No menu items!
26.6 C
Sri Lanka
12 November,2025

ජාජබ මන්ත්‍රීවරුන් 73ක් මාදිවෙල මන්ත්‍රී නිවාස අරගෙන

Must read

නිවාස අලු‍ත්වැඩියාවට මිලියන 18.4ක් ගිහින්
හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් බිල්පත් ගෙවා නැහැ
කොළඹ ගෙයක් තිබියදී හිස්බුල්ලාත් නිවෙසක් අරගෙන

ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කප්පාදු කිරීම හෝ සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම ය.

මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීම, නිල නිවාස භාවිත නොකිරීම ජාතික ජන බලවේගය ජනතාවට ලබා දුන් පොරොන්දු අතර ප්‍රධාන ය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවති පළමු කැබිනට් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබිණි.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ සහ ආරක්ෂක නිලධාරීන් ආදි විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම පිණිස යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරී ඇත.

ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්රීවරුන් 43 දෙනෙකු 2024 වර්ෂයේ නොවැම්බර් 25 වන දා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවා අංශයෙන් නිල නිවාස ඉල්ලු‍ම් කර තිබිණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර 40කට වැඩි දුරින් ජීවත්වන අලු‍තින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට බෙදාගැනීමේ පදනම මත මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දී තිබිණි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවා කාර්යාලයේ එක් ප්‍රධාන නිල නිවසක් මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කර ඇත. මාදිවෙල නිවාස සංකීර්ණය නිවාස ඒකක 120කින් සමන්විත වන අතර, ඒ සෑම එකක්ම වර්ග අඩි 900ක බිම් ප්‍රමාණයකින් සමන්විත වේ. නිදන කාමර තුනක්, පැන්ට්රියක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩක් එම නිවාස සතුය. මීට අමතරව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා පමණක් නුවරඑළියේ කාමර 19කින් යුත් ජෙනරල්ස් හවුස් නමින් හැඳින්වෙන නිවාඩු බංගලාවක් පවත්වාගෙන යනු ලබයි.

මාදිවෙල යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දීම මෙන්ම ජෙනරල්ස් හවුස්හි කාමර වෙන්කිරීම වැනි නේවාසික සේවාවන් සැපයීමට මෙම කාර්යාලය ක්‍රියා කරයි. සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගිතාවෙන් මාදිවෙල නිවාස ඒකකවල සහ ජෙනරල්ස් හවුස්හි අලු‍ත්වැඩියා සහ නඩත්තු කටයුතු සම්බන්ධීකරණය ද එම කාර්යාලය විසින් අධීක්ෂණ කරනු ලබයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මාදිවෙල පිහිටි එක් නිල නිවාසයක් සඳහා මාසික කුලිය වශයෙන් අය කෙරෙන්නේ රුපියල් 2,000ක් වැනි මුදලක් බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස මන්ත්‍රීවරුන් කී දෙනෙකුට ලබා දී ඇති දැයි දැනගැනීම සඳහා අප 2025 වර්ෂයේ අගෝස්තු 27 වන දින පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලු‍ම් පතක් යොමු කළ අතර කාර්යාලයේ තොරතුරු නිලධාරී සහ පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් හංස අබේරත්නගේ අත්සනින් යුතුව 2025 ඔක්තෝබර් 23 වන දින තොරතුරු ලබා දී තිබිණි.

අලු‍ත්වැඩියාවට මිලියන 18

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස වර්තමාන මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර මන්ත්‍රී නිවාස 90ක් පිළිසකර කර අලු‍ත්වැඩියා කළ බවත් එම කටයුතු සඳහා රුපියල් මිලියන 18.4ක මුදලක් වැය වූ බවත් සඳහන් කර ඇත.

මන්ත්‍රී නිවාසවල විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ කවුරුන් දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීයා පවසා ඇත්තේ අදාළ මුදල් ගෙවන්නේ මන්ත්‍රීවරුන් විසින් බවය. තවද පසුගිය රජය සමයේ පදිංචිව සිටි මන්ත්‍රීවරුන්ගේ හිඟ බිල්පත් ගෙවිය යුතුව තිබේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ ජල සහ විදුලි බිල්පත් මාසිකව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගෙවා ඇති බවත් තාක්ෂණික ගැටලු කිහිපයක් විසඳා ගත යුතු බිල්පත් පමණක් හිඟ පවතින බවත්ය.

තාක්ෂණික ගැටලු මොනවාදැයි තොරතුරු නිලධාරියා සඳහන් කර නොමැත. කෙසේ වෙතත් 2025 අගෝස්තු 22 වන දින ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති පරිදි මාදිවෙල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ ලක්ෂ පහළොවකට ආසන්න හිඟ ජල, විදුලි සහ දූරකථන බිල්පත් ප්‍රමාණයක් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය අය කරගෙන නොමැති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

ඒ අතරින් රුපියල් හය ලක්ෂ තිස් හත්දහස් පන්සීය නවයක් වටිනා විදුලි බිල්පත්, රුපියල් පන්ලක්ෂ අනූදහස් අටසිය හැටක් වටිනා ජල බිල්පත් සහ රුපියල් තුන්ලක්ෂ තුන්දහස් හයසීය තිහක් වටිනා දූරකථන බිල්පත් මෙසේ අයකරගෙන නොතිබූ බවට විගණන වාර්තාවේ සඳහන් කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි.

මන්ත්‍රීවරුන් 111ක් නිවාස අරගෙන

නිවාස සංකීර්ණයේ නිවාස 120ක් තිබෙන අතර වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 111 දෙනෙකු මන්ත්‍රී නිවාසවල දැනට පදිංචි වී සිටින බවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කලංසූරිය ප්‍රියන්ත චන්දනගේ අත්සනින් යුතු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තොරතුරු ඉල්ලීම්වලට අනුව ලැබී ඇත.

එම මන්ත්‍රීවරුන් 111 දෙනා අතරින් 73 දෙනෙකුම වර්තමාන ආණ්ඩුව නියෝජනය කරනා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ය. ඒ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, නිවාස සංවර්ධන අමාත්‍ය සුසිල් රණසිංහ, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන ලක්ෂ්මන්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, ධීවර අමාත්ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අය පදිංචි වී ඇත.

2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇති වූ අතර නිල නිවසක් සහ නිල රථයක් රජයෙන් ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍යයේ යන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඇය සයිබර් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබිණි. තමන් ජීවත් වන්නේ මාතර නිවසේ බව හා ගමන් බිමන් යාම සඳහා තමා භාවිත කරන්නේ තම වෛද්‍ය සැමියාගේ මෝටර් රථය වන බවද, පක්ෂ දේශපාලන කටයුතු සඳහා පක්ෂයෙන් ලබා දෙන වාහනයකින් ගියද අනෙකුත් ගමන් බිමන් සඳහා බස් රථය හා දුම්රිය යොදා ගන්නා බවද අමාත්‍යවරිය මාධ්‍ය වෙත පවසා තිබිණි.

මැති ඇමැතිවරුන් සඳහා නිවාස හෝ රථ වාහන ලබාදීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීම හා ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු‍ ක්‍රියාමාර්ග පක්ෂය කරන බැවින් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව සිටින ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයකු නිවාස හෝ නිල වාහන සම්බන්ධයෙන් තමා දන්නා තරමින් කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් සරෝජා සාවිත්‍රී පෝල්රාජ් අරුණ පුවත්පතට පවසා තිබුණි.

නාමල් කරුණාරත්න, නිහාල් ගලප්පත්ති, නජිත් ඉන්දික, හසාරා ප්‍රේමතිලක ඇතුළු ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 73 දෙනෙකුට නිවාස 2025 අගෝස්තු 01 වන දින වන විට ලබා දී ඇති බවත් ඔවුන් නිවෙස්වල පදිංචි වී සිටින බවත් තොරතුරු ඇමුණුමේ සඳහන් කර ඇත.

මීට අමතරව චමින්ද විජේසිරි, රෝහිණි කුමාරි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, දයාසිරි ජයසේකර, දිලීප් වෙදආරච්චි ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 19ක් පදිංචිව සිටින බවත් තොරතුරු ඇමුණුමේ සඳහන් කර ඇත. කාවින්ද ජයවර්ධන ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුටද, යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණි රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාටද නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇත.

හිස්බුල්ලාටත් නිවසක්

විශාල කතාබහකට ලක්වූ ඝානාවේ රත්රං ගනුදෙනුවක් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් එනම් රුපියල් කෝටි 60ක් ඉක්මවන මුදලක් ඝානා ජාතිකයන් 11 දෙනෙකුට ලබා දුන් මොහොමඩ් ලෙබ්බේ අලීම් මොහොමඩ් හිස්බුල්ලා මන්ත්‍රීවරයාද මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ලබා ගෙන ඇත. ඒ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට 2025 ජුනි 20 දින ලබා දුන් ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ ඔහුගේ නිල ලිපිනය ලෙස කොළඹ 08, ලෙක් ඩ්‍රයිව් පාරේ පිහිටා ඇති නිවසකි. ඔහුට කොළඹ නිවසක් තිබේ නම්, මාදිවෙල මන්ත්‍රී නිවාසයෙන් තවත් නිවසක් ලබා ගත්තේ ඇයිදැයි සොයා බැලිය යුතු කාරණයකි.

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකුද පලනි දිගම්බරන්, වේලූසාමී රාධාක්‍රිෂ්ණන් ඇතුළු මන්ත්‍රීවරුන්ද නිවාස ලබා ගෙන ඇත.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි