අවසානයේ සිදුවිය හැකි බිහිසුණුම දෙය සියල්ල යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම බව පසුගි ය දිනවල සිදුවුණු දේශපාලනික අස්ථාවරතා සමයේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් අඩවියේ ලියා තැබී ය. වැඩිදෙනෙකු සිනා මුහුණුවලින් සංග්‍රහ කොට තිබුණු ධනංජයගේ ප්‍රකාශය වඩාත් ගැඹුරින් සිතා බැලූ අයෙක් වී නම් එහි වන සිනහව ඉක්මවන ඛේදනීය තත්ත්වය වටහා ගනු ඇත. මගේ මේ ආරාධනය ධනංජය මතු කරන කාරණයත් සමගම සිතමින් ‘අවසානය’ ලෙස අප වටහා ගන්නා ස්ථානය පිළිබඳව යළි සිතා බලන්නට එකතු වෙන ලෙස ය. කලාව ඇසුරෙහි දී වුව අප ‘කෙළවර වීම’ ලෙස වටහා ගන්නා තත්වය කෙතරම් දුරට අප යම් ආකෘතික සිතන්නකු බවට පත් කොට ඇත් ද යන්න පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට ය.
ඇමරිකානු හොලිවුඞ් මහා සිනමා සම්ප්‍රදාය තුළ තිර රචනා ‘ගුරු’ කෙනෙකු ලෙස ඉහළ තැනක තබා පිළිගන්නා සිඞ් ෆීල්ඞ් ‘හොඳ තිර රචනයක’ පැවතිය යුතු ගුණාංග රාශියක් පිළිබඳව සාකච්ඡා කරයි. ඔහුගේ ක්‍රමවේදයට අනුව ප්‍රේක්ෂකයා අතරමං නොකරන කතාවකට නිසි මුලක්, මැදක් හා අගක් තිබිය යුතු ය. නිසි චරිත සංවර්ධන රීතින් අනුව නැගුණු ප්‍රධාන චරිතයක් අදාළ කතාව තුළ නිශ්චිතව මුණ ගැසෙන ‘දුෂ්ට චරිතය’ පරාජය කොට අග කොටස නියම කරන කාල සමය තුළදීම සිය ජයග්‍රහණය වාර්තා කළ යුතු ය. ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂාගාරයෙන් නැගිට යා යුත්තේ සිතෙහි ඇති අපැහැදිලිතා සමගින් නොවේ. කතාව තුළ අප වර්ධනය කළ සියලු‍ම අර්බුද සිනමා කෘතියේ අවසන් රූප රාමුවත් සමග විසඳී ගොස් සැහැල්ලු‍ මනසකින් යුතු ප්‍රේක්ෂකයකු අසුනින් නැගී සිටිය යුතු ය!
සිඞ් ෆීල්ඞ් මේ යෝජනා කරන්නේ නැවුම්, පෙර නොවූ විරූ ආඛ්‍යාන ස්වරූපයක් නොවේ. ක්‍රි.පූ. 335 දී පමණ ඇරිස්ටෝටල් විසින් රචනා කරන ලදැයි සැලකෙන ‘කාව්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථය තුළ ඔහු යෝජනා කළ ආඛ්‍යාන රචනා ක්‍රමවේදය තුළ වන යෝජනාවම ය. වසර දහස් ගණනක් තිස්සේ නාට්‍ය, සාහිත්‍ය ඈ ආඛ්‍යානය ප්‍රමුඛ කොටගත් ලේඛනයන් තුළත්, පසුකාලීනව එම රටාවන් ගුරු කොටගත් සිනමාව තුළත් යළි යළිත් ඉතා සුළු අපගමනයන් මධ්‍යයේ වුව මුණගැසෙන්නේ ඇරිස්ටෝටලියානු ක්‍රමවේදයම ය. සිඞ් ෆීල්ඞ් අනු දකින්නේ ද එයයි.
මෙම ක්‍රම රීතීන් වඩාත් ප්‍රබල ලෙස සිත්හි සටහන් වූ පසු අප තිරය, වේදිකාව ආදි ස්ථානවල දකින්නට වැඩිපුරම ආසා කරන්නේ ඉහත පරිදි සියල්ල පරදා ජය ලබන ‘වීරයකු’ මුණ ගැසෙන කතා ස්වරූපයන් ය; ඒ හා සමග සියලු ගැටලු විසඳී, සියල්ලෝ සතුටින් විසිර යන කතාන්දර ය. මෙම ස්වරූපයන්හි ඇති සිත් ඇදගන්නා බව කොතරම් ද යත් ‘හොලිවුඞ් මහා සිනමාවට’ දැඩිව ආසක්ත වුණු පුද්ගලයන් අබිං කෑවුන් වැනියැයි වාමවාදී සිනමා විචාරකයකු වරෙක ලියා ඇත. එම රටාවම ඉල්ලීම ඇබ්බැහියකි. ‘අබිං කෑ පරිදි’ එම රටාවම විමසන අප අවසානයේ කතන්දර ලෙස විශ්වාස කරන්නේම එම ස්වරූපයන් පමණි.
මෙය සත්‍යයක් ද?
සැබවින්ම කලාතුරකින් හෝ ‘වීරයකු විසින් සියලු‍ නරක පරාජය කරනු ලැබීම’ සිදු වීමට ඇති ඉඩ ඉතා අවම බව තථ්‍ය ලෝකය බොහෝ උදාහරණ අප වෙත සපයා දී ඇත. වඩාත් පෙරටුගාමී කලා භාවිතයන් අප වෙත ගෙන එන්නේ ද ‘වීරයකු නැති’ මෙම ලෝක යථාවයි. නැතහොත්, ඊටත් වඩා, පරාජය කිරීමට අසීරු බිහිසුණු සහ ඛේදනීය දුෂ්ටත්වයන් සහ අමිහිරි තථ්‍ය ලෝක ස්වභාවයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලි, ප්‍රංශ ආදි සිනමාවන්, සංස්කෘතික විප්ලව සමයන්ගෙන් පසු ඉරාන සහ චීන රටවල සිනමාවන් මේ ආකාර ප්‍රතිවිරෝධී ආඛ්‍යාන අප වෙත තැබූ උදාහරණයන් ය. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ, ඉයනෙස්කෝ සහ පින්ටර් වැනි නාට්‍යකරුවන් මේ ආකාර නාට්‍ය වේදිකා උදාහරණයන් අප වෙත තබා ඇත.
වඩා දියුණු කලාකෘති සේවනය කරන සමාජයක් සාදා ගැනීමෙහි ඇති වටිනාකම් රැස අතර මෙම ‘වීරයාගේ ජය’ පමණක් නොපතන බහුවිධ අවසානයන් වටහා ගැනීමේ තත්ත්වය හමුවීම ද වෙයි. සැම මොහොතකම තබා කලාතුරකින් වුව වෘකයා පරාජය නොවන බව වටහා ගැනීම ජීවිතය, ඒ හා සමග බද්ධව පවතින සමාජ දේශපාලන දේහය වටහා ගැනීමටත්, එයට එරෙහිව ස්වකීය අරගලය වඩාත් දියුණු ලෙස ක්‍රියාත්මක කිරීමටත් සහාය දක්වනු ඇත. වඩා සබුද්ධික සමාජ ජීවියකු නිර්මාණය කර ගැනීමට උදව් දෙනු ඇත.
ධනංජයගේ ‘සිනහ කැඳවනසුලු’ පාඨය දෙස දැන් අපි නැවත හැරී බලමු. ඔහු කී පරිද්දෙන්ම දැන් යළි එලඹ ඇත්තේ සියල්ල සාමාන්‍ය වූ තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමූ පාලකයන්ට අධිකරණය පාඩම් උගන්වා ඇත. වරදකරුවන් එය පිළිගෙන ඇත. ‘වැරදි’ භාවිතයන් සඳහා පෙළඹුණු පාලක කණ්ඩායම් ඉල්ලා අස්වී ගොසිනි. දැන්, ‘කූටප්‍රාප්තියෙන් පසු’ සියල්ල යහපත් තත්ත්වයකට පැමිණ ඇත. ‘සිඞ් ෆීල්ඩියානු ක්‍රමවේදයට’ අනුව නම්, නැතිනම් ‘ඇරිස්ටෝටල්ට අනුව’ නම් මෙය ඉතා අනගි කතා ස්වරූපයකි. දුෂ්ටයා, වීරයා, ගැටුම ඈ සියල්ල එකහැරම හඳුනාගත හැකි තරමටම සියලු‍ කරුණු පැහැදිලි ය!
එහෙත් අප සමාජ දේශපාලන කලාපය දෙසත් ‘මහා සම්ප්‍රදාය අනුදකින හොලිවුඩය’ දෙස බලනායුරින් බලන සම්මත ආකාරය යළි විමසිය යුතු ය. අප මනස වෙත ස්ථිර කර දී ඇති ‘මහා සම්ප්‍රදාය’ විසින් ගොඩ නගා ඇති ආඛ්‍යාන ස්වරූපයේ ආකෘතිය බිඳ හෙළන්නට අප කටයුතු කළ යුතු ය. ‘වීරයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම හෝ ‘දුෂ්ටයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම පෙරමුණේ තබමින්, නොදැනුවත්ව වුව, අප කියවමින් පවතින ඒකාකෘතික රාමුගත ස්වරූපවලට ඔබ්බෙන් වන අපැහැදිලි අඩවි විමසීමට අප කටයුතු කළ යුතු ය.
සියල්ල යළි යථා තත්වයට එළඹීම, මහා සිනමාවේදී මෙන්ම, තථ්‍ය ලෝකය තුළ දී ද අපි සැහැල්ලු‍ විය හැකි අවස්ථාවක් ලෙස ගනිමු. පැහැදිලිව පෙනෙන ගැටුම කෙළවර වූ පසු දැන් එළඹ ඇත්තේ හුස්ම පහළ හෙළා සැහැල්ලු‍ විය හැකි මොහොත බව අපි විශ්වාස කරමු. එහෙත් සිනමා තිර රාමුව හෝ ප්‍රොසීනියම් ආරුක්කුව හතරැස් ආකෘතියක බහා අප වෙත තෝරා බේරා ඉදිරිපත් කළ ආඛ්‍යානයක පරිද්දෙන් එය එවැනි සැහැල්ලු‍වකින් කෙළවර වන කතාංගයක් නොවේ. එය අනවරත ක්‍රියාදාමයකි; බහුවිධ අවසාන ඇති ගලායෑමකි; බහුමානීය දෘෂ්ටිකෝණ ඇති කලාපයකි.
මුල, මැද සහ අග සහිත සම්මත මහා ආඛ්‍යානය ක්‍රමිකව සමාජය, දේශපාලනය මෙන්ම ජීවිතය ද ඒ ආකෘතික ස්වරූපය හරහාම වටහා ගන්නට අප පොළඹවන බව වටහා ගැනීමම වඩාත් නැවුම් හා වෙනස් ප්‍රවේශ ඔස්සේ සමාජ, දේශපාලන මෙන්ම පුද්ගලබද්ධ ලෝකයන් දෙසද පිවිස බැලීමේ අනගි දොරටුවක් විවර කර දෙන්නකි.
ඔව්! අපි අලු‍තෙන්ම, වෙනස් ව, බලමු!■

■ ප්‍රියන්ත ෆොන්සේකා