■ පවිත්‍රා රූපසිංහ

ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ආරම්භ වන්නේ අසූව දශකයේ මුලයි. ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘දිමුතු මුතු’ පළමු ටෙලි වෘත්තාන්තයයි. මීළඟට පරාක්‍රම නිරිඇල්ලගේ ‘ලාහිරු දහසක්’ රසික ප්‍රසාදය දිනාගත්තා. සෝප් ඔපෙරා ආභාසය තුළින් නිපදවුණු ලංකාවේ පළමු දීර්ඝ ටෙලිනාට්‍යය ‘දූ දරුවෝ’යි. මේ අතර, යශෝරාවය, බුමුතුරුණු, ගම්පෙරළිය, අඹයහළුවෝ, සුදු කපුරුපෙති, ගජමන් නෝනා, රන්සිරිමල් වැනි නාට්‍ය සිංහල ටෙලි කලාවේ නොමැකෙන මතකයන් ප්‍රේක්ෂකයන් තුළ ඉතිරිකළා. එදා ඒ අයුරින් පුංචි තිරයේ රූප මැවූ ප්‍රවීණයන්, අද ගැඹුරු නිහැඬියාවක මන්ද? නවීනත්වය හා ගැටෙන්නට ඔවුන්ට දිරි නැතිද? සමහර රසලෝලීන් අද සිටින්නේ එවැනි උභතෝකෝටිකයකයි. නාට්‍යවේදී අතුල පීරිස් ඔවුන් වෙනුවෙන් ඊට උත්තර බැන්දා.

ජනප්‍රිය ලක්ෂණ නැතත්
‘ගොළු හදවත’ ජනප්‍රියයි
ලෝකයේ බොහෝ කලා නිර්මාණවල සරල හෝ උසස් ලෙස රස වින්දනාත්මක වශයෙන් ධාරාවන් දෙකක් පවතිනවා. ඒ අතර ජනප්‍රිය ධාරාව රසිකයන්ගේ තේරීම් මත තීන්දුවෙනවා. නිර්මාණයේ පවතින ජනප්‍රිය ලක්ෂණත් ඊට බලපානවා. චිත්‍රපටයක් ජනප්‍රිය කරවා ගැනීම සඳහා අතීතයේ සින්දු, සටන් ජවනිකා, විහිළු-තහළු බහුලව යොදාගත්තා. සමහර ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක් බැලුවේ ගීත නිසාමයි. එය චිත්‍රපටයේ ජනප්‍රියතාවට මහත් රුකුලක් වුණා.
‘ගාන්ධි’ වගේ චිත්‍රපටයක ඒ ලක්ෂණ කිසිවක් තිබුණේ නැහැ. ඒත් මිනිස්සු අධික ප්‍රමාණයක් ගාන්ධි බැලුවා සහ සම්මානත් ලබාගත්තා. ලංකාවේ ගොළු හදවත චිත්‍රපටයේත් ජනප්‍රිය ලක්ෂණ නැහැ. ඒත් එහි ජනප්‍රියතාවට නවකතාවේ ජනප්‍රියතාවත් බලපෑවා. එහි ප්‍රධාන චරිතය රඟපෑ අනුලා කරුණාතිලක චණ්ඩියා චිත්‍රපටයේ රඟපෑවා. එය ජනප්‍රිය ධාරාවේ නිර්මාණයක්. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක්. ඉනික්බිතිව ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සළු චිත්‍රපටයේ රඟපෑවා. එය අනෙක් චිත්‍රපට දෙකට සාපේක්ෂව ජනප්‍රිය වුණේ නැහැ. ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා. නිර්මාණයේ ජනප්‍රියතාවට වඩාත් වැදගත්ව ඇත්තේ පුද්ගලයා නොව නිර්මාණයේ ලක්ෂණ බව එයින් පෙනෙනවා. සංදේශයේ, රැජිණ මමයි, පෘතුගීසිකාරයා වැනි ගීත අදටත් ජනප්‍රියයි.
නිර්මාණයක ජනප්‍රියතාව කලින්ම තක්සේරු කළ නොහැකියි. එයට විවිධ සාධක බලපානවා. නළු-නිළියන් නිසා ජනප්‍රිය වූ නිර්මාණ තිබෙනවා. ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා රඟපෑ එදත් සූරයා අදත් සූරයා බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. ඒ වකවානුවේම නිෂ්පාදනය වූ නිධානය චිත්‍රපටයේ ඒ දෙපළම රඟපෑවත් සමහර හෝල්වල සතියක් දෙකක්වත් පෙන්වන්න බැරිවුණා. ජනප්‍රිය තලයේ සමහර නිර්මාණ හරියට මල් වෙඩි වගේ. බලන් ඉන්නකම් ඕනෑ තරම් වෙලා බලා ඉන්න පුළුවන්. ඒත් අවසානයේ හරවත් යමක් ඉතිරි නැහැ. තනි පුද්ගලයෙක් කඩුපොලු දරාසිටින තිහක් සමඟ සටන්කර දිනනවා. සාමාන්‍ය ජීවිතයේදී එහෙම නොවුණත්, ප්‍රේක්ෂකයන් ඉතාමත් ආසාවෙන් බලනවා, විසිල් ගහනවා. මොකද තමන්ට කරන්න බැරි දේ කවුරු හරි කරලා ජයගන්නවාට ඔවුන් කැමතියි. ඒවායේ විශ්වසනීයත්වය නැති වුණත් ඒ මොහොතේ මිනිස්සු ඒවා විඳිනවා.
උසස් රස වින්දනයේදී යමක් අවසානයේ ශේෂ වෙනවා. නිර්මාණයක් රසවිඳීමට ශාලාවට ඇතුළු වන පුද්ගලයා නෙවෙයි, යමක් අලුතෙන් දරාගත්තෙක් පිටව යනවා. නරඹන්නෙක් තමන්ගේ අත්දැකීම් නිර්මාණය සමඟ බද්ධ කරගන්නවා. විශ්වසනීයත්වය, සර්වදේශීය සහ සර්වකාලීනබව හොඳ නිර්මාණයකට අවශ්‍යයි. ඒවා කාලයක් පවතිනවා. නිර්මාණයක් ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් අවසන් විය යුතුයි කියමනක් තිබෙනවා. දැන් මිනිස්සු වැළඳගෙන තිබෙන සමහර නිර්මාණවල එය තිබෙනවාද? විශේෂයෙන් කොටස් දාහක, දෙදාහක මෙගා නාට්‍යවල එය සිදුවනවාද යන්න සැකසහිතයි.

නාට්‍ය අධ්‍යක්ෂවරයා
සංවිධායකයා බවට පත්වීම
බොහෝ ටෙලිනාට්‍ය නිර්මාණයේදී, අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයත් පුද්ගලික නාලිකා භාරගෙන තිබෙනවා. අද සමහර අධ්‍යක්ෂවරුන් සංවිධායකවරුන්. නළුනිළියන් තෝරන්නේ, ආලෝකකරණය, ඇඳුම්වල කලර්ස්, පිටපත ලියන්නේ, සංස්කරණ කටයුතු කරන්නේ නාලිකාවට ඕනෑ විදියටයි. ඒ වාගේම කොටස් දාහක නාට්‍යයකට කලින් නිමවූ ස්ථිර පිටපතක් නැහැ. පාන්දරට පිටපත් රචකයා සෙට්එකට කෝල් කරලා අහනවා, අද කවුද සෙට්එකට ඇවිත් ඉන්නේ කියලා. ඒ චරිත අනුව කතාව ලියනවා. නළුවෝ දෙබස් කියනවා. වැදගත් රංගනය නොවෙයි, දෙබස් ටිකයි. හරියට ගුවන් විදුලි නාට්‍යයක් කැමරාවෙන් පටිගත කරලා පෙන්වනවා වගේ. මේ විදියට රංගනය දියුණු වෙන්නේ නැහැ. අනාගත පරපුරට ආභාසය ලබාගන්ට ප්‍රතිරුප ගොඩනැගෙන්නේත් නැහැ. මෙවැනි පසුබිමක් තුළ කුසලතාපූර්ණ නිර්මාණ ශිල්පීන් වර්තමානය තුළ නිහඬව සිටිනවා. මොකද තමන්ගේ නිර්මාණ ජීවිතය ගොඩනගාගන්න ඔවුන් මහත් කැපකිරීම් කරලා තියෙනවා. ඒවා විනාස කරගන්න ඔවුන් සූදානම් නැහැ.
අද බොහෝ ප්‍රේක්ෂකයන් පුරුදුව සිටින්නේ හරසුන් නිර්මාණවලටයි. අර හොරදෙටුවා ළඟ හැදුණු ගිරවා වගේ උසස් රස වින්දනයේ ඇසුරක් නැහැ. එය ඔවුන්ගේ වරදක් නෙවෙයි. ටෙලිනාට්‍යයක් කියන්නේ රුප හා ශබ්දවල එකතුවක්. අද බොහෝ විට ඒවා බලන්නේ කෑම කන ගමන් නැත්නම් දරුවන්ට කෑම කවන ගමන්. අම්මා කුස්සියට යන්නේ හොඳ කොටස එද්දී කියන්න කියලා. නාට්‍යය අහන්නේ කුස්සියේ ඉඳන්. රංගනය කියන්නේ ඇක්ෂන් සහ රිඇක්ෂන්. ඒත් රේඩියෝ නාට්‍යයට ඒක වැදගත් නැහැ.

උසස් වින්දනයක්
ධම්ම ජාගොඩ 1985 අධ්‍යක්ෂණය කළ පළිගු මැණිකේ මල් වෙඩිල්ලක් නෙමෙයි. ගමට එන සූරසේන විවෘත ආර්ථිකය ගමට ගේනවා. ඔහුට ජීවය දෙන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහු වෙස්මුහුණු මාකර්ට් කරනවා. ගම්මුන්ව පාරිභෝගික භාණ්ඩවලට පුහුණු කරමින්, සාම්ප්‍රදායික දේ නගරයට විකුණනවා. කලාව මාකර්ටින්වලට යටත් වන බව එදා ධම්ම ජාගොඩ දැක්කා. ශ්‍රියන්ත, ජැක්සන් පළමු ප්‍රධාන චරිත කළේ මේ ටෙලිනාට්‍යයේයි. සූරසේන ප්‍රේක්ෂකයන් අතර එදා කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් වේදිකා නාට්‍යයක ඔහු ඉන්නවා නම් සූරසේන අද එනවා කියමින් තමයි එනවුන්ස් කරන්නේ. කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව, රන් කහවණු, තාරාදේවි, යශෝරාවය, දුන්හිඳ අද්දර මේ හැම එකක්ම අතිශය ජනප්‍රිය වුණා. මේවා නිෂ්පාදනයේදී කිසිදු අධ්‍යක්ෂවරයකුට නාලිකා ප්‍රධානීන් කිව්වේ නැහැ කළ යුත්තේ කුමක්ද කියලා. මම අහලා තියෙනවා පළිඟු මැණිකේ නාට්‍යයේ සමහර අවස්ථා හතලිස් වාරයක් පමණ රිහසල් කළ බව. අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය එයට. අද එය බැහැ.
එදා සිනමාව විචාරකයන් විසින් ධාරා තුනකට බෙදුවා. එයින් වාණිජ ධාරාවට නීල් රූපසිංහ, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාද, කලාත්මක ධාරාවට ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායකද, මැද මාවතට එච්.ඩී. ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී වැන්නන්ද ඇතුළත්ව සිටියා. මැද මාවතේ නිර්මාණ තුළ යම්කිසි සම්මිශ්‍රණයක් තිබුණා. ඒවා ජනප්‍රිය වුණා. ලෙස්ටර් නීල් රූපසිංහ වීමටවත්, නීල් රූපසිංහ ලෙස්ටර් වීමටවත් උත්සාහ කළේ නැහැ. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ හතරදෙනාම සූරයෝ නිර්මාණය කළ නීල් රූපසිංහ ගාමිණි ෆොන්සේකා යොදාගෙන අමල් බිසෝ කළත් එය ආදායම් වාර්තා පෙන්නුවේ නැහැ. ඔහු උත්සාහයක් ගත්තා කලාත්මක ස්වරුපයක් තම නිර්මාණවලට එකතු කරන්න. මේ විදියටම ජේ. සෙල්වරත්නම් නමැති ජනප්‍රිය ධාරාවේ නිර්මාණ ශිල්පියාද සහනය චිත්‍රපටය නිර්මාණය කොට උත්සාහයක් ගත්තත් එයද ආදායම් ඉපැයුවේ නැහැ. මෙහි විශේෂත්වය එකල තිරයේ ජනප්‍රිය ගාමිණි-මාලිනි මෙහි රඟපෑමයි. එසේම පණ්ඩිත් අමරදේව මෙහි පසුබිම් ගායනා කිරීමයි. එච්.ආර්. ජෝතිපාලගේ රජකම් කෙරුවත් කළකම් පල දේ ගීතය ඇතුළත් වූ ඔහුගේ ඔහොම හොඳද? චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වුණා. එදා මැද මාවතේ නිර්මාණ ලෙස විචාරකයන් හැඳින්වූ දෙවෙනි ගමන, සිකුරුලියා, දුහුළු මලක්, ආරාධනා, අපේක්ෂා වැනි චිත්‍රපට අදටත් රසිකයන් ඇලුම් කරනවා. වර්තමානයේ ජනප්‍රිය සහ කලාව යමෙකුට එකට මුසු කිරීමට අවශ්‍ය නම් මේවා තුළ ආදර්ශ තිබෙනවා.
වර්තමානයේ අප ප්‍රේක්ෂකයින්ට අප චෝදනා කළ යුතු නැහැ. අද ඔවුන්ගේ අවබෝධය මනින්න පුළුවන් මට්ටමේ නිර්මාණ විකාශනය වන්නේ නැහැ. එයට හේතුව මෙය අද හුදු ලාභ ලබන කර්මාන්තයක් බවට පත්වීමයි. මා දන්නා නළුවෙක් මට දවසක් කීවා, ‘මේ ළඟදී නාට්‍යයක ෂූටින් ගියා, මට කමිස 21 ක් සහ ඊට ගැළපෙන ටයි දුන්නා. එකම කලිසමට කමිස 21 මාරු කරමින් දවස පුරාම පටිගත කළා. අනෙක් නළුවා එදා ඇවිත් සිටියේ නැහැ. ඔහු තවත් දවසක ඇවිල්ලා ඔහුගේ දෙබස් කියලා තිබුණා. අපි දෙන්නට දෙන්නා දැක්කේ නාට්‍යය පෙන්වනකොටයි’. මේ කාර්යය සඳහා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය නැහැ. මේ ආකාරයට නිර්මාණයක් කරන්න ලෙස්ටර්ට ආරාධනා කරලා මුදල් නිසා හෝ වෙන යම් කරුණක් නිසා ඔහු කළා නම් එදා නිධානය, ගම්පෙරලිය බලපු රසිකයෝ දෙලොවක් අතර තනිවෙනවා නේද? මොකද අර්ථපතියා මුදල් දෙන්නේ නිර්මාණයට නොවෙයි අර පුද්ගලයාගේ නමටයි. රසිකයන් දෙලොවක් අතර තනි කරලා තමන් මුලදී ගොඩනගාගත් නාමය නැති කරගන්න බොහෝ නිර්මාණකරුවන් අද කැමති නැහැ. පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල එදා රුපවාහිනිය තුළ තමන්ගේ නම සනිටුහන් කළ නිර්මාණවේදීන් බව මතක් කළ යුතුයි.
දෙවියන් පය නොගසන තැන්වල මෝඩයෝ පිනුම් ගසනවා
නාලිකාවෙන් නාට්‍යය මෙහෙම කරන්න කියලා කියනවා නම්, ඒ වෘත්තියේ ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න ඕනෑ. නිර්මාණශීලී පුද්ගලයකු ආයතනයක ඉහළ තනතුරක් ගන්නවා කියන්නේ හරියට අම්බලමක ගිමන් හරිනවා වගේ දෙයක්. අම්බලමේ තියෙනවා මිනිස්සු වතුර බොන පින්තාලියක්. සුළු කාලයකට එන පුද්ගලයා පින්තාලියට විස එකතු කළොත් මොකද වෙන්නේ. ඔහුගේ අතීත නිර්මාණ ජීවිතයත්, අනාගතයත් විනාශයි. එවැනි කෙනෙක් නිර්මාණ වැරදි තැනට යොමු කරන්නේ නැහැ. හොඳම උදාහරණය ඩී.බී. නිහාල්සිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපති වූ යුගයයි. එය බැබලුණ යුගයක් ලෙස හඳුන්වනවා.
ලංකාවේ වෘත්තීය මට්ටමේ තියෙන්නේ දේශපාලනයයි, පූජක පක්ෂය විතරයි කියලා මට හිතෙන්නේ. කලාවේ දියුණුවක් ඇතිවෙන්න නම් එය වෘත්තීය මට්ටමක් ඇති කළ යුතුයි. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තොර විෂය පිළිබඳ නිපුණත්වයක් ඇති ප්‍රායෝගික අත්දැකීම් බහුල පිරිසක් සහිත නියාමන ආයතනයක් පිහිටුවිය යුතුයි. දෙවියන් පය නොගසන තැන්වල අද මෝඩයෝ පිනුම් ගසනවා.
77න් පසුව රටේ සෑම ක්ෂේත්‍රයකම රිදම්ස් වෙනස් වුණා. අප වේග රිද්මය හඳුනාගත යුතුයි. බුලත් මල්ලටම හෙණ වැදිලා තියෙද්දී, කිල්ලෝටය විතරක් රැකගන්න උත්සාහ කිරීම නිෂ්ඵලයි. අද ජනප්‍රියතාව සහ රේටින්ස් ගැන කතා කරනවා. රේටින්ස් ගන්නේ නියැදි තෝරාගෙනයි. එක්තරා රේඩියෝවක අයිතිකරු එම රේඩියෝවෙන්ම කිව්වා ඔහුට යමෙක් කිව්වාලු මුදල් මෙව්වර දෙන්න නාලිකාව උඩට ගෙනත් දෙන්නම් කියලා. රේටින්ස් හදන්නේ පෞද්ගලික ආයතනයි. ඒවායේ විශ්වසනීයත්වය ගැන සැකසංකා ක්ෂේත්‍රයේ මතුව තිබෙනවා. මෙය විශ්වවිද්‍යාලවලින් කළ හැකි දෙයක්. එහිදී ලැබෙන සමීක්ෂණ වාර්තා මිනිස්සු පිළිගනීවි. හැත්තෑව දශකයේ සිනමාවේ රේටින්ස් හැදුණේ කොහොමද? හවුස්ෆුල් කියලා බෝඩ් එකක් හෝල් එක ඉදිරියේ තියෙනවා. මම එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය බැලුවේ කමිසය ඉරාගෙනයි. හැබැයි නිධානය බලන්න කමිසය ඉරාගත්තේ නැහැ.
අනෙක තමයි, නූතන තාක්ෂණය නාට්‍යකරණයට අවතීර්ණ වීම තුළ, පරණ කලාකරුවෝ කියලා බෙදනවා. කලාකරුවන් පරණ වන්නේ නැහැ. නව තාක්ෂණය ආවා කියලා, ෆෝන්එකෙන් නාට්‍ය බැලුවා වුණත් රංගධරයාට වැදගත් සතර අභිනය. හැඟීම් තාක්ෂණයෙන් වෙනස් කරන්න බැහැ. ක්‍රි.පූ. පස්වන සියවසේ ඊඩිපස් නාට්‍යය පෙන්වූවේ ඇරීනා තියටර් එකකයි. පසුව පෙන්නුවා ප්‍රොසීනියම් තියටර් එකක. එහිදී තාක්ෂණිකව භෞතික දේ වෙනස්ව තිබෙනවා. ඒත් නාට්‍යයේ අන්තර්ගතය වෙනස්ව නැහැ.
අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරන්න ප්‍රවීණයන් ඕනෑම අවස්ථාවක කැමතියි. ඒ තත්වය නොලැබීම තුළ ප්‍රවීණයන් ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටිනවා. තමන් කරන දේ හරියට කරන්න බැරි නම් කිසිවක් නොකර මැරිලා යන්න ඔවුන් කැමතියි. මන්ද තමන් මෙතුවක් කළ නිර්මාණ මේ දක්වා සමාජයේ නොමැරී පවතින බව ඔවුන් දන්නවා. බර අදිනා හරකාගේ මිල ඉහළයි, බර අදිනා මිනිහාගේ මිල පහළයි. නූගතා ඉහළයි. බුද්ධිමතා පහළයි. උසස් නිර්මාණවලටත් සිදුව ඇත්තේ එයයි.■