කැටිපෙ මාධ්‍ය සහ කලා ඉසව්වල වැඩ කරන්න ගත්තෙ දේශපාලන අරමුණු නිසාද? නැත්නම් දේශපාලනයට කලින් ඉඳන් කලාවේ යෙදුණාද?
මම ඉස්කෝල කිහිපයකට ගියා. තාත්තාගේ ගම ගාල්ල. අම්මා හලාවත පැත්තේ, පුත්තලම දිස්ත‍්‍රික්කයේ. මුලින් අඟු‍ලානේ හිටපු අපි අම්මාගේ ගමට ගියා. ඒ කාලෙ ඉදන් ඔය සාහිත්‍ය හුටපටවල හිටියා. කවි ලිව්වා, කතා ලිව්වා. හැබැයි ජ.වි.පෙ.ට සම්බන්ධ වුණේ පාසල් කාලයේදී නෙවෙයි. උසස්පෙළ දෙවැනි පාර ලියලා, පුංචි රස්සාවක් කරලා, පාසල්වල ස්වෙච්ඡුාවෙන් උගන්වලා තමයි ජ.වි.පෙ.ට සම්බන්ධ වුණේ. මම පක්ෂෙ එක්ක කොක්ක වඳින්න කලින්ම එළියේ වතාවත් ටික කරන්න පටන්ගත්තා. විරු සමරුවට හෙම මම යනවා. පක්ෂෙ හරහා නෙවෙයි. තනිවම යන්නෙ. ඒත් වැඬේ ඉවරවෙලා ගෙදර යන්නෙ පක්ෂෙ කට්ටිය යන ලොරි බාගෙක නැගලා. ලොරි බාගෙට නගින්න තවත් හේතුවක් තිබුණා. මොකද ඒ කාලෙ මගේ පෙම්වතියත් ඒ වාහනේ ගියා.

ඔබේ ජීවිතයෙ ජවසම්පන්නම කාලය ජ.වි.පෙ. වෙනුවෙන් යෙදෙව්වා. ඒත් අන්තිමේ ජ.වි.පෙ. සහෝදරවරුන්ගෙන්ම ගුටි කන්න පවා සිද්ධවුණා. ඉතින් ජ.වි.පෙ.ට යටකරපු කාලය අපතේ යෑමක් කියලා හිතෙන්නෙ නැද්ද?
නෑ. අපිත් සම්බන්ධ වුණ සමහර දේශපාලන ක‍්‍රියා ගැන දේශපාලන විවේචන තියෙන්න පුලූ‍වන්. මට පෝස්ටර් ආදිය ඇඳීමේ හැකියාවක් තිබුණු හින්දා පක්ෂයෙ ප‍්‍රචාරක පුවරු ඇන්දා. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ගල්කණු අඳින වැඩවලත් යෙදුණා. ඒ ගැන දේශපාලන ලැජ්ජාවක් මට තියෙනවා.

යම් පුද්ගලයෙක් ජ.වි.පෙ.න් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් එළියට ආවාට පස්සෙ සිවුරු අත්හැරියා වගේලූ‍….
මට තේරෙනවා ඔයා අදහස් කරන කාරණය. ඒකෙ පොඩි නිකායික ගතියක් තියෙනවා. ඒත් මට හිතෙනවා මම ස්වභාවයෙන්ම ටිකක් සමාජශීලී මිනිහෙක් කියලා. මාව එක හර පද්ධතියකට කොටු කරගන්න අමාරුයි. මගේ අත්දැකීමක් කියන්නම්. මම මුලින් කීවානෙ ජ.වි.පෙ. ලොරි බාගයෙ කතාව. ඒ යනකොට හරිම කලූ‍වරයි. විස්සක් විතර වාහනේ යනවා. තැනින් තැන වාහනේට ලයිට් එළි වැටෙනවා. එතකොට කට්ටිය දකිනවා නාඳුනන කෙනෙකුත් ලොරියේ ඉන්නවා කියලා. ඔය අස්සෙ ජ.වි.පෙ. සහෝදර සහෝදරියො විමුක්ති ගීත කියනවා. මම විමුක්ති ගී දන්නෙ නෑ. ඒත් මම තාලෙ අල්ලමින් බොරුවට සිංදුව කියනවා වගේ පෙන්වනවා. ඒත් තේරෙන්නෙ නැහැ. මම විමුක්ති ගීත කියන වැඬේට සෙට් වුනේ නැහැ. ඒ වෙනුවට ටික වෙලාවකින් මම ‘පන්සලේ.. පල්ලියේ…’ කියලා ප‍්‍රසිද්ධ විරෝධාකල්ප ගීතයක් කියන්න පටන්ගන්නවා. එතැනින් පස්සේ අර විමුක්ති ගීත කියපු කණ්ඩායම ජනප‍්‍රිය සිංදු කියන්න එකතුවෙනවා. ඒක අස්සේ තියෙනවා ඔය කාරණය. පක්ෂයේ හර පද්ධතිය සහ සාමාන්‍ය සමාජයේ හර පද්ධතිය අතර පක්ෂ සාමාජිකයන් දෝලනය වෙනවා. අපි වගේ අයව විටෙක කොන් වෙනවා. පස්සේ වුණත් අපේ සමහර හැසිරීම් බාරගන්න පක්ෂයෙ අය කැමති වුණේ නැහැ. මාව සුළු ධනේෂ්වර කෙනෙක් විදියට හංවඩු ගැසුණා. මොකද මම ජෝතිපාලගේ සිංදු අහනවා, පක්ෂයෙ සංස්කෘතික රාමුවෙන් පිට යනවා. ජ.වි.පෙ. ඇතුළේ ඉහළ දේශපාලන මණ්ඩලවල හිටියේ නැතත් මම දැනගෙන හිටියා පක්ෂයේ ඉහළම තලයේ සිට පහළම තලය දක්වා මං වගේ අය පක්ෂයෙ හිටිය බව. ජෝතිගේ, සුනිල් පෙරේරගේ සිංදු අහන අය, බොන අය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙත් ඒ වගේද?
අපි ජ.වි.පෙ.න් එළියට බැස්සාට පස්සේ වුණත් පෙරටුගාමී කට්ටියට සිගරැුට් එක්ක බොන්න අවුල් වගේ. අපි සිගරැුට් බොන්න පක්ෂයක් හැදුවෙ නැහැ. ඒත් සිගරැුට් බොන්න කැමති අයට නිදහස තියෙන්න එපැයි. අපි සිගරැට් බොන්න කැමති අය හින්දා පක්ෂ සාමාජිකයන් ඉදිරියේ ඒ වැඬේ කරන්න පටන්ගත්තා. කවුරුහරි බෙල්ල තියලා ඉදිරියට ඇවිත් පරණ සංස්කෘතිය කඩාගත යුතු වුණා.

කොහොම වුණත් පක්ෂයෙ සිටි අය අතර වර්ණවත් මිනිස්සුත් ඉන්න ඇති නේද?
ඒ යුගය සහ අපි එක්කට හිටපු කුලකයන් ගැන නොනැසෙන ආදරයක් අදත් තියෙනවා. මට න්‍යායික විවේචන තිබුණත් දේශපාලන පක්ෂවල අදත් වැඩකරන සහෝදර සහෝදරියන් ගැන අසීමිත පේ‍්‍රමයක් තියෙනවා. ඔයා කියනවා වගේ අසිරිමත් මිනිස්සු, ගැහැණු ටිකක් හිටියා. ඒත් සමහර ගතානුගතික සම්ප‍්‍රදායන් තිබුණා. එළියෙ සමාජය එක්ක ගණුදෙනු කිරීමේදී තියෙන නිකායික හැඩ නිසා කොටු කොටු වගේ පේනවා.

ජේ.වී.පී කරලා එළියට ආපු අය ධනේෂ්වරයට හොඳට සෙට් වෙනවා කියලා කියනවානේ. පක්ෂෙන් එළියට එනවා කියන්නෙ මොකක්ද?
අර සිවුරු ඇරියා කියන තර්කය එන්නෙ ඔතැනදී. බුද්ධාගමෙන් හැදුණ සංස්කෘතියට සමාන්තර එකක් තමයි වාමාංශික දේශපාලනයේදීත් තියෙන්නෙ. එක්කො ගිහිගෙයි ඉන්න ඕනෑ. නැත්නම් පැවිදි වෙන්න ඕනෑ. වමේ දේශපාලනය කියන්නෙ ධනේෂ්වර සංස්කෘතිය වෙනස් කිරීමේ දේශපාලනයනේ. පැලවත්තේ ජේ.වී.පී. ඔෆිස් එක තිබුණා කියලා පැලවත්ත චූටි කොමියුනිස්ට් ගම්මානයක් නෙවෙයිනෙ. පැලවත්තේ ඔෆිස් එකෙන් එළියට ඇවිත් සමාජය එක්ක ජීවත්වෙන්න ඕනෑ. වාමාංශිකයෝ ඉන්නෙ වෙනස් කළයුතු සමාජයේ. ඒකට මුහුවෙන්නේ නැතිව ඒක වෙනස් කරන්න බැහැ. මම කලිනුත් කියලා තියෙනවා. මම හරි ආසයි කොම්රේඞ් හෝ සහෝදරයා කියන වචනවලට වඩා මචං කියන වචනයට. ඒත් දැන්, අපට මචංලා වෙනම ඉන්නවා කොම්රේඞ්ලා වෙනම ඉන්නවා.

පක්ෂ දේශපාලනය කරද්දී යුද්ධෙට යනවා වගේ යොවුන් පේ‍්‍රමය අත්හරින්න වෙනවාලූ‍…
ඔයා දේශපාලනය එක්ක ගැටගහලා පේ‍්‍රමය ගැන අහපු නිසා මෙහෙම කියන්නම්. අපි පුරුදුවෙලා ඉන්න ජීවන විලාසය එකක්. ලංකාවේ සමාජය විසින් පේ‍්‍රමයට හදලා තියෙන ෆෝමැට් එක තව එකක්. කසාද බැන්දාම පොලිටික්ස් කරන්න බැරිලූ‍. ඉතින් ඒ වගේ පේ‍්‍රමය හෝ දේශපාලනය කියන පාරවල් දෙකෙන් එකක් තෝරාගන්න වෙන හන්දිවලදී පේ‍්‍රමයෙන් ගැලවිලා මම දේශපාලනයේ පාරට විසිවුණා. ඒ වුණාට මේ හැම තැනකදීම කැරකිලා කැරකිලා අපි හඹායන්නෙ, සොයායන්නෙ, අහිමි වුණාදැයි සැක කරන්නෙ ආදරයම තමයි.

පක්ෂ දේශපාලනේ කරනවා කියන්නෙ සහෝදරවරු එක්ක හතර අතේ, හිතුමතේ ඇවිදින එක. පක්ෂවලින් අයින්වුණත් රස්තියාදුව පුරුද්දක් වෙනවා. විවාහ වුණාම ඒ රස්තියාදුවේ වෙනසක් වුණාද?
අපි කැමති වුණත් නැතත් ෆැමිලි කියන්නේ ආකෘතියක්. මගේ අත්දැකීම ඒක. ඒක තනිකඩ ජීවිතය තරම් ලිබරල් කරන්න ගියොත් වැඬේ ඇනෙනවා. ඒත් අපට මැද මාවතක් හොයාගන්න පුලූ‍වන්. මම මගේ බිරිඳ අමාගෙන් ඉල්ලූ‍වෙ එක දෙයයි. ආගම් ගැන සහ දේශපාලනය ගැන මට තියෙන අදහසට විතරක් බලපෑම් කරන්න එපා කියලා. පවුලක ඉද්දී එකිනෙකා අයිතීන් සීමා කරගන්නවානෙ. එතකොට අඳින විදිය, කොණ්ඩය කපන විදිය, රැුවුල වවන විදිය ගැන බලපෑම් කරන්න පුලූ‍වන්. ඒත් අර විශ්වාසයන්ට සීමා දාන්න බැහැ. අපි දෙන්නාගේ වෘත්තිය වැඩවලදී වුණත් අපි අනෙකාගේ නිදහසට බාධා නොවෙන විදියට ගනුදෙනුව හදාගන්නවා. ඒත් ඔයා ඇහුවා වගේ කලින් තිබුණු හිතුමතේ ජීවිතේ විවාහය ඇතුලෙන් හොයන්න බැහැ. රවුම් ගහපු ජීවිතය නතර වෙනවා. කාටහරි හිතුමතේ ජීවත් වෙන්න ඕනෑනම් බඳින්න එපා. මොකද විවාහය කියන්නෙ සමාජය විසින් නිර්මාණය කරගත්ත ආකෘතියක්. සාම්ප‍්‍රදායික ආකෘතියටම නොගියත් මැද මාවතක හෝ යන්න සිද්ධවෙනවා.