■ සරත් ද අල්විස්

ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීම පිණිස පැමිණෙන ලෙස දන්වමින් ඉකුත් ජූනි 30 වැනිදා මා වෙත ලැබුණු කෙටි පණිවිඩයකට අනුව මම මගේ බිරිඳ ද කැටුව ජූලි 1 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණය වෙත ගියෙමි. දහවල් 12.40 වන විට එතැනට ගිය අප ආපසු පිටත් වන විට සවස 4.20 වී තිබිණි. අප ඒ ගත කෙළේ අතිශයින් ම හිරිහැරදායක පැය කීපයකි. මගේ බිරිඳ මැයි මස දී 79 වැනි විය පසු කළා ය. මම ද එන අගෝස්තුවේ දී 79 වැනි වියට එළඹෙන්නෙක්මි.

සුගතදාස ක්‍රීඩාංගණයෙහි නැරැඹුම් වේදිකාව වෙත යන පියගැට පෙළ මත වංගු ගසමින් ඉහළට පහළට යන දිගු පෝලිම දුටු මා තුළ එක් වර ම පහළ වූයේ “දෙවැනි මාත්‍රාව වුවමනා නැහැ යමු ගෙදර” යන සිතිවිල්ල ය.
එහෙත් මට එය කළ නො හැකි විය. දෙවැනි එන්නත ලබාගැනීමේ දැඩි වුවමනාවෙන් පැමිණි මගේ බිරිඳගේ අපේක්ෂාවන්, අප්‍රසන්න වැඩ පිළිවෙළක් හමුවෙහි මා තුළ පහළ වූ හිතුවක්කාර කෝපයට යට කර දැමීමේ සදාචාරාත්මක අයිතියක් මට නැත. මානව දුබලතා සහිත සමාජයේ බොහොමයක් පිරිස අතින් සිදු නොවන්නක් වන නමුදු අවුරුදු පනස් දෙකක් තිස්සේ මම ඇයට හරස්ව කටයුතු නොකෙළෙමි.

අවුරුදු දහයකට පෙර හෘදය සැත්කමකට භාජන වී සිටින මම හෘදය ස්ඵන්දනය විධිමත්ව පවත්වාගැනීම හා පපුවේ වේදනා වළක්වාලීම පිණිස ඖෂධ භාවිත කරන්නෙක්මි. ආතරයිටිස් මුල් ලක්ෂණයන්ගේ පීඩාවන් ද දැන් මට දැනෙන්නට පටන් ගෙන ඇත. එබැවින් මම මගේ අපහසුතාවන් අමතක කළ හැකි මගක් ගැන සිතීමි.
ජූලියන් බැගිනි ලියූ පිටු 103ක කුඩා පොතක් වූ “අ ෂෝට් හිස්ටි්‍ර ඔෆ් ටෘත්” මා අතෙහි තිබිණි. මානව හිතවාදී ජනප්‍රිය නායකයන්ගේ විවිධ නිර්මාණශීලී නිගමනයන් පිළිබඳ වැටහීමක් ලබා දෙන එම පොත, සනාතන සත්‍යයෝ, අධිකාරමය සත්‍යයෝ, ගුප්ත සත්‍යයෝ, සහේතුක සත්‍යයෝ, ආනුභාවික (අත්දුටු) සත්‍යයෝ, නිර්මාණාත්මක සත්‍යයෝ, සාපේක්ෂ සත්‍යයෝ සහ බලවත් සත්‍යයෝ යනුවෙන් දැක්වෙන සිත්ගන්නා උපශීර්ෂයන්ගෙන් සමන්විත විය. එන්නත ලබාගැනීම සඳහා ඊළඟ පැය කීපය ද මට රැඳී සිටින්නට වීම එවැනි බලවත් සත්‍යයකි. මගේ වේදනාවන් හා අපහසුතාව අමතක කිරීම සඳහා මම එවැනි දාර්ශනික සිතිවිලි තුළට සමවැදුණෙමි.

මගේ සුරතල් මුණුබුරු මිණිබිරියෝ සිත තුළට පිවිසියහ. ටෙලිප්‍රොම්ප්ටරයක උපකාරයෙන් ඉදිරිපත් කරන ලද එක්තරා හරසුන් දෙසුමක් පිළිබඳව මට සිහිපත් වීමට හේතු පාදක වූ ජූලියන් බැගිනි විසින් ‘බලවත් සත්‍යය’ වශයෙන් හඳුන්වනු ලැබූ විෂයය පිළිබඳව මම ඊළඟට සිතන්නට වීමි.

සැබැවින් ම අප්‍රියජනක වූ මෙවැනි නුපුහුණු ආඥාදායකත්වයක් පවතින පරිසරයක දිවි ගෙවන විට මගේ බුණුබුරු මිණිබිරියන්ගේ උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය දැකගන්නා තෙක් හෝ ජීවත් වීමේ අදහසින් එන්නත ලබාගැනීම ද අතිශයින් ම ප්‍රසන්න අරමුණක් වූයේ ය. තවත් අවුරුදු තුන හතරක් ජීවත් වී හෙම්බත් වූ ජනතාවගෙන් මේ කණ්ඩායම ප්‍රතිකිෂේප වන ආකාරය දැකගන්නට ලැබුණොත් එය ද සතුට ගෙන දෙන්නක් වනු ඇත.
කෙසේ වුව ද මම හැත්තෑ වැනි දශකය ගෙවන්නන් සමග පෙළ ගැසී පැය තුනකුත් තව ටික වේලාවක් ගත කෙළෙමි. ‘වෙන හැටියකට වෙන්නට’ ඉඩ හැර සිටින තවත් මගේ සමකාලීනයන් දෙස බලමින් මම සතුටු වීමි. එය කදිම අත්දැකීමකි. ඉහළ පියගැටයෙහි සිටින මා වැනි ඇතැමුන්ගේ දෙපා අපහසුව දරාගත නොහැකිව ගැහෙන ආකාරය පහළ පියගැටයෙහි සිටි මට පෙනිණි. ඒ කිසිවෙකු සිටියේ නිරුවත් දෙපා සහිතව නොවේ. ඒ තත්ත්වය නිර්මාණය කළ විවෘත ආර්ථිකයට එහි ගෞරවය හිමි විය යුතු යයි මම සිතමි.

ඉහළ පියගැටය දෙස බලන විට මට දක්නට ලැබුණු විවිධාකාර වූ විලාසිතාවන් අනුව සැකසූ විශාල පාවහන් සංඛ්‍යාව මෙම අවුල් සහගත නගරය තුළ ක්‍රියාත්මක කැරෙන එන්නත් ක්‍රියාවලියෙහි පවතින අසමානතාව කියාපාන සංකේතයක් වැනි ය. වාරකන් කාලයට ඔරොත්තු දිය නො හැකිව බිජු ලන කැස්බෑවන් මිය යද්දී ගොඩ කර පුරවන ලද බිමක ලොව ඉහළ ම මට්ටමෙහි නගරයක් ඉදි කිරීමේ සාධාරණත්වය ද ඉන් තහවුරු වන්නේ ය.
පසෙකින් ජගත්කරණය උදෙසා හඬ නගන අපගේ ව්‍යාකූල සමාජ දේශපාලන මතවාදයන් තුළ ගෝත්‍රිකත්වය රැකගැනීමේ ප්‍රයත්නයන් ද ක්‍රියාත්මක වීම සැබැවින් ම කනගාටුදායක ය.

ස්වකීය පාදයන්හි ඉදිමුණු මහපටැඟිලි ආපසු හැරෙන්නට සැරසෙද්දී වියපත් කාන්තාවෝ මහත් අපහසුවෙන් ඉදිරියට ඇදෙමින් සිටියහ. මම ඒ දෙපා හිමි අය දෙස බැලීමි. ඔවුන්ගේ මුහුණු මත ලියැවී තිබුණේ සුන්වූ අපේක්ෂාවන් පිළිබඳ ශෝකාකූල කථාන්තරයකි.

තෙවැනි හා අවසාන වටයෙහි සිටි මා ද එතැනට පැමිණෙන තෙක් රැඳෙන මෙන් පළමු වටයෙහි අවසානය වෙත පැමිණි කයින් දුබලව සිටි මගේ බිරිඳට මම කීවෙමි.

අනතුරුව පොලිස් නිලධරයෝ දෙදෙනෙක් අප දසදෙනා බැගින් වූ කණ්ඩායම්වලට වෙන් කොට පිටිය හරහා එන්නත ලබාදීම සිදු කැරෙන ගොඩනැගිල්ල වෙත යාමට සැලැස්වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු දැඩි හා රළු ආකාරයකින් කටයුතු කළ අතර තරුණයකු වූ අනෙක් නිලධරයා වයස්ගත දුබලයන් පිළිබඳ සානුකම්පිත ආකල්පයකින් යුතුව ක්‍රියා කළ බව පෙනිණි.

පෙනෙන්නට තුබුණේ කාලගුණික තත්වයන් පිළිබඳව සිතා බැලීමක් වැඩසටහන සංවිධානය කළවුන් අතින් සිදු වී නැති බව ය. වැසි පොද වැටෙන්නට පටන් ගත්තේ ය. අහස ද වලාකුළින් බරව තිබිණි.

හමුදා භටයෝ එක් කෙළවරෙක සිට කාඩ්පත් පරීක්ෂා කරමින් එන්නත සඳහා අපට අවස්ථා සැලසූහ. හමුදාවන්හි ගොරහැඩි දර්ශනය දැන් නගරයේ සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇති සේ ය. ඒ වෙනත් දිනෙක වෙන ම කථා කළ යුතු මාතෘකාවකි.

සැත්තෑ විය පසු කර සිටින අපගේ ජනාධිපති හා අගමැති එන්නත ලබාගන්නා ආකාරය දැකගැනීම පිණිස ආපසු පැමිණීමෙන් පසු මම අන්තර්ජාලය පිරික්සා බැලීමි. එහෙත් එවැන්නක් මට සොයාගත හැකි වූයේ නැත. දකුණු ආසියානු වෙනත් රටවල නායකයන් එන්නත ලබාගන්නා ආකාරය අනතුරුව මට දැකගත හැකි විය.

අපගේ ජනාධිපති හෝ අගමැති එන්නත ලබාගැනීමේ ඡායාරූප සොයාගත නොහැකි වන්නේ ඔවුන් සැබෑ ජනතා සේවකයන් වන හෙයින් විය හැකිය. සමස්ත රටවැසියනට ම එන්නත ලැබෙන තෙක් තමන් එය ලබා නොගැනීම ඔවුන්ගේ තීරණය වන්නට ද පුළුවන. එන්නත ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සමත් වූ කලාපයේ සෙසු රටවල නායකයෝ එන්නත ලබාගැනීමට පසුබාන සිය රටවැසියනට ආදර්ශයක් වීම පිණිස තමන් ද එය ලබාගැනීමට තීරණය කරන්නට ඇත.

මුළු දකුණු ආසියාවෙන්ම සී ඩබ්ලියු ඩබ්ලියු කන්නංගර කෙනෙකු පහළ වූයේ අප රටෙහි පමණි. එසේ ම 1931හි පටන් සර්වජන ඡන්ද වරම භුක්ති වින්දේ ද අපය. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය හා මාලදිවයින් යන සෙසු කිසිදු රටක් සතුව අපට මෙන් සියයට 95ක සාක්ෂරතාවක් නැත. නායකයන් මෙහෙයවා එන්නත් ලබාදීමේ කාර්යය තනිව ම කළ හැකි බව පෙන්වමින් හෙද සේවය ක්‍රියාත්මක කරවීමේ කාරිය කරට ගෙන සිටින භික්ෂූන් සිටින්නේ ද මෙරටෙහි ය.

මෙම ලිපියෙහි මුඛ්‍යාර්ථය වෙත මා යොමු වන්නේ මෙහි දී ය. ඒ මෙම අර්බුදකාරී අවස්ථාව සඳහා යෝග්‍ය ප්‍රබුද්ධ නායකත්වයක් පිළිබඳවයි.

තාඕවාදයේ නිර්මාතෘවරයා වශයෙන් සැලැකෙන ලාඕ ත්සු නමැති ඉපැරැණි චීන චින්තකයා ක්‍රිස්තු පූර්ව 630 දී නායකත්වය විග්‍රහ කර තිබෙන්නේ මෙසේ ය.

නායකයා ‘හොඳ ම’ වන්නේ එවැන්නකු ගැන මිනිසුන් අඩුවෙන් දන්නා තරමට ය. මිනිස්සු ඔහුට අවනතව ඔහු අගය කරත් නම් ඔහු එතරම් හොඳ නායකයෙක් නොවේ. මිනිසුන්ගේ අප්‍රසාදයට පාත්‍ර වන්නේ නම් ඒ ඉතා ම නරක නායකයෙකි.

මෑත ඉතිහාසයෙහි, එනම් යුරෝපා පුනරුද සමයෙහි විසූ දේශපාලන න්‍යායවාදියකු වූ මකියාවෙල්ලි විසින්, බලය හා නායකත්වය තුළ පවත්නා බල කිරීමේ හා විනාශයට පත් කිරීමේ ස්වභාවය ද සැලකිල්ලට ගෙන ප්‍රායෝගිකත්වයට වඩාත් බර වෙමින් නායකත්වය යන්න පහත දැක්වෙන ආකාරයෙන් නිර්වචනය කරනු ලැබ තිබේ.

බියජනක විය හැකි බව මෙන් ම ආදරයට පාත්‍ර වීමේ හැකියාව ද කෙනෙකු තුළ තිබිය යුතු ය. එහෙත් ඒ දෙක ම එකට පිහිටීම විරල වන හෙයින් බියජනක වීම වඩා ආරක්ෂා සහිත ය. එසේ ම ආදරයට පාත්‍ර වීමට තමා අසමත් වන්නේ නම් අප්‍රසාදයට පත් වීම කිනම් තත්ත්වයක් යටතේ වුව ද වළක්වාගත හැකි වන පරිදි බියජනක වීම කුමාරයකුට අවශ්‍ය වන්නේ ය.

නායකයන් යනු අභාග්‍යමත් අවස්ථාවන්හිදී මග පෙන්වන්නන් ය. දුර්භාග්‍යමත් කාලවල දී අවිනිශ්චිතතාව තුළ ජනතාව හෙම්බත්ව සිටින විට ඔවුන් දිරිගන්වමින් ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රේෂ්ඨ නායකයන් ක්‍රියා කර තිබේ. නායකත්වයක ක්‍රියාකාරිත්ව ස්වභාවයෙහි වෙනස්කම් පැවතිය හැකි නමුදු, ප්‍රායෝගික බවත් ප්‍රතිඵලදායක බවත් අනුව දුර්භාග්‍යමත් අවස්ථාවන් අබිබවනය කිරීම සඳහා එබඳු නායකත්ව ගුණාංගයන් තුළ පවතින ශක්තිය පිළිබඳ මතක නිසැකව ම පරම්පරා ගණනක් යන තෙක් නොනැසී පවතිනු ඇත.

අන්තර්ගත අදහස් ඍජු හා අව්‍යාජබවකින් යුතුව ගොඩනැගෙන්නේ නම් ජනතා විශ්වාසය දිනාගැනීමේ හැකියාව නායකයකු විසින් පවත්වනු ලබන කථාවකට තිබෙන අතර එවැන්නක් පොදුජන සන්තානයන් තුළ ගීතවත් කාව්‍යයක් බවට පත් වන්නේ ය. වටිනාකමින් යුතු සාරගර්භ කරුණුවලින් බැහැරව පූර්වගාමීන් විවේචනය කිරීමේ පටු දැක්මකින් එකී කථාව සමන්විත වන්නේ නම් එය නායකයකු සතු විය යුතු නිවැරැදි දෘෂ්ටිය හා දූරදර්ශීභාවය කියාපාන්නක් වන්නේ නැත.

ජාතියක් තුළ විශ්වාසය ගොඩනැංවීම පහසු කාර්යයක් නොවේ. ජාතියක අගැයීමට භාජන වන්නා වූ ඉහළ ම හර පද්ධතීන් පිළිබඳ අව්‍යාජ බැඳීමකින් යුතුව එය කළ යුතු වේ. යම් නව චින්තනයන් රෝපණය කරවනු ලබන්නේ නම් ජාතියේ සාමූහික විශ්වාසය තුළට කිඳාබැසීමේ ශක්තිය එකී නව චින්තනයට තිබිය යුතු ය. කථාවකින් අපේක්ෂා කැරෙන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන්නා වූ මාර්ගයක ගමන් කිරීමෙහි ලා ඔවුන් පෙළැඹවීමයි. සාමාන්‍ය ජනතා සන්තානයන් වෙත ආමන්ත්‍රණය කරන අතර ම දැනුමැත්තන්ගේ සන්තානයන් වෙත උද්දීපනයක් ලබා දීමේ හැකියාව එබඳු කථාවක තිබිය යුතු ය.

“ඇයි?” යන්නට පිළිතුර මිනිස්සු දනිති. ඔවුන් දැනගත යුතු වන්නේ “කෙසේද?” යන්නයි. සැලසුම කුමක්දැයි දැනගැනීමේ අවශ්‍යතාව ද ඔවුනට තිබේ.

වසංගතයක් හා සම්බන්ධ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ සැබෑ බලය පවතින්නේ පරම නිරවුල්භාවය තුළ ය. අදාළ වන්නා වූ මෙන් ම අදාළ නොවන්නා වූ ද පුවත්වලින් පිරුණු ලෝකයක බලය පවතින්නේ පැහැදිලි දැක්මක් ඉදිරිපත් කළ හැකි පාර්ශ්වයන් අතෙහි ය.

මෙම එන්නත් අවුල තුළින් විද්‍යමාන වන එක් සරල සත්‍යයක් තිබේ. ඒ නිසි නායකත්වය නම් කළමනාකරණ නිපුණතාව ම වන්නේ ය’ යන්නයි.

නායකත්වය සම්බන්ධයෙන් ඉතිහාසයෙන් සොයාගත හැකි කරුණු අපි පිරික්සා බලමු.

සාමූහික ප්‍රයත්නයන් තුළින් සාක්ෂාත් කරගනු ලැබූ ජයග්‍රහණයන්හි ගෞරවය කිසියම් නායක චරිතයක් වෙත පවරාලීම බොහොමයක් විචාරකයන්ගේ ‘විලාසිතාවකි.’ වන්දිභට්ටකම යනු ඉතිහාසය නොවේ.

වර්තමාන නායකත්වය පිළිබඳව මෙන් ම ඔවුන්ගේ තැනට කවුරුන් පත් විය යුතු ද යන්න පිළිබඳව ද කල්පනා කිරීම සඳහා පැය හතරක් ද ඉක්මවන කාලයක් එන්නත වෙනුවෙන් බලා සිටින්නට සිදුවීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මට ලැබිණි.

පාර්ලිමේන්තුව වෙත යළි පැමිණි ප්‍රතික්ෂේපිතයා පිළිබඳව මම කල්පනා කෙළෙමි. සිය පියාගේ අවිනිශ්චිත උරුමය ගැන කියාපාන පුත්‍රයා ද මගේ සිහියට ආවේ ය. අප්‍රමාණ ගැහැට විඳින්නට මට සිදුවූයේ ඒ පියාගේ ආඥාදායක පාලනය පැවැති සමයේ ය. මාක්ස් ලෙනින්වාදී වාග් දාමයක පැටලී අධිෂ්ඨානශීලීව කර්කශ දෙසුම් පවත්වන මනෝමූලවාදී පුද්ගලයකු වෙත ද මම අවධානය යොමු කෙළෙමි. මේ සියල්ල ගැන සිතමින් හා එක් පයකින් අනෙක වෙත මගේ සිරුරෙහි බර මාරු කරමින් පැය තුනකට ද වැඩි කාලයක් මම ගතකෙළෙමි.

වරින් වර අලුත් වීම සැබැවින් ම සිහිනවල ස්වභාවයයි. අලුත් ලෝකයක් දකින්නට මගේ මුණුබුරු මිණිබිරියනට හැකි වනු ඇත. එකී ලෝකය මෙතෙක් බිහි වී නැත. අවශ්‍ය වන්නේ පාරිසරක වශයෙන් වඩාත් හිතෛෂී වූ ද සමාජීය වශයෙන් සාධාරණ වූ ද ගුණධර්මමය වශයෙන් ශික්ෂිත වූ ද නව සමතුලිතභාවයක් ඒ තුළ නිර්මාණය වීමයි.
අපට තවත් නායකයකු අවශ්‍ය ද? නොඑසේ නම් අප ම ප්‍රතිනිර්මාණය විය යුත ද? සුරදූත පුරයක සිට නායකයන් පැමිණෙන තුරු බලා සිටීම අප දැන් නතර කළ යුතු නොවන්නේ ද?

සෙසු අය අබිබවමින් ගොස් නායකත්ව වගකීම් කරට ගැනීම සඳහා පුරුෂයකු හෝ ස්ත්‍රියක පොළඹවන සාධකය කුමක් ද? සෙසු අය අපේක්ෂා නොකරන නායකත්ව හිරිහැරය දෙසට ඇතැමුන් පමණක් ආකර්ෂණය වන්නේ ඇයි? විශිෂ්ට නායකයකු නිර්මාණය වන්නේ කෙසේ ද?

පෙර සිටි ශ්‍රේෂ්ඨ නායකයන් සියලු බාධාවන් මැඩගෙන දුෂ්කරතා මැදින් ස්වකීය සමකාලීනයන් අබිබවා ගොස් තමන්ගේ හෝ තම පවුලේ යහපත පිණිස නොව සිය අව්‍යාජ සේවය ලද ජනතාවගේ යහපත පිණිස කටයුතු කෙළේ කෙසේදැයි එම හිරිහැරකාරී පෝලිමෙහි අපහසුතා විඳගනිමින් හෙමිහිට ඉදිරියට ඇදන අතරතුර මම මගෙන් ම විමසීමි.

විශිෂ්ට පුද්ගල න්‍යායය පිළිබඳ විශ්වාසයක් මා තුළ නැත. එවැනි දෑ පවතින්නේ ගෝත්‍රික ජනකථා තුළ ය. ගෙමිදුලෙහි ගිනිමැලයක් වටා හිඳගෙන ස්වකීය නායකයන්ගේ වීරක්‍රියා යළි යළිත් ආවර්ජනය කරමින් රස විඳින ගෝත්‍රික සමාජයක සාමාජිකයන් බවට අප පත් විය යුතු ද?

ගිනිමැලය වටා හිඳගෙන කී එබඳු කතන්දර නිසා අවදි වූ දාර්ශනික සමාජ විද්‍යාඥයකු වූ හර්බට් ස්පෙන්සර් අනාගත ශ්‍රේෂ්ඨ නායකයන් සම්බන්ධයෙන් මෙසේ සඳහන් කෙළේ ය.

“ඔහු සිය සමාජය යළි සැකසීමට පෙර සමාජය විසින් ඔහු සකසනු ලැබිය යුතු ය.”

නායකත්වය පිළිබඳව වූ මෙම විෂයයෙහි දී මම පෞද්ගලිකව කාල් මාක්ස් සමග එකඟ වන්නෙමි.

“ මිනිස්සු ස්වකීය ඉතිහාසය සකසති. එහෙත් ඔවුන් එය සකසන්නේ පවත්නා මෙන් ම අතීතය විසින් හිමිකොට දුන් තත්ත්වයන් අනුව විනා ස්වකීය කැමැත්ත පරිදි නොවේ.”

අර්බුදයක් දැඩි නොවී පවතින විට නායකත්වය වැදගත් වේ. ගැටලුව නිවැරැදිව විනිශ්චය කිරීමේ මෙන් ම පිළියම් තීරණය කිරීමේ ද හැකියාව පවතින්නේ නායකත්වය සතුව ය.

නායකයකු රළ තරංග නිර්මාණය කළ යුතු නැත. නායකයා වනාහි විශාල රළ කඳන් මත නැගී රළ පදින්නෙකි.
නායකත්වය යන්න කුඩා දිය වළවල් තුළ සුළු රැලි නැංවීමට සමත් වන නොසැලකිය යුතු සිත් සමග පටලවාගත යුතු නැත. ව්‍යාජ උපදේශකයන් පමණක් නොව එවැනි නායකයෝ ද විශාල රළවලට යට වෙති.

ගෝත්‍රිකයනට අවශ්‍ය වන්නේ වීරයන් ය. සාධාරණ දැක්මක් සහිත නායකයන් ජාතියකට අවශ්‍ය ය. ශ්‍රේෂ්ඨ රණවිරු නායකත්වය වනාහි රාමායනය සහ මහාභාරතය නැතහොත් ඔඩිසි හා ඉලියඩ් තරම් පැරැණි සංකල්පයකි.

වීරයන් ගැන අසන විට පරිණතබවින් තොර සිත්වලට සුවයක් දැනේ. සෑම වීරයෙකු ම නායකයකු නොවන්නා සේ ම සෑම නායකයෙකු ම වීරයකු වන්නේ ද නැත.

20 වැනි සියවසෙහි වඩාත් ම අනුස්මරණීය පුද්ගලයා වශයෙන් සිය 2000 ජනවාරි කලාපයෙහි විශේෂාංගය නිර්මාණය විය යුත්තේ කවුරුන් වෙනුවෙන් ද’ යන්න පිළිබඳ සංවාදයක් ටයිම් සඟරාවෙහි කර්තෘ මණ්ඩලය තුළ හටගත්තේ ය. චර්චිල් සහ රූස්වෙල්ට් යන යුද විරුවන් දෙදෙනගේ නම් ඔවුන්ගේ කෙටි නාමාවලියෙහි ඇතුළත්ව තිබිණි. මහාත්මා ගාන්ධි සහ ඇල්බට් අයින්ස්ටීන්ගේ නම් ද එහි අතුළත් විණි.

20 වන සියවස කෙරෙහි මෙන් ම තොරතුරු සහ දැනුම අතින් වැදගත් වන්නා වූ නව සියවස කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කිරීමට අයින්ස්ටීන්ගේ සුවිශේෂ නිර්මාණ ශක්තිය සමත් වීම පදනම් කොටගෙන ඒ නම ඔවුන් විසින් තෝරාගැනිණි.

ඊශ්‍රායලයේ ජනාධිපති පදවිය ද අයින්ස්ටීන් භාර නොගත්තේය.

ටයිම් කතුවරයා සහ අයින්ස්ටීන් චරිතාපදානය ලියූ වෝල්ටර් ඉසාක්සන් අයින්ස්ටීන් හඳුන්වන්නේ පහන් ටැඹක් ලෙස විනා නායකයකු ලෙස නොවේ.

නායකත්වය යනු කිසියම් අරමුණක් සඳහා මිනිසුන් යොමු කරවීමයි.

මෙම වසංගත තතත්වය තුළ දී නායකත්වය වෙතින් බලාපොරොත්තු වන්නේ වයිරසය මැඩ පැවැත්වීමේ සුවිශේෂ අරමුණ දෙසට මිනිසුන් යොමු කරවා ජීවිත ආරක්ෂා කරගැනීමයි.

මෙම ලිපියේ අවසානය වෙත ළඟා වෙමින් සිටියදී මා ලේක්හවුසියේ සේවය කළ සමයේ මිත්‍රයෙක් මා අමතා සුගතදාස ක්‍රීඩාංගණය වෙත ගිය අනූපස් වැනි වියෙහි පසුවන අපගේ තවත් හිතවතෙකු පිළිබඳව සඳහන් කෙළේය. වාසනාවට මෙන් දැනට ද සේවයෙහි නිරත වෙනත් හිතවතෙකු විසින් කොළඹ නගර සභාව මගින් කිරුළපන දී ක්‍රියාත්මක කැරෙන තවත් එන්නත් මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබ හිරිහැරයකින් තොරව එන්නත ලබාගැනීමට එහි දී ඔහුට හැකි වී ඇත.

මම ඔහු ගැන සතුටු වෙමි. මෙයින් හැඟැවෙන යථාර්ථයක් ඇත. යුද හමුදා චර්යාවන් දැන් නගරයේ සාමාන්‍ය දර්ශනයකි. වම දකුණ යනුවෙන් ඔවුහු කල් බැලීමෙහි යෙදෙති. දකුණ කරන දෙය වම නොදනී. වම කරන දෙය දකුණ නොදනී.■