වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න සිදුවීම ආත්මය පාවාදීමක්යැයි චෝදනා එල්ලවෙද්දී, හිතෙන්නේ මොකක්ද?
අපේ වාමාංශික යාළුවෝ එක්ක වැඩ කරද්දී එන චෝදනාව තමයි මම ඇඞ්වර්ටයිසින්කාරයෙක්ය කියන එක. ඇඞ්වර්ටයිසින් කියන්නේ ලෝකෙ හැමතැනම තියෙන දෙයක්. මිනිස්සු කරන ඕනෑම දෙයකට ඇඞ්වර්ටයිසින් බලපානවා. මේවා ටූල් විදියට පාවිච්චි නොකර වාමාංශික තියරි ගැන කතාකරන එක වැඩක් නැහැ. ඇඞ්වර්ටයිසින් වෙතින් මිනිස්සු හිතන විදිය, කරන්න ඕනෑ විදිය පාලනය කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි බොහෝ දේවල් කරන්නේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් නිසා. සරල උදාහරණයක් කිව්වොත් පෙම්වතුන් රෝස පාට මල් දෙන්නේ, චොකලට් දෙන්නේ ඇඞ්වර්ටයිසින් නිසා. ටූත්පේස්ට් බ‍්‍රෂ් එකට දානකොට දිගට දාන්නේ ඇඞ්වර්ටයිසින් නිසා. දියමන්ති කියන්නේ සතපහක වැඩක් නැති දෙයක්. දියමන්ති වටිනා දෙයක් බවට පත් කරන්නේ ඇඞ්වර්ටයිසින්වලින්. හැබැයි ගැටලූ‍ව වෙන්නේ ක්ලයන්ට් ඉල්ලන ඕනෑ දෙයක් දෙන්න සිදුවෙනවා. ඒ නිසා අවුරුදු හතරකට විතර කලින් මම අලූ‍ත් ආයතනයක් පටන්ගත්තා. අපි දැන් තෝරා බේරාගෙන අපි කැමති කැම්පේන් විතරක් කරනවා.

අපට ප‍්‍රසිද්ධියේ විවේචන එල්ල කළාට වාමාංශික දේශපාලන යාළුවොත් අපේ ඔෆිස්වලින් එයාලාගේ වැඩවලට කැම්පේන් හදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඔය වාමාංශික දේශපාලනය කරන අයට සල්ලි නැහැ. එයාලාට පෝස්ටරයක් ඩිසයින් කරගන්න, වීඩියෝවක් හදාගන්න ඇඞ්වර්ටයිසින් යාළුවන්ගේ පිහිට පතන්න වෙනවා.

වාමාංශිකයෝ සමාජ ප‍්‍රශ්න ගැන කතාකළාට ඔවුන්ගේ සාකච්ඡා සාමාන්‍ය මිනිස්සු අතරට නොයන්නේ ඇයි? අලූ‍ත් පරපුර වගේ ජනප‍්‍රිය දේශපාලන සංවිධානයක කටයුතු කළ කෙනෙක් විදියට ඔබේ අදහස මොකක්ද?
මේ වෙද්දී අලූ‍ත් පරපුර කියන්නේ යෙදුමක්. මොකෙක්හරි එකෙක් සාම්ප‍්‍රදායික අදහස්වලට අභියෝග කරන අලූ‍ත් යමක් කළොත් මහා සමාජයෙන් කියන්නේ අලූ‍ත් පරපුරේ උං මෙහෙම කළා කියලා. ජේතවනේට කුණු පුරවනවා කිව්වෙත් අලූ‍ත් පරපුරෙන්, බුදුන්ගේ රස්තියාදුව ලිව්වෙත් අලූ‍ත් පරපුරෙන්, පිදුරංගල පස්ස පෙන්නුවෙත් අලූ‍ත් පරපුරෙන්. විදර්ශනලා වගේ වාමාංශිකයොත් එළියේ සමාජයට අනුව අයිති අලූ‍ත් පරපුරට.

අපේ පරම්පරාවෙ දේශපාලනය කරන යාළුවො සෙට් එකක් ඉන්නවා. අපි මාසෙකට සැරයක් විතර ක‍්‍රිකට් මැච් එකක් ගහනවා. එතැනම තියෙනවා දේශපාලන සංවිධාන විසිපහක් විතර. මෙතැන ඉන්න කණ්ඩායම ඇතුළේ එකිනෙකාට වෙනස් අදහස් තොගයක් තියෙනවා. ඒත් එළියේ ඉන්න උංට මේ අය එකම කණ්ඩායමක්. මේ කණ්ඩායම එකිනෙකා විවේචනය කරගන්නවා. එළියේ උං දන්නේත් නැහැ මේ දේශපාලන පරස්පරතා මොනවාද කියලා. අපි අතරින් එළියට මේ පරස්පරතා එකක්වත් ගිහින් නැහැ. එළියේ සමාජයට අනුව මුං ඔක්කොම ආගමට ජාතියට කෙළවන්න ආපු එකම සෙට් එකක්. අපේ දේශපාලන පරස්පරතා ටිකවත් සමාජය දන්නේ නැත්නම් ඒක ලොකු අවුලක්.

ලංකාවෙ චිත‍්‍රපටි කරන තරුණයෝ බොහෝවිට අන්තර්ජාතික සම්මාන උළෙල ඉලක්ක කරගෙන තමයි වැඬේ කරන්නේ. පහු ගිය කාලේ මෙහෙම චිත‍්‍රපටි නිර්මාණය කිරීම ගැන ලොකු විරෝධයක් එල්ලවුණා. ‘නයිට් රයිඩර්’ චිත‍්‍රපටිය ඉලක්ක කරන්නේ කාවද?
ලංකාවෙ ඕඩියන්ස් එකට ෆිල්ම් එකක් කරන එකයි, ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකට ෆිල්ම් එකක් කිරීමයි දෙකක්. සිනමාවෙ විතරක් නෙවෙයි, ඇඞ්වර්ටයිසින්වලත් අන්තර්ජාතික සම්මාන බලාපොරොත්තුවෙන් කැම්පේන් කරනවා. උදාහරණයක් කියන්නම්. වෙසක් එකට අපි කළා කැම්පේන් එකක්. මව්බිම පත්තරේ මැද පිටුවක් සම්පූර්ණයෙන්ම හිස්. කෙළවරේ පුංචි අකුරෙන් තියෙනවා පෝය දාට සිල්ගන්න උපාසක අම්මලාට අහවල් ආයතනයෙන් තෑග්ගක් කියලා. මේ හිස් පත්තර පිටුව ගැහුවෙ උපාසක අම්මලාට පෝය දවසට ගිහින් ඉඳගන්න පාවිච්චි කරන්න. අකුරු තිබුණොත් තීන්ත ගෑවෙනවනේ. මේකට සම්මාන 16ක් විතර විවිධ රටවලින් ලැබුණා. ඒත් ඇත්තටම ලංකාවෙ උපාසක අම්මලා සිල් ගන්න අවශ්‍ය භාණ්ඩ ටික ලෑස්ති කරගන්නේ දවස් ගණන් තිස්සෙ. එයාලාට ඔය පත්තර කොළෙන් කිසි වැඩක් නැහැ. හැබැයි පිටරට අයට වෙසක්, පෝයට සිල් ගැනීම වගේ ඒවා හරි අමුතු දේවල්. අපි හිතමු ලංකාවට එන සංචාරකයෙකුට අපි පෙන්වන දේවල්. නුවර පෙරහැර වගේ ඒවානේ. ඉන්ටර්නැෂනල් සම්මාන ගන්න චිත‍්‍රපටි පවා ඒ වගේ. ඒවා ටුවරිස්ට් ගයිඞ් වැඩ. ලංකාවෙ යුද්ධය, වියලි කලාපීය දුෂ්කර ජීවිත තමයි ගන්නේ. පසුබිමට පිරිත් සද්දයක් දානවා. මම කියන්නේ නැහැ ජාත්‍යන්තර සම්මාන බලාගෙන චිත‍්‍රපටි කිරීම අවුල් කියලා. හැබැයි අපි සම්මාන ගන්න පාවිච්චි කරන්නේ එකම රෙසිපිය.

නයිට් රයිඩර් චිත‍්‍රපටියෙන් අපි උත්සාහ කළේ අපට තියෙන සීමා ඇතුළේ හොඳ නිර්මාණයක් කියන අභ්‍යාසය කරන්න. ඒ නිසා මේක චිත‍්‍රපටියකට එහා ගිය ප්‍රොජෙක්ට් එකක්. ලක්ෂ විස්සකින් ෆිල්ම් එකක් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට තමයි අපි උත්තර හෙව්වෙ. ෆිල්ම් එකේ වැඩකළ හැමෝම යාළුවො. අපි ලක්ෂ විස්සක් එකතු කරගෙන ඒ මුදලට වැඬේ කරන්න අවශ්‍ය ක‍්‍රමවේදයක් හැදුවා. ලක්ෂ විස්සකින් ෆිල්ම් එකක් කරනවා කිව්වාම කාමරයක් ඇතුළෙ කතාකර කර ඉන්න ෆිල්ම් එකක් කිරීමෙන් වැඩක් නෑ. අපට ඕනෑ වුණා කාර් චේසින්, ඇක්ෂන් සීන් තියෙන ෆිල්ම් එකක් කරන්න. කණ්ඩායම වැඩ කළේ නොමිලේ. චිත‍්‍රපටිය යම් දිනෙක තිරගත වෙලා ආදායමක් ලැබුවොත් ඒක හැමෝම අතරෙ සමානව බෙදී යනවා. බොරු දාර්ශනික කතා ඔබන්නේ නැතිව, සාමාන්‍ය මිනිස්සුන්ට විඳින්න පුළුවන් ෆිල්ම් එකක් කරන්න උත්සාහ කළා.

දේශපාලනයේ සහ කලා ලෝකයේ ජීවත්වෙන කෙනෙක් විදියට පෞද්ගලික ජීවිතය නඩත්තු කිරීම ගැන හිතන්නේ මොකක්ද?
දේශපාලනය කරන එකෙක් නම් පවුල් ජීවිතයක් නැහැ කියන එක තමයි පරමාදර්ශය. සමාජ ජීවිතයකුත් නැහැ. දේශපාලනයෙන් තොර ලොවක් නැහැ. වාමාංශික පක්ෂ දේශපාලනය කළ යාළුවෝ සමහරු සමාජ ජීවිතය ගැන මෙලෝ මඟු‍ලක් දන්නේ නැහැ. පෞද්ගලික ජීවිතයක් නඩත්තු කරලාම නෑ. ජේවීපී එකේ හිටපු යාළුවෙකුගෙ දුවෙකුගෙ වෙඩින් එකක් කරන්න ඕනෑ වෙලා තිබුණා. ඒත් වෙඩින් එකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. වෙඩින් එකකට ගිහිල්ලාවත් නැහැ. ඕකයි තත්වෙ.

මට නම් ජීවිතයේ සියලූ‍ම දේවල් පාහේ ලැබුණෙ පවුලෙන්. මම ලොකු පීඩනයක් මැද්දෙ අනුන්ගේ ඒජන්සිවල රස්සාව කරද්දී මගේ වයිෆ් තමයි කිව්වෙ ඔයා රස්සාවෙන් අයින්වෙලා තමන්ගේ වැඩක් පටන්ගන්න කියලා. ළමයා හම්බවෙන්න ඉද්දී තමයි නයිට් රයිඩර් ෆිල්ම් එක කරන්න පටන්ගත්තේ. මගෙ වයිෆ් කිව්වෙ, මම ළමයා ගැන බලාගන්නම්, ඔයා ෆිල්ම් එකේ වැඬේ කරන්න කියලා. බිරිඳ එක්ක මට තියෙන පීඩනය, ප‍්‍රශ්න බෙදාගන්න හැමදාම ඉඩ විවෘත වෙලා තිබුණා. අනෙක් පැත්තෙන් ඒ අය ගැනත් මම හිතපු නිසා, මම ඒ අය ගැන හිතන බව දන්න නිසා එයාලාත් මට අවශ්‍ය නිදහස දුන්නා. මම පිස්සු නටනට ඉද්දී පවුලට කන්න නැත්නම් කේන්ති යන්න ඉඩ තිබුණා. මම එහෙම නොකළ නිසා පවුල මා එක්ක හිටියා. ලෝකයේ යහපත වෙනුවෙන් පවුල අමතක කරන්න ඕනෑ කියලා මම හිතන්නේ නෑ.