සෙමා ආයතනය හෙවත් උපායමාර්ගි ක ව්‍යවසාය කළමනාකරණ ආයතනය යනු පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට වර්ධනය කිරීම සඳහා ආරම්භ කළ ආයතනයකි. එහෙත් එම ආයතනයකින් කිසිම ආයතනයකට ලාභ අත්පත් කරදුන්නේ නැත. ඒ වෙනුවට කෝටි ගණන් මුදල් ගිල දමමින් සෙමා ආයතනය ක්‍රියාත්මක විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව සෙමා ආයතනයේ ආරම්භ කිරීමේ අරමුණු අතර නොතිබුණු වගකීම් එයට ලබාදී තිබුණි. අශෝක අබේගුණවර්ධනව එම ආයතනයේ සභාපතිධූරයට පත්කර තිබුණි.
අරතුරලියේ රතන හිමියන් සෙමා ආයතනයේ නිල නොවන ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය. ‘වසවිස නැති ගොවිතැනක්’ වැඩසටහන සෙමා ආයතනයේ ප්‍රධාන වැඩසටහන විය. කෝටි ගණනක් මෙම වැඩසටහනට වියදම් කර තිබුණි. විශ්වාසදායක ආරංචිමාර්ග පවසන අන්දමට එම වැඩසටහනේ ගිණුම් වාර්තා මේ වෙද්දී ජනාධිපති කාර්යාලයට ලබාදී ඇත. එම වාර්තා අතිශයින් අපැහැදිළිය. අනිද්දාට අදහස් දැක්වූ ආරංචිමාර්ග විසින් සෙමා ආයතනයේ සිල්ලර කඩයක ණය පොතකට සමාන කර තිබුණි.කෙසේ වෙතත් ඒවා පිළිබඳව වෙනම කතාබහ කළ යුතුය.
සෙමා ආයතනය වසා දැමීමට 2018 ජුලි 02 වන දින කැබිනට් පත්‍රිකාවකින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි. සැප්තැම්බර් මාසයේදී සෙමා වසා දැමීය. මේ පිළිබඳව පළවූ අනිද්දා පුවත්පතේ ලිපිය දැකීමෙන් පසුව සෙමා ආයතනයේ සේවය කල සේවකයන් හා එම ආයතනයේ උපදේශක නිලධාරීන් පිරිසක් අනිද්දා සමග අදහස් දැක්වීය.
ඔවුන් කී ආකාරයට ජුලි මාසයේදි ගත් කැබිනට් තීරණය සේවකයන්ට දැනුම් දී තිබුණේ නැත. මාස දෙකක් යන තෙක්ම එම ආයතනය වසා දැමීමට සුදානමක් ඇති බව ආයතනයේ උසස් නිලධාරින් විසින් සේවකයන්ට කියා තිබුණේද නැත. සෙමා ආයතනය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ ආයතනයකි. ආයතනය වසා දමන බව ඔහු කීවේද නැත. අවසානම මොහොතේ සෙමා වසන්නේයැයි කියා තිබුණි. සේවකයන් අසරණ වී තිබුණි. 2018/09/14 දින ජනාධීපති අතිරේක ලේකම් ඒ. මුතුමාල මහතාගේ අත්සන සහිත ලිපියකින් සෙමා ආයතනය අහෝසි කරන බව දන්වා තිබුණි. මාසයකටත් අඩු කාලයකදී ආයතනය වසා දමා සේවකයන්ව ගෙදර යවා තිබුණි.
ආයතනය වසා දැමීමෙන් අනතුරුව සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා යටතේ සේවය කල සේවිකාවන් 06 කුට පමණක් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ රැ කියා ලබා දී ඇත.
එහෙත් අවුරුදු 13 කට වඩා වැඩි සේවයේ නියුතු ස්ථීර සේවකයන් 26 ක් සහ වස විෂ නැති ගොවිතැන පිළිබඳ වැඩසටහනේ සේවකයන් 16 ක් සමගින් සේවකයන් 42 ක එම ආයතනයේ සේවය කර ඇත. එම සේවකයන්ට මාස 3කවත් වැටුප් ගෙවා තිබුණේ නැත. නිසි පූර්ව දැනුම්දීමක් කර තිබුණේ නැත. වෙනත් රජයේ රැකියාවලට අනියුක්ත කර තිබුණේද නැත.
‘අපි වැඩ කරන කාල සීමාවේදී අපිට බරපතළ විධියේ අසාධාරණකම් සිද්ධ වුණා. අපි වස විෂ නැති ගොවිතැන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වුණා. ඒ සඳහා අපි වැඩ කළා. නමුත් මේ වැඬේ අපිට හරියට කරගෙන යන්න සෙමා එක ඇතුළෙන්ම දුන්නේ නැහැ.’ සෙමා ආයතනයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අයෙකු  ්නිර්නාමිකව අදහස් දක්වමින් කීවේ එසේය.
‘මගේ සේවයට දැන් අවුරුදු 5ක් වෙනවා. සෙමා ආයතනය වහද්දීත් මම ගැබිණියක්. ඊළඟ මාර්තුවල තමයි මට දරුවා ලැබෙන්න නියමිතව තියෙන්නේ. ආයතනය වහද්දී අපට කිව්වා ජනාධිපති කාර්යාලයේ පුරප්පාඩු හොයාගෙන එන්න කියලා. ඒ නිසා ඔක්තෝබර් 16 වෙනිදා ජනාධිපති කාර්යාලයට ගියා . නමුත් ආරක්ෂක අංශයේ නිලධාරින් මට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. මට කිසිම වන්දියක් අවශ්‍ය නැහැ. මට ඕනෑ කරන්නේ රස්සාවක් විතරයි. මට දැන් මොන ආයතනයකට ගියත් කිසිම කෙනෙක් මට රස්සාවක් දෙන්නේ නැහැ. මම ඉදිරියේදි ප්‍රසූත නිවාඩු ලැබෙන්න නියමිත නිසා. මම බැංකු ණයක් අරගෙන ගෙයක් හදා ගත්තේ අපි වැඩ කරපු ආයතන විශ්වාස කරලා.’ මෙසේ පවසන්නේ සෙමා ආයතනයේ සේවය කළ නිලධාරිනියකි. රටේ ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයක් හදිසි දැනුම් දීමකින් පසුව මෙසේ වසා දමනු ඇතැයි ඇය කිසිදා විශ්වාස නොකරන්නට ඇත.
තවත් සේවිකාවකට හදිසියේ රැකියාව අහිමිවීම නිසා දැඩි මානසික ආතතියකට පත්ව ඇත. ඒ නිසා ඇය මේ වෙද්දී මානසික ප්‍රතිකාර ලබන්නීය. මානසික ප්‍රතිකාර ලබන නිසා ඇයට නව රැකියාවක් සෙවීමද අපහසු වී ඇත. ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයක සේවය කළ නිලධාරීන් පිරිසකට මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවීම කණගාටුදායකය.
මේ පිළිබඳව අනිද්දා කල විමසුමකදී සෙමා ආයතනය වසා දැමීමට අදාළ ලිපියට අත්සන් තැබූ ජනාධිපති අතිරේක ලේකම් ඒ‍. මුතුමාල මහතා පැවසුවේ සෙමා ආයතනයේ සේවය කර සේවකයන් 26 දෙනාම ක්‍රොන්තාත් පදනම මත බඳවාගත් අය බවයි. ඔවුන්ගේ කොන්ත්‍රාත්තු ආයතනයේ සභාපතිවරයා විසින් අවුරුදු පතා අලු‍ත් කර ඇති බවත් අදාළ ආයතනය වසා දැමිමෙන් එහි සේවය කල ඕනෑම සේවකයෙකුට යම් අසාධාරණයක් සිදු වී ඇති නම් කම්කරු දෙපාර්තුමේන්තුවට ගොස් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් ඔහු අප සමග කීවේය.■