පත්තර කවි පිටුවලට කවි තැපැල් කර කර ඉඳපු, චිත්රපටිකරුවෙක් වෙන්න හිතන් කොළඹ ආපු මහින්ද ප්රසාද් මස්ඉඹුල නම් නාඹර තරුණයා මේ වන විට ලංකාවේ පොතපත කියවන ඕනෑම පාඨකයෙක් නම කියූ සැණින් දන්න හඳුනන ප්රවීන, සම්මානනීය ලේඛකයෙක්, නිර්මාණකරුවෙක් වගේම ප්රකාශකයෙක්. මේ ගමන පිටුපස විශාල ශ්රමයක් ඇති. ගෙවුණ කාලය දිහා ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
මහා ලොකු ඉතිහාසයක් නොවුණත්, හැරී බලනකොට, මම විශාල වින්දනීය ලෝකයකට පියමං කරනවා. එය කාටවත් කියා ලබන්න පුළුවං වින්දනයක් නොවේ කියලත් මං වෙලාවකට කල්පනා කරනවා. එය මා තුළම වින්දනීය අවකාශය පුළුල්වීමක් විදියට දකිනවා අද. ආරම්භය කිසිදු නිශ්චිත බවක්, නිශ්චය කරගන්න පුළුවං තත්වයේ ගමන් මාර්ගයක් නොවෙයි. මෙහි පිටුපස තියෙන්නේ ධෛර්යය හා කැපකිරීම විතරමයි. ඊට දීපු ප්රසාද දීමනාවක් වගේ යම්කිසි ප්රතිභා ශක්තියක් තියෙන්න ඇති. නමුත් ඊට වැඩිය මං විශ්වාස කරන්නේ මේ සියල්ල පිටුපස තිබුණේ මගේ කැපකිරීම සහ ධෛර්යය කියලායි.
අවුරුදු 18-19 තරුණයෙක් විදියට මේ ගමන පටන් ගනිද්දී එවකට මං තරම් දුක් විඳපු සමවයස් තරුණයෙක් නැතුව ඇති කියලා මට හිතෙනවා. මුල් කාලේ මාව ලෝකය දකින්නේ පත්තරයක පළ වුණ කවියක් නිසා වෙන්න පුළුවං, නැත්තන් චිත්රපටියක ටෙලිනාට්යයක වැඩ කරලා නාමාවලියේ නම යන නිසා විතරක් වෙන්න පුළුවං. දැන් නම් පොත්පත් නිසා, සිනමා කටයුතු නිසා බොහෝ දෙනෙක් දන්නවා වුණාට මුල් කාලය ඉතාම අවිනිශ්චිත, ගැටුම්කාරී කටුක අත්දැකීම් සමඟ ආ ගමනක්.
එකල මම අතට අහුවෙන සියලු පත්තරවලට කවි ලියලා තියනවා. කවිය ගැන හරි අවබෝධයක් නැති කාලයෙත් කුමක් හෝ ලියමින් පත්තරවලට යවන පුරුද්දක් තිබුණා. එහෙම කාලයක් යද්දි රස්සාවක උවමනාව ඇති වුණා. පොඩි පොඩි රස්සා කළා. මගේ ඉලක්කය තිබුණේ සිනමාව නැමති දැවැන්ත ප්රකාශන මාධ්යයේ කොටස් කාරයෙක්, පංගුකාරයෙක් වෙන්න. කුඩා කාලයේ ඉඳලා මගේ සිහිනය වුණේ සිනමාව. ඒ සිහිනයේ මූලාරම්භය හැටියට පුංචි තිරයෙන් මගේ වෘත්තීයමය ජීවිතය ආරම්භ කරන්න හැකි වුණා. ටෙලිනාට්ය ක්ෂේත්රයේ පහළම වෘත්තීය තනතුර විදියට තියෙන තේ හදන ශිල්පියා (ටීබෝයි ) කියන තනතුරෙන් තමා මගේ ගමන ආරම්භ කළේ. වසර විස්සක් විසිපහක් ගිය තැන මේ ක්ෂේත්රයේ තියන ප්රධානම තනතුර වන අධ්යක්ෂ භූමිකාවට එන්නට මට අවස්ථාව ලැබිලා තියෙනවා. මං ගමේ ඉඳන් කොළඹ ආවේ මේ ක්ෂේත්රයේ මට හමුවන කුමන හෝ පැත්තකින් ඉහළම තැනට යනවා කියලා හිතේ තියාගෙන. මට අද වගේ මතකයි, මට කොළඹ එන්න කියලා මුලින්ම තැපැල් පතක් ආවාට පස්සේ ගමනට සූදානම් වුණ හැටි. ඒ ගමනට අවශ්ය මුදල්, පරණ ඇඳුම් දෙක තුනක් මං වැරවීරියෙන් හොයා ගත්තේ. මට ගේන්න බෑග් එකක් තිබුණේ නෑ. මං ඉතින් අපේ ගමේ ඉන්න රුවන් කුමාර මගේ මිත්රයා පාසල් ගිහින් ඇවිත් පරිස්සම් කරගෙන තිබුණ බෑග් එක ඉල්ල ගෙන ආපු ගමන තමා මේ වන විට ඔබ මේ ප්රශ්නය ඉදිරිපත් කරන මම සිටින භූමිකාව දක්වා පැමිණියේ.
ඔබ පළමු කවි පොතටම රාජ්ය සම්මාන ලබපු කවියෙක්. නමුත් අවුරුදු ගාණකින් අපි ඔබේ අලුත් කවියක් කියවල නෑ. ඒක කවියා යටපත් කරගෙන ප්රකාශකයා ඉස්මතු වීම නිසා වුණ දෙයක්ද, නැත්නම් ඒකට හේතුව මොකද්ද?
මගේ පළමු කෘතිය වුණේ 2010 වර්ෂයේ පළ කළ ‘හිරුත් හිම පියල්ලක’ කියන කාව්ය කෘතිය. එය එම වර්ෂයේ රාජ්ය සම්මානය දිනා ගැනීමත් සමඟ පාඨක රසික ආකර්ෂණය නොඅඩුව ලැබුණා. විවිධ තරාතිරමේ, සෑම මට්ටමකම රසිකයෙක්ගේ කියැවීමේ කෘතියක් බවට පත් වුණා. ඉන් වසර දෙකකට පස්සේ දෙවන කවි පොත ප්රකාශයට පත් කළා. ඉන් පසු තවම මම කවි පොතක් ප්රකාශයට පත් කළේ නෑ. පසුගිය කාලය ඇතුළත නවකතා හතරක් සහ සිනමා පාඨයක්, ටෙලි නාට්ය තිර නාටක ආදිය වගේම කවි සම්බන්ධව මගේ පර්යේෂණ කටයුතු සිදු වුණා. ඒ වගේම මම නව කවියත් එක්ක ලොකු බැඳීමකින් කටයුතු කරනවා. ප්රකාශන ක්ෂේත්රයේදී මම පළ කරන්නේ මගේ කවියක්ද වෙන නිර්මාණකරුවෙක්ගේ කවියක්ද කියලා මට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. කවුරු කවියක් ලිව්වත් ඊට ආදරයක්, සෙනෙහසක් සහ කුතුහලයක් මා තුළ පවතිනවා. මට අනෙක් දේවල් සැලසුම් කරන මට්ටමින් කවියක් සැලසුම් කරන්න පුළුවංකමක් නැහැ. සිනමාපටයක්, නවකථාවක් නම් කාලය වෙන් කරගෙන, සැලසුම් සහිතව සංවිධානාත්මකව නිම කරන්න පුළුවං. නමුත් කවිය ලියැවෙන තුරු සිටිය යුතු කලාවක්. එසේ ලියැවුණ කවි කිහිපයක් නැත්තේ නොවෙයි. නමුත් මං හිතනවා තවත් කාලයක් ගත යුතුයි කියලා.
සෙංකොට්ට නවකතාවෙන් පස්සෙ ඔබ තව නවකතා තුනක් ලිව්වා. ඒ තුනම අර මට්ටමට ඇවිත් නෑ කියලා කෙනෙක් කිව්වොත් මොකද්ද ඔබ දෙන උත්තරය? නැත්නම් පාඨකයා ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ සෙංකොට්ටං පන්නයේ කතා විතරක් වෙන්න පුළුවන්ද?
කලාව සම්බන්ධයෙන් මට තිබුණ හීනවල අහලකවත් තිබුණෙ නැති දෙයක් තමා නවකතාකරුවෙක් වෙන එක. කවි ලියන්න ඕන, ටෙලි නාට්ය, චිත්රපට හදන්න ඕන, යම් යම් වැඩසටහන් මෙහෙයවීම්, රසවින්දන වැඩසටහන් කරන්න ඕන කියන අදහසක්, හීනයක් තිබුණා වගේම මම ඊට පසුබිම හදාගත්තා. පළමු නවකතාවත් අහම්බයක්. මං තිරනාටකයක් ලියන්න අරගෙන වසර ගණනාවක වැඩ කරමින් ඉන්කොට ක්ෂණිකව පැනනැගුණ සිතුවිල්ලක් හැටියට තමා සෙංකොට්ටං ලිව්වේ. ඒ කාලේ මගේ මිත්රයන් පවා කිව්වේ නවකථාවක් ලියන එක සෑහෙන්න අවදානම් වැඩක්, තව ඒ ගැන කල්පනා කරලා බලන්න කියලා. නමුත් මට මේ කතන්දරය ගැන විශ්වාසයක් තිබුණා. මං කතාව ලියලා ප්රකාශනය කළා. ඒක විශාල වශයෙන් අවධානයට ලක්වුණු නිර්මාණයක් බවට පත් වුණා.
ඉන්පසුව කතා තුනක් ලිව්වා. ඔබ කියන කාරණයේ සත්යතාවක් නෑ කියන්නත් අමාරුයි. නිර්මාණකරුවා හැටියට මා සමඟ අදහස් හුවමාරු කරගන්නා බොහෝ අවස්ථාවලදී බෙදී ගිය රසික ප්රතිචාර තමා මට ලැබෙන්නේ. ඒ අතර වැඩි කතාබහක් සහ ප්රතිචාර තියෙන්නේ සෙංකොට්ටං පොත ගැන කියන එක තමා ඇත්ත. දැන් වසර 13ක් ඉක්මවෙලා ගිහින් තිබුණත් නැවත නැවතත් අලුත් රසික ප්රජාවක් සෙංකොට්ටං නවකතාව එක්ක බැfඳනවා. සෙංකොට්ටං කියවපු අය මගේ අනෙක් පොතුත් කියවන්න හොයා බලනවා කියලා මට හිතෙනවා. මැයි මාර ප්රසංගය ප්රේමයේ එක පැත්තක් නිසා ඊට රසික පාඨක අවධානයක් තිබුණත් මං හිතනවා වඩාත් කුතුහලය මිශ්ර පාඨක අවධානයක් තියෙන්නේ සෙංකොට්ටං නවකතාවට. කුමන කෘතියක් ගැන කුමන අදහසක් ලැබුණත් එය මැදිහත් සිතින් භාර ගැනීම තමා මගේ කාර්යය විය යුත්තේ.
ඔබ ගීත රසවින්දන සමගින් ලංකාව පුරා විතරක් නෙවෙයි දැන් ලෝකෙ පුරාත් යනවා. ඒ අද්දැකීම කොහොම එකක්ද සහ මේ ගීත රසවින්දන ගැන එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?
මෙය මෑත කාලයේ ඇතිවුණ ප්රවණතාවක්. රූපවාහිනියේ කෙරුණ ඇතැම් වැඩසටහන් සමඟ මෙය ආරම්භ වුණා කියන්නත් පුළුවන්. මීට පෙර ගීත පිළිබඳ කතා කරන වැඩසටහන් නොතිබුණා නොවෙයි. සාහිත්ය දේශන, ගීත මුල් කරගෙන වැඩසටහන් පැවැතුණත් මං හිතන්නේ රූපවාහිනියේ විකාශනය වුණ සිහිනයකි රෑ කියන වැඩසටහනත් එක්ක, ගීත දහයක් තෝරාගෙන විවිධ වෘත්තිකයින් කලාකරුවන් පැමිණ එම ගීත ගැන කතා කිරීම සහ ඒවා ජීවිතයත් එක්ක යම් කිසි බැඳීමක් ඇතිවන ආකාරය අමුතු ආකර්ෂණීය බවක් ගෙනදුන්නා. මාත් මුල් කාලයේ මේ වැඩසටහන් හා සම්බන්ධ වුණා. සිහිනයකි රෑ වැඩසටහනට මං සිව් වරක් සහභාගි වුණා. පසුව රුපවාහිනී නාලිකාව තුළ එම වැඩසටහන නතරවීමත් සමග එළියේ රසික සමාජය මේ වැඩසටහන ඉල්ලා සිටියා. සාහිත්යයත් මුසුව ගීත ගැන කතා කිරීම සම්බන්ධයෙන් කැමති විශාල රසික ප්රජාවක් රට තුළ ඉන්න බව පෙනෙන්නට තිබුණා.
හැම වැඩසටහනක්ම සංවිධායකවරුන් සංවිධානය කරලා, ප්රචාරණය කරලා ඊට රසිකයන් ගෙන්වාගෙන කරන වැඩසටහන් බවට පත් වුණා. මේ වැඩසටහන් විටෙක සරල නැහැ. සංකීර්ණයි. වෘත්තීය වාදක මණ්ඩලයක්, වෘත්තීය ගායක ගායිකාවන්, වෘත්තීය සංවිධායකවරුන්, වෘත්තීය ප්රචාරක ශිල්පීන්, වැඩසටහන් මෙහෙයවන්නන් වගේම ගීත පිළිබඳ කතා කරන අය ඉන්නවා. එක් පැත්තකින් මේ වැඩසටහන් යම් වෘත්තීමයභාවයකට පැමිණිලා තිබෙනවා. පෞද්ගලිකව මං ගීතවලට ප්රියයි. එක පැත්තකින් මං සලකන්නේ මෙය මට ලැබුණ වරප්රසාදයක් හැටියට. මම කැමති ගීත, සජීවීව අහන්නට ලැබීම සහ ගීත සමග ගත කරන අවස්ථාවක් බවට මේ කාලසීමාව පත්වෙනවා. අප කැමති ගීත, තවත් පිරිසක් සමග බෙදා හදා ගන්න ලැබෙන ඉතාම මනරම් චමත්කාර අවකාශයක් හැටියට තමා මං මේ අවකාශය දකින්නේ.
අද වන විට ගීත නිර්මාණය කර්මාන්තයක් බවට පත් වෙලා. ගීත නිර්මාණය කරන්න විශාල පිරිවැයක් යොදනවා. ජනප්රිය කරවීම සඳහා විවිධ ක්රමවේද තියනවා. ජනප්රියත්වය පවත්වා ගෙන යෑම සදහා ක්රමවේද තියෙනවා. මේවා මිලියන ගණනින් මුදල් වියදම් කරමින් කරන දේවල්. එවැනි දේවල්වලින් පරිබාහිරව හොඳ ගීතයක් සාවධාන සිතින් සජීවීව රසවිඳින්නට, ගීතය ගැන කියන දෙයක් පිළිබඳ ඇහුංකන් දෙන්නට රසික සමාජයක් ඉන්නවා කියන කාරණය ගැන සතුටට පත් වෙන්න ඕන. මේවායේ සිදු වන්නේ ගීතය ඇසුරින් සිදුවන කතා බහක් මිස විචාරක භූමිකාවක් නොවෙයි. ඇතැම් විට අවශ්ය වුණොත් පමණක් සංගීතය සහ ගායනය ගැන කතා කරනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන්වලදී අප කතා කරන්නේ ගීතවල අර්ථය පුද්ගල විදියට සහ සමාජීය වශයෙන් බලපාන්නේ කොහොමද කියන කාරණා. ඒ හා සම්බන්ධ වුණ බොහෝ අන්තර් නිර්මාණ මේ අවකාශයට ගෙනෙන්න මට ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ ගීත හා බැඳුණ බොහෝ කවි කරළියට අරගෙන එන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. කිසිම ආකාරයකින් සමාජගත නොවූ ඇතැම් හොඳ කවි රසිකයන් සමග බෙදා ගන්නවා.. නූතන කවි බොහෝ ප්රමාණයක් රසිකයින් හඳුනා ගන්නවා. බොහෝම හොඳ ගීත සජීවීව ශ්රවණය කරන්න සහ ඒවා ගැන හිතන්න කල්පනා කරන්න අවකාශය සැලසෙනවා. ඒ නිසා මම මේ කාර්ය හා සම්බන්ධ වන්නේ බොහෝම කැමැත්තෙන් සහ සතුටින්. එදිනෙදා ජීවිතය තුළ මා ලබන සෞන්දර්යාත්මක වරප්රසාදයක් හැටියටයි මං මෙය සලකන්නේ.
තමන් ලියපු දෙයක් ටෙලිනාට්යයක් හෝ චිත්රපටයක් විදියට දකින එක කොහොම අද්දකීමක් සහ හැඟීමක්ද?
තමන් ලියපු දෙයක් රූප මාධ්යයෙන් දකිනකොට විස්මය මුසුවුණ චමත්කාරයක් දැනෙන්න පටන් ගන්නවා. මුලින්ම මෙය ලියපු කෙනාගේ සිතුවිල්ල. ඒ තුළත් රූප පද්ධතියක් තියෙනවා. පසුව මෙය සාහිත්යයක් බවට පත් වෙනවා. නවකතාවක් සිනමාවට නැගීම වගේම තිරනාටකයක් රූපයට නැගීම ඔස්සේත් සිදු වන්නේ එකම දේ. තිරනාටකයක් කියන්නෙත් එක් අතකින් සාහිත්ය කෘතියක්. එය රූපයට නැගීම දකිනකොට කාටවත් නොලැබෙන චමත්කාරජනක හැඟීමක් රචකයාට ඇති වෙනවා කියලා මං හිතනවා.
රචකයා මවා ගත් රූප පද්ධතිය සහ තාක්ෂණය මුල්කරගෙන ගොඩනැගෙන රූප පද්ධතිය අතර යම් පරස්පරයක්, දුරස්බවක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම ළග ඥාතීත්වයක් තියෙන්නත් පුළුවන්. රූප පද්ධතිය ගොඩනගන අධ්යක්ෂවරයා, ඔවුන් භාවිත කරන තාක්ෂණය, ඔවුන් එය නිර්මාණය කරන කාලය, එයට යොදන පිරිවැය සහ සම්බන්ධකර ගන්නා අනෙකුත් සියලුම ශිල්පීන් මත තමා දුරස් හෝ ළඟ වීම තීරණය වන්නේ.
මා රචනා කළ නිර්මාණත් රූපයට නැගිලා තියෙනවා. ඒ ගැන සතුටට පත් වෙනවාද? ඔබ බලාපොරොත්තුවන රූප එහි තිබෙනවාද කියලා ඇහුවොත් ඊට දෙන්න තියන අවංකම උත්තරය තමා නැහැ කියන එක. රචකයා ගොඩනගන පරිකල්පන ලෝකය කොච්චර දක්ෂ නිර්මාණකරුවන්, තාක්ෂණ ශිල්පීන් හිටියත්, අර රචකයා ලියූ අයුරින්ම රූපයට ගොඩ නගන්න බැහැ කියලා මං හිතනවා. චලන රූප ක්රමවේදය තුළ මෙය සාමූහික ක්රියාවලියක්. කර්මාන්තමය ස්වභාවයක් තියෙනවා. අධ්යක්ෂවරයාගේ හිතේ මැවෙන රූපය හැඩ ගන්වන්න බොහෝ පිරිසක් ඉන්නවා.
ඒ වගේම මෙය කලාවන් දෙකක් කියන එක තරයේ අපි කල්පනාවට ගන්න ඕන, රචකයෙක් වඩාත් විස්මයට පත් වෙන්නේ තමා මැවූ රූපය ඒ ආකාරයෙන්ම සාමූහික ක්රියාවලියකින් රූපයක් ලෙස ප්රතිනිර්මාණය වෙනවා නම් විතරයි. නමුත් මා මැවූ රූප නෙමේ මා තිරයේ දකින්නේ. එය එක පැත්තකින් ඛේදවාචකයක්. රචකයාගේ මනෝලෝකයේ උපදින රූප පද්ධතිය ඒ ආකාරයෙන් ගන්නවා කියන එක නම් කිසිම දවසක කරන්න පුළුවන් දෙයක් නෙමේ. වඩාත් ලස්සනම රූප පද්ධතිය තියෙන්නේ රචකයා විසින් දුක් විඳ මවපු රූප පද්ධතිය තුළයි.
‘මැයි මාර ප්රසංගය’ චිත්රපටය කොයි කාලෙ අපිට දකින්න පුළුවන්ද? චිත්රපට අධක්ෂවරයෙක් වීමේ අද්දැකීම කොහොම එකක්ද? රූගත කිරීම ගැනත් යමක් කියන්න.
මැයි මාර ප්රසංගය සිනමාපටයෙ මූලික රූපගත කිරීම්, හඬ කැවීම් ආදිය අවසානයි. සංගීත සංයෝජනය, ශබ්ද සංයෝජනය, වර්ණ සංයෝජනය ආදි කටයුතුවලත් අවසාන අදියර යන්නෙ. ඒකට දායක වන විශාල පිරිසක් ඉන්නවා. ඒ සියල්ල අවසන් වෙලා එය තිරය ඉදිරිපිට සිට බලන විට තමයි මට දැනෙන හරිම හැඟීම කියන්න පුළුවන් වෙන්නෙ. නමුත් මං හිතනවා එය මගේ නවකතාව වුණත් මාත් එක්ක වැඩ කරපු අනිත් ශිල්පීන්ගේ දක්ෂතාව මත ඒ වැඩේ ඇවිත් තියෙන විදිය බලන්න තමයි මගෙත් ආසාව තියෙන්නෙ.
‘මැයි මාර ප්රසංගය’ ගැන සමාජ මාධ්යයේ නොයෙක් සංවාද පැනනැගුණා. ඔබ ඒ ගැන අවධානයෙන්ද හිටියෙ? ඒක ඔබට කොහොම බලපෑමක්ද එල්ල කළේ? නැත්නම් තවදුරටත් ඒ දේවල් ඔබට බලපෑමක් එල්ල කරන්නෙ නැද්ද?
මැයි මාර ප්රසංගය මං ලියපු අනිත් නවකතාවලට වඩා වෙනස් ආඛ්යාන ස්වරූපයක් ගත්ත, වෙනස් අන්තර්ගතයක් ගත්ත නිර්මාණයක්. තව පැත්තකින් ඒක මට අභියෝගයක් එල්ල කළ නිර්මාණයක්. මට ඒ කතාවට චරිත ගොඩක් ඇතුළත් කරන්න උවමනාවක් තිබුණෙ නෑ. මගේ අනිත් පොත්වල තිබුණ සමාජ, දේශපාලන, සංස්කෘතික ගැටුම් එහි ඇතුළත් වුණෙත් නෑ. එය පුද්ගල මනෝභාවය මුල් කරගෙන නිර්මාණය වූ සිතුවිලි ගොන්නක්. නමුත් මං ඒක රචනා කරන්න යොදාගත්ත ආකෘතිය සහ භාෂාව නිසා ඒ වටා රොක් වුණ විශාල පාඨක පිරිසක් සිටිනවා. ඒ ගැන පළ වුණ විවිධ අදහස් මං දැක්කා. ඒ හැම අදහසටම මං කැමතියි. කොහොමත් මගේ නිර්මාණයකට එන සියලුම වර්ගයේ ප්රතිචාර එකම විදියට ගන්න පුළුවන් කෙනෙක් තමයි මං කියන්නේ කියලා මං විශ්වාස කරනවා. ඒක තමයි ලෝක ස්වභාවය කියලා මං විශ්වාස කරනවා. මොකද රසිකයන්ගේ කැමැත්ත විවිධාකාරයි. ඒ විවිධත්වය හරි චමත්කාරජනකයි
නවකතාවක් කියවලා ඒ නවකතාවට පාදක වුණ ස්ථානයන්ට, චරිත හා බැඳුණු මතකයන් තියෙන තැන්වලට පාඨකයන් වැළ නොකැඩී යන්න ගන්නවා කියන්නේ ආශ්චර්යයක් වගේ දෙයක්. මොකද එහෙම පොත් ලියපු ලේඛකයෝ අපට ඉන්නේ අතළොස්සයි. මැයි මාර ප්රසංගයටත් එවැනිම තත්ත්වයක් උදාවෙලා. මොකද හිතෙන්නේ?
ඔව්, මේ කතාව නිර්මාණය කර ගැනීමේ දී මට නිශ්චිත භූමි ප්රදේශයක් තෝරගන්න සිදු වුණා. ඉතාම ආකර්ෂණීය සාධක පද්ධතියක් ඒ පරිසරයට ඇතුළත් වුණා. ඒ පරිසරයෙ හිටපු චරිතයක අද්දැකීම් සම්භාරයක් වටා මට මේ කතාව ගොඩ නගන්න සිද්ධ වුණා. ඒ අර්ථයෙන් බැලුවාම මං ලියපු නවකතාවලින් මට වඩා කිට්ටුම නවකතා දෙකෙන් එකක් වෙන්නෙ මැයි මාර ප්රසංගය. අනිත් එක අපොයියාව. මගේ පරිකල්පනීය කාරණා හැරුණු කොට අනෙක් සියල්ල ඒ පරිසර පද්ධතියෙ චලනයන් බවට පත් වුණා. ඒ පරිසර පද්ධතිය හොයාගෙන යන පාඨකයො දහස් ගාණක් මට හම්බ වෙලා තියෙනවා. ඒක හරිම සුන්දර අද්දැකීමක්. දැන් බලන්න මඩොල් දූව කියවලා ඒක බලන්න යන අය කොච්චර ඉන්නවාද? දැන් අවුරුදු හැට හැත්තෑවක් තිස්සෙ. ඒ වගේ තව අවස්ථා තියෙනවා අඩු වැඩි වශයෙන්. මැයි මාර ප්රසංගය වටාත් එහෙම සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා.
විශේෂයෙන්ම පොත් ප්රදර්ශනය තිබෙන පහුගිය කාලයේ අපි දැක්කා විසාල තරගයක් තියෙනවා, පොත් විකුණා ගන්න. හොඳ වෙළඳ උපක්රම භාවිත කරන්න වෙනවා. හොඳ පොතක් පාඨකයා අතරට අරන් යන්න මෙච්චර මහන්සි වෙන්න වෙනවාද?
පහුගිය හැම අවුරුද්දටම වඩා 2025 අවුරුද්දෙ ප්රචාරණවාදී ස්වරූපය සහ අමු ගතියක් දකින්න ලැබෙනවා කියලා මං හිතනවා. කලාවේ දී ආකර්ෂණීය, නිර්මාණාත්මක ප්රචාරණ ක්රමවේද සහ ගුණාත්මක ප්රකාශන ක්රමවේද අනුගමනය කළාට කිසිම ප්රශ්නයක් නෑ. මුළු ලෝකෙම ගත්තත් එහෙම තමයි. ඒක හොඳයි. හැබැයි තාක්ෂණය අතේ තියෙන නිසා කරන අනවශ්ය ප්රචාරණය එතරම් ගෝචර නෑ මේ ක්ෂේත්රයට. නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයට යොදාගත්ත ශක්තිය නිර්මාණාත්මක ලෙස ප්රචාරණයට යොදා ගත්තට කිසි වරදක් නෑ. මොකද එහෙම ප්රචාරණ විධි දැන් ඕන තරම් තියෙනවා. හැබැයි කවදා හරි පැවැත්මක් තියෙන්නෙ නිර්මාණශීලී නිර්මාණවලට සහ ප්රචාරණ ක්රමවලට කියල අපිට හඳුන්වන්න පුළුවන්. සමහරු කවි ලියන්න එහෙමත් ඒඅයි තාක්ෂණය භාවිත කරනවා. පිටකවර හදන්න පාවිච්චි කරනවා. හැබැයි කොච්චර කිව්වත් ඒවායෙ අර අව්යාජ ගුණ සුවඳ දැනෙන්නෙ නැති ස්වභාවයක් තියෙනවා. අව්යාජබව එක්ක ජනතාවගෙ හදගැස්ම අඳුනගෙන යන ගමන තමයි හොඳම ගමන හැටියට මං දකින්නෙ. ලෝකෙත් එහෙම තමයි.
නූතන සාහිත්ය සම්බන්ධ ඔබේ කියැවීම කුමක්ද?
නූතන සාහිත්ය වශයෙන් මේ වන විට හැඩගැහී ඇති සාහිත්ය නිර්මාණය කරන්න දායක වුණ නිර්මාණකරුවො සියලු දෙනාම වගේ මීට දශක කීපයකට පෙර පරම්පරාව නියෝජනය කළ අයයි කියන එකයි මගේ අදහස. ඒ සියලු දෙනාගේ එක්වීමෙන් ඉතාම ආකර්ෂණීය, කැපී පෙනෙන හැඩයක් සහිත සාහිත්යයක් ගොඩ නැගිලා තියෙනවා. සාහිත්ය මාසය තුළ මෙය කැපී පෙනෙනවා. ඒකත් එක්ක තමයි ලොකු සමාජ කතිකාවක් නිර්මාණය වෙලා ආකර්ෂණීය අවකාශයක් නිර්මාණය වෙන්නෙ. ඒකත් හොඳ සංස්කෘතිමය අවස්ථාවක්. හැබැයි මේ වර්ෂයේ ආව ඇතැම් ප්රවණතා අර මං කලින් කිව්ව තාක්ෂණය විතරක් තියෙන, අව්යාජබව දුරස් වුණ ගතියක් සාහිත්යයට ආරෝපණය කරලා තියෙනවා. එහි මූලාරම්භ විදියට මං දකින්නෙ මේ 2025 අවුරුද්ද. ඉදිරි වසරවල ඒ තත්ත්වය තවත් ඉහළට ගියොත් එහෙම මට හිතාගන්න බෑ කොහොමද අපි ඒක කියවගන්න ඕන කියලා. නිර්මාණකරුවගෙ පරිකල්පන ලෝකයෙ තමයි විස්මිතබව තියෙන්නේ. හැබැයි තාක්ෂණය කියන්නෙත් මානව පරිකල්පනයේම කොටසක්. එය දැනුවත් ක්රියාවලියක් තුළ සිද්ධ වුණොත් හොඳ ප්රතිඵලයක් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. අපේ අතට ලැබෙන ප්රවණතා අපි පාවිච්චි කරන විදිය ගැන විවේචනාත්මකව සිතා බැලිය යුතුයි.
- ළහිරු කිතලගම
කසුන් සමරතුංග


