ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගින් ලැබුණු ඇරියුමට අනුව මම මීට වසර තුනකට ඉහත සාත්තර කීමේ ශාස්ත්‍රය යන මැයෙන් යුතු දේශනයක් පැවැත්වීමි. 2017 වසරේ ජූනි 30 සිකුරාදා කොළඹ, බොරැල්ලේ, කොටාරෝඞ්හි ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති එම දේශනය පිළිබඳව පුවත් පත් මගින් ද පූර්ව දැනුම් දීමක් කොට තිබූ බැවින් දෝ එම දේශනය ඇසීම පිණිස මා සිතුවාට වැඩි පිරිසක් එහි රැස්ව සිටියහ. ඒ අතුරින් මැදිවියේ සහ මැදිවිය ඉක්ම වූ කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වයක් දක්නට ලැබිණ.

ශාස්ත්‍ර කීමේ ක්‍රම රාශියක් තිබේ. සාමුද්‍රිකා ශාස්ත්‍ර නම් වන දේහ ලක්ෂණ ශාස්ත්‍රය මත පදනම්ව සිදු කෙරෙන ‘අත බලා ශාස්ත්‍ර කීම’ ඉන් එක් ක්‍රමයකි. එහි දී ශාස්ත්‍ර කියන්නා හෝ කියන්නිය ශාස්ත්‍ර අසන්නාගේ හෝ අසන්නියගේ අත්ලේ රේඛා දෙස බලමින් ඔහුගේ හෝ ඇයගේ හෝ ගතිගුණ, චරිත ස්වභාවය, සමාජ, ආර්ථික පසුබිම සේම අතීත, වර්තමාන සහ අනාගත යන කාලත්‍රය පිළිබඳවම කියන්නට පටන් ගනී. එහෙත් ඊට වඩා ව්‍යාප්තියක් පළ කරන වෙනත් ශාස්ත්‍ර කීමේ ක්‍රමවල දී දැකිය හැක්කේ ඊට ඉඳුරාම වෙනස් තත්වයකි. එනම් ශාස්ත්‍රය කියන්නා හෝ කියන්නිය ශාස්ත්‍රය අසන්නාගේ හෝ අසන්නිය වෙතින් ප්‍රශ්න කරමින් එම ශාස්ත්‍රය මගින් පැවසෙන කරුණුවල සත්‍යතාව අනුව ශාස්ත්‍රය ඉදිරියටත් කියාගෙන යාමය. පසුව එම ප්‍රශ්න කිරීම නමැති සැරයටිය, අත්වාරුව වීසිකොට දමන ශාස්ත්‍රකරු හෝ ශාස්ත්‍රකාරිය එම ශාස්ත්‍රය මුළුමනින්ම සිය’තට ගෙන ශාස්ත්‍රය අසන්නා හෝ අසන්නිය තමන් වෙත නතු කර ගැනීමට හා දමනය කර ගැනීමට සමත් වෙයි.

මෙම ශාස්ත්‍ර කීමේ දෙවන ක්‍රමයට අනුව මෙම දේශනය ද සංවාදාත්මක ස්වරූපයකින් පැවැත්වීමට අදහස් කරන බව පැවසූ මම මෙම දේශනය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමට හේතුව කුමක් දැයි එයට සවන් දීමට පැමිණියවුන්ගෙන් අසා සිටියෙමි. එවිට ඔවුන්ගෙන් ලැබුණු පොදු පිළිතුර වූයේ තමන් ශාස්ත්‍ර ඇසීමට ගොස් අනේක වාරයක් රැවටී ඇති මුත් එසේ රැවටුණු ආකාරය නොදන්නා බැවින් එය දැනගැනීම පිණිස මෙහි පැමිණි බවකි. එමෙන්ම පූර්ණ කාලීන, අර්ධ කාලීන වෘත්තියක් වශයෙන් සේම විනෝදාංශයක් වශයෙන් ශාස්ත්‍ර කීම ප්‍රගුණ කිරීමට පැමිණි කිහිප දෙනෙකු ද එහි සිටි බව මට ඒ මොහොතේ වටහා ගත හැකි විය.

එමෙන්ම එම දේශනයට එක් වූ කිහිප දෙනකුම ම’වෙතින් විමසා සිටියේ ‘බලා සිටියාක් මෙන්’ ශාස්ත්‍ර කියැවෙන්නේ කෙසේද? යන්නය.

ගතවූ වසර තිහකටත් වැඩි කාලය තුළ මම වරින් වර ‘බලා සිටියාක් මෙන්’ සත්‍ය පැවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර පොළ සිය ගණනක් විමසුමට ලක්කොට ඇත්තෙමි. ඒ අනුව එම ශාස්ත්‍රකරුවන් තම ශාස්ත්‍ර මගින් එලෙස ‘සත්‍යය’ ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට මට හැකිව තිබේ.

මෙම ශාස්ත්‍රවලට අමතරව නිමිති, පේන සහ අංජනම් ආදිය මගින් ද අප සිත් තුළ ඇති කරුණු සහ අපගේ අතීත, වර්තමාන සහ අනාගත තත්ත්වයන් සේම අප මුහුණ පා හිඳින යම් යම් ප්‍රශ්න, ගැටලු, අර්බුද සඳහා බලපාන ගුප්ත හේතුන් ද අනාවරණය කරගත හැකියැයි බොහෝ දෙනෙක් සිතති. මෙම ලිපිය හැකිතාක් කෙටි හා සරල කිරීම පිණිස මා දෙවනුව කී නිමිති, පේන සහ අංජනම් පසෙක තබා ශාස්ත්‍ර කීම පමණක් මීට ආදේශ කරගතිමි.

අප ජන සංස්කෘතියට අනුව සෑම විටම මෙවැනි ශාස්ත්‍ර කියැවෙනුයේ මෙම විශ්වයේ ඇතැයි සිතන මිනිස් බුද්ධියට වඩා අතිශයින් ප්‍රබල බුද්ධි ප්‍රභාවක ආලෝකයෙනි. දේව වරමින් සහ දේවාරූඪයෙන් වශයෙන් දෙයාකාරයකින් හඳුන්වනු ලබනුයේ ද එම විශේෂ බුද්ධියයි. මේ අතර දේවවරම, දේවාරූඪය යන පැරණි හැඳින්වීම් වෙනුවට මෙම බලය ‘විශ්ව ශක්තිය’ ලෙසම හඳුන්වමින් මෙලෙස ශාස්ත්‍ර කියන්නෝ ද දැන් අප සමාජයේ සිටිති.

කෙසේ හෝ මෙම ශාස්ත්‍ර කීම ක්‍රම දෙකකින් සිදුවේ. ඒ ප්‍රකෘති මනැසින් හා මවා ගන්නා ආරූඪයකිනි. මෙහිදී සැබැවින්ම සිදුවනුයේ ස්වාභාවික ආරූඪයකට වඩා තමන් විසින් මවාගන්නා ද සමාරෝපණ තත්ත්වයක්  බව පසුගිය කාලය තුළ මට නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ.

අප කවුරුත් දන්නා පරිදි මෙම ශාස්ත්‍ර කීම සම්බන්ධ පාර්ශ්වයන් දෙකකි. එනම් ශාස්ත්‍රය කියන්නා සහ අසන්නා වශයෙනි. මේ ශාස්ත්‍රයක් මගින් සත්‍ය හා නිවැරදි කරුණු පැවසීමට මෙම දෙපාර්ශ්වයේ සමවායක් හෙවත් ඒකාබද්ධතාවක් තිබිය යුතුමය. එසේ නොමැති වුවහොත් වැඬේ හබක් වෙයි.

පොදු පිළිගැනීම අනුව මෙලෙස ගුප්ත බලයෙන් ශාස්ත්‍ර කීම ප්‍රකෘතිය ඉක්මවන පාරිභෝගික කටයුත්තකි. එනිසා ඒ සඳහා සතියේ දිනවල වැඩකරන වේලාවන් තුළ වැනි සම්මතයක් භාවිත නොකිරීම මෙම ශාස්ත්‍රකරුවන් අනුගමනය කරන පොදු පිළිවෙතකි. එහිදී ඇතැම් ශාස්ත්‍රකරුවන් ඒ සඳහා බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයන් යොදා ගන්නා අතර තවත් පිරිසක් සතියට දින දෙකක් පමණක් තම ජීවිකාව සඳහා යොදා ගැනීමෙන් ලැබෙන ආදායම මඳවීම නිසා දෝ සතියේ තවත් දිනයක් හෝ දෙකක් ඊට ඈඳා ගනිති. මේ අතර සතියේ දින හතේම ශාස්ත්‍ර කියන තැන් ද නැත්තේම නොවේ.

මෙම ශාස්ත්‍ර කීමේ සංස්කෘතිය මගින් සාමාන්‍ය ජනතාවට සියුම් ලෙස ඒත්තු ගන්වන කරුණක් තිබේ. එනම් එම විශ්වීය ශක්තිය ස්වාභාවික ලෙස ජනනය වන අවස්ථාවලදී හැර සිතූ සිතූ වේලාවන්හිදී අපට මෙම ශාස්ත්‍ර ඇසීම කළ නොහැකිය යන්නය. එමෙන්ම මෙම ශාස්ත්‍ර ඇසීම සඳහා වැය කළ යුතු ගාස්තුවේ ද කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව අපි දනිමු. ශාස්ත්‍රයක් ඇසීමට රුපියල් තුන්සීයක් වැයකළ යුතු බව නොදන්වා ඒ සඳහා රුපියල් තුන්සිය දොළහක් වැය වන බව ඇඟවීම සාමාන්‍ය තත්ත්වයකි. එමගින් එහි ද කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවට ශාස්ත්‍ර අසන්නවුන් තුළ සියුම් මානසික ඇණවුමක් ඇති කොට මුදල් ගසා කෑම එම ශාස්ත්‍රකරුවන්ගේ සාමූහික උපාය ඥානය මත පදනම් වන්නකි. අතීතයේ රුපියල් සියයයි ශත දෙකක්, ශත පහක්, ශත දහයක් ආදි වශයෙන් මෙම ශාස්ත්‍ර ඇසීම සඳහා මිලගණන් නියම කොට තිබූ නමුදු දැන් එවැනි කුඩා මාරු කාසි භාවිතයේ නොමැති වීම නිසා එම ගාස්තුවට එක් කළ හැකි අඩුම වටිනාකමකින් යුත් කාසිය රුපියල් දෙකක් ලෙස නම් කිරීමේ අරුමයක් නැත.

මෙම ශාස්ත්‍ර කියන ස්ථාන සම්බන්ධ පරිසරයන්හිදී තද රතු, තද නිල්, තද කහ වැනි තද පැහැති තිරපට විවිධ පැහැයන්ගෙන් යුතු මල් ආදි වර්ණ විසමතා තුළින් ද ශාස්ත්‍ර අසන්නවුන්ගේ මනැස් තුළ තීව්‍ර මානසික ඇණවුම් පිබිදවීම සිදුවෙයි. මීට අමතරව තම ආගමික සංස්කෘතික පදනම අනුව මනැසට තීව්‍ර බලපෑම් ඇතිකරන ධූපමය ආඝ්‍රාණයන් මෙම ස්ථානවල නොඅඩුවම භාවිත කෙරෙන බව ඔබ ද අත්දැක තිබෙන්නට පුළුවන. ඊට අමතරව මෙම ශාස්ත්‍රය කීමට පෙර අසන්නාට තබා කියන්නාට වත් එකම වදනක්වත් නොවැටහෙන දේව භාෂාව නම් වන අමුතුම ශබ්ද මාලාවක් මුවින් පිටකරන ශාස්ත්‍රකරුවෝ බොහෝ විට ඒ සමග තියුණු නාද නිකුත් වන සීනු සහ බෙර ද හඬවති. මෙම සියලු තත්ත්වයන් යටතේ ඒ වන විට ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසයකින් යුතු තැනැත්තාගේ මනැස හොඳ හැටි ‘හිරිවැටී’ ඇති බව රහසක් නොවේ.

බොහෝ ශාස්ත්‍ර පොළවල දේව වරමින් හෝ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම ඇරඹෙනුයේ ඉන්පසුවය.

දැන් අපි මඳකට එවන් තැනකින් ශාස්ත්‍රයක් ඇසීමට යන තැනැත්තා පිළිබඳව විමසා බලමු. යමකු මෙවන් ගුප්ත ශාස්ත්‍රයක පිහිට පතනුයේ තම ජීවිතය සම්බන්ධ කුමක් හෝ නිරාකරණය කරගත නොහැකි ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් හමුවේ පමණි. එසේම ඒ තැනැත්තා ඒ ශාස්ත්‍රය ඇසීමට යනවිට ඒ ගැටලුව මනැසේ මස්තකප්‍රාප්ත කරගනියි. එමෙන්ම ඒ වන විට තරමක හෝ මානසික ආතතියකට පීඩාවකට පත්ව හිඳින එම තැනැත්තා තුළ ශාස්ත්‍රයේ පිහිටෙන්වත් තම ප්‍රශ්නයට, ගැටලුවට, අර්බුදයට කිනම් හෝ විසඳුමක්, පිහිටක්, හව්වරණක් ලැබේය යන විශ්වාසය තදින්ම තහවුරු වෙයි. ඒ අනුව මෙවන් ශාස්ත්‍රකීම්වලදී රුපියල් තුන්සිය දොළහක් වැනි රවුම් නොවන ගණනක් අය විය යුතු බව ඇඟවීම සාමාන්‍ය තත්ත්වයකි. එමගින් එහි ද කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවට ශාස්ත්‍ර අසන්නවුන් තුළ සියුම් මානසික ඇණවුමක් ඇති කෙරේ. මෙය ද එම ශාස්ත්‍රකරුවන්ගේ සාමූහික උපාය ඥානය මනාව පිළිබිඹු කරන්නකි.

මෙවන් ශාස්ත්‍රකීම්වලදී බොහෝ දෙනකු නොතකා හරින තවත් වැදගත්ම දෙයක් තිබේ. එනම් ශාස්ත්‍ර වශයෙන් එලෙස පැවැසෙන කරුණු සෘජුවම එක එල්ලේම නොපවසා ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ශාස්ත්‍රකරු ශාස්ත්‍ර අසන්නාගෙන්ම විමසා සිටීමය. ‘හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්’ දේවරූඪයෙන් ශාස්ත්‍ර කියන බව පවසන මෑණිවරුන් ශාස්ත්‍රය වශයෙන් කරුණින් කරුණ පවසන අතරේ මගෙන් ද එසේ යළි විමසා ඇති අවස්ථා සිය ගණනකි. ඒ අනුව ශාස්ත්‍ර කීමක් ලෙස සමාජයේ බොහෝ දෙනකු හඳුන්වන මෙම තත්ත්වය වඩාත් නිවැරදි ලෙස අර්ථකථනය කළ හැක්කේ ශාස්ත්‍ර කීමක් ලෙස නොවේ. ශාස්ත්‍රකරු විසින් ශාස්ත්‍රය අසන්නාගෙන් කරනු ලබන ප්‍රතිවිමසීමක් ලෙසිනි.

මෙම ශාස්ත්‍ර කීමේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල විවිධ ජන සංස්කෘතීන් හා බද්ධව සිදු කෙරේ. එහෙත්, මෙහි කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් නොමැති බවත් මෙහි ඇත්තේ හුදෙක් උපාය මාර්ගික ක්‍රමවේදයක් බවත් ලෝකයාට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන ලද්දේ දහනව වන සියවසේ ඇමරිකාවේ විසූ ප්‍රදර්ශන ශිල්පියකු, ගත්කතුවරයකු, ව්‍යාපාරිකයකු සහ දේශපාලනඥයකු ද වූ ෆීනිගස් ටේලර් බානම් විසිනි. එනිසාම මෙය ‘බානම්ගේ බලපෑම’ ලෙස හඳුන්වනු ලැබේ.

එමෙන්ම යමකු මෙලෙස සියුම් ලෙස මනෝමය ග්‍රහණයට නතු කරගනිමින් ඒ තැනැත්තාට ලබා දෙන මානසික ඇණවුම් මගින් එලෙස සිත කියැවීමේ ක්‍රමය සීතල කියැවීම යනුවෙන් ද හැඳින්වෙයි.

ඒ අනුව ඇතැම් ශාස්ත්‍රකරුවෝ ශාස්ත්‍රය ඇසීමට පැමිණෙන තැනැත්තා ගේ ස්ත්‍රීපුරුෂභාවය, වයස් පරාසය, ඇඳුම් පැළඳුම්, කතාබහ, හැසිරීම් සේම දේහ භාෂාමය ලක්ෂණ ද සැලකිල්ලට ගනිමින් තම ශාස්ත්‍රය නිවැරදිව පැවසීමට තරම් දක්ෂ වෙති. ශාස්ත්‍ර කීමේ යෙදෙන බොහෝ දෙනකුට මෙම හපන්කම උප්පත්තියෙන්ම හිමි වීම ද විශේෂත්වයකි.

 එමෙන්ම ඔවුන්ගේ මේ මෙම ප්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි මාදිලියක් තිබේ. එනම් ඔවුන් අසන එක් ප්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු ප්‍රශ්න කට්ටලයක්ම මනාසේ ගොනුව තිබීමය.

‘ප්‍රාණයක්, භූමියක්, සිත්වේදනාවක්, ලෙඩක් දුකක් පෙන්නුම් කරනවා දරුවා ඔව් නම් ඔව් කියාපන් නෑ නම් නෑ කියාපන්’ ශාස්ත්‍රකරුවකු හෝ කාරියක ශාස්ත්‍ර අසන්නකුගෙන් එසේ අසන විට ශාස්ත්‍ර අසන්නවුන්ගෙන් සියයට හැත්තෑ පහක්ම ‘ඔව්’ කීම අතිශය ස්වාභාවිකය. මන්දයත් එවැනි ප්‍රශ්න මෙම සමාජය පුරා කොතෙකුත් දක්නට ලැබෙන බැවිනි. ‘තවම ඔය ප්‍රශ්නෙ කෙළවරක් නෑ නේද දරුවා’ ශාස්ත්‍රකරු හෝ කාරිය ඉන්පසුව අසයි.

‘දැන් ඉතින්, මොකද කරන්න හිතාගෙන ඉන්නේ’ ශාස්ත්‍ර ඇසීමට යන තැනැත්තා ‘නෑ’ කී සැණින් ශාස්ත්‍රකරු අසා සිටියි.

‘ආයිමත් ඉස්පිරිතාලේ ඇඞ්මිට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ නම්’

අසන්නා එසේ කී සැණින් ඔහුගේ මෙම ශාස්ත්‍ර විමසුම රෝගියකු පිළිබඳව බව ශාස්ත්‍ර කියන්නා වටහා ගනී. එලෙස ශාස්ත්‍ර කීමේ පළමු වටය නිමා කරන ඔහුට ඉන්පසු දෙවෙනි වටයට පැමිණීමට පුළුවන. මෙලෙස ශාස්ත්‍ර කීමේ මුවාවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂ්ම අයුරින් දැනගන්නා කරුණු මතින් තමන් පවසන ශාස්ත්‍රය ගොඩනගා ගන්නා මෙම උපාය අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය  නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.

එමෙන්ම දේදුනු ප්‍රයෝගය නමින් හැඳින්වෙන උපාය මාර්ගය ද සමහරෙක් මෙහිදී ප්‍රයෝජනයට ගනිති. දේදුන්න යනු වර්ණ කිහිපයක සංකලනයකි. එබැවින් එහි නිශ්චිත වර්ණයක් නොමැත. ඒ අනුව දේදුනු ප්‍රයෝගය ඔස්සේ ශාස්ත්‍ර කීමේ දී ද ඕනෑම අයකු තුළ පැනනැඟිය හැකි මානසික ගැටලු, අර්බුද ආදිය පිළිබඳ පොදු දර්ශකයක් ශාස්ත්‍ර අසන්නා වෙත යොමු කිරීම බොහෝ ශාස්ත්‍රකරුවන්ගේ උපාය මාර්ගයකි. “දැන් ඔය දේ හිතින් අයින් කර ගන්නම බෑ නේද?” යනුවෙන් ශාස්ත්‍රකරුවකු වෙතින් නැගෙන ප්‍රශ්නයක් හමුවේ ඕනෑම පුද්ගලයකු තුළ බල පැවැත්වෙන ආත්ම සංවේදීතාව හමුවේ තමන් මුහුණ දී හිඳින කිනම් හෝ පැනයක් සිහියට නැංවෙනු ඇත.

එමෙන්ම “කොහොම හරි දියුණු වෙන්න බැලුවට අඩියක් ඉස්සරහට තියන කොට අඩි දහයක් පස්සට යනවා වගේ තේරෙනවා නේද?” යනුවෙන් ද සමහර ශාස්ත්‍රකරුවෝ අසති. ඒ උත්සාහය යනු සෑම විටෙකම අසීරු වූවක් සේම ඒ අසීරුව වැඩි වන තරමට ඒ පුද්ගලයාගේ මානසික ආතතිය ද ඉහළ නැංවෙන බව ඔවුන් මනාව දැන හිඳින බැවිනි. ඒ කෙසේ හෝ ශාස්ත්‍ර ඇසීමට යාමේ දී තමන් පිළිබඳ සත්‍ය තත්වයන් වසන් කරන තරමට එම ශාස්ත්‍ර මගින් පැවසෙන දෑ ද අසත්‍ය බවට පත් වන බව ඒකාන්ත සත්‍යයකි. මා ඒ බව පවසනුයේ ඒ සම්බන්ධ න්‍යායික කරුණුවලට අමතරව එවන් ස්ථානවල ඇති ‘සාත්තර සූත්තර’ පිළිබඳ ලබා ගත් රසවත් අත්දැකීම් රැසක් ද සමඟිනි.■