සුලෝචන වික‍්‍රමසිංහ

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයෙහි අවසාන පරපුර නියෝජනය කරන්නේ ඔබගේ පරම්පරාව කිව්වොත් නිවැරදිද?
මටත් එහෙම හිතෙනවා. ඒ ආකාරයට ඔබ මාව හදුනාගැනීම ගැන මට තිබෙන්නේ නිහතමානී සතුටක්. ගුවන් විදුලිය තරම් අපේ ජීවිතයට බැඳුණු දෙයක් තවත් නැහැ. පොඩි කාලේ අපේ ගෙදර තිබුණු ට‍්‍රාන්ස්සිස්ටර් රේඩියෝ එක තමයි ඒ කාලේ අපේ එකම ලෝකය. ඒකට කොච්චර ගෞරවයක් තිබුණාද කියනවා නම් ඒ රේඩියෝ එකට ඇඳුමක් අන්දලා තිබුණේ. ඒක ඒ තරමට ආරක්ෂා කළා. හරියට පිරිකරක් වගේ. ස්වදේශීය සේවය, වෙළෙඳ සේවය එහෙම නැත්නම් පළවෙනි සේවය, දෙවෙනි සේවය මේ දෙකෙන්ම ප‍්‍රචාරය වුණ හැම දෙයක්ම අපේ හිතට තදින් කාවැදුණා. විශේෂයෙන් කටහඬ. අමරබන්දු රූපසිංහ, තිස්ස ජයවර්ධන, අසෝක තිලකරත්න, ඬේවිඞ් ධර්මකීර්ති, සිරිල් රාජපක්ෂ, පාලිත පෙරේරා, පසුකාලීනව පේ‍්‍රමසර ඈපාසිංහ, බණ්ඩාර කේ විජේතුංග, පේ‍්‍රමකීර්ති ද අල්විස්.. මේ ඔක්කොම අපේ හිතට තදින් කාවැදුණු හඬවල්. අපිට ඇහුණේ ඒ ප‍්‍රතාපවත් හඬ විතරයි. හිතේ තමයි රූපය ඇඳිලා තිබුණේ. ගීතයත් එහෙමයි. ගීත ඇහුවට ගීත රූප රචනාවලින් දැකලා නැහැ. මේ දේවල්වල පුදුම රසයක් තිබුණා. ඒ කාලේ මේ ගීත සුභාවිතද ජනප‍්‍රියද කියන එක ගැනවත් අපිට දැනුමක් නැහැ. හැබැයි මේ ගීත අපේ හිත් පතුල්වල තමයි නැවතුණේ. උදේ නැගිටින්නේ පිරිත් අහගෙන. අන්තිමට අමරදේවයන්ගේ සතිපට්ඨානයෙන් තමයි අපි දවස නිමා කරන්නේ. ඔරලෝසුවට වැඩිය ගුවන් විදුලියේ වැඩසටහන් තමයි අපිට වෙලාව කිව්වේ. ඒ අතීතය කොච්චර හොඳද මිහිරිද කියලා අද හිතෙනවා. අද නවීනත්වය, තාක්ෂණය එක්ක හැම දෙයක්ම වෙනස්වෙලා. ගුවන් විදුලියත් එහෙමයි. අපි ගුවන් විදුලියට පෙම් බැන්ද ඒ යුගය ආයෙත් මොනවා කළත් එන්නේ නැහැ. ඉතිං එහෙම බැලූ‍වාම අපි තමයි අවසන් පරපුර.
මේ වෙනස ගැන තව ටිකක් කතා කරමු.
අපි ගීත ඇහුවා. දැන් ගීත බලනවා. අපි පත්තර කියෙව්වා. දැන් පත්තර බලනවා. මේ වගේ හැම දෙයක්ම වෙනස් වෙලා. හැම ක්‍ෂෙත‍්‍රයක්ම මිනිස්සුන්ට කිසිම වටිනාකමක් නැතුව සමීප වෙන්න පටන්ගත්තා. හැම දේකම වටිනාකම අඩුවුණා. මොනවා හරි කියවන්න පුළුවන් නම් ඒ හැම කෙනෙක්ම නිවේදකයෝ වුණා. දැන් නිවේදකයෝ කියලා එන්නේ රූපය ලස්සන අය. කේඞීකේ, බණ්ඩාර විජේතුංග, පේ‍්‍රමකීර්ති වගේ අය ලස්සන රූ සපුවක් තිබුණු අය නෙවෙයි. නමුත් ඔවුන් සුන්දර ජීවිතවලට උරුමකම් කීවා. හඬ පෞරුෂය, ඉදිරිපත් කරන විලාසය මේ හැම දේකම සිත්ගන්නාසුලූ බවක් තිබුණා. ඒත් පසු කාලයකදී ගෑනු ළමයි හුඟාක් ප‍්‍රිය කරන කෙනා නිවේදකයා වුණා. අවුරුදු කුමාරි නිවේදිකාව වුණා. මොඞ්ලිං කරන අය නිවේදක නිවේදිකාවෝ වුණා. මේ වගේ හැම ක්‍ෂෙත‍්‍රයක්ම සඳහා වෙන වෙන ආදේශක ආවා. හැබැයි ඒ ආදේශක හරි ගියේ නැහැ. මේ ආදේශක නිසා හැම ක්‍ෂෙත‍්‍රයක්ම උඩුයටිකුරු වුණා. ගුවන් විදුලියටත් මේක තමයි වුණේ. නාලිකා බහුල වීමත් එක හේතුවක්. එදා ගුවන් විදුලියේ හිටියේ දක්ෂයෝ නෙවෙයි අතිදක්ෂයෝ. ඒ කාලේ වැරදි ආදේශකවලට ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අතිදක්ෂයන්ගෙන් අපිට විශාල ලෝකයක් විවර වුණා. අපි ඉතාම ආදරයෙන් ඒ ලෝකයේ රස්තියාදු වුණා.
නිවේදකයෙකු සතු විය යුතු ලක්ෂණ මොනවාද?
නිවේදකයා කියන්නේ මිනිසුන් සමග බැඳිලා ඉන්න ප‍්‍රකාශකයා. ඔබේත් මගේත් පොදු ආත්මීය ප‍්‍රකාශනය තමයි ඔහුගේ හෝ ඇයගේ හඬින් පිටවිය යුත්තේ. ඔහුට මුලින්ම ආකර්ෂණීය හඬක් තිබිය යුතුයි. කතාවේ බුහුටිකමක් මෙන්ම හොද ඉවසිලිවන්ත කෙනෙක් වෙන්න ඕනෑ. නුවණ, දැනුම, අවබෝධය තිබිය යුතුයි. තමාට හෘදයංගම වන දෙයක් ශ‍්‍රාවකයාගේ හෘදයංගම වන දෙයක් බවට පෙරළීමේ ශක්තිය ඔහු සතු විය යුතුයි. නිවේදකයා කියන්නේ කටමැත දොඩවන කෙනෙක් නෙවෙයි. සමහර වේලාවට ඔහු හරි නිහඬයි. හඬ සහ නිහඬබව අතර දෝලනය වන කෙනෙක්. වචනයට පණක් දීලා වචන රූපක බවට පෙරළන්න ඔහුට පුළුවන්. හොඳ නිවේදකයෙකුට වචන ඇවිද්දවන්න පුළුවන්.
අපි වෙනස් වෙන්න ඕනෑ අපේ මූලාශ‍්‍රයන් සහ සම්ප‍්‍රදායන් රැුකගනිමින් මිසක් ඒවා විනාශ කරමින් නෙවෙයි. ඕනෑම ක්‍ෂෙත‍්‍රයක වෙනස්කම් කළ යුතු ආකාරයක් තිබෙනවා. හැබැයි ගුවන් විදුලි මාධ්‍ය ගත්තොත් ඒක තේරුම් අරගෙන නැහැ කියලා කියන්න පුළුවන්.
නිවේදන කටයුතුවලදී ඔබ අනුගමනය කරන සුවිශේෂ ක‍්‍රම තිබෙනවාද?
මුල් කාලයේදී පිටපතක් බලාගෙන නිවේදන කටයුතු කළාට දැන් මම කැමති නැහැ එහෙම පිටපතක් ලැබෙනවාට. ප‍්‍රසංගයකදී වුණත් මම කැමතියි සජීවීව කතා කරන්න. එහෙම වෙනකොට මට හරි පහසුවක් දැනෙනවා. අපි කියන දේ මිනිස්සු අහගෙන ඉන්නවා නෙවෙයි, මට ඕනෑ ඒගොල්ලන්ගේ දේ මගේ ඇතුළාන්තයෙන් ඉදිරිපත් කරන්න. ඔබ හිතන දේ ඔබ කියන්න කලින් මා තුළින් කියන්නයි මට ඕනෑ. එතකොට ඔබට දැනෙනවා මම කතාකරන්නේ ඔබ ගැනයි කියලා.
ආයතනිකව හැරුණාම බාහිර ප‍්‍රසංග රැුසකට මගේ හඬ යොදාගන්න සංවිධායකයෝ උනන්දු වෙනවා. මගේ හඬට යම් වටිනාකමක් ලැබීම ගැන මම තෘප්තිමත්. ඒකේ ගෞරවය සම්පූර්ණයෙන්ම යන්න ඕනෑ ගුවන් විදුලියට. පොඩි කාලේ ඉඳලාම මම ප‍්‍රසංග කලාවට සෑහෙන්න ආදරය කළ කෙනෙක්. එනිසා මට මගේ නිවේදන කටයුතු සදහා වියරණයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඒ වියරණය සාර්ථක වුණා. වික්ටර් රත්නායකගේ ස ප‍්‍රසංගය ඒකට ගොඩාක් උදව් වුණා. ඊට පස්සේ මම බොහෝ දෙනෙකුගේ නිත්‍ය නිවේදකයා වුණා. මේ ජීවිතයට අද අවුරුදු 40ක් විතර වෙනවා. එදා ගුවන් විදුලියට ආ මුල් කාලයේ අත්සන් කරනකොට අපිට ඉහළින් අත්සන් කළ ඒ ප‍්‍රතාපවත් චරිත දැක්කාම අපි කවුද කියලා හිතුණා. හැබැයි නොයෙක් බාධක මැද්දේ අද ඉහළට ඇවිත්. ඉතිං මට මං ගැනම සතුටු වෙන්න පුළුවන්.
නිවේදන කටයුතුවලදී ඔබට මුහුණ දෙන්නට වෙන අපහසුතා ගැනත් කතාකරමු.
ජාතියේ පහන් ටැඹ ලංකා බැංකුව කියලා මගේ හඬින් කිව්වාම ඒ මොහොතේම එය ඉක්මවා යන වෙනත් බැංකුවක් ගැන මට කියන්න බැහැ. ඒ වගේ තමයි සුභාවිත ගීත ප‍්‍රසංගයකදී අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වගේ ගායකයෙක් අතර බල්ටි පුද්ගලයෙක් සිංදු කියන්න දැම්මාම එතකොට මට බැහැ අර මුලින් අය හඳුන්වා දුන්නා වගේ මේ පුද්ගලයාවත් හදුන්වා දෙන්න. එහෙම වුණාම මම පැහැදිලිව කියනවා මට කරන්න බැහැ වෙන කෙනෙක් සොයාගන්න කියලා. සුභාවිත ගීත ප‍්‍රසංගයකදී ගායක ගායිකාවන්ගේ සමබරතාවක් තියෙන්න ඕනෑ. ගායක ගායිකාවන් ගැළපෙන්න ඕනෑ. නැත්නම් වට්ටක්කායි අයිස් ක‍්‍රීමුයි වගේ වෙනවා. මෙතැනදී ප‍්‍රවීණයා සහ නවකයා ගැළපිය යුතු වුණත් ඒක විනාශය සදහා යොදාගත යුතු නැහැ.
නිවේදකයෙක් වශයෙන් ගුවන් විදුලි සංස්ථාව තුළ ගීත තෝරා ගැනීමේදීත් මම ඉතාමත් පරෙස්සම් වෙනවා. ගුවන් විදුලියේ තැටි ගබඩාව කියන්නේ කලාවැව වගේ. මේක දකුණු ආසියාවටම සම්පතක්. හැබැයි කවුරුවත් ප‍්‍රයෝජනයක් ගන්නේ නැහැ. අපි අපේ සම්පත් හිතාමතාම අතහැරලා දාලා. ගුවන් විදුලිය ගත්තොත් අද අපේ වැඩසටහන් ගැන ප‍්‍රචාරණය මදි. මමත් ඒක පිළිගන්නවා. අනික් පැත්තෙන් අපේ වියදම් සහ ආදායම එක්ක බලනකොට අපිට ඒ සඳහා වියදම් කරන්නත් බෑ. ඒ නිසා අපේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය අපේ හඬ විය යුතුයි. අපේ පෝස්ටර් එක බැනර් එක අපේ කටහඬ විය යුතුයි.