
“අප ගෙදර ගැන සිත සිතා ළතැවෙමින්
සෑම තැනකදීම
ගෙදරම සිටින විටදී පවා
අපි පිරවිය යුතු හිස් දේවල් පමණි”
ඉන්දියානු කිවිඳියක වන ටිෂානි ඩොෂි කම්පියුටර් ස්ක්රීනයක් ඉදිරිපිට සිට කොරෝනා සමයේ ලියූ කවි කිහිපයක් කියවන්නේ මැන්චෙස්ටර් සාහිත්ය උළෙල වෙනුවෙනි. 2021දී මුද්රිත ‘අ ගෝඩ් ඇට් ද ඩෝ’ කවි එකතුවේ අන්තර්ගත උක්ත කවියේ උපුටාගත් කොටස මා තුළ මහත් ශෝකයක් ඇති කළේය. ඒ ශෝකයට මුල කොහේ සිටියත්, මොනවා ලැබුණත් යම්කිසි ‘හිස්කමකින්’ පීඩා විඳීමේ අවාසනාව විය හැකිය. කවියකින් කියවන්නා ලබන ප්රමෝද මොහොත අයිති වන්නේ කියවන්නාටම අනන්ය ආකාරයටය.
ටිෂානි ඩොෂි ස්වකීය කවිය වාත්තු කරන්නේ වචනවලින්ම පමණක් නොවේ. ඕ, නැටුම් ශිල්පිනියක ලෙස තම කවියට චලනයක් ලබා දෙයි. තවත් විටෙක රූප සත්කාරයක් ලබා දෙයි. තාන වෙනස් කරමින් ඇයම වේදිකාවේ ඒ කවි ගයයි. වචන අතර, රූප අතර හිස්තැන් බොහොමයක් ඇය ඉතිරි කරයි. ඒ හිස් තැන් කියවන්නාට සම්පූර්ණ කිරීම පිණිසය.
ඇගේ ප්රතිවිරෝධය නිතරම අවියක්ව එසැවෙන සැටියකි. “මේ ගොඩක් කවි ලියන්න පාදක වුණේ පුවත්පත්වල පළ වුණ ප්රවෘත්ති කොටස්. එහෙමත් නැත්නම් රූපවාහිනී/ගුවන් විදුලියෙන් ඇහුණු ප්රවෘත්ති. එහෙම මාව කලඹවන දෙයක් ඇහුණාම, කියෙව්වාම මම කරන්නෙ තව ගොඩක් දේවල් ඒ ගැන හොයාගන්න එක. කවිය එන්නෙ ඊට පිටිපස්සෙන්. කොරෝනා කාලෙ ගොඩාක් ලේඛකයෝ ලියන්න බැරිව ලොකු සටනක හිටියා. ඒත් මම නොනවත්වාම ලිව්වා.”
ඈ බොහෝ විට කවියට ආයුධ සොයාගන්නේ කෝපය හෝ වේදනාවෙන් නොවේ. ඕ, සෝපහාසය මේ සියලු හැඟීම්වල ඔතන්නේ ඒවා ලොලිපොප් මෙන් සැහැල්ලුවෙන් රස විඳින්නට හැකි යැයි කියවන්නාට ඒත්තු ගන්වමිනි. එහෙත් වන්නේ අනෙකකි. සැහැල්ලුව උගුරෙන් පහළට ගලා නොයයි. සිනාසිසී මේ කියන්නේ මහත් ඛේදවාචකයක් ගැන නොවේදැයි මඳ දුරක් යන විටම වැටහෙන පාඨකයා මහත් අර්බුදයක පැටලේ. ඒ පැටලුමේ කියවන්නා හෙළා ඇයට දැන් වෙන කාරියක නිරත වීමට හැකිය. මුහුදු වෙරළ අසබඩ ඇගේ නිවහනට වී චායි බොමින්, සුරතල් බල්ලන් සමඟ මුහුදු වෙරළේ ඇවිදිමින් කාලය ගෙවිය හැකිය. අපට නොහැකිය.
ඡන්ද නාම ලේඛනයේ නම නැති ඉන්දියානු කාන්තාවන් මිලියන 21කට ආසන්න පිරිසක් ඇගේ කවියක ඉන්නේ මෙන්න මේ ආකාරයටය. ඈ කියන්නේ ඈ විසින් කුඩා ගමක් සොයාගන්නට යෙදුණ බවයි. ඒ දූපතේ අතුරුදන් කාන්තාවෝය.
“මට ගමක් හමුවිය. එහි අපගේ අතුරුදන් වූ සියලු කාන්තාවන්ය
ඔවුන් සිටින්නේ කුරුල්ලන්ගේ හිසට තුවක්කු අල්ලාගෙනය
ඡන්දය ප්රකාශ කිරීම ඇරැඹී ඇතැයි ආරංචිය පැමිණුනි
ඔවුන් නොමැතිව වසර ගණනාවක් එය සිදුවෙයි
ඔවුන් දැන සිටියා තම සහෝදරියන්ට අල්ලස් දී ඇති බව
ගෑස් සිලින්ඩර් සහ බයිසිකල් ලෙස
ආච්චිලා පවා ඡන්ද පත්රිකා දී සහල් මලු පැහැරගත් බව
ඔවුන් කිසි විරෝධයක් පෙන්වා නැත..”
මේ කවිය තවත් බොහෝ දීර්ඝව ගලා යන අතර එක් තීරණාත්මක තැනක් එළැඹේ.
“කාන්තාවක් යනු පක්ෂියකු, කිකිළියක හෝ පියාපත් ඇති කිසිවකු නොවේ
එහෙදු කාන්තාවක් සුළඟේ ශබ්දය දනී…”
මේ උපමා, රූපක හද බිඳලනසුලුය. ඒවා සමාන කෙරෙන්නේ මොනවාටදැයි කියා නිසි සැනසිල්ලේ සිතා බලන විට කාන්තාවන් මිලියන 21කගේ නම් ඡන්ද නාම ලේඛනයෙන් අතුරුදන් වීමේ ක්රියාවලියේ දිග-පළල වටහාගත හැකිය. වඩාත් දුෂ්කර ඔබේ මනුෂ්යත්වය අනෙකාට දැනෙන්නට සැලැස්වීමද? එසේත් නැත්නම් ඔබේ මනුෂ්යභාවයෙන් අනෙකා පෙළීමද? කියා දැන් ප්රශ්නයක් පවා ඇසිය හැකිය. එහෙත් කවියකට පණ ඇති වස්තුවක් චලනය කළ හැකිද? ඒ මැජික් බලය දැන් ක්රියාවේ යෙදවිය යුතුද? කිසිත් නොසිතා ටිෂානි ඩොෂි එය ක්රියාවේ යොදවනවා විය යුතුය. ඇගේ කවිවල ඇති අවි පත්තු වන ශබ්දය මුහුදු තරණය කර අපට ඇසෙන්නේ එබැවින් විය යුතුය.
“වචනවලට වන්දනා කරන්න. වචන පුරවාගන්න සටහන් පොතක් ළඟ තබාගන්න. නැත්නම් එසේ නොකරන්න. ඔබ වඩාත් ආදරය කරන කවියක් කටපාඩම් කරගන්න. නැත්නම් එසේ නොකරන්න.” මේ කවියක් ලියන්නේ කෙසේදැයි ටිෂානි ඩොෂි පැහැදිලි කරන ආකාරයෙන් උපුටා ගත් කොටසකි.
“මගේ හුදෙකලාව ඔබේ හුදෙකලාව හා සමාන නොවේ
ඔවුන් එකිනෙකාට තැපැල්පත් යවන අතර ඔවුන් හමුවූ විට
එකිනෙකාගේ සෝෆා මත සැතපීමට තරම් විවේකයෙන් පසුවෙයි”
කවියේ මාතෘකාව ‘මගේ හුදෙකලාව, ඔබේ හුදෙකලාව හා සමාන නොවේ’ යන්නයි. ශෝකය උපදවන්නට ඇය උපහාසමය පාවිච්චියට ගනී. හුදෙකලාව අනෙකාට තැපැල්පත් යවනවා යැයි කීම මොන තරම් විසුළු සහගත අදහසක්ද? එපමණක් නොවේ ඔවුනොවුන් හමුවූ පසුව සෝෆා මත වැතිර විවේකයෙන් පසු වනවා කීමෙන් මේ විසුළු සහගත තත්ත්වය තවත් වැඩී වර්ධනය වෙයි. එහෙත් ඒ මොහොතකට පමණි. ශෝකය ඔබ සොයා එන්නේ ලේන්සු අතැතිවය. කවියක වයින් මතක් මෙන් කල් ගිය රසක් දැනෙන්නේ මෙවන් මොහොතක විය යුතුය. ඒ රස එකිනෙකාට ඇති කරන හිරිහැරයක් බඳුය.
ඈ දීර්ඝ පේළි භාවිත කරන්නේ මේ හිරිහැරය වඩාත් තදින් දැනවීමට විය යුතුය. කවිය කියවන අතර, ඔබට ලැබෙන විවේකය අවම කිරීමට කිවිඳිය තැත් කරනවා මෙනි. සෙස්සන්ගේ ආරක්ෂාව පිණිස ගසක් උඩ ස්වයං නිරෝධායනක යෙදුණු බෙංගාල මිනිසා හමුවන්නේත් ඇගේ කවියකිනි. ආකෘතික වෙනස්කම් බොහොමයක් ඇති ‘අ ගෝඩ් ඇට් ද ඩෝ’ මේ මොහොතේ දේශපාලනය සේම ආගම ද ප්රශ්න කෙරෙයි. දෙවියන් දොර අබියසට පැමිණ තිබේ නම් ඔබට දැන් දෙවියන් සොයාගෙන වෙනත් තැනකට යාමේ වුවමනාවක් නැත. එහෙත් දෙවියන්ගේ පැමිණීම මේ මොහොතේ ඔබට කෙතරම් අවශ්යදැයි සිතා බැලිය හැකිය. දොරකඩට දෙවියෙක් පැමිණ ඇත්නම් ඔබේ මනුෂ්ය බව රැක ගැනීම හැර වෙන කළ යුතු යමක්ද නැතිවා විය හැකිය.


