අන්තර් ජාලයේ සරන ඇසිල්ලක, හිත අතීතයට විසිකළ පොටෝවක් හම්බවුණා. එකපාරටම ඒ පොටෝව, ඇහැ ඇතුළට කඩාගෙන පැන්නා කිව්වොත් හරි. යුවතියක් කඳු මුදුනක ඉඳලා කුරුලූ ඇසින් පහළ තුරු සිරස් අමතන සෙයියාවක් ඒ පොටෝවේ චිත‍්‍රණය වෙලා තිබුණේ.. අම්මෝ.. අතීතයක මතක අරුමය දියරණය වෙලා වැගිරෙන්න උණා. ඉතිං ඒ මතක සළු එකිනෙක උනා ඒ දිය හැළුමේම පහළට, පුංචි පතක ඕවිල්ලක පාකරන්න හිතුවා. කිරිඳි ඔයේ පහළට ආවොත් ඔයාලටත් පුළුවන් ඒ මතක ඕවිල්ල ඇහිඳගන්න.. නැතිනම් පාවෙන ඒ මතක, රහ කරකර කිරිඳි ඔයේ පහළට ගලන බටදොඹ ඇහිඳින්න!!!

කොස්ලන්ද සානුවට ගමනක්


ඒක උසස් පෙළ ඉවර කරලා වැලේ වැල් නැතුව හිටිය කාලයක්. අපි ගමේ යාළුවෝ කස්ටියක් තීරණය කළා මැණික් ගරන්න යන්න. ඔන්න ඉතිං 202 ත‍්‍රීවිලරයක වට්ටි හට්ටි මුට්ටි ඒම දාගෙන ආවා. ගමනාන්තය දන්නේ නඬේ ගුරා වුණ සුමනේ බාප්පා විතරයි. රත්නපුර බලංගොඩ බදුලූ පාරේ උඩට ඇවිත් හාල්අටුතැන්නත් පහුකරලා බෙරගලට ආවා. එතනින් දකුණට හැරුණු නයෙක් වගේ කඳු පන්තිවල වෙළුණු පාරේ, ඒකට කියන්නේ බෙරගල වැල්ලවාය පාර, අම්පාරට තිබුණ පරණම පාර, අපි හුටු හුටු ත‍්‍රයිෂෝවේ නිකපොතට ආවා. නවාතැන නිකපොත ධනපාල මාමාගෙ ගෙදර. කැඩි කැඞී අතීතයට පස්වෙන ලොකූ ගෙදරක ඉතුරු වුණ කාමර තුනාහතරක තමයි තනිකඩ ජීවිතයකට හුරුවුණ ධනපාල මාමා හිටියේ. මිනිහත් ලෝබ නැතුවම අපිව භාරගත්තා. මිනිහා ඉස්සර එහෙ හිටිය කෝරළේ පයින්ඬේ කරපු හාදයාගේ පුතණ්ඩියා.

ඉතිං නිකපොත විතරක් නෙවෙයි වැල්ලවායට යනකම්ම අතීතය මිනිහා හැම හවසකම කිතුල් රා එක්ක මිශ‍්‍රකරලා අපිට බොන්න දුන්නා. අපි ඉතිං නිකපොත වටේට තියන අක්කර සීය, හරක්පට්ටිතැන්න, වෙලන්විට, පූනගල වගේ ගම්වල බඩවැටිවල තාවර වෙලා මැණික් හෙව්වා. ඒක හරි අමුතු පිස්සු කාලයක්. මැණික් ඕසෙට තියෙන රත්නපුරේ අමතක කරලා සීත කලාපයකට ඇවිත්! නිකපොත කියන්නේ හරි අමුතු කාලගුණයක් තියෙන්නේ. වැල්ලවාය පාර ඒ කාලගුණ බෙදුම් රේඛාව වගේ පාරෙන් උඩහා සීතලයි. පහළ වියළියි. ඉතිං අපි මැණික් හොයලා මහංසිවෙලා හවසට ඇවිත් ධනපාලෝ පානය වල් ඌරු රසින් මාත්තු කරලා පදමට ගන්නවා. ඊළඟට සැඳෑ කළුවර පේ‍්‍රමියෝ වෙනවා. රැුහැයියෝ ‘නිදාගනිල්ලා යකුනේ’ කියලා කෑගහනකොට අපි කෝරළේ පුතාගේ ස්ත‍්‍රී සබඳතා මහාවංශයේ අලූත් පරිච්ෙඡ්දයක කොටස්කාරයෝ වෙනවා. අම්මෝ!! ඒවා ඉතිං ඒමට රසයි.. මේමට කියන්න කෝලයි. ඕම කතාවකදි තමයි මට දියලූම ඇල්ලේ කතාව ඇහුණේ… ඔන්න ඕමයි අර මුලින් කියපු පොටෝ එකයි මගේ සෝට් වෙවී පත්තුවෙන මතකයයි එකට මොන්ටාජ් වෙන්නේ.

දිය හැලූම


ධනපාල මාමගේ කතාවලට ඇහුංකම් දෙනකොට හරිම සොමි. අවධානයෙන් ඉන්න ඕනී. ‘හා මොකද්ද දැන් මම කිව්වේ’ මිනිහා විඩෙන් විඬේ ප‍්‍රශ්න කරනවා. ‘දියලූම කියන්නේ දිය හැලූම කියන එක නේ’ මිනිහ දියලූම නඟින්න පටං ගත්තා. අපිත් ඉතිං මිනිහත් එක්කම දියලූම නැග්ගා. ‘ඉස්සර ඔය දකුණු රටේ වංශවත් කුමාරයෙක් හිටියා. මිනිහා මිනිහගේ කුලයට බාල කෙල්ලෙකුට තමයි ආදරය කළේ. ඉතිං මිනිහා බැන්දා කියමු කෝ… හා මොකද්ද මම කිව්වේ’ එහෙම තමයි අපි දියලූම නැග්ගේ. ටිකක් අමාරු ගමනක්.. ලේසි නෑ. කල්පනාවෙන් නැග්ගේ නැතොත් වැඬේ හබක්!!


‘ඉතිං බැන්දට පස්සේ මේ දෙන්නම දෙන්නගෙම රැුහැවල්වලින් පිටමං කළා. අන්තිමට දෙන්නම තීරණය කළා කන්දට ගිහිං ජීවත් වෙනවා කියලා. මේ පූනාගල කඳු හරහා තමයි දෙන්නා හනිමූන් ගියේ. ඒ යනකොට තමයි මේ ස්ථානය හම්බ වෙන්නේ. දැන් මේක තරණය කරලා උඩට නගින්න ඕනී.

කොල්ලා කොහොම හරි නැග්ගා. නැගලා වැල් පොටක් දැම්මා කෙල්ලට උඩට එන්න. බාගයයි එන්න හම්බ වුණේ අර වැල් පොට කැඩිලා කෙල්ල දිය ඇල්ලට වැටුණා. කුමාරයා මොකද කළේ මිනිහත් පැන්නා ඇල්ලට. ඉතිං එදා ඉඳලා අද වෙනකම් මේ ඇල්ල හඬනවා. හඬ හඬා තමයි පහළට ගලා හැලෙන්නේ. එදා වගේම අදත් කොල්ලෝ කෙල්ලෝ මේක උඩට නැගලා පහළට පනිනවා.’


කළුවර දිය ඇල්ලක් වගේ කඩන් වැටෙන්න උනා. රැුහැයියෝ උනත් කෑගහන එක නතර කරලා මේ පේ‍්‍රම කතාව ඇහුවා. මාමාගේ ගෙට උඩින් අහසට නැගලා අතු විහිදගෙන බලාගෙන ඉන්න කළුවර ගහ සෙමින් කොළ කිනිති සෙලෙව්වා. මේ ගහ තමයි මේ මුළු ප‍්‍රදේශයටම තියෙන ලොකුම කළුවර ගහ… ඉතිං මේ කතාවෙන් දියලූම නැග්ග අපි තීරණය කළා මැණික් ගරන එක පැත්තකට දාලා දියලූම ඇත්තටම නගින්න.. අපි ඒක ධනපාල මාමාට කිව්වාහම.. ‘ෂා නියමයි.. මෙහෙමයි පුතා ඕකේ උඩ ගල් වලවල් තියෙනවා. ඒ වායේ මැණික් ගසාගෙන ඇවිල්ලා නතර වෙලා තියෙනවා. ඒක බලන්නත් එක්ක එහෙනම් නගින්න’ මිනිහා අපේ අරමුණ එක්ක දියලූම ගැටගැහුවා. ආයි මොනාද ඉතිං, දැන් තියෙන්නේ නගින්න.

එන්න නගින්න


දියලූම හඬ හඬා වැටෙන දියඇලි කොමළිය තමයි ලංකාවේ දෙවෙනි උසම දිය හෙලූම. මෙයා කුඩා වෙන්නේ බඹරකන්දට විතරයි. ඉතිං මීටර් 220ක් නැතිනම් අඩි 628ක් උස මෙයා කොස්ලන්ද සානුවෙන් තමයි පහළට පනින්නේ.

කොහොමද උඩට යන්නේ… ත‍්‍රාසජනක විදිහට දිය ඇල්ල දිගේ කඹයක ආධාරයෙන් උඩට නගින්න පුළුවන්! හැබැයි ඒක හැවෝටම කරන්න පුළුවන් කෙළියක් නෙවෙයි. ලේසිම මග තමයි කොස්ලන්දේ ඉ`දලා පූනාගල පාරේ උඩට ඇවිදින එක. ඊට පස්සේ මකල්දෙණියෙන් හැරිලා පයින්ම කඳු අතරට එකතුවෙන එක. මකල්දෙණියෙන් හැරුණාට පස්සේ අඩිපාර. එතනට එනකම් ඕනිනම් බස් එකකුත් තියෙනවා. හැබැයි දුරාවාරේ. නැතිනම් ත‍්‍රීවිලර් එකක. මිහිදුම් දුමාරයක සැවානා බිමක් අතර නොපෙනීයන්න පුළුවන් උදේ පාන්දරට කොස්ලන්දට ආවොත්!


දෙවෙනි පාර තමයි දියලූම දිය ඇල්ල පහුකරලා කිලෝමීටර් එකහමාරක් විතර වැල්ලවාය පැත්තට ගමන දුර කරලා, දියලූම වතුයායට හැරෙන එක. ඒ වතුයාය මැදිනුත් මේ කන්ද මුදුනට බඩගාන්න අමාරු නෑ. කඳු නගිනවා කියන්නේ ජීවිතේට රහක් සතුටක් වගේම ශරීරයට සුවයක් අරං එන දෙයක්.

තැන්නට ආවා


අපි නම් ඉතිං මකල්දෙණියෙන් හැරිලා සැවානාවට මුහුවෙලා තමයි දියලූම මුදුනට ආවේ. කන්ද මුදුනට මුදුනට එනකොට දිය සුළි කමක් කාරියක් නැතිව ඔහේ යන්නන් වාලේ යමින් හිටියා. එයා පහළට කඩාගෙන වැටෙනකම් දන්නේ නෑ. පුංචි පුංචි දිය ඇලි. තැන්නේ ඛාදනීය ගල් තලාවේ හැදුණ පුංචි පුංචි තඩාග. දියබුන් ගහන්න උඩ ඉදලා අහසේ සරුංගලයක් වගේ පාවෙලා ඇවිත් දිය දෙබෑකරගෙන කිමිදෙන්න, එහෙනම් ඉතිං මේ දියලූම උඩටම එන්න ඕනී. අම්මෝ අයිස් කැට සීතල වතුර ඇගේ අලෝගෙන මේ තටාගයේ කිමිදිලා ස්වර්ග රාජ්‍යයට ගුවන්ගත වෙන්න අමාරු නැහැ. දිය ඇල්ලක් කියන්නේ ජීවමාන කලා කෘතියකට. ඒ කලා කෘතිය අස්සට පැනලා පීනලා ඇගේ රස නහර පිනෝගන්නනම් ඔබත් මෙතනට එන්න ඕනී.

හැබැයි ජීවිතාසාව තියාගෙන. දිය ඇල්ල පහළට පනින්න ඕන්න මෙන්න, රවුම් ගල් කෙවෙනි තඩාග දෙකක් තියෙනවා. මේකේ කරවටක් ගිලිලා පහළ කුරුලූ ඇසින් නරඹන්න පුළුවන්. කොහොම උනත් මහා ගල් පර්වතයේ කොනට ඇවිත් පහළ කුරුලූ ඇසින් රහ බලනවනම්, දිගෑදිලා ගලත් එක්ක ඇලීලා, ඒක කරනවනම් තමයි ඇඟට ගුණ.

පුනාගල ඔයේ දිය සරැුලි කල්ප කාලයක් හඬ හඬා පහළට පැනලා මේ ගල් තලාවම දැන් හරිම මෘදුයි. සුමුදුයි. ඉතිං පරිස්සම් නොවුණොත් මල් පියල්ලක් වගේ පහළට පාවෙන්න පුළුවන්!! කොහොම වුණත් මේ මුදුනේ තැනිතලාවට ඇවිත් ඕනීනම් බාබකිව් එකක් එහෙම දාගෙන, නාලා කිමිදිලා සරුංගල් සෙයියාවෙන් පහළට පියාඹලා තඩාගයේ මුහුවෙලා සරසර ස්වරාස්මික සංගීතය රස විදලා යන්න, ඕනීම කෙනෙකුට මෙතනට එන්න පුළුවන්… අපි නම් ඉතිං කිමිඳිලා නාලා මැණික් හොයලා හොයලා ආයි පහළට ආවා. ධනපාල මාමා සුපුරුදු විදිහටම ඇල්කොහොල් එක්ක ඇල්කොහොලික් වෙන්න මග බලාගෙන හිටියා!! දැන් මේ මනුස්සයා ජීවතුන් අතරද?.. නිතරම මතකයට එනවා. ඒත් තාම නිකපොත ගිහිං දියලූම නගින්න වෙලාවක් ආවේ නෑ… x