• නෙට්ෆ්ලික්ස් යනු එහි ගබඩා කර ඇති චිත්‍රපට ඇතුළු රූපවාහිනී කතා මාලා මාර්ගගත ආකාරයට මූල්‍යමය පදනම යටතේ ලබා ගත හැකි ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ඇමෙරිකානු ආයතනයකි. 1997 දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ස්කොට්ස් විලේහිදී නෙට්ෆ්ලික්ස් ආරම්භ කෙරුණේ රීඩ් හස්ටින්ස් සහ මාක් රැන්ඩොල්ෆ්ගේ මූලිකත්වයෙනි. එය 2021 ජනවාරියේදී ග්‍රාහකයන් මිලියන 208ක් ගොනු කරගෙන ඇත්තේ ඇමෙරිකානුවන් මිලියන 78ක්ද ඇතුළත්වය. නෙට්ෆ්ලික්ස් සහ ලාංකික සිනමාවේ අනාගතය
  • පිළිබඳ සිනමාවේදී වින්දන ආරියවංශ සමඟ කතා කළේ, හොලිවුඩ් සිනමාව පිළිබඳ ඔහු ලබා ඇති වසර ගණනාවක අත්දැකීම් සමඟ ලාංකීය සිනමාවේ ඇති අනුභූතීන්ද එකට කැටි කොට ගත හැකි හෙයිනි.

■ පවිත්‍රා රූපසිංහ

නෙට්ෆ්ලික්ස් ලෝකයේ ඒකාධිකාරයක් තනා ඇති බව කියැවෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?
නෙට්ෆ්ලික්ස් අද වන විට පන්සිය ගුණයකින් දියුණු වුණු ව්‍යාපාරයක්. කොවිඩ් වසංගතය සමයේ නෙට්ෆ්ලික්ස් භාවිතය හේතුවෙන් ලෝකයේ ඉන්ටනෙට් ධාරිතාව කඩාවැටෙතැයි සමහරුන් සිතුවා. අධික ලාභ ලබන ආයතනයක් වශයෙන් නෙට්ෆ්ලික්ස් ගෝලීය ඒකාධිකාරයක් පවත්වා ගන්නවා. එම ආයතනය කළේ පොදුවේ මිනිසුන්ගේ රසඥතාව කුමක්දැයි තක්සේරු කිරීමයි. ඔවුන් තීන්දු ගන්නේ විශ්ලේෂකයන්ගේ දත්ත තොරතුරුවලට අනුවයි. ඒ අනුව වැරදීමේ සම්භාවිතාවක් නැහැ. සම්භාවිතාව තිබෙන්නේ සාර්ථක වීමට පමණයි. මුල් යුගයේදී නෙට්ෆ්ලික්ස් කළේ නිෂ්පාදනය කර ඇති නිර්මාණ ලබා ගැනීමයි. පසුකාලීනව ඔවුන් නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් නිර්මාණ කිරීම අරඹා තිබෙනවා. ලෝකයේ ඉහළ තලයේ සිනමාපට අධ්‍යක්ෂවරුන්ට, තිරපිටපත් රචකයන්ට, නළු නිළියන්ට අද නෙට්ෆ්ලික්ස් වෙත යන්නට සිදුව තිබෙනවා. කෑන්ස් සිනමා උත්සව නියෝජිතයන් වරක් පවසා තිබෙනවා, සිනමාශාලාවල නොපෙන්වා මුලින්ම නෙට්ෆ්ලික්ස්වල පෙන්වන නිර්මාණ තම උත්සව සඳහා භාර නොගන්නා බව. එහිදී නෙට්ෆ්ලික්ස් කීවේ කෑන්ස් නොමැතිව තමන්ට පවතින්නට හැකි බවයි. මේ වන විට කෑන්ස්, නෙට්ෆ්ලික්ස් හා සම්බන්ධ වී තිබෙනවා.

නෙට්ෆ්ලික්ස් වෙත සිනමාලෝලීන්ගේ සහ සිනමාකරුවන්ගේ අධිආකර්ෂණය ඇතිවීමේ පදනම කුමක්ද?
නෙට්ෆ්ලික්ස් කියන්නේ සිනමා ශාලාවන්ට ආදේශකයක් හෝ විකල්පයක් නොවෙයි. කතාව රසවිඳින්නන්ට ඒ සඳහා සිනමා ශාලාවටම යා යුතු නැහැ. ඒ සඳහා ගතවන කාලය ධනය ඔවුන් නෙට්ෆ්ලික්ස් නිසා කළමනාකරණය කරනවා. කොවිඩ් 19 වසංගතය නෙට්ෆ්ලික්ස් වර්ධනයට ඍජුවම බලපෑවා.

නෙට්ෆ්ලික්ස් වෙත නිර්මාණ යොමු කිරීමේදී නිර්මාණය තුළ ඇති තාක්ෂණික නොදියුණුකම් අවාසිසහගත ලෙස බලපානවාද?
සිනමාපටයේ කාලය, නළු නිළියන්ගේ හුදු ජනප්‍රියතාව, කතා තේමාව පමණක් නෙට්ෆ්ලික්ස් වැදගත් කොට සලකන්නේ නැහැ. ලෝකයේ නන් දෙසින් ලබා ගන්නා නිර්මාණවල ජනප්‍රියතාව, ඒවාගේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රොෆයිල් ඊට බලපානවා. තාක්ෂණ අඩුලුහුඬුකම් පිළිබඳ අභියෝග හමුවේ පවා ලෝකයේ නොදියුණු රටවලින් නෙට්ෆ්ලික්ස් නිර්මාණ තෝරා ගන්නවා.
ඇමෙරිකාව වගේ රටක නිර්මාණයක් අවසන් කර ජනගත කිරීම පහසු නැහැ. ඉන්දියාවේ සිනමා පටයක් නිෂ්පාදනය අවසන් කර ප්‍රදර්ශනය කිරීම දක්වා යන ගමන ඉතාමත් අභියෝගාත්මකයි. මං හිතන්නේ ලංකාවේ එය ඉතාමත් දුෂ්කර කාර්යයක් නෙමෙයි. ලෝකයේ දියුණු රටවල නවකයෙක් සහ තරුණයෙක් වීම නිර්මාණකරණයට සුදුසුකමක් නෙමෙයි. ලංකාවේ සමහරුන් සිතනවා තමන්ගේ පුද්ගලික ආශාවට කරන නිර්මාණයක් ජනගත කිරීම තමන්ට ඇති අයිතියක් විය යුතුයි කියලා. ඊට වටිනාකමක් සහ වෙළඳපොළක් තිබිය යුතුයැයි ඔවුන් සිතනවා. ඒත් එහෙම සිතුවිලිවලට ලෝකයේ ඉඩ ලැබෙන්නේ නැහැ.

තුන්වන ලෝකයේ රටවල නිර්මාණවලට නෙට්ෆ්ලික්ස් ප්‍රමාණාත්මක ඉඩ ප්‍රස්ථාවක් ලබාදී තිබෙනවාද?
නෙට්ෆ්ලික්ස් ලෝකයේ සෑම රටකටම ඉතාමත් හොඳ වේදිකාවක් තනා තිබෙනවා. ඔවුන් අපේක්ෂා කරන්නේ උපරිම ලාභය සහ අතිබහුතරයකගේ කැමැත්ත කුමක්ද යන්නයි. ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් ලෝකය පුරා සංක්‍රමණය වී සිටිනවා. මේ අනුව බිලියන ගණනක වෙළඳපළක් මොවුන්ට තිබෙනවා. එය නෙට්ෆ්ලික්ස් ඉතාමත් හොඳින් ඔවුන්ගේ ඔන්ලයින් පුස්තකාලය බවට පත් කරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි, දකුණු අප්‍රිකාව, ඉරානය, කැරිබියන් දූපත් වැනි රටවල කරන සිනමා නිර්මාණ නෙට්ෆ්ලික්ස් ලබාගෙන ඇති අවස්ථා එමටයි. තුන්වන ලෝකය කියා ඔවුනට වෙනසක් නැහැ.
ඉතාම කනගාටුදායක තත්ත්වයන් තුළදී පවා වින්දනය ලබාදෙන, රසිකයන්ගේ ආත්මය ඔසවා තබන නිර්මාණ සිනමාවේදීන් කරනවා. මනුෂ්‍යයන්ගේ රසඥතාව තිබෙන්නේ එතැනයි. ලෝකයේ සම්භාව්‍ය සිනමාව 1915දී ‘බර්ත් ඔෆ් නේෂන්’ හරහා ආරම්භ වෙනවා. මනුෂ්‍යයන් සිනමාව හා බැඳී සිටින්නේ ඇයි? සිනමාව නැත්නම් කතා කීමේ කලාව මනුෂ්‍යයාගේ වින්දනයට අමතරව ආත්මීය වෙනසක් කිරීමට දායක වී තිබෙන නිසායි. ඉන්දියාවේ මහා ධනපතියෙක් වන අම්බානි මුම්බායිවල තම නිවසින් එළියට පැමිණි විට දකින්නට ලැබෙන්නේ දරිද්‍රතාවයි. ඒත් ඉන්දියාවේ සිනමාව ඛේදාන්ත පමණක් වන්නේ නැහැ.

ලංකාවේ නිර්මාණකරුවන්ට නෙට්ෆ්ලික්ස් දක්වා නිර්මාණ ඉදිරිපත් කරන ඉලක්කයක් වෙත යාමට ඔබ දකින බාධා තිබෙනවාද?
අපමණක් තිබෙනවා. නෙට්ෆ්ලික්ස් ස්වනිර්මාණ කිරීමේදී ඒ ඒ රටවල සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ලේඛනයක් හදනවා. ඊට අනුව අධ්‍යක්ෂවරුන්ට තම ආයතනය වෙනුවෙන් නිර්මාණ කිරීමට ආරාධනා කරනවා. ඊට ලංකාවේ අධ්‍යක්ෂවරුන් ඇතුළත් නැති බවයි දැනගන්නට ඇත්තේ.
ලෝකයේ මිනිස්සු කවුරුත් තරු බලන්න ආසයි. ඉන්දියාවේ මධුරි ඩික්සිත්, සල්මන් ඛාන්, ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි වැනි අයට ලෝකයේ සිනමාලෝලීන් අතිශය ආසා කරනවා. ඒ චරිත සමඟ බැඳෙනවා. ඒත් ලංකාවේ තිරයේ බැබළෙන තරු නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ සිනමා කෘතිවලට නෙට්ෆ්ලික්ස් දක්වා යාම අතිශය දුෂ්කරයි කියා මාගේ අත්දැකීම් අනුව මා සිතනවා. සිනමා පටයක විශ්වීය බව නෙවෙයි එහි ඇති සිනමාත්මකභාවය තමයි නෙට්ෆ්ලික්ස්වලට තෝරා ගැනීමේදී ඇති පදනම් සාධකය වන්නේ. බටහිර සමාජය නියෝජනය කරන සිනමා අධ්‍යක්ෂවරුන් වගේ වෙන්න හදන අධ්‍යක්ෂවරුන් හෝ කතා ඔවුන්ට අවැසි නැහැ. නෙට්ෆ්ලික්ස් දේශීය අනන්‍යතාව සුරැකි නිර්මාණවලට අවස්ථාව ලබාදී තිබෙනවා.
නෙට්ෆ්ලික්ස් සඳහා සිනමා පටයක් ලබාදීමේදී කතා සාරය කුමක්දැයි යන්න බාධාවක් නොවෙයි කියා නැවත මා කියනවා.

ලංකාවේ නිර්මාණකරුවන්ට නෙට්ෆ්ලික්ස් දක්වා ගමන් කිරීමට අනාගත බලාපොරොත්තු තැබිය හැකිද?
මම දන්නා පරිදි සිනමාවේදී අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් අරගෙන තිබෙනවා. ලංකාවේ සිනමාව පමණක් නොවෙයි, නවකතා, කෙටිකතා, චිත්‍ර හෝ කවි, ගීත පවා ජාත්‍යන්තරය අතික්‍රමණය කර තිබෙන්නේ අවම වශයෙනුයි. සමහර විට ජාත්‍යන්තරයට නොගිහින් තිබෙනවාය යන්න වුවත් කිව හැකි ක්ෂේත්‍ර තිබෙනවා. ඊට තුන්වන ලෝකයේ රටක් වීම හෝ දරිද්‍රතාව හේතුවක් නොවෙයි. මන්ද යත් ආර්ථික වශයෙන් ඉතාමත් පහළ මට්ටමේ සිටින රටවල නිර්මාණ පවා ජාත්‍යන්තරය තරණය කර තිබෙනවා. එසේනම් ලංකාවට එය මෙතරම් දුෂ්කර විය යුතු නැහැ. මීට බලපාන ප්‍රධාන කාරණයක් තිබෙනවා, ඒ නිර්මාණකරුවාගේ කුසලතාවයි. කුසලතාවෙන් අනූන නිර්මාණකරුවන්ගේ නිර්මාණය ජාත්‍යන්තරයේ ඇස ගැටෙනවා. එය වැළැක්විය නොහැකියි.
රට තුළ සම්මාන උළෙලවලදී උසස් නිර්මාණ ඇගයෙනවා. ඒත් ඒවා රට අභ්‍යන්තරයේ පමණයි. ගෝලීය ප්‍රමිතිය ඒවා තුළ නැහැ. ලෝකය ඉදිරියේ අපට පැවැත්මක් නැහැ. ව්‍යාජය තුළින් රට ඇතුළේ බැබලුණත් ජාත්‍යන්තර වේදිකාව හමුවේ පරාජය වෙනවා. නෙට්ෆ්ලික්ස් කරා නිර්මාණ යොමු කිරීමට අව්‍යාජ බව අත්‍යවශ්‍යයි. නෙට්ෆ්ලික්ස් කියන්නේ වෙනම උප සංස්කෘතියක්.■