ලක්ශාන්ත අතුකෝරල

චිත‍්‍රපට 30ක් අධ්‍යක්‍ෂණය කළා වූද, ලෝක සිනමාවට මහත් බලපෑමක් කළා වූද සිනමාකරුවෙකු තමාගේ නිර්මාණ පිළිබඳ පළ කළ අදහසක් නෙත ගැටිණි.
‘‘මගේ සියලූම චිත‍්‍රපටවල ඇත්තේ එක් පොදු තේමාවකැයි මම සිතමි, ඒ ගැන සිතන විට, ඒ තේමාව තවමත් මට දැනෙන්නේ ප‍්‍රශ්නයක් ආකාරයෙනි, මිනිසුන්ට එක්ව සතුටින් විසීමට නොහැකි ඇයි?’’
මෙසේ කියන්නේ කුරසාවාය, ජපන් ජාතික ලෝක පූජිත සිනමාකරු අකිර කුරසාවා ය. 1989දී ඔහුගේ නිර්මාණ දිවිය වෙනුවෙන් ඇකඩමි ගෞරව සම්මානය පිරිනැමුණේ ලෝක සිනමා පේ‍්‍රක්‍ෂක ප‍්‍රජාවට දායාද කළ ධෛර්යය – සොම්නස සහ අර්ථ සම්පත්තියත්, ලොව පුරා සිනමාවේදීන්ගේ නිර්මාණ කෙරෙහි කළ උසස් බලපෑමත් උදෙසාය. ඉහත ප‍්‍රකාශය දකිත්ම මට මතක් වූයේ කුරසාවාගේ සුප‍්‍රකටම නිර්මාණ වන ‘රෂොමොන්’, ‘ඉකිරු’ හෝ ‘සෙවන් සමුරායි’ නොවේ. ඔහු අසූ වැනි වියේදී නිර්මාණය කළ ‘සිහින’(Dreams) නම් වූ සිනමා කෘතියයි. පසුගි ය මාසයක පමණ කාලය ගෙවුණේ දශකයකට පමණ ඉහතදී නරඹා තිබූ එය නැවත නැරඹීමේ නොඉවසිල්ලෙනි.
කුරසාවා, තමන් දුටු සිහින දැවටූ, තමන්ගේම පිටපතක් අනුවDreams නිර්මාණය කරන්නේ මායා යථාර්වාදය මුසු කළ සුවිශේෂී කෙටි චිත‍්‍රපට අටක එකතුවක් ලෙසිනි. ස්ටීවන් ස්පිල්බර්ග් එය වෝනර් බ‍්‍රදර්ස් නිෂ්පාදනයක් ලෙස ගෙන ඒමට මැදිහත් වෙයි. 1990 කෑන්ස් උළෙලේදී තිරගත වූ Dreams පුදුමයකට මෙන් හරිහමන් පේ‍්‍රක්ෂක විචාරක අවධානයක් දිනා ගන්නේ නැත. එහෙත් මට නම් එය කාව්‍යාත්මක වූත්, සිනමාත්මක වූත් අතිප‍්‍රබල නිර්මාණයකි. තමා සිනමාව දකින්නේ ‘සිතුවම් කලාව, සාහිත්‍යය, රංගනය සහ සංගීතය යන සියල්ලේ එකතුවක්’ ලෙස යැයි කුරසාවා පවසා ඇත. ‘සිහින’ තුළත් ඔහු එම සංකලනය ප‍්‍රශස්ත ලෙසම ගොනු කර ඇත. එහෙත් ඒ බරපතළ නිර්මාණයේ මුළුමහත් සෞන්දර්යයම මෙහි ඉතිරි වචන තුන්සීය තුළ මම කෙසේ නම් ගොනු කරම්ද?
‘වැස්ස තුළ ඉර එළිය’ (Sunshine through the Rain) නම් පළමු රූප ළියවැලෙහි ඇත්තේ කුරසාවාගේ ළමාවියේ සිහිනයකි. ‘වැසි පොද අතරින් ඉර දිලිසෙන දිනවල සි`ගාල වංශිකයන්ගේ විවාහයන් සිදු කරෙන්නේය.’ යන ජනප‍්‍රවාදය සමග අපට සිහි වන්නේ ‘අව්වයි වැස්සයි නරියගේ ම`ගුලයි’ යන කියමනයි. සාම්ප‍්‍රදායික ජපන් සමාජයේ ගුප්ත හෙවණැල්ල, නිවසෙහි දොරගුළු ලා ගත් කල, හුදකලා පොඞ්ඩෙකු ‘හරාකිරි’ පිහිය ද ගෙන, සි`ගාලයන්ගෙන් සමාව ගැනීමට කදුකරයේ දේදුනු සෙවණ කරා ගාටන්නේය. ‘පීච් වත්ත’ (Peach Orchard) කදිම පරිකල්පනයක ඵලයකි. සොබා දහමට ආදරය කරන කුඩා දරුවෙකුගේ සිහිනයකි. වැඩිහිටියන් විසින් සිඳ දමන ලද පීච් ගස් පෙළ වෛවර්ණයෙන් පැමිණ අවසාන වතාවට කුඩා දරුවා ඉදිරියේ යළිත් මල් දරයි. මිනිසා පරිසරය විනාශ කිරීමෙන් පසු ඉතිරි වන පාළුව වැඩිහිටියන් පවා හඬවන්නකි. ‘හිම කුණාටුව’(The Blizzard)නම් වූ ඊළඟ සිහිනය ධෛර්යය පිළිබඳ කතාවකි. කුණාටුවකට හසු වන හිම කඳු තරණය කරන්නන් දිරි සිඳී, නිදිමත පරදවනු නොහී මරණයෙහි නවතින අයුරත්, තරණයේ නියමුවා ආගන්තුක ගැහැනිය (මරණය)ගේ පෙළඹවීම් නොසලකා, මහත් වෙහෙසකින් සහ දිරියකින් දිවි ගළවා ගන්නා අයුරත් එහි නිරූපිත ය.
‘උමඟ’ (The Tunnel) වඩාත් හද සසළ කරන සිහිනයයි. දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය ජපන් සෙබළ බලඇණියක අවතාර තම ප‍්‍රධානියා හමුවීමට එයි. ප‍්‍රධානියාගේ සුරතල් සුනඛයා පවා එයි. උමගෙන් සංකේතවත් වනුයේ, සැබෑ ලොවත්, පරලොවත් අතර කලාපයයි. ප‍්‍රධානියා, අවංක ශෝකයකින්, ඔවුන් සැම මළගිය ඇත්තන් බව ස්ථිර කර ආපසු හරවා යවයි. ‘කාකයෝ’ (Crows) තුළ සිටිනුයේ සජීවීකරණය වන සිතුවම් මතින් වැන්ගෝ සොයා යන ආධුනික සිත්තරෙකි. කුරසාවා වැන්ගෝගේ අපැහැදිලි මනසත්, පෘථුල කලාවත් විවරණය කර, ඔහුගේ ‘කපුටන් සහ තිරිගු යාය’ නම් සිතුවම අසළ අප මනැස් නවතාලයි. ‘ෆූජි කන්ද රතු පාටින්’ (Mount Fuji in Red), ‘වැළපෙන යක්ෂයා’(The Weeping Demon) සහ ‘වතුර යන්ත‍්‍ර ගම්මාන’(Village of the Watermills) යන නිර්මාණ ති‍්‍රත්වයම එක්තරා ආකාරයකින් මිනිසාගේ අනුවණකම්, ඔහු සොබාදහමෙන් ඈත්වීම, සරල සාමූහික දිවියේ වැදගත්කම වැනි තේමාවන්ගේ සංකලනයකි. එහිදී යොදාගෙන ඇති නවමු සංකල්ප සහ අපූර්ව ඉන්ද්‍රජාලික පසුබිම් තවත් කලා නිර්මාණ දහසකට වුව වස්තු බීජ සපයනු ඇත.
‘යුමී’ (Yumi) නමින් ජපන් භාෂාවෙන් ද නිපදවුණු මේ නිර්මාණයෙන් ගලන සිහින ගැනත්, ඒවායින් උනන අනුසිහින ගැනත් කීමට කොතෙකුත් අටුවා ටීකා ඇතත්, ඔබට මිහිර රහසක් පවසා ලියවිල්ල කෙටි කරමි.Dreams සිනමා කෘතියේ සෑහෙන තරමේ හොඳ පිටපතක් Youtube ඔස්සේ ඔබට නැරඹිය හැකිය. එය නරඹා මා මෙහි නොකී දෑ කියවා ගන්නැයි ඇරියුම් කරමි. ලෝකයටත් මිනිසාටත් ආදරය කළ කුරසාවා මිය ගොස් ඇතත්, ඔහු ‘වතුර යන්ත‍්‍ර ගමේ මහලූ මිනසාගේ’ වෙසින් තවමත් අපට කතා කරයි.
‘…..තමන් ස්වභාවධර්මයේ කොටසක් පමණක් බව අද මනුෂ්‍යයන්ට අමතක වෙලා. ඔවුන්, විශේෂයෙන්ම විදයාඥයන්, හිතනවා, තමන්ට උසස් දේවල් නිපදවිය හැකියි කියා. ඔවුන් දක්ෂ ඇති. ඒත් ඔවුන් කවදාවත් ‘සොබාදහමේ හදවත’ නම් හඳුනා ගන්නේ නැහැ…..’