ගුරුවරයා කියූ පමණින් මාගේ මතකයට පළමුවෙන්ම එන්නේ අප සාහිත්‍යයේ අඳුනගත් පරිදි දිසාපාමොක් ආචාර්යවරයායි.
මාගේ පියාද රඟ පෑ මනමේ නාටකයේ දිසාපාමොක්ගේ චරිතය මගේ මතකයේ තදින්ම රැුඳී ඇති චරිතයකි. ඇතැම් විට එයට හේතුව මගේ මවගේ (සෝමලතා සුබසිංහ* පරම්පරාවේ බොහෝ දෙනෙකු ගුරු භවතුන් වීම විය යුතුයි. මගේ ආච්චි සහ සීයා ගුරුවරු වූහ. ඔවුන් තම නිවස අහළ පහළ සිටින කොල්ලො කුරුට්ටන් සියල්ලන්ම බලහත්කාරයෙන් ගෙදරට ගෙන්වා කොස් දෙල් හැලි ගණන් තම්බා කන්න දෙමින්, කිසිදු ආකාරයක ලාභාපේක්ෂාවකින් තොරව ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන්හ. පසුකලෙක ඔවුන් බොහෝ දෙනෙක් පුහුණු ගුරුවරු බවට පත්වූහ.


වැඩිහිටියන් වූ පසුව ඔවුන් මගේ සීයාගේ නිවසට පැමිණ ආච්චි සහ සීයාට කෘතඥතාපූර්වක බව දැක්වූයේ තම දරුවන් ලවා ඔවුන්ට බුලත් දී වැන්දවීමෙනි. මම කුඩා කාලයේ මෙය නිතර දෙවේලේ අත්දුටුවෙමි. මාගේ මවත් එම මාර්ගයේම ගිය ගුරු මෑණියක් වූවාය. ඇයද නාට්‍ය හා රංග කලාව ඉගෙනීමේ ආසාවෙන් පැමිණි දරුවන්ට කිසිදු තරාතිරමක් නොසලකා උසස් අධ්‍යාපනයේද යෙදීමට පොළඹවමින් ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා ගුරුහරුකම් ලබා දුන්නාය. ඇතැම් අයට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සම්පත් ද සපයා දුන්නේ කිසිදු ආකාරයක ලාභාපේක්ෂාවකින් තොරවය.


ඇගේ ශිෂ්‍යයන් අතර රත්මලානේ ගොළුබිහිරි විද්‍යාලයේ සිසුවෙක්ද විය. ඇය දරු දැරියන්ට තම කාලය, විෂය දැනුම, ඉතාම පරාර්ථකාමී ලෙස ලබා දුන්නාය. එහෙත් ඇය හතර පෝයට පන්සල් ගියේ නැත. සිල් සමාදන් වූයේ නැත. වන්දනාවේ ගියේ නැත.


ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ට අයත් රටක් යැයි විශ්වාස කිරීමට දැන් දැන් අපි බොහෝ කැමැත්තෙමු. ශ‍්‍රී ලාංකික ආණ්ඩුව ද බෞද්ධාගම සුරැුකීමට ඇප කැප වී සිටියි. ලංකාවේ රජයට අයිති පාසල් සියල්ලම පාහේ බෞද්ධාගමට මුල් තැනක් දෙයි. පාසල ආරම්භ වන්නේ පන්සිල් සමාදන් වීමෙනි. නිරන්තරයෙන් බෞද්ධ උත්සව, චාරිත‍්‍ර වාරිත‍්‍ර පාසල තුළ සංවිධානය වන්නේ අපි බෞද්ධ යන බව විදහා පෑමේ ලක්ෂණයක් වශයෙනි. බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයෙකු මෙන්ම ගුරුවරයෙකි. ඔහු කුල මල භේදයකින් තොරව තෝරාගැනීමකින් තොරව, ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව තම ධර්මය පෘතග්ජනයාට උගැන්වීය. එවැනි උදාර ශාස්තෘවරයෙකුගේ දහම අප රටේ බහුතරයකගේ ආගමයි.


ජූලි 23 වෙනිදා ප‍්‍රධාන පෙළේ පුවත් පත් දෙකක පළවූ එක් ප‍්‍රවෘත්තියකින් මගේ සිත කීරි ගැසී ගියේය.


සියලූම රජයේ පාසල්, අවට ඇති රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල දරුවන් එම පාසලට ඇතුල් කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ඇත.


එක්තරා ජනප‍්‍රිය පාසලක විදුහල්පතිනියක මෙය ප‍්‍රතික්ෂේප කොට ඇත. හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ ළමා නිවාසයක දරුවන් සිටීම තමාගේ සහ තම පාසලේ කීර්තිනාමයට කැළලක් බවයි. එය කියවූ විට මේ අප ජීවත් වන්නේ කුමන යුගයකදැයි මට සිතා ගත නොහැකි විය.


කිසිදු ආකාරයක වෙනස්කොට සැලකීමකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අයිතියක් රටේ උපදින සෑම දරුවෙකුටම ඇත. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමට රජය බැඳී සිටියි. මේ කියන විදුහල්පතිනියගේ ආකල්පය අනුව පාසල් ඇත්තේ දරුවන්ට ඉගැන්වීමට වඩා සමාජ තත්ත්වයක් ආරක්ෂා කිරීමට යැයි ඇය සිතා සිටිනවා විය යුතුය.


ඇගේ ප‍්‍රකාශය වනාහි දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමකි. එක් දරුවන් කණ්ඩායමකට වෙනස් ආකාරයක සැලකීමක් දැක්වීමකි. සාමාන්‍යයෙන් විදුහල්පතිවරයෙකු වන්නේ යම් කාලයක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කාර්යයන් කොට ඉහළ තත්ත්වයකට පිවිසීමක් වශයෙනි. එවැනි අත්දැකීම් බහුල වෘත්තිකයෙකු විසින් මෙවැනි ප‍්‍රකාශ සිදු කිරීමෙන් හෙළිදරවු වෙන්නේ, ඇයට ගුරුවරයෙකුගේ භූමිකාව හෝ සාමජ වගකීම ගැන අල්පමාත‍්‍රයක හැඟීමක් නැති බව නොවේද?


බුදුන් වදාළ සිඟාලෝවාද සූත‍්‍රයට අනුව ගුරුවරයා විසින් දරුවන් වෙත ඉටු කළ යුතු යුතුකම් පහක් ඇත.


x සිසුවා මැනැවින් හික්වීම
x මැනවින් ඉගැන්වීම
x සියලූ ශිල්ප ඉගැන්වීම
x යහළු මිත‍්‍රාදීන්ට හදුන්වා දීම
x සිසුන්ට රැුකවරණය සැලසීම


අප සමාජයක් වශයෙන් කොතරම් ආපස්සට ගොස් ඇත්ද? අවුරුදු දෙදහස් පන්සීයකටත් වඩා ඈතකදී බුදු රජාණන් වහන්සේ විසින් පළ කළ එම දියුණු අදහස්, දැන් දියුණු යැයි කියාගන්නා සමාජය තුළ, උගතුන් යැයි කියා ගන්නා අය විසින් පවා නිශේධනය කරන බව මෙයින් පැහැදිලිවම පෙනෙයි. මෙයින් පැහැදිලි වන්නේ අප රටේ බුදුන් දෙසූ සැබෑ දහම වියැකී ගොස් බොහෝ කල් බවයි. ඉතිරි වී ඇත්තේ හුදෙක් ආයතනගත ක‍්‍රියා පටිපාටියක් පමණි.


ජාතිවාදය ඔඩු දුවමින් පවතින අද දවසේ, ළමා නිවාසයක දරුවන් නොඉවසන පාසලකට අන් ජාතියකට අයත් දරුවන් ඉවසීමට තව බොහෝ කාලයක් යනවා ඇත. අවාසනාව නම් බොහෝ විට මෙවැනි පටු අදහස් සහිතව කටයුතු කරන්නේ කරන්නේ බෞද්ධ යැයි කියාගන්නා පාසල් පද්ධතිය වීමයි. x

x කෞශල්‍යා ප‍්‍රනාන්දු