙවෙනි නොවේ. එරල් මුහුදට සමාජවාදය යටතේ වූ විනාශය මෙයට හොඳම උදාහරණයකි.
එරල් මුහුද යනු ලොව සිව්වන විශාලතම විලයි. සෝවියට් දේශයේ ආසියානු කලාපයේ කසකස්ථානය හා උස්බෙකිස්ථානය අතර පිහිටි මෙම ලවණ ජලාශය ලංකාවට වඩා විශාල විය (වර්ග සැතපුම් 26255). මෙම ජලාශය පෝෂිත කළ ගංගාවන් අසල පිහිටි උස්බෙකිස්ථාන් කාන්තාරයක් දැවැන්ත කපු වගාබිමක් බවට පත්කිරීමට යොදාගැනිණි. අමු ඩාරියා ගඟ හා සියර් ඩාරියා ගඟ හා ඒවායේ අතු ගංගාවල ජලය අතිබහුතරයක් කෘෂිකර්මාන්තය හා අනෙකුත් මානව ක්රියාකාරකම් වෙනුවෙන් යොදාගැනීම නිසා 1980 වන විට එරල් මුහුද සිඳී යන්නට විය. 1991දී සෝවියට් රජය එරල් මුහුදු කලාපය ආපදා කලාපයක් ලෙස නම් කළද ඒ වන විට විනාශය සිදුවී හමාරය. එරල් මුහුද සිඳී යාම පෘථිවියේ සිදුවූ විශාලතම පරිසර හානියක් බව එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා වූ බෑන් කී මූන් මහතා ප්රකාශ කළේය.
ඇමරිකාවේ දුහුවිලි බඳුන් විනාශය හා සෝවියට් දේශයේ එරල් මුහුදේ විනාශය තුළින් පෙනීයන්නේ පරිසරය හා ජනජීවිතය අතරැති සබඳතාව තේරුම් නොගැනීම හා ඊට අනුකූලව කටයුතු නොකිරීම, ධනවාදයේ මෙන්ම සමාජවාදයේත් පොදු දුර්වලකමක් බවයි. අද අප මුහුණ දෙන ගෝලීය දේශගුණ විපර්යාසයට මෙම රටවල් දෙකේ ක්රියාකාරකම් තීරණාත්මක බලපෑමක් කළ බව අවිවාදිතය. දිට්වා සුළි කුණාටුවෙන් වූ හානිය නිවැරදි කිරීමේදී මේ අතීතයට අවධානය යොමු කිරීම අත්යවශ්යය. එසේ නොකළහොත් වනු ඇත්තේ මෙවර වූ හානියට වඩා විශාල විනාශයකට පාර කැපීමයි.
හෝටලය සහ පන්සල
මිථ්යාවට මුහුණු බොහෝය. දේශගුණික විපර්යාසය විද්යාත්මක හා මහ පොළවේ යථාර්ථයක් වුවද එය තවමත් නොපිළිගන්නවුන්ද බොහෝය. වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා මේ අතරින් ප්රධානය.
මේ මිථ්යාවේ එක් මුහුණකි. මානව ක්රියාකාරකම් නිසා වන කාලගුණ විපර්යාසයන් දෙවියන්ගේ ගිණුමට බැර කිරීම මිථ්යාවේ තවත් මුහුණකි. 2005 කැට්රිනා සුළි කුණාටුව ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරයට දැවැන්ත විනාශයක් සිදු කළේය. ෆ්රෑන්ක්ලින් ග්රැහැම් වැනි කිතුනු ආගමික නායකයන් පමණක් නොව නිව් ඕර්ලියන්ස් නගරයේ පුරපතිවරයාද මෙම විනාශය දේව කෝපයක් ලෙස හැඳින්වීය.
මෙවැනිම මිථ්යාවන් දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන්ද ජනගත කිරීමට ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ කරන බව මාධ්ය හා අන්තර්ජාල වාර්තාවලින් පෙනීයයි. දෙවියන් වහන්සේගේ කෝපය නිසා නගර ගම්බිමි විනාශවනවා යැයි බයිබලයේ දැක්වෙන බැවින් වත්මන් දේශගුණ විපර්යසය හා එහි ප්රතිවිපාකයන් දේව කෝපයක ප්රතිඵලයකැයි ඇතැම් කිතුනුවන් විශ්වාස කිරීම තේරුම් ගත හැක. නමුත් දේව කෝපයන් නිසා ගම්බිම් වැනසෙන බව මුල් බුදු දහමේ නොකියවේ. දිට්වා විනාශයට හේතුව ත්රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීමය වැනි මෝඩ මිථ්යාවන් ජනගත කිරීමට ඇතැම් භික්ෂූන් උත්සාහ දරනුයේ නොදැනුවත්කම නිසාද, තමන්ගේ වෙනයම් උවමනාවක්, ව්යාපෘතියක් වෙනුවෙන්ද යන්න අවිනිශ්චිතය.
කැරිබියන් ප්රදේශයට සුළි කුණාටු එන වාරයක් තිබේ. එනම් ජුනි 1 සිට නොවැම්බර් 30 දක්වාය. නමුත් දැන් මේ වාරයෙන් පිට සුළි කූණාටු හටගැනීම ඉහළ යමින් ඇති අතර සුළි කුණාටුවල දරුණු බවද වැඩිවෙමින් තිබේ. මේ සුපිරි සුළි කුණාටුවලින් වූ හානිය කැරිබියන් රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% සිට 100% දක්වා වූ බව ගණන් බලා ඇත. දේශගුණික විපර්යාසයන් නිසා සමුද්රික උෂ්ණත්වය ඉහළ යාම මෙම ආපදාවට මූලිකම හේතුව බව ඇමරිකාවේ යේල් සරසවියේ පාරිසරික සන්නිවේදන කේන්ද්රය නිකුත් කරන Yale Climate Connections ප්රකාශනය සඳහන් කරයි.
අප මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවද දේශගුණික විපර්යාසයේ ඍජු ප්රතිඵලයකි. සෙන්යා හා දිට්වා වැනි සුළි කුණාටු අසාමාන්ය බව විද්යාත්මක මතයයි. කාලගුණ විද්යාඥයන්ගේ එකමුතුවක් වන World Weather Attribution ආයතනය ප්රකාශ කර ඇත්තේ අසාමාන්ය වර්ෂාපතනයක් මින් ඉදිරියට ලංකාවට සාමාන්යයක් විය හැකි බවයි. ඉන්දීය සාගරයේ උෂ්ණත්වය 1991-2000 සාමාන්යයට වඩා සෙන්ටිග්රේඩ් 0.2කින් ඉහළ ගොස් ඇති බවත් නිවර්තන සුළි කුණාටු හටගැනීමට හා වර්ධනය වීමට අවශ්ය බලය මෙතුළින් නිර්මාණය වන බවත් මෙම ආයතනයේ මතයයි.
ගෝලීය දේශගුණික විපර්යාස අපට පාලනය කළ නොහැක. නමුත් ඉන් වන හානිය අවම කිරීමේ හැකියාව තවමත් ආණ්ඩුවට, රජයට හා සමාජයට තිබේ. ප්රශ්නය නම්, ඒ සඳහා අවශ්ය දේශපාලන අධිෂ්ඨානය වත්මන් පාලනයට තිබෙනවාද යන්නය.
මීට එක් ප්රධාන හේතුවක් නම් පරිසරය හා මිනිස් පැවැත්ම අතරැති සබඳතාව තේරුම් ගැනීමට ආණ්ඩුවේ ඇතැම් නායකයන්ට ඇති නොහැකියාවයි. නකල්ස් රක්ෂිතය හරහා වැටී ඇති පැරණි ගුරු පාරක් මීමුරේට යාම සඳහා විවෘත කිරීමට ලාල් කාන්ත ඇමතිවරයා කළ ප්රකාශය මෙම නොහැකියාවට හොඳම උදාහරණයකි. ඇමතිවරයා කළේ, ලෝක උරුමය රකිනවාට වඩා මිනිස් ජීවිත රැකීම වැදගත් වැනි කතාවකි. නමුත් නකල්ස් රක්ෂිතය තුළ මිනිස් ක්රියාකාරකම්වලට නිල වශයෙන් fදාර විවර කිරීම යනු අනාගත ජීවිත හා දේපළ විනාශයන්ට තුඩු දෙන නායයාම් වැනි පරිසර ව්යසනයන්ට පාර කැපීමකි. (වාසනාවකට මෙම මාර්ග ව්යාපෘතියට ඉඩ නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.)
දිට්වාවලින් වූ දැවැන්ත හානියට එක් හේතුවක් නම් කඳු මුදුන් හා බෑවුම්වල කිසිදු සැලසුමකින් හෝ පාරිසරික අධ්යයනයකින් තොරව සිදුවන මිනිස් ක්රියාකාරකම්ය. මිනිස් ක්රියාකාරකම්වලින් යම් මට්ටමකට හෝ තවමත් ආරක්ෂිතව සිටින සංවේදී පරිසර කලාපයක් අනාරක්ෂිත කිරීම දිට්වා තුළින් නිර්මාණය කළ අර්බුදයට පිළිතුරක් යැයි ජ්යෙෂ්ඨ ඇමතිවරයෙක් (හා ජ්යෙෂ්ඨ ජවිපෙ/ජාජබ නායකයෙක්) ප්රසිද්ධියේ යෝජනා කිරීම තුළින් පෙනීයන්නේ පශ්චාත්-දිට්වා අර්බුදයේ හේතු පිළිබඳව ආණ්ඩුවේ ඇතැම් නායකයන් තුළ ඇති නොදැනුවත්කම නොවේද?
(මාක්ස්ගේ වචනවලින්ම කියනවා නම්) පරිසරය හා මිනිසා අතරැති පරිවෘත්තීය සබඳතාව යම් මට්ටමකට හෝ පිළිසකර කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඇති බව ඔහුගේ කතාවලින් පෙනේ. නමුත් සමාජයේ බලගතු ස්තරයන්ගෙන් වන තෙරපීමට මුහුණ දීමට තරම් ශක්තියක් ඔහුට තිබෙනවාද යන්න සැකසහිතය. විවිධ රාජ්ය නිලධාරීන් සමග පැවැති සාකච්ඡා මාලාවේදී ඔහු පුන පුනා කීවේ අවදානම් කලාපවල යළිත් හෝ අලුතින් නිවාස ඉදිකිරීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවය. මෙය නිවැරදි පිළිවෙතකි. නමුත් අවදානම් කලාපවල ඇත්තේ ලොකු-කුඩා නිවාස පමණක් නොවේ. ව්යාපාරික ස්ථාන (විශේෂයෙන්ම සංචාරක හෝටල් හා නිකේතන) හා ආගමික ගොඩනැගිලිද මේ අවදානම් කලාපවල පවතින බව ඔහු නොදන්නවා විය නොහැක. කිසිදු සැලැස්මකින් හෝ නිසි පාරිසරික අධ්යයනයකින් තොරව සංචාරක හෝටල් ඉදිකිරීමට පැවතුණ ආණ්ඩුවලින් මෙන්ම මේ ආණ්ඩුවෙන්ද කිසිදු බාධකයක් නොවූ බව අවිවාදිතය. සංචාරක කර්මාන්තයේ හා ආර්ථිකයේ නාමයෙන් සිදුකෙරෙන මෙම ක්රියාකාරකම් නිසා වන විනාශය පිළිබඳව දැන්වත් විවෘත කතිකාවක් නොකළහොත් දිට්වා විනාශය අනාගත ව්යසනයන්ට පෙරහුරුවක් වනු ඇත.
හෝටල් තරමටම බරපතළ ප්රශ්නයක් නම් පන්සල්ය. පවතින වාතාවරණය අනුව අවදානම් කලාපවල පන්සල් ඉදිකිරීම (හා රක්ෂිත වනාන්තරවල ආරණ්ය සේනාසන ඉදිකිරීම) හෝටල් හෝ ගෙවල් ඉදිකරනවාටද වඩා පහසුය. විශේෂයෙන්ම විශාල පන්සල් ව්යාපෘතිවලට විද්යාත්මක නිරීක්ෂණ හරස් වුවහොත් බෞද්ධ විරෝධී හෝ බටහිර /කිතුනු කුමන්ත්රණයකැයි හඬනැගීම අපේක්ෂා කළ හැක. එබැවින් මෙවැනි අනාගත අවදානම් සම්බන්ධයෙන් නිරීක්ෂණ කරන රාජ්ය ආයතන පවා අවදානම් කලාපවල පන්සල් ඉදිකිරීමට විරුද්ධ නොවුණහොත් එය පුදුමයක් නොවේ. මන්ද භික්ෂූන් ඔවුන්ට එරෙහිව වාග් අවි අමෝරන විට ඔවුන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව හෝ විපක්ෂය නොඑන බැවිනි.
දිට්වා සුළි කුණාටුව නිසා ශ්රී පාද කන්දට යම් බලපෑමක් ඇතිවූ බව නොරහසකි. මේ නායයාම අධීක්ෂණය කොට ඒ කොටසෙන් සිරිපා වන්දනාවට ඉඩ දීමට ප්රථම ඉටු කළ යුතු කොන්දේසි 5ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (එන්බීආර්ඕ) ඉදිරිපත් කළ බවද නොරහසකි. මේ වන විට ඒ නායයාමට ලක්වූ ප්රදේශයෙන් මහගිරි දඹ හරහා සිරිපා වන්දනාවට යාමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. නමුත් ඊට පෙර එන්බීආර්ඕ ආයතනය ශ්රීපාද කන්දේත් එහි යන බැතිමතුන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කළාද යන්න වාර්තා වී නොමැත.
පියගැට පෙළ දෙපස අවම මිමී 300ක උස පැති බැමි, නායයාමට ආරම්භ වූ කොටසේ වියනක් මෙන් රැඳී ඇති සියලු ශාක කොටස්, පඳුරු හා පස් ප්රවේශමෙන් ඉවත් කිරීම වැනි කොන්දේසි දින කිහිපයකින් ඉටු කළ නොහැකි බැවින් එන්බීආර්ඕ නිරීක්ෂණයන් නොතකා සිරිපා වන්දනාවට අවසර දී ඇතැයි අනුමාන කළ හැක. ප්රඥාව අන්ධ භක්තියටත්, විද්යාව අවිද්යාවටත් යටවී ඇත.
එන්බීආර්ඕ ආයතනය හා අනෙකුත් විශේෂඥයන්ගේ නිරීක්ෂණ හා අනතුරු හැඟවීම ලාභයේ, වාසියේ හෝ විශ්වාසයේ නාමයෙන් නොසලකා හැරීමේ ආදිනව දිට්වා සුළි කුණාටුවෙන් වත් අපට නොවැටහුණා නම් අනාගතය සැබැවින්ම අඳුරුය.
ලාභය හා භක්තිය වෙනුවෙන් නීතිය නැවේද?
ජාජබ/ජවිපෙ 2024 ඡන්ද දෙකම ජයගත්තේ තම ප්රතිමල්ලවයන්ට වෙනස් වූ සත්යය, සාධාරණත්වය, සදාචාරය හා නීතියේ පාලනය මත පදනම් වූ ආණ්ඩුවක් ගොඩනගනවා යැයි පොරොන්දු වෙමිනි.
නව ආණ්ඩුව කතානායක ධුරයට පත්කළ ආචාර්ය අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳව ප්රශ්නයක් මතුවූයේ දින කිහිපයක් තුළය. තමන්ට ආචාර්ය උපාධියක් ඇති බවත්, උපාධි සහතිකය ජපානයෙන් ලබාගැනීමට කාලයක් ගතවන බවත් රංවල මහතා කියා සිටියේය. රංවල මහතාට කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ආණ්ඩුව කළ බලපෑම නිසා උපාධි කතාව යටපත් විය.
ඒ වසරකට පෙරය. රංවල මහතා තවමත් උපාධි සහතිකය ජපානයෙන් පැමිණෙන තුරු බලාසිටී. ඔහුට ආචාර්ය උපාධියක් නැති බව ඔහුට නාමයෝජනා දීමේදී හෝ ඔහුව කතානායක ධුරයට පත්කිරීමේදී ආණ්ඩුවේ නායකයන් නොදැන සිටියා අවිවාදිතය. නමුත් ඔවුන් ඒ බව දැන් දැනගත යුතුය. කළ යුතුව තිබුණේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට මාස තුනක් වැනි සාධාරණ කාලයක් දී එසේ නොකළ විට මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඔහුට බලපෑම් කිරීමය. එසේ කළා නම් දෙවන රංවල අර්බුදයට ආණ්ඩුව අසුවන්නේ නැත.
රංවල මහතාගේ රිය අනතුර සිදුවීමේදී නීතිය ක්රියාත්මක වූයේ ඇද-කුද සහිතවය. පොලිසිය ඔහු ක්ෂණිකවම අත්අඩංගුවට ගත්තේ වත් ඔහු බීමත්ව සිටියාදැයි පරීක්ෂා කළේ වත් නැත. රංවල මහතා ගලවා ගැනීමට ඔහුගේ ඇතැම් ඇමති සගයන් දරන උත්සාහයන්ගෙන් හෙළිවනුයේ පොලිසිය රිය අනතුරින් පසු රංවල මහතාට එරෙහිව නිසියාකාරව නීතිය ක්රියාත්මක නොකළේ මන්ද යන්නයි. කතාවෙන් කෙසේ වෙතත් ක්රියාවෙන් නම් වත්මන් පාලනයද (අතීත ආණ්ඩු කළාක් මෙන්ම) තමන්ගේ එවුන් රැකීමට උත්සාහ කරන බව අපට වඩා පොලිසිය දන්නවා නියතය. ඇමති සගයන් සිටින රංවල මහතා වැන්නකුට එරෙහිව නීතිය නියමාකාරයෙන් ක්රියාත්මක කිරීමට පොලිසිය ඉදිරිපත් නොවීම පුදුමයක්ද?
දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීමේදී ආණ්ඩුව කටයුතු කරනුයේ රංවල ක්රමයටද? එනම් නීතිය හා ප්රතිපත්ති ක්රියාත්මක වන්නේ හෝ නොවන්නේ, ඉන් වාසියක් අවාසියක් වන්නාගේ තත්වය, දේශපාලන සබඳතා, ධන බලය හා ගිහි/පැවිදි බව අනුවද?
උදාහරණයක් ලෙස 2025 නොවැම්බර් 9 දා අයිලන්ඩ් පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව නකල්ස් රක්ෂිතය හරහා මාර්ගයක් තැනීම දිට්වා සුළි කුණාටුවෙන් මීමුරේ ගම්මානය හුදෙකලා වීමට පෙර ආරම්භ වූවකි. පරිසරවේදී සජීව චාමිකර මහතාට අනුව සෆාරි ජීප් හිමියන් පිරිසක් නුවර දිස්ත්රික්කයේ ඊඑම් බස්නායක හා ජගත් මනුවර්ණ යන මන්ත්රීවරුන් සමග එකතුව ජීප් සංචාරයන් වෙනුවෙන් වනාන්තරය මැදින් කිලෝමීටර් 8ක කාපට් පාරක් ඉදිකිරීමට අවසර ලබාගෙන ඇත. මෙම යෝජිත මාර්ගයෙන් කොටසක් රක්ෂිත ප්රදේශයක් හරහා වැටුණද මෙම මාර්ගයට 2025 අගෝස්තු 22 අවසර ලැබුණු බවත්, පුවත්පත සඳහන් කරයි. මෙම මාර්ගය ඉදිකිරීම ප්රදේශයේ ව්යාපාරිකයන් හා හෝටල් හිමියන්ගේ උවමනාවට සිදුවන්නක් බව වාර්තාවේ සඳහන් වේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම මාර්ගය ඉදිකිරීම නතර වේද? නැතහොත් ඉදිරියටම යයිද? කඳු මුදුන්වල ඉදිකර ඇති දැවැන්ත පන්සල්වල ආරක්ෂිත/අනාරක්ෂිත බව පරීක්ෂණය කිරීමට එන්බීආර්ඕ ආයතනයට ඉඩ ලැබේද? එසේ පරීක්ෂණය කළද එහි නිගමනයන් ක්රියාත්මක වේද, නැතහොත් හමස් පෙට්ටියට යයිද?
2020 දෙසැම්බර් මස වික්ටෝරියා ජලාශය ආශ්රිත කලාපයේ භූ චලන රාශියක් සිදුවිය. මේ පිළිබඳ අධ්යයනය කිරීමට විශේෂඥ කමිටුවක් පත්කෙරුණු අතර, කමිටුවේ වාර්තාව පරිසර ඇමති මහින්ද අමරවීර මහතාට භාරදුනි. මාධ්ය වාර්තාවලට අනුව මෙම කමිටුවේ එක් නිර්දේශයක් වූයේ වික්ටෝරියා වේල්ලේ තෝරාගත් ස්ථාන 10ක භූ-කම්පනමාන සවිකිරීමයි. අවට නිවාසවල සිදුවන ව්යුහාත්මක වෙනස්කම් දිගින් දිගටම පරීක්ෂාවට ලක්කිරීම තවත් නිර්දේශයකි. මේවා ක්රියාත්මක වූවාද/වන්නේද යන්න අවිනිශ්චිතය. වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්රදේශවල සිදුවන මහා පරිමාණ හුණු ගල් කැඩීමේ කටයුතුවලින්ද අනිටු බලපෑමක් ඇතිවිය හැකි බව භූ විද්යාඥයන් කියා තිබුණි. මෙම හුණුගල් කැඩීම තවමත් සිදුවන්නේද යන්නද සොයා බැලිය යුත්තකි.
මෙවැනි කාරණාවලදී ක්රියාකාරීව මැදිහත්වීමට මුදල් පමණක් නොව දේශපාලන දුරදැක්ම හා අධිෂ්ඨානයද අවශ්යය. මෙහිදී අනෙක් අවශ්යතාව නම් ව්යාපාරිකයන්ගේ, ආගමික නායකයන්ගේ, දේශපාලකයන්ගේ හා පොදුවේ ඡන්දදායකයන්ගේ උවමනා හා ඉල්ලීම්වලට වඩා විද්යාත්මක දැනුමට මුල් තැන දීමය.
නමුත් තවමත් නොවන්නේ එයයි.
දිට්වා නිසා සිරිපාදයේ නායයාමක් වූ බව විශේෂඥ මතය වූ අතර, දෘශ්යමාන සාක්ෂිවලින් එය සනාථ විය. නමුත් ශ්රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් කීවේ නායයාමක් නොවූ බවත් වැසි වතුරට කුණු කන්දක් ගසාගෙන ගිය බවත්ය. ආණ්ඩුව ප්රමුඛතාව දුන්නේ විශේෂඥ මතයට නොව භික්ෂුවකගේ අවිද්යාත්මක ප්රකාශයටය. ශ්රී පාද වන්දනාව පිළිබඳ පිළිවෙත තීරණය වූයේ විද්යාත්මක සාධක අනුව නොව විහාරාධිපති හිමියන්ගේ උවමනාව හා ඉල්ලීම මතය.
දිට්වා සුළි කුණාටුව පිළිබඳ නොවැම්බර් 12 වන දින සිට අනතුරු හැඟවීම් වූ බවටත් ආණ්ඩුව ඒවා නොසලකා සිටි බවටත් වූ කතාව ප්රලාඵයක් බව පැහැදිලිය. නමුත් පශ්චාත් දිට්වා සමයේ දේශපාලනික/ව්යාපාරික/ භික්ෂු උවමනාවන්ට හිස නමා, කළ යුතු දේ නොකළොත් ඊළඟ ව්යසනයේ වගකීම වැටෙනුයේ ආණ්ඩුව මතය.
75 වසරක ශාපයක් පිළිබඳ කියූ කතාවන් බොහෝ දුරට බොරු හෝ අතිශයෝක්තීන්ය. නමුත් ඒ අතර ඇති එක් ඇත්තක් නම්, එතෙක් මෙතක් බලයට පත් සියලු ආණ්ඩු ආර්ථිකය හා ජනජීවිතය පවතිනුයේ පරිසරය තුළය යන සත්යය අමතක කිරීමයි. පරිසරය හා මිනිසා අතරැති පරිවෘත්තීය සබඳතාව කඩා දැමීමට මෙරට සියලු පාලකයන් වගකිව යුතුය.
මෙම සබඳතාව යම් තරමකින් හෝ පිළිසකර කිරීමට ජාජබ/ජවිපෙ පාලනයට දැන් අවස්ථාවක් නිර්මාණය වී ඇත. ඒ ඓතිහාසික අවස්ථාව පැහැර හැරියහොත් ඊළඟට එළඹෙන ව්යසනයේ ප්රථම හා ප්රධානතම වැරදිකරුවා වනු ඇත්තේ අනුර කුමාර දිසානායක ආණ්ඩුවයි.


