සියල්ල චමත්කාර ජනක ය. සදාතන වසන්තය සදා හරිත තුරුපත් මත නිදන්ව ඇත. සියල්ල එක්වන්ව අවදි වේ. නිද්‍රාවට පත්වන්නේ ද එක්වන්ව ය. ඈත ගිරි හිස් මතින් ඇදී එන මුදු පවන් රළ මිහිදුමාරය තුනී සළුවක් කොට හාත්පස අතුරයි. සියල්ල සන්සුන් ය. විඩා නිවන්නට තරම් සිහිල් ය. ඔබ මොහොතක් නිශ්චලව සවන් දෙන්න. කුරුළු කූජනය පමණක් නොවේ. පළා පෙත්තන්ගේ සසඟ කෙඳිරිලි පවා ඇසෙන මොහොතක් උදා වනු නිසැකය. සොබා දම් සිත්තරා ඇඳි සිත්කලුම සිතුවමක් ගැන ඉඩක් ලැබුණොත් මං කියන්නෙ එහෙමයි. ඔය ගමන් සැහැල්ලුවත් එක්ක එන්න අපි යමු බඹරකන්දට එතැනින් ලංකා ඇල්ලට.

පාර පටන් ගන්නෙ 99 කොළඹ බදුල්ල පාරට බෑවුමකින් අමුණලා හරියටම කියනවා නම් කලු පහන ඩබල් බ්‍රිජ් පහු කරපු ගමන්. බස් එකේ එනවනම් එතැන බැස්සොත් කඩ පොඩ්ඩකින් ඉඟුරු කහට කෝප්පයක් එක්ක පොල් රොටියකින් සප්පායම් වෙන්න පුලුවන්. මේ පාරෙ කොළඹ පැත්තට පල්ලම් බහින හුඟ දෙනෙක් තමන්ගෙම වාහනයකින් එනවනම් නැවතිලා වතුර ඩිංගක් නාගෙන යන්නෙ. සමහරු පොඩි අඩියකුත් ගහලා ගඟට බහිනවා. ගං දියට වඩා සීතල ළඟපාත පීල්ලක වතුර. බෙලිහුල්ඔය ගලගමෙන් පටන් ගත්තම හපුතලේට එනකම් සීතල දිය දහර ගලන පීලි විස්සකට කිට්ටු ගාණක් පහු කරන්න පුලුවන්. කන්ද උඩට එද්දි තමයි සීතල ටිකෙන් ටික වැඩි වෙන්නෙ.

පැරණි ගම්වල අලුත් හීන

බඹරකන්දට යන ගමන ගැන කියන්න කළිං වල්හපුතැන්න ඉස්කොලෙ ළඟට ගිහින් එමු. මේ ඉසව්වෙ තමන්ගෙ පිරිවර එක්ක හක්කලං කරපු මහාචාර්ය රාජ් සෝමදේව ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළුවා. ඔහු කිව්වෙ හල්දුම්මුල්ල ප්‍රාග් ඓතිහාසික යුගයෙත් ජනාවාස වෙලා තිබ්බා කියලා. ශිලා මෙවලම් විතරක් නෙවෙයි පස්සෙන් පහු කාලෙ යකඩ භාවිතා කරපු කාලෙත් සාපේක්ෂව පුරාණ ජනාවාසයක්. ඇත්ත මේ ගම් බොහෝම පරණයි.

සොරගුණු දේවාල පුවතට අනුව යාපා මහ රජ්ජුරුවන්නෙ කාලෙත් මේ ගම්වල මිනිස්සු හිටියා. පාරෙන් උඩ පැත්තට වීරකෝන්ගම, ගිනිගත්ගල වගේ පරණ ගම් තියනවා. ඒත් අවිචාරවත් පයිනස් වගාවයි, මෑත කාලෙක බර යන්ත්‍රෝපකරණ යොදාගෙන කළ වන වගා හෙළි කිරීමයි නිසා ගිනිගත්ගලට යන්න තිබුණු පහසු මාර්ගය නාය ගියා. දැන් ආයෙමත් මහජන මුදල් වියදම් කරලා පාර හදනවා. කතාව ඒක නෙවෙයි. පාර නාය ගියාම එ ඉසව්වෙන් යකාගෙ කොරිඩෝව දිගේ උඩවේරිය ලෝකාන්තෙ පැත්තට යන සෙනඟ අඩු වුණා. හරියට බැලුම් ගලක එල්ලිලා තියනවා වගේ කදිම නවාතැනක් වුණු වර්ල්ඩ්ස් එන්ඩ් ලොජ් එකට යන පිරිසත් සීමා වුණා. ඒ මාත් හරිම ආස තැනක්. සීතල දිය තඩාගය ළඟ හිටගත්තම ඈතින් කලු පීත්ත පටියක් එළලා වගේ තියෙන කොළඹ බදුල්ල පාර පේනවා. සමනල වැව, උඩවළව ඉසව්ව බෝගහපට්ටිය කැලෑ කුට්ටිය මේ හැම දේම සිතුවමක් වගේ. නාය ගිය පාර හදනකම් මේ චිත්‍රය බලන්න එනවනම් බඹරකන්ද දිය ඇල්ලට යන පාරෙ අතරමඟකින් හැරිලා එන්න පුලුවන්. හැබැයි මේ පැරණි ගම්වල මිනිස්සුන්ට තියෙන්නෙ අලුත් හීන. කඳු මැද්දෙ කැලෑ පාරවල්වලින් සොබාදහමෙ තුරුලට යන සංචාරකයො එක්ක නිදහසේ ගණුදෙනු කරන හීන. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ සංවර්ධනයට මුවා වෙලා සොබා මව කෝප ගන්වන්න එපා කියලා. නාය යෑම් පවා ටෙලිග්‍රෑම් ගහලා ගෙන්න ගන්න විපත් හැටියටයි මිනිස්සු දකින්නෙ.

ආසයි නම් පයින් යන්න

බඹරකන්ද දිය ඇල්ල පේන තෙක් මානයට වාහනයකින් යන්න පුලුවන්. පාර පටු වුණත් සුන්දරයි. කතා දෙකක් නැහැ කවුරු වුණත් දෙතුන් පලක බහිනවා කැමරාවෙ අලවාගන්න වටින තැන් දැක්කම. තැනක දෙකක එළිමහන් දෙණිවල හෙල්මලු කුඹුරු. දියදහරවල සිරි සිරිය. ඉතිං මේවා විඳගන්න ආස නම් හොඳම දේ පයින් යන එක. ජෝති අයියගෙ කඩේ පහු වුණාට පස්සෙ වාහනවලින් යන අයට නම් නැංගුරම්පළක් තියෙනවා. පයින් යද්දි අමුතුවෙන් තැන් හොයන්න ඕන නැහැ නැංගුරම් දාන්න. ඇවිදලා මහන්සි නම් ජෝති අයියගෙන් උණු කහට කෝප්පයක් බොන්න ඉඟුරු දාපු. නයිමිරිස් සම්බෝල එක්ක උණු පොල් රොටියක් හරි තිබ්බොත් තම්බපු මඤ්ඤොක්කා හරි කන්නත් පුලුවන්. මේ සාවියට නයි මිරිස් ආගමක් වගේ.

දිය ඇල්ල ගාවට යන්න ප්‍රවේශ පත්‍රයක් ගන්න වෙනවා. පිවිසුම් කවුන්ටරය  පාලනය කරන්නෙ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව. ඔවුන් එතැන සුන්දරව නඩත්තු කරන හින්දා එහෙම සුලු මුදලක් ගෙවුවට වරදක් නැහැ. තැනේ හැටියට හොඳ වැසිකිලි කැසිකිලි පහසුකමුත් තියෙනවා. ආපහු මේ පැත්තෙන්ම එනවනම් ජෝතිට කිව්වොත් උණු කැකුළු බත් උයලා තියයි. එහෙම දවසක් බත් කන්න මාත් එක්ක ආවා ගිතාර වාදකයා මහේන්ද්‍ර පැස්කුවල්. ආපහු මේ පැත්තෙන්ම එනවනම් කියලා කිව්වෙ සමහරු එහෙම එන්නෙ නැති හින්දා. කැලේ පුරුදු අය කුඩාරමකුත් අරගෙන ඇවිත් දිය ඇල්ල උඩහට නැඟලා බාගෙදා රෑ නැවතිලා පහුවදා උඩවේරිය පැත්තෙන් ඔහියට පල්ලම් බහිනවා. ඔහියෙදි කොළඹ යන්න කෝච්චිය අල්ලගන්න පුලුවන්. සමහරු ගමන කෙළවර කරන්නෙ හොර්ටන් තැන්නෙන්. සුද්දොත් රංචු පිටින් එන මේ පාරෙ ඇත්තටම එක දවසකින් යන ගමනක් හොයාගන්න පුලුවන්. දැන් නම් කැලේ කඳවුරු බඳින්න අවසර දෙන්නෙ නැහැ කියලයි කියන්නෙ.

ඒ බිඟු නදය.

බඹරකන්ද තමයි  ලංකාවේ උසම දිය ඇල්ල. දැන් නම් වතුර අඩුයි උඩවේරිය පැත්තෙ මිනිස්සු වගා කරන්න අතර මැද්දෑවෙන් හරස් කරන හින්දා. මේ කන්දෙ පර්වත ප්‍රාන්තයන් දැක්කම සීගිරියෙ ශිලා බෑවුම් මතක් වෙන්න පුලුවන්. ඒවයෙ එල්ලිලා තියෙන බඹර වද හින්දා කන්දට ඒ නම ලැබෙන්න ඇති. මට නම් ඇල්ල පාමුල නොගැඹුරු සීතල දිය තටාකයේ කරවටක් ගිලිලා ඉද්දි ඇහෙන්නෙත් මෘදු බිඟු නදක්. එතැන කිසිම අනතුරක සේයාවක් නැති තටාකයක්. පුලුවන්නම් දිය ඇල්ලෙ මුදුන් ඉම දිහා බලාගෙනයි ඉන්න ඕන. සැබෑ සෞන්දර්යකාමීන්ට නන්දන උයනෙ දොරටුව දර්ශනය වෙනවා. සියල්ලෙන් මිදිලා සීත දියේ සිතුවිලි මිදෙන්න සළස්වනවානම් නියම තැන ඇල්ල පව්වෙන් බිමට පනින්න ඉස්සර ගිමන් නිවන මුදුන් තැන මුදුන් තටාකය. එතැනට යන එක ලේසි නැහැ. හැබැයි ඒ දළ බෑවුම නගිද්දි වෙහෙසක් දැනෙන්නෙ නැති තරමට පරිසරය සුන්දරයි. හරිම පවිත්‍රයි. පපුව පිරෙන්න හුස්මක් අරගත්තම ආයුෂ ගෙවෙන පවු හේදෙනවා. තව තත්පර දෙක තුනකින් ජීවන අපේක්ෂාව ඉහළ යනවා. වැඩි දුරක් පයින් වනාන්තරය මැද්දෙන් යන්න තියන ගමන පරිස්සමෙන් යන එක කාගෙත් වගකීමක්. අතරමගදි කන්දෙන් එබිලා පහළ බලන්න හිතෙන්න පුලුවන්.

මං නම් කියන්නෙ ඇල්ල ඉහත්තාවට ගියාම හැම දේම නිස්කාන්සුවේ බලා ගන්න පුලුවන් නිසා එහෙම එබෙන්න වුවමනා නැහැ. මොකද කන්දෙන් එබිකම් කරපු සමහරුන්ගෙ ජීවිත ගමනත් මේ ගමනෙදි කෙළවර වුණ නිසයි එහෙම කියන්නෙ. හෝරා දෙකක් යන්නෙ නැහැ ඒ බිඟු නද ඇරඹෙන තැනට යන්න. ඇත්තටම එතැන විස්මයක්. මුණ ගැහෙන්නෙ සෞන්දර්යය විතරක් නෙවෙයි. නිවීම අත් දකින්න පුලුවන්. කැමැත්තෙන් වරුවක් නවතින්න පුලුවන් තැනක්. කැමතිනම් ආයෙත් පල්ලම් බහින්නෙ නැතිව උඩවේරිය පැත්තට කන්ද නඟින්න. එහේදි මුණ ගැහෙන්නට නියමිතයි දිව්‍ය ලෝකය මැද දුක. ඒ ඌව පළාතෙ කෙළවරක්. දෙමළ වතු කම්කරුවො අපා දුක් විඳිනවා සීතලයි හුළඟයි එක්ක ඔට්ටු වෙවී. හැම ලැයිමකම වහළෙට මහ ගල් කුට්ටි නග්ගලා තිබ්බෙ හුළඟ තහඩු හොරකම් කරගෙන යන්න ඉඩ තිබ්බ හින්දා. උඩවේරියෙ මිනිස්සුන්ට හපුතලේ, බණ්ඩාරවෙල කියන්නෙත් සිංගප්පූරුවක්. ඔවුන් තවම ගෙවන්නෙ සුද්දගෙ යුගය.

හරිත පැහැ රහසක්.

ආයෙමත් පල්ලම් බහිද්දි අතරමැද්දෙන් හැරිලා ලංකා ඇල්ල පැත්තට යන්නෙ නැත්නම් මේ ගමනෙ වටිනාකම අඩු වෙන්න පුලුවන්. හැබැයි එක දවසකින් ලංකා ඇල්ලයි බඹරකන්දයි දෙකම බලනවා කියන්නෙ සීරුවට කරන්න ඕන දෙයක්. කන බොන දේවලුත් එක්ක උදේ පාන්දර පටන් ගත්තොත් බැරි වෙන්නෙ නැහැ. ලංකා ඇල්ල පැත්තට යද්දි ගෙවන වන මං පෙත හෝර්ටන් තැන්නටම ඇදිලා යනවා. එක පැත්තකින් හෝර්ටන් තැන්නෙ මායිම් කඳු පෙනෙද්දි අනෙක් පැත්තෙන් පයින් යන්නන්ගෙ තවත් ගමනාන්තයක් වුණ වංගෙඩි ගල පේනවා. ඈත කඳු පාමුල හුදෙකලා කුඩා තේවත්තක ඉඳලා පල්ලම් බහින ගැමියෙක් අමු තේ දළු බරක් එක්ක මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා. මේ පාරෙත් සමහර තැන්වල කදිම කඳවුරු බිම් තියෙනවා හැබැයි දැන් ඒවායෙ නවතින්න අවසර ගන්න බැරි බවයි ගම්මු කියන්නෙ. එක කාලෙකට මේ මග දෙපැත්ත ලස්සන නෙළු මල් යායක් වෙනවා.

දුර්ලභ මීවන වර්ග කඳුකර ඕකිඩ් වර්ග ගණනාවක් තියෙනවා. කඳුකර තෙත් නිවර්තන වනාන්තරය හෝර්ටන් තැන්න පැත්තට ඉහළ නගිද්දි වළාකුළු වනාන්තර සහ පිග්මි වනාන්තර බවට පරිවර්තනය වෙනවා කියලයි මහාචාර්ය පියල් මාරසිංහ කිව්වෙ. අඩි සිය ගාණක් ඉහළ ඉඳලා පහළ දෙණිය දිහා බලද්දි ගලන දිය පහරවල පතුළෙ ගල් කැට ගණින්න පුලුවන් තරමට වතුර පැහැදිලියි. සොබාදහමේ මදිරාව පානය කළා වගේ මත් වෙලා නිසොල්මනේ ඉන්න රිළවු මොකක්දෝ දැහැනක. උන්ට බාධා කරන්න හිත ඉඩදෙන්නෙ නැහැ. අන්තිමට ලංකා ඇල්ල අසබඩට ගියාම පුංචි දිය ඇලි දියණියක්. හෝර්ටන් තැන්නෙන් ගලන දිය දහර හරිම සීතලයි. හැබැයි මෙතැන ගල මත්තෙ හැදිලා තියෙන තටාකයේ එබෙන්න හිතන්න එපා. පෙනුමෙන්ම බොහොම ගැඹුරුයි. ලංකා ඇල්ල පාමුලට එන්න කළියෙං අතරමඟින් හැරුණම තවත් ලස්සන දිය ඇල්ලක දෙනෙත් අලවගන්න පුලුවන්. හැබැයි ඒක වෙනම ගමනක්. ඔබ මේ ගමන යනවනම් පිය සටහන් විතරක්ම ඉතිරි කරලා එන්න. මොකද මේ පරිසරය හරිම පවිත්‍රයි.

ලසන්ත ද සිල්වා.