විලාසිතා නිර්මාණ ශිල්පී අයේෂ් මිලේන්ද්‍ර වික්‍රමරත්න

කොළඹ විලාසිතා සතිය 2020 අගෝස්තු මාසයේදී පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වුවේ අන්තර්ජාලයෙන් සජීවී විකාශයක් නැරඹිය හැකි උළෙලක් ලෙසය. මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණු එය, කොවිඞ්-19 වසංගතය නිසා ප්‍රමාද වී තිබුණි. මෙවර කොළඹ විලාසිතා සතියේදී දින දෙකක අංගයක් ලෙස නැගී එන තරුණ විලාසිතාකරුවන් 12 දෙනෙකුගේ විලාසිතා ප්‍රදර්ශනය කරනු ලැබීය. අයේෂ් මිලේන්ද්‍ර වික්‍රමරත්න ඒ නැගී එන නිර්මාණකරුවන් අතර සිටියේය. ඔහු 2019 කොළඹ විලාසිතා මීළඟ නිර්මාණකරුවා සම්මානය දිනාගත්තේය.  මේ සංවාදය විලාසිතා උළෙලක වැදගත්කම, විලාසිතා නිර්මාණකරණය ඉගෙනගැනීම හා කොළඹ විලාසිතා සතිය වැනි විලාසිතා ප්‍රදර්ශනයකට ඉදිරිපත් වීම පිළිබඳ ඔහුගේ අත්දැකීම්ය.

 

 

විලාසිතා දැක්මක් සාමාන්‍ය සමාජයට බලපාන්නේ කොහොමද?

විලාසිතා නිර්මාණකරුවන් තමන්ගේ කලාත්මක නිර්මාණ සංකල්ප විලාසිතා දැක්මකදී එළිදක්වනවා. ඔබ වාහනය පදවන විදියත්, තව කෙනෙක් පදවන විදියත් වෙනස්. ලස්සන තිබෙන්නේ බලන්නාගේ දෑසෙහිය කියලා කතාවක් මගේ ඉස්කෝලේ යාළුවෙක් නිතර කීවා. ඉතින්, විලාසිතා පිළිබඳ එක් එක් අයගේ අදහස් විවිධාකාරයි. විවිධාකාරයේ සංකල්ප විලාසිතා නිර්මාණකරුවන් එළිදක්වනවා. 2020දී ඔවුන් පෙන්වන්නේ 2021 දී එන්න තියෙන ප්‍රවණතා. විවිධ වෙළඳනාම අයිති ආයතනවල හිමිකරුවන් අනාගතයේ එන්න තියෙන ප්‍රවණතා ගැන සමීක්ෂණ කරනවා. උදාහරණයක් ලෙස ඇඩිඩාස් කියන්නේ ක්‍රීඩාවට බර වෙළඳනාමයක්. ඔවුන් තමන්ගේ ඇඳුම් 2021 විකුණාගන්නට සුදුසු ප්‍රවණතා ගැන හොයනවා. විලාසිතා දැක්මක සුදුපාට වැඩිපුර තියෙනවානම්, වෙළඳනාම හිමිකරුවන් ඒ ගැන කල්පනා කරනවා. ලෝකයට වගේම යම් රටක නව විලාසිතා ගැන ප්‍රවණතා පෙන්වාදීම තමයි විලාසිතා දැක්මක කරන්නේ.

ඒ ප්‍රවණතා අල්ලාගන්නේ වෙළඳනාමවලින් විතරක් නෙවෙයි. විලාසිතා ගැන කල්පනා කරන කෙනෙක් ලෝකයේ ජනප්‍රිය සංගීත වීඩියෝ ආදිය බැලුවොත් පොප් කල්චර් හෙවත් ජනප්‍රිය සංස්කෘතියට විලාසිතා දැක්මකින් බලපෑම් එල්ලවෙන හැටි බලාගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙවර කොළඹ විලාසිතා සතියේ මගේ මෝස්තර ප්‍රදර්ශනය කළ වෙලාවේ පසුබිමින් ගියේ බියොන්සේගේ ගීතයක්. ඒ සිංදුවේ වීඩියෝවෙහි තිබුණේ ඊට කලින් අවුරුද්දේ විලාසිතා ප්‍රදර්ශනවල තිබුණු මෝස්තර. අපි, ඒ වගේ චිත්‍රපටියකින්, සංගීත වීඩියෝවකින් හෝ ඔස්කාර් වගේ සම්මාන උළෙලකදී අපි කැමති කෙනෙක් ඇඳගෙන ඉන්නවා දැකපු විලාසිතාවක් කඩෙන් මිලදී ගන්න ආසයිනේ. ඒ අනුව විලාසිතා දැක්මකදී එළිදක්වන ප්‍රවණතා පොප් කල්චර් එකටත් බලපානවා.

 

සමහරවිට විලාසිතා දැක්මක අපි දකින ඇඳුම පාරේ ඇඳගෙන යන්න බෑ…

ඒත් ඒ ඇඳුමක තියෙන රෙද්ද සුවිශේෂී එකක් වෙන්න පුළුවන්. ඒකේ පොකැට්වල තියෙන පෙනුම, මැස්ම, වර්ණ රටාව ආදී ලක්ෂණ විතරක් උකහාගන්න පුළුවන්. ඇඳුමේ හැඩයෙන් ආභාසය ලබන්න පුළුවන්. විලාසිතා ප්‍රදර්ශන විවිධාකාරයි. සමහරු කෙළින්ම පාරේ ඇඳගෙන යන්න පුළුවන් ඇඳුම් ප්‍රදර්ශනය කරනවා. තවත් සමහරුන් නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරනවා. විලාසිතා දැක්මක් බලනවා කියන්නේ සාස්තර බලනවා වගෙයි. මංගල ඇඳුම් සකසන අය එයාලාට ගැලපෙන අදහස් ප්‍රදර්ශනයකින් ගන්නවා. ක්‍රීඩා ඇඳුම් කරන එය ඒවාට අදහස් ගන්නවා. ඔය ආදී වශයෙන් විවිධාකාර අය අදහස් ගන්නවා.  2021 දී වැඩිපුර තියෙන වර්ණ මොනවාද කියලා දැන් තීරණය වෙලා තියෙනවා. ටයිඩයි ආදී විලාසිතා 2019 විලාසිතා ප්‍රදර්ශනවල තිබිලා, 2020දී වෙළඳපලට ආවා. කහ, සාගරයේ නිල් පැහැය වගේ වර්ණවලට 2021 දී වැඩිපුර අවධානයක් යොමුවේවි.

 

ප්‍රදර්ශනයකදී මෝස්තර නිර්මාණකරුවෙක් ඉදිරිපත් කරන විලාසිතාවක් පිටකොටුව දක්වා යන්නේ කොහොමද?

හැම ඇඳුම් නිෂ්පාදකයෙක්ම විලාසිතා ප්‍රදර්ශනවලින් ආභාසය ලබන්නේ නැහැ. මුලින්ම ඇඳුම් නිර්මාණකරුවන් කිහිපදෙනෙක් ඒවා කරනවා. එහෙත් ටික දවසක් යද්දී චීනයෙන් තොග ගාණට ඒ විලාසිතාවල පිටපත් ගහනවා. ලංකාවේත් එහෙමයි. මුලින්ම ඉහළ මට්ටමේ වෙළඳනාමයක් තියෙන කඩයකින් ඒ විලාසිතාව ගන්න පුළුවන්. නිකමට හිතමු, කොළඹ විලාසිතා සතියේ පෙන්වපු විලාසිතාවකින් ආභාසය අරගෙන ගවුමක් රුපියල් දහදාහකට එක කඩයකට දානවා. ඒක ටිකක් ඉහළ පැලැන්තියේ අය යන එන තැනක්. ඒ ඇඳුම විකිණෙනකොට මධ්‍යම පාන්තිකයන් යන එන කඩයකින් ඒ ඇඳුමෙන් ආභාසය අරගෙන රුපියල් තුන්දාහකට දානවා. මොකක්හරි සාදයකදී හෝ රූපවාහිනී වැඩසටහනකින් අර ගවුම දැකපු මධ්‍යම පාන්තිකයෙක් තුන්දාහට ඒක ගන්නවා. එයා ඒක ඇඳගෙන පාරේ යනකොට දකින අඩු ආදායම්ලාභී කෙනෙක්ටත් ඒ ගවුම ගන්න ආසාවක් ඇතිවේවි. තව ටික දවසක් යනකොට එයාට ඒ ගවුම පමුණුවෙන් රුපියල් අටසීයට විතර ගන්න පුළුවන් වෙනවා. ටීෂර්ට් එකක් වුණත් එහෙමයි. සමහරවිට ඇමෙරිකාවේ ප්‍රදර්ශනයක තියෙන හොඳ ටී-ෂර්ට් එකක් ඔය විදියට විවිධ මට්ටම්වලට ගිහින්, චීනයෙන් කොටුවට ඒවි. සමහරවිට ප්‍රදර්ශනයේදී පෙන්වන්නේ කොටුවක්, පාරිභෝගිකයාට එද්දී ත්‍රිකෝණයක්. ඒ ඒ කාලවල වැඩි ඉල්ලුමක් තියෙන, ජනප්‍රිය විලාසිතා පහළ මට්ටමට එනවා.

 

විලාසිතා නිර්මාණකරුවෙක් වෙන්න  කැමැත්තක් තියෙන අයට, අධ්‍යාපනය ලබන්නට හරි පසුබිමක් ලංකාවේ තියෙනවාද? සාමාන්‍ය පවුලක කෙනෙකුට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ඉහළට යන්න පුළුවන්ද?

මගේ අත්දැකීම්වල හැටියට නම් ඒක ලෙහෙසි නැහැ. සල්ලි තියෙනවානම් ඉගෙනගන්න තැන් තියෙනවා. එහෙත් ලොකු ධනයක් නැති, ඉංග්‍රීසි භාෂා දැනුමත් අඩු අපි සාමාන්‍ය පවුල්වල අයට විලාසිතා ගැන උනන්දුවක් ඇතිවුණත්, ඒ ගැන ඉගෙනගැනීම අමාරුයි. සල්ලි තියෙන කෙනෙක්ට වුණත්, විලාසිතා නිර්මාණකරුවෙක් වෙන එක ලේසි නැහැ. විලාසිතා ගැන උගන්වන උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. ඒවායේ විභාග ලියලා, සමත් වෙන්න පුළුවන්. එහෙත් විලාසිතා නිර්මාණකරණය කියන්නේ කලාවක්. ඒ වගේම පොඩි ප්‍රායෝගික දැනුමකුත් ඕනෑ. අලුත් දේවල් කරන්න නම් අලුත් විදියට හිතන්න ඕනෑ. අධ්‍යාපන ආයතනයකින් හදපු රාමුවක් ඇතුළේ හිරවෙලා බැහැ. හරියට කීවොත් මේ කලාව ගැන උගන්වන්න ගුරුවරුන්ට බැහැ. ඔවුන්ට පුළුවන් තාක්ෂණික කරුණු එක්ක පාර කියාදෙන්න විතරයි. යම් කෙනෙක් කලාවේ දක්ෂයෙක් වෙන්න නම් පාඩම් කරලා විභාග ලියලා මදි. නිර්මාණශීලීත්වය ඕනෑ. මම පාඩම්කරලා විභාගවලට මුහුණදීමට දක්ෂයෙක් නෙවෙයි. උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනගත්ත කාලයේදී මම විභාගවලින් ලකුණු අඩුම කෙනා. අන්තිමේ සීමාවාසික පුහුණුව සඳහා ආයතයක් තෝරාගන්න වෙලාවේ දන්න අය කීවේ මට විලාසිතා කර්මාන්ත ක්ෂේත්‍රය තෝරාගන්න කියලා. මොකක්හරි ගාමන්ට් එකක පුහුණුවට යන්න කියලා. එතකොට රස්සාවක් හොයාගන්න ලෙහෙසියි. ඒත් මට ඕනෑ වුණේ විලාසිතා නිර්මාණකරුවෙක් වෙන්න.

 

ඔබ තෝරාගත්තේ මොකක්ද?

කේටි බ්‍රවුන් කියන ආයතනයෙන් පුහුණුව ලබන්න මම අයදුම් කළා. කේටි බ්‍රවුන් ප්‍රධානියා කාංචනා තල්පාවිල මහත්මිය. ඇය විලාසිතා ක්ෂේත්‍රයෙහි ඉහළට අධ්‍යාපනය ලැබූ කෙනෙක්. එහෙත් මා වැනි තරුණ නිර්මාණකරුවෙක්ට උපාධි තියෙනවාද, ලකුණු තියෙනවාද කියලා හෙව්වේ නැහැ. එයා ළඟට යනකොට මම විධිමත් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි. ගොඩක් දේවල් මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම හරියට ඉගෙනගත්තේ ඇගේ ශිෂ්‍යයෙක් විදියට. ඇය ළඟ ප්‍රායෝගිකව වැඩ කරමින් තමයි ඉගෙනගත්තේ. ඔය කාලයේ මම වැඩිපුර කළේ රෙදි වගේ අමුද්‍රව්‍ය සල්ලි දීලා ගන්නට විවිධ වෙළඳසැල්වල රස්තියාදු ගහපු එක. ලොකු වෙළඳසැල්වල විතරක් නෙවෙයි, පිටකොටුවේ පවා ඇවිද්දා. ඒකෙන් මම රෙදි වර්ග ආදිය ගැන පුදුම ප්‍රායෝගික දැනුමක් ලැබුවා. වාහන හදන කෙනෙක් පංචිකාවත්තෙන් වාහන අමතර කොටස් ගන්න විදිය හොයනවා වගේම විලාසිතා නිර්මාණ කරනකොට රෙදි වර්ග මිලදී ගන්න තැන් ගැන දැනගන්න ඕනෑ. ඊට අමතරව ඇඳීම ගැන, මැනීම ගැන, මැහීම ගැන ඉගෙනගත්තේ ප්‍රායෝගිකව වැඩ කරමින්. අන්තිම කාලයේ ඇය අත දිගු කරනකොට ඇයට ඕනෑ උපකරණය දෙන්න පුළුවන්කම මට ලැබුණා. කොහොම වුණත් ඇගේ ඉගැන්වීම කියන්නේ ඇගේ කෝවට අප ඇතුළත් කිරීමක් නෙවෙයි. ඒ වෙනුවට අපේ විදියට වැඩ කරන්න අවශ්‍ය දැනුම දෙන එක තමයි ඇය කරන්නේ. 

ඊට අමතරව, මහපාරේදී මම විලාසිතා ඉගෙනගත්තා. උදාහරණයක් කීවොත් ඒ.සී. කරපු පන්ති කාමරයේදී මම රෙදි ගෙතීම ගැන ඉගෙනගත්තේ නැහැ. එහෙත් වැඩකට ගෙතුමක් ඕනෑ වුණාම පමුණුවට ගිහින්, අව්වේ හිටගෙන ඉඳලා පාපිසි ගොතන නැන්දා කෙනෙක් ගොතන හැටි බලාගෙන හිටියා. ඒකෙන් තමයි විවීම ගැන ඉගෙනගත්තේ. පන්නිපිටියේ ගාමන්ට් එකක් කරමින් ඉන්න අරුණ අයියාගෙන් තමයි මම මහන හැටි ඉගෙනගත්තේ. රෙදි මුද්‍රණ ක්‍රම ඉගෙනගත්තේ මුද්‍රණය කරන තැනකින්. ඇඳුමක් මුද්‍රණය කිරීම කියන්නේ වෙනම කලාවක්. මම 2018 දී කරපු, සම්මාන ලබපු ඇඳුම් එකතුවේදී ඩෙනිම් පටිවලින් ඇඳුම් ගෙතුවා. පන්තිකාමරවල ඉගෙනගත් අය කීවේ, හෝදනකොට නූල් ඇදෙනවා කියලා. ඒත් මට විධිමත් අධ්‍යාපනයක් නොතිබුණු නිසා මම හෝදලාම බැලුවා. නූල් ඇදුණේ නෑ. ඒ අතින් බැලුවාම අලුත් දේවල් කරන සමහර නිර්මාණකරුවන්ගේ එකම සුදුසුකම නොදැනුවත්කම. දන්නේ නැති නිසා කරලා බලනවා. මේ කතාවෙන් මම විධිමත් අධ්‍යාපන ආයතන හෑල්ලු කරනවා නෙවෙයි. ලංකාවේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතනවලින් කරන ප්‍රදර්ශන මමත් අනිවාර්යයෙන් බලනවා. එහෙත්, මේ විෂයට කැමති කෙනෙක්ට දැනුම ලබන්නට ඕනෑ තරම් ක්‍රම තියෙනවා. නිර්මාණශීලීත්වය තමයි ඕනෑ.

 

කොළඹ විලාසිතා සතියට ඉදිරිපත් වුණේ කොහොමද?

අධ්‍යාපනය ලැබූ ආයතනයෙන් පිටවෙද්දී, පැවැත්වූ විලාසිතා දැක්මට මම විලාසිතා එකතුවක් කළා. සාමාන්‍යයෙන් විලාසිතා නිර්මාණකරුවෙක් ඇඳුම නිර්මාණය කරන්නේ ඔහු උපකල්පනය කරන පාරිභෝගිකයෙක්ට. මගේ උපකල්පිත පාරිභෝගිකයා තරුණ, අවිවාහක, දඩයක්කාරයෙක්. දඩයක්කාරයා මස් කන්න ආසයි. නිදහසට කැමතියි. කඳු නගිනවා. ඔහු බල්ලා එක්ක දඩයම් කරන්න යන කෙනෙක්නේ. ඒ නිසා විලාසිතා දැක්මේදී බල්ලෙක් පවා ඇවිද්දුවා. බල්ලෙක් ඇවිද්දන එක අනවශ්‍ය ප්‍රශ්නයක් වේවි කියලා සමහරු කීවත්, මගේ විලාසිතා එකතුවේදී නිරූපණ ශිල්පියෙක් එක්ක හල්ක් කියන බල්ලාත් ඇවිද්දා. බල්ලෙක් ඇවිද්දන එක ලෙහෙසි නැහැ. දවස් ගණනාවක් පුහුණු වෙන්න සිද්ධවුණා. ඒ ප්‍රදර්ශනයේදී මට හොඳම නිර්මාණකරුවා විදියට ත්‍යාගයක් ලැබුණා.

ඒ විලාසිතා එකතුව දැකලා කාංචනා මහත්මිය කොළඹ විලාසිතා සතිය 2003 දී පටන්ගත්ත අජේ වීර් සිං එක්ක කතාකරලා තිබුණා. මට ඔහු මුණගැහෙන්න අවස්ථාවක් හදලා දුන්නා. එහෙත් මගේ එකතුවේ ඇඳුම් හයක් විතරයි තිබුණේ. තවත් හතරක් ඕනෑ බව කීවා. මම අන්තිම මොහොතේ තවත් ඇඳුම් හතරක් කරලා, ඇඳුම් දහයක් 2019 කොළඹ විලාසිතා සතියට ලෑස්ති කළා. හිල්ටන් හෝටලයේ තමයි විලාසිතා දැක්ම තිබුණේ. සමහර ඇඳුම්වලට කට්ටලවලට සපත්තු ගන්නට මගේ අතේ සල්ලි තිබුණේ නෑ. එතකොට ඒ ප්‍රදර්ශනයේ පෙනීහිටපු නිරූපණ ශිල්පීන් එයාලාගේ සපත්තු අරගෙන එන්න කැමති වුණා. උපාධිය වෙනුවෙන් ඇඳුම් ප්‍රදර්ශනය කරපු මට, එක්වරම කොළඹ විලාසිතා සතියට යන එක දැවැන්ත පිම්මක්. ඒත් නොහිතපු විදියට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක හොඳම ‘මීළඟ නිර්මාණකරුවා’ කියන සම්මානයක් ලැබුණා. ඒකෙන් පස්සේ මම 2020 දී කොළඹ විලාසිතා සතියට ඉදිරිපත් වෙන්නේ පිට පිට දෙවැනි වතාවට.■